The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාස කිහිපයකින් එන ඩිජිටල් හැඳුනුම්පත ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?

T

The Leader Desk

January 20, 2025 • 7:01 AM

මාස කිහිපයකින් එන ඩිජිටල් හැඳුනුම්පත ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩිජිටල් හැඳුනුම්පත යනු මේ දිනවල අතිශයින් කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.
  • ඇතැම් පිරිස් චෝදනා කරන්නේ, ඩිජිටල් හැඳුනුම්පතෙහි දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවට ය.
  • ඉන්දීය සමාගමක් හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා දත්ත ආරක්ෂණය පිළිබඳ සැක මතු වන බව ඔවුන්ගේ අදහස වී තිබේ.
  • මේ සඳහා අවශ්‍ය පිරිවැයෙන් අඩක් ඉන්දියාව ආධාරයක් ලෙස ලබා දීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් ඉන්දීය සමාගමක සහය ගැනීමට සිදුවන බව තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩිජිටල් හැඳුනුම්පත යනු මේ දිනවල අතිශයින් කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.

ඇතැම් පිරිස් චෝදනා කරන්නේ, ඩිජිටල් හැඳුනුම්පතෙහි දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවට ය.

ඉන්දීය සමාගමක් හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා දත්ත ආරක්ෂණය පිළිබඳ සැක මතු වන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඩිජිටල් හැඳුනුම්පත අනාරක්ෂිත ද? ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමකි.

වසර ගණනාවක උත්සහයක්

 
ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වූයේ, මීට වසර ගණනකට පෙර සිට ය.

යහපාලන රජය පැවති සමයේ සිට ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ මේ සඳහා යම් උත්සහයන් දැරිණි.

මේ සඳහා අවශ්‍ය පිරිවැයෙන් අඩක් ඉන්දියාව ආධාරයක් ලෙස ලබා දීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් ඉන්දීය සමාගමක සහය ගැනීමට සිදුවන බව තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.

 
eranga 15 01 25 1000x600
"මේ ව්‍යාපෘතිය අපිට කලින් තිබුණ ආණ්ඩුව ආරම්භ කරලා තිබුණා. ඒක ගැන නැවත සාකච්ඡා කිරීමකින් පස්සේ මේක ඉතා ආරක්ෂිතව කරන්න අපි ක්‍රියා කරමින් ඉන්නවා," නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රුපියල් බිලියන 20ක ව්‍යාපෘතියක්


මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20ක වියදමක් දැරිය යුතු බවට ඇස්තමේන්තු කර තිබේ.

ඉන් රුපියල් බිලියන 10ක මුදලක් ඉන්දියාවෙන් ආධාරයක් ලෙස ලැබෙන අතර ඉතිරි මුදල් ශ්‍රී ලංකාව සොයා ගත යුතු ය.

ඒ සඳහා පසුගිය රජය ආරම්භ කළ වැඩසටහනක් අනුව මේ වන විට රුපියල් බිලියන 5ක පමණ මුදලක් එක්රැස් කරගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසීය.

ID
"මේ ව්‍යාපෘතියට අවශ්‍ය උපකරණ සහ මෘදුකාංග ගොඩක් තියෙනවා. ඒවා මිල දී ගන්න විශාල මුදලක් වැය වෙනවා. අපට ඉන්දියාවෙන් ආධාර ගන්න සිද්ධ වෙන්නේ ඒ නිසයි."

ඩිජිටල් හැඳුනුම්පත යනු කුමක් ද?

"ඩිජිටල් හැඳුනුම්පත කියන්නේ දැනට දෙන කාඩ් එක වගේ එකක් නෙවෙයි. ඒක කෝඩ් එකක්. හැබැයි මුල් අදියරේදි අපි කාඩ් එකත් නිකුත් කරනවා. මොක ද, දැනට හැම තැන ම ක්‍රියාත්මක වෙන්නේ කාඩ් එක පාවිච්චි කරන ක්‍රමවේදය නිසා," නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එය දැනට භාවිත වන සාමාන්‍ය හැඳුනුම්පතට වඩා අතිශයින් ආරක්ෂිත බව ඔහු පෙන්වා දුන්නේ ය.

 
digital id
"මේ ඩිජිටල් හැඳුනුම්පත සකස් වෙන්නේ පුද්ගලයින්ගේ නම, උපන් දිනය වගේ කරුණුවලට අමතරව ජෛවමිතික ලක්ෂණත් ඇතුළත් කරලා. මේ හැඳුනුම්පතට නිකුත් කෙරෙන කෝඩ් එක අහඹු ලෙස නිර්මාණය වෙන්නේ. දැනට තියෙන අංකය හරහා උපන් දිනය වගේ තොරතුරු රැසක් හොයා ගන්න පුළුවන් වෙනත් පාර්ශවවලට. මේ ඩිජිටල් හැඳුනුම්පතේ ඒ වගේ දුර්වලතා නැහැ."

ඩිජිටල් හැඳුනුම්පතට ගන්නා ජෛවමිතික සලකුණු මොනවා ද?


fingerමුල් අදියරේ දත්ත ලබා ගැනීමේදී ඇඟිලි සලකුණු සහ මුහුණේ ස්වරූපය පමණක් ලබා ගැනීමට නියමිත ය

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ඉදිරි මාස 6ක කාලය තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීම ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත ය.

එහිදී, පළමුව සලකා බැලෙන්නේ, අලුතින් පළමු වරට හැඳුනුම්පත් අයැදුම් කරන්නන් ය.

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා විශේෂ ජෛවමිතික සලකුණු 3ක් භාවිත කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසීය.

* ඇඟිලි සලකුණු

* මුහුණේ ස්වරූපය

* කළු ඉංගිරියාව


මුල් අදියරේ දත්ත ලබා ගැනීමේදී ඇඟිලි සලකුණු සහ මුහුණේ ස්වරූපය පමණක් ලබා ගැනීමට නියමිත ය.

"කළු ඉංගිරියාව සටහන් කර ගන්න අවශ්‍ය තාක්ෂණික උපකරණ ලැබුණාට පස්සේ ඒකත් ලබා ගන්නවා. මුල් වටයේදී ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇඟිලි සලකුණු සහ මුහුණේ ස්වරූපය විතර යි. ඊට අමතරව, නම, ලිපිනය, උපන් දිනය ආදී තොරතුරුත් ලබා ගන්නවා," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දත්ත ආරක්ෂණය ගැටලු සහගත ද?

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි ලබන මාසයේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට නියමිත ය.

මේ ව්‍යාපෘතිය MOSIP (Modular Open-Source Identification Platform) නමැති මෘදුකාංගය භාවිතයෙන් සිදු කිරීමට නියමිත අතර, එය ශ්‍රී ලංකාවට අවශ්‍ය ආකාරයට සකස් කිරීම අදාළ කමිටුවේ අනුමැතිය හිමි ඉන්දීය සමාගමකට පැවරෙනු ඇත.

මෘදුකාංගය සකස් කිරීමෙන් පසුව ඉන්දීය සමාගම එහි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවට පවරන බවත්, දත්ත එක්රැස් කිරීම් ඇතුළු සෙසු සියලු ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ සිදු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"ඒ නිසා මේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැහැ. ඒක සම්පූර්ණයෙන් ආරක්ෂිත යි," නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වෙයි.

මේ අතර, සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙම ව්‍යාපෘතියේ දත්ත ආරක්ෂණය පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ය.

"මේ ඩිජිටල් හැඳුනුම්පත අවුරුදු 20ක් තිස්සේ කතාබහ වෙමින් තියෙන දෙයක්. මේක රටට අවශ්‍ය යි. මේ ක්‍රමය හරහා කිසි ම ආකාරයකින් දත්තවලට හානියක් වෙයි කියලා හිතන්න බැහැ. අපි විමසන්න ඕනේ දත්ත ආරක්ෂා කරන්න ගන්න උපක්‍රම මොනවා ද කියන එක ගැන යි. දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් පනතක් පවා තියෙන නිසා දත්ත ආරක්ෂණය ගැන බිය වෙන්න දෙයක් නැහැ."



ඩිජිටල් හැඳුනුම්පතක වාසි මොනවා ද?

ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමෙන් වාසි රැසක් අත්වන බව අසේල වෛද්‍යාලංකාර පවසයි.

"මේ ක්‍රමය හරහා වාසි රැසක් හිමි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්, යමෙකුගේ ඇඟිලි සලකුණ වෙනත් කිසි කෙනෙකුට පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා ඒකෙන් අනන්‍යතාව ආරක්ෂා වෙනවා. ඒ විතරක් නෙවෙයි, අස්වැසුම වගේ ව්‍යාපෘති, ඡන්දය දැමීම වගේ ඕනෑ ම කටයුත්තකදී ඇඟිලි සලකුණක් තැබීමෙන් අනන්‍යතාව පහසුවෙන් සනාථ කර ගන්න පුළුවන්."

(සටහන | කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාස කිහිපයකින් එන ඩිජිටල් හැඳුනුම්පත ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද? | The Leader