The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුවෙන් නිදන්න අතුල අන්කල්...| ජයනි අබේසේකර

T

The Leader Desk

January 21, 2025 • 5:32 AM

සුවෙන් නිදන්න අතුල අන්කල්...| ජයනි අබේසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක අතුල අන්කල් බලලා ආයෙත් කොළඹ එනගමන් බස් එකේදි ලිව්ව බොහොම අසංවිධිත සටහනක්... හැමෝම දන්න වික්ටර් අයිවන් මම හැමදාම දැනගෙන හිටියේ අතුල අන්කල් විදියට. අතුල අන්කල් නිසා තමයි මගේ අම්මයි තාත්තායි මුණගැහෙන්නෙත්.
  • එයාගේ පුටුවේ වාඩි වෙලා ඉන්නගමන්ම මට පොත් තෝරලා දෙනවා.
  • "ද්වන්ධ කැරැල්ලක ජනමාධ්‍ය භූමිකාව" ඇත්තටම ලිව්වේ එයාගේ මගපෙන්වීමෙන්. ඊටත් පස්සේ රාවයේදි එයාව මුණගැහෙද්දි කවදාවත් මම එයාට අතුල අන්කල් කිව්වේ නෑ. එකම එක අවස්ථාවක් මම එයා ගොඩනගපු පුනරුද ව්‍යාපාරයේ සාකච්ජාවකට ගොඩවුනා.
  • ඒ වෙද්දි එයාගේ තදබල ලෙස අධිපති ස්වභාවයක් තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේක අතුල අන්කල් බලලා ආයෙත් කොළඹ එනගමන් බස් එකේදි ලිව්ව බොහොම අසංවිධිත සටහනක්... 

හැමෝම දන්න වික්ටර් අයිවන් මම හැමදාම දැනගෙන හිටියේ අතුල අන්කල් විදියට. 

අතුල අන්කල් නිසා තමයි මගේ අම්මයි තාත්තායි මුණගැහෙන්නෙත්. මගේ අම්මා ඒ කාලේ නතර වෙලා ඉදලා තියෙන්නේ ගාල්ලේ මිනුවන්ගොඩ එයාගේ ලොකු අම්මගේ ගෙදර. ඒ ගෙදර ඉස්සරහා තමයි අතුල අන්කල් ලලිත ආන්ටි තාවකාලිකව පදිංචි වෙලා ඉදලා තියෙන්නේ. නිතර දේශපාලන කතා බහ සිද්ධ වුන මෙතැනට තාත්තා යන්න එන්න පටන් අරන් තමයි තාත්තයි අම්මයි මුණගැහෙන්නේ. අම්මගේ ලොකු අම්මා මේ සම්බන්ධය දැනගත්තම විරුද්ධ වෙලා තියෙන්නේ චේ ගුවේරාකාරයෝ එක්ක සම්බන්ධකම් එපා කියල. 

කොහොම හරි අතුල අන්කල්ගේ ජීවිතේ හැම පරිච්ඡේදයක්ම දන්න ඉතාම සුළු පිරිසක් අතරේ ඉන්න කෙනෙක් මගේ තාත්තා. වික්ටර් අයිවන් කියන නම කවුරුත් නොදන්න කාලෙක තමයි ඒ මිත්‍රත්වය ගොඩනැගෙන්නේ. අම්මා ඒ කාලේ මතක් කරල කියන්නේ අතුලගේ කරේ තිබුන මල්ලේ කවදාවත් පොතක් වැරදුනේ නෑ කියල.

 

අතක් බැදගත්ත එළු රැවුලක් තිබුන කෙනා වික්ටර් අයිවන් කියල දැනගන්න කලින් තමයි අපි ඔක්කොම එයාගේ හරිම නිස්කාන්සු...  පිළිවෙළ... කපුහෙම්පළ ගෙදර යන්නේ ක්‍රිස්මස් පාටිවලට. අවුරුදු පතා ඒ පාටිවල හිටියේ එයාට සමීප කිහිපදෙනෙක් සහ පවුල්වල පිරිස විතරයි. ඒ පිරිස අතරේ නොවැරදීම හිටියා ජයන්ත අන්කල් සහ එයාගේ බිරිද, සරත් අන්කල් (සරත් සදගෝමී ) සහ හේමා ආන්ටි, කණ්ඩම්බි අන්කල්, බුද්ධි අන්කල් (අතුල අන්කල්ගේ රියදුරු හැටියට කාලයක් තිස්සේ හිටියේ එයා) සහ එයාලගේ ඥාති කිහිප දෙනෙක්.

අතුල අන්කල් රසට කන්න කැමති...  රසට කාපු වගේම රසට උයන විදියත් දන්න කෙනෙක්. අපේ ඒ ක්‍රිස්මස් පාටියට පුංචි දැල්ලෝ මුං ඇට පුරවරලා එයාගෙම රෙසිපියකට ලලිත ආන්ටි අතින් හැදෙනවා. රසම රස කලු පෝක් කරියක් වරදින්නේ නෑ. 

මමත් අක්කලත් අයියත් නංගිත් ලොකු වෙද්දි ඒ ක්‍රිස්මස් පාටිවලට ගියේ නෑ. ඒවා අපි යොවුන් වයසට එද්දි ගිලිහුණා. ඒත් එයා හැම ක්‍රිස්මස් එකක්ම එයාගේ සමීපතමයෝ එක්ක අඩියක් ගහල හරි සැමරුවා. එයා එහෙම පුංචි පුංචි සැමරිලිවලට ආස කරපු මනුස්සයෙක්. අසනීපෙන් හිටිද්දිත් එයා තාත්තාට කියල තිබුනා "අබේ අපි පාටියක් දාන්න ඕන" කියල. 

මම ක්‍රිස්මස් පාටි නොගියට ගොඩක් ඉරිදාවල්වලට තාත්තා එක්ක යනවා එයාගේ පුද්ගලික පුස්තකාලෙන් පොත් අරන් එන්න. ඒ හැම ඉරිදාවක්ම එයා සැමරුවා... එයාගේ ගෙදර උඩුමහලේ එයාගේ පොත්ගොඩවල් අතරේ ඒ හවස්වරුවලට වෙනම තැනක් වෙන්කරල තිබුනා. ඒ කාලේ එයා රාවයේ වැඩ. සති අන්තේ විතරයි ගෙදර ඉන්නේ.

 

වික්ටර් අයිවන් : මගේ මතක | සුනන්ද දේශප්‍රිය.

තාත්තලා ඩ්‍රින්ක් එක දාන අතරේ මම පොත් තෝරනවා. එයා එහෙම දවස්වලට පොත් රාක්ක නොදැකම... එයාගේ පුටුවේ වාඩි වෙලා ඉන්නගමන්ම මට පොත් තෝරලා දෙනවා. "දුව දකුණු අත පැත්තේ උඩම කබඩ් එකේ දෙවෙනි තට්ටුවේ වම් අත පැත්තේ දොස්තයෙව්ස්කිගේ කර්මසෝ සහෝදරයෝ තියෙනවා. ඒක අතිවිශිෂ්ට පොතක්" කියල ඊට පස්සේ එයා පැහැදිලි කිරීමක් කරනවා. 

කොන්දේසිය තමයි එයාගෙන් මම ගන්න පොත් ආයෙත් බාර දෙන්න ඕන ඒ වගේම ඒ ගැන එයා එක්ක පොඩි කයියක් ගහන එක. 

ඊටත් පස්සේ එයා තමයි මගේ තීසීස් එක ගයිඩ් කරපු කෙනා. යුනිවර්සිටි එකෙන් ඒක ගයිඩ් කරන්න හරියට කෙනෙක් හිටියේ නෑ. "ද්වන්ධ කැරැල්ලක ජනමාධ්‍ය භූමිකාව" ඇත්තටම ලිව්වේ එයාගේ මගපෙන්වීමෙන්. 

ඊටත් පස්සේ රාවයේදි එයාව මුණගැහෙද්දි කවදාවත් මම එයාට අතුල අන්කල් කිව්වේ නෑ. 

එකම එක අවස්ථාවක් මම එයා ගොඩනගපු පුනරුද ව්‍යාපාරයේ සාකච්ජාවකට ගොඩවුනා. ඊට පස්සේ මම එතනිනුත් ඈත් වුනා. 

ඊට පස්සේ අපි මුණගැහුනේ හූගාක් මෑත කාලෙක එයාගේ ගෙදර කරපු දේශපාලන සාකච්ජාවකදි. එදා මම එයාගේ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සේ. ඒත් සුපුරුදු නිස්කාන්සු පරිසරය පිළිවෙල එහෙමම තිබුනා. 

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වේ
ඊටත් පස්සේ දවසක එයා මට කතා කරල කිව්වා එයා විශ්වාස කරපු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහය දෙන්න එකතු වෙන්න කියල. දවස් දෙකක online සාකච්ජාවලින් පස්සේ මම ඉවත් වුනා. ඒ වෙද්දි එයාගේ තදබල ලෙස අධිපති ස්වභාවයක් තිබුනා. එයාගේ දේශපාලන මතවාද ගැන මට ගැටලු මතුවුනා.

පහුගිය මැතිවරණය වෙලාවේ හවස තාත්තා එයාට කෝල් කරලා ඇහුවා වික්ටර් කොහොමද තත්ත්වේ කියල. එයා හිටියේ එයා හිටපු කදවුර ජයගන්නවා කියන තැන. තානාපති කාර්‍යාලවලින් එන තොරතුරු එක්කත් ඒක තහවුරුයි කියල කිව්වා.

මාලිමාවට ඉඩක් නෑ කියල එයා කිව්වේ. මම එයාව විවේචනය කළා. තාත්තා එයා එක්ක එයාගේ මතවාද විවේචනය කරාට කවදාවත් අපි එක්කවත් එයාව විවේචනය කරන්න ගියේ නෑ. 

දේශපාලනයේදි එයා පෙනි හිටපු දේ වෙනුවෙන් එයා බය නැතුව පෙනි හිටියා. ඒකට කවුරු මොනව කිව්වත් එයාට වැදගත් වුනේ නෑ. අන්තිමටම එයා දැරුවෙත් ඒ ආස්ථානයමයි. 

රාවයෙන් අයින් වුනාට පස්සේත් හැම ඉරිදාම අර එයාගේ ගෙදර උඩුමහලේ පුංචි සැන්දෑ සාදය තිබුනා. කවුරු නැතත් එතන මගේ තාත්තා හිටියා. එයා අන්තිම හුස්ම හෙළනකම් තාත්තා එයාව හැමදාම බලන්න ගියා. උදේ දවල් හවස හැම දවසකම එයා එක්ක තාත්තා හිටියා. 

එයාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධ අන්තිම කැමත්ත ලියපු සටහනේ අත්සන් තබපු සාක්ෂිකරුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මගේ තාත්තා. 


තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන් | අජිත් පැරකුම් ජයසිංහ

මම ආයේත් ඒ අතුල අන්කල් දැක්කේ අද. 

පිජාම කලිසමෙන් ගෙදර කවිච්චියේ හරි බැල්කනියේ ඉදන් හරි අබේ... කියල හයියෙන් කතා කරපු අතුල අන්කල් අද හිටියේ නින්දක.

කැඩුණු අත, ගැලවුණු දත් විතරක් නෙවෙයි මොන මොන දේශපාලන පෙරළි එක්ක දගලලාවත් මෙල්ල නොවුන එයා පුදුම නිස්කාන්සුවකින් නිදා හිටියේ. 

දැකල පුරුදු අතුල අන්කල් නොවුනත් මම එයාට සුබ ගමන් කිව්වා... 

සුවෙන් නිදන්න අතුල අන්කල්...

අපි උපයපු ඩොලර් කෝ?' : කුසගින්නේ වැඩ කරන ඇඟලුම් කම්කරුවෝ - (ජයනි අබේසේකර)(සටහන | ජයනි අබේසේකර)
නිදහස් මාධ්‍යවේදිනී 
jayaniabeysekara89@gmail.com

(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...