ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ 'වොයිස් කට්' දෙකක් අසන්නට සිදු විය.
දෙදෙනම කතා කළේ එකම කාරණාවක් ගැනය. නාමල් කීවේ, ඔහුගේ පියාට නිල වශයෙන් ලබා දී ඇති රජයේ නිවසින් ඉවත්ව යෑමට රාජපක්ෂලා සූදානම් බවත් ඒ සඳහා ඔවුන්ට ලිඛිතව දැනුම් දිය යුතු බවත් ය.
ඒ කාරණාව සම්බන්ධයෙන්ම අදහස් දැක්වූ පක්ෂ ලේකම් නීතිඥ කාරියවසම්ගේ ප්‍රතිචාරය කිසිදු වැදගත්කමක් නැති බාල වර්ගයේ මෝඩ ප්‍රතිචාරයකි. එනිසා එය කෙටියෙන් හෝ මෙහි සඳහන් නොකරමි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාවකට නාමල් ලබා දුන් ක්ෂණික පිළිතුරෙහි වරදක් නැත. එහෙත් ඉන් අනුර කුමාරගේ ප්‍රකාශය වැරදි තොරතුරු ලබාදීමක් බැව් නොකියවෙන්නකි. මහින්දගේ නිල නිවස ගැන කීමට අනුර කුමාර සියලූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස රජයට පවරා ගැනීමක් ගැන කතාව හේතු කාරකයක් කර ගත්තේය.
පවතින නීතියට අනුව ඔවුන්ට ඔවුන්ගේ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් පංගුවක් වන රු.30,000 ක් ඊට හිලව් වශයෙන් ලබා දෙන බවත් කීවේය. ඒ සමගම ඔහු ඇමතිවරුන්ට ලබාදී ඇති නිල නිවාසද පවරා ගන්නා බවත් ඒවා සංචාරක කර්මාන්තයට ඔබින අයුරු සැළසුම් කරන බවත් කියා ඇත.
ඇමති නිවාස සහ සංචාරක කර්මාන්තය ගැන කියූ කතාවේ විහිළුව වෙනම කතා කළ යුත්තකි. නමුත් මහින්ද රාජපක්ෂට ලබාදී ඇති නිවසේ 'මාසික කුලිය' රුපියල් මිලියන 04.6 ක් යැයි ඔහු කියන්නේ එය එතරම් වන්නේ 'ඉඩමේ වටිනාකම' නොමැතිව යැයිද කියා ය. රජයේ නිවසක මාසික 'කුලිය' කිසිසේත් රුපියල් මිලියන 04.6 ක් එනම් ලක්ෂ 46 ක් විය නොහැක. කුලිය විය යුත්තේ කොළඹ මහ නගර සභාවෙහි වාර්ෂික තක්සේරුව මත කෙරෙන ගණන් හැදීමය. අනුර කුමාරගේ මේ ප්‍රකාශය ඉතා පැහැදිලිවම ''රාජපක්ෂ විරෝධය'' යළි යළිත් 'මාකට්' කර දේශපාලනිකව පැවතීමේ බාල උපක්‍රමයකි.
මේ නිල නිවසේ කුලිය ගැන කතා කරන්නට පෙර, මහ නගර, නගර හා ප්‍රාදේශීය සභා සීමා තුල ඇති සියලූ ගොඩනැගිලි සහ ඒවායේ භූමිය සඳහා වාර්ෂික නිල දේපල තක්සේරුවක් තිබිය යුතු බැව් කිව යුතුය. ඒ අනුව සියලූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සඳහාද දේපල තක්සේරු තිබිය යුතුය. නගර සභාව විසින් වරිපනම් බදු තීන්දු කරන්නේ ඒ අනුවය. අනතුරුව වාර්ෂික කුලිය තීන්දු කළ යුත්තේ 1972 අංක 07 දරණ 'කුලී පනතෙහි' 04.(2) වගන්තිය අනුවය.
පනතෙහි දක්වා ඇති ආකාරයට වඩා වෙනස් ආකාරයකට කුලියක් අය කිරීම පනත උල්ලංඝණය කිරීමකි. පෞද්ගලික හිමිකාරිත්වය සමග වාණිජ මට්ටමින් හා ඉල්ලූම අනුව කුලිය තීන්දු කෙරෙන බැව් කවුරුත් දන්නා කාරණාවකි. එහෙත් ආණ්ඩුවට එවැනි අවසරයක් නැත. ආණ්ඩුව 'කුලී පනතෙහි' 04.(2) වගන්තියට යටත් විය යුතුය.
කොළඹ මහ නගර සභාවෙහි තක්සෙරු දෙපාර්තමේන්තුවක් ඇත්තේ ඒ සඳහාය. විශ්‍රාමික ජනාධිපතිවරුන් සඳහා ලබාදී ඇති නිල නිවාස වෙනුවෙන්ද ඔවුන් විසින් තීන්දු කළ වාර්ෂික තක්සේරුවක්, වරිපනම් බද්දක් හා කුලියක් තිබිය යුතුය. මාධ්‍යවේදීන්ට පමණක් නොව වෙනත් ඕනෑම පුද්ගලයෙකුට කොළඹ මහ නගර සභාවේ, තක්සේරු දෙපාර්තමේන්තුවේ 'තොරතුරු නිලධාරී' ජේ. ලලිත් ද සිල්වා (දු.කතන 0112695919 හෝ 071 6495799) වෙත ඉල්ලීමක් කර, මහින්ද ඉන්නා රජයේ නිවාසයේ නගර සභා තක්සේරුව, වරිපනම් බද්ද හා තීන්දු කර ඇති කුලිය කොපමණදැයි බලා ගත හැක.

අනෙක් වැදගත් කාරණාව, ජනාධිපති අනුර කුමාර කුමන තර්කයක් ඉදිරිපත් කළද, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස නැවත රජයට පවරා ගත නොහැක. 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනතේ 02 වන වගන්තියට අනුව, සෑම විශ්‍රාමික ජනාධිපතිවරයෙකුටම සහ ඔහුගේ බිරිඳට නිසි නිල නිවසක් නොමිලේ ලබා දිය යුතුය. එය ඔවුන්ගේ ව්‍යවස්ථාමය හිමි කමකි. අනුර කුමාර කියු රුපියල් 30,000 ක හිලව්ව වලංගු වන්නේ එවැනි නිල නිවසක් ලබා දීමට කිසිසේත් නොහැකි නම් පමණි. ඉන්නා නිල නිවසින් එළියට ඇද දමා රුපියල් 30,000 ක් දී යන්නට යැයි කීමේ නීතිමය අවසරයක් කිසිදු බලධාරියෙකුට නැත.
මාලිමා ආණ්ඩු සහ ජනාධිපති අනුර කුමාර මතක තබා ගත යුත්තේ, ඔවුන්ට ජනතාව ඡන්දය දුන්නේ ඔවැනි බාල දේශපාලන සංදර්ශන සඳහා නොවන බවට ය. ඔවුන්ට ඡන්දය දුන් පොදු බලාපොරොත්තුව වූයේ (නඩු පැවරීමේ අධිකරණ ක්‍රියාවලියක තීන්දු ගැනීමේ හෝ නිර්දේශ කිරීමේ අයිතියක් බලයක් ආණ්ඩුවකට නොමැති වූවත්) ඔවුන්ගේ ප්‍රධාන පොරොන්දුව වූ දූෂණයෙන් තොර රටක් හැදීම වෙනුවෙන් ඔවුන්ද හවුල්වී පිහිටවූ ඉකුත් ආණ්ඩුවල, මහපරිමාන විදේශ විනිමය වංචා සම්බන්ධ ඔවුන්ම චෝදනා කළ ප්‍රධානීන් වහා අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන් සතුව ඇතැයි කියූ සාක්ෂි සමගින් නඩු පැවරීමටත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතයට පහසුවන අයුරු ජීවන වියදම පහත හෙළමින් ආදායම් තත්ත්වයන් වැඩි දියුණු කිරීමට, ජා.මූ.අරමුදල සමග වික්‍රමසිංහ ආණ්ඩුව පැමිණ තිබූ එකඟත්වය අත හැර 'මාලිමාවේ' ආර්ථීක වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමත් ය.
දැනට සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයකි. ඒ ගැන විස්තර මෙහි ලිවිය යුතු නොවන්නේ ඒවා දැන් ත්‍රීරෝද රථයකට නැගි සැණින් අසන්නට ලැඛෙන හෙයිනි. බොහෝ විට අසන්නට වන්නේ, මාලිමා ආණ්ඩුවේ අවංකත්වය ප්‍රශ්න කිරීමකි. ඔවුන්ගේ ආණ්ඩු පාලන හැකියාව ප්‍රශ්න කිරීමකි. ''තුනෙන් දෙකකට වැඩි බලයක් දීලත් තාම මොනවත් වෙන්නෙ නැහැනෙ'' යැයි වැනි කතා ය.
සැබෑවත් එයම ය. අනුර කුමාරත් ඔහුගේ ඇමතිවරුනුත් තවමත් ඉන්නේ විපක්ෂයේ මෙන් ප්‍රචාරකවාදී දේශපාලනයක මිස ආණ්ඩු දේශපාලනයක නොවේ. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති හිමිකම් ඉවත් කරන්නට අවශ්‍ය නම්, මාලිමා ආණ්ඩුව කළ යුත්තේ ඒවා ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම නොවේ. තමන් සතු 2/3 ක පාර්ලිමේන්තු බලය යොදා ගනිමින් 1986 අංක 04 දරණ ''ජනාධිපති හිමිකම් පනත'' අවශ්‍ය ලෙස සංශෝධනය කිරීම ය. එවැනි උපදෙසක් හෝ ලබා ගැනීමට ජනාධිපති අනුර කුමාර වටා දේශපාලන දැනුවත් කමක් ඇති කිසිවකු නොමැතිදැයි මට ඇත්තේ විමතියකි.
ආණ්ඩුවක් වශයෙන් ගත හැකි ව්‍යවස්ථාමය පියවර නොගෙන කොට්ටහච්චි මාදිලියේ තර්ක සමග බාල මාකටිං වැඩ කිරීමෙන් දේශපාලන පැවැත්මක් රඳවා ගැනීම අපහසු බැව් කීමට අනුර කුමාර ළඟ කිසිවකු නොමැති නම්, ඇතැම්විට මාලිමාවුන් කියන පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පැවැත් වූ විට, ඒ ගැන යම් අවබෝධයක් ලැබිය හැකි වනු ඇත. එතෙක් අපට කළ හැකි උදව්වක්ද නැත.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com



