The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රදේශීය ලේකම් කාර්යාල සේවාව වන්නි හත්පත්තු වැසියන්ගේ ස්මාට් ජංගම දුරකතනවලට | රේණුකා දමයන්ති

T

The Leader Desk

January 23, 2025 • 7:29 AM

ප්‍රදේශීය ලේකම් කාර්යාල සේවාව වන්නි හත්පත්තු වැසියන්ගේ ස්මාට් ජංගම දුරකතනවලට | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව කවරකු ගේ නොදියුණු මානසිකත්වයක් පිළිබඳව ඉඟියක් ලැබුණු සැනින් “කොහෙද ගම?තුම්පනේද?,දොම්පෙද?
  • ඒ වෑඋඩවිල්ලි හත්පත්තුව, හිරියාලේ හත්පත්තුව, දෙව්මැදි හත්පත්තුව, දඹදෙණි හත්පත්තුව, කටුගම්පල හත්පත්තුව, දෙමළ හත්පත්තුව හා වන්නි හත්පත්තුව ලෙසිනි.
  • ඒ අනුව මෙම වන්නි හත්පත්තුව මහව ප්‍රදේශය කේන්ද්‍ර ගතව වත්මන් අඹන්පොල හා ගල්ගමුව ආදී ප්‍රදේශ ආවරණය කරමින් පැතිර තිබූ බව පෙනෙයි.
  • මෙමගින් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඔවුන්ගේ ඉලක්ක ඵලදායී ලෙස සාක්ෂාත් කර ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ අනුව කවරකු ගේ නොදියුණු මානසිකත්වයක් පිළිබඳව ඉඟියක් ලැබුණු සැනින් “කොහෙද ගම?තුම්පනේද?,දොම්පෙද? වන්නි හත් පත්තුවෙද? යනුවෙන් විමසන පිරිස් අද ද ඉඳහිට හෝ දක්නට ලැබේ.


එදා සත්කෝරළය නමින් ප්‍රකට වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කය හා සබැඳි භෞමික ප්‍රදේශය පත්තු හතකට බෙදා තිබිණ. ඒ වෑඋඩවිල්ලි හත්පත්තුව, හිරියාලේ හත්පත්තුව, දෙව්මැදි හත්පත්තුව, දඹදෙණි හත්පත්තුව, කටුගම්පල හත්පත්තුව, දෙමළ හත්පත්තුව හා වන්නි හත්පත්තුව ලෙසිනි. ඒ අනුව මෙම වන්නි හත්පත්තුව මහව ප්‍රදේශය කේන්ද්‍ර ගතව වත්මන් අඹන්පොල හා ගල්ගමුව ආදී ප්‍රදේශ ආවරණය කරමින් පැතිර තිබූ බව පෙනෙයි.

නමුත් අතීතයේ සිට පැවැති ඒ පොදු ජන ආකල්පය උඩු යටිකුරු කරවන විස්මිත පුවතක් වන්නි හත්පත්තුවට අයත් මහව ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. ඒ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නොපැමිණ නිවෙසේ සිටම පහසුවෙන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි අවස්ථාවක් හඳුන්වා දීම ය. ඒ බොට් මාස්ටර් (BOT Master) නම් යෙදවුම පරිශීලනය කිරීමට අවකාශය සලසා දීමෙනි.

 

තවමත් අප රටේ නාගරික සමාජයේ පවා එතරම් ප්‍රචලිත නොමැති බොට් මාස්ටර් (BOT Master) පුළුල් පරාසයක කාර්යයන් ඉටු කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධති සහ ඒ සඳහා වූ ස්වයංක්‍රීය මෘදුකාංග නිර්මාණය, සංවර්ධනය, යෙදවීම සහ කළමනාකරණය කරන නවීන යෙදවුමකි. මෙමගින් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඔවුන්ගේ ඉලක්ක ඵලදායී ලෙස සාක්ෂාත් කර ගත හැකිය.

කාර්යක්ෂම පද්ධති නිර්මාණය කිරීමේදී ද බොට් මාස්ටර් (BOT Master) ඉතා වැදගත් වේ. වයඹ පළාතේ රාජ්‍ය ආයතනයක් හා සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රථම සහ එකම තාක්ෂණික යෙදවුම මෙය වීම ද විශේෂත්වයකි. රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා වඩාත් ඵලදායීව සිදුකිරීම සඳහා ජනතාව විසින් වට්ස්ඇප් කෙටි පණිවිඩයක් මඟින් තම අවශ්‍යතා ඉදිරිපත් කළ විට අපේක්ෂිත උපදෙස් මත ගැටලු විසඳීමට හා අවශ්‍ය තොරතුරු එම මොහොතේම ග්‍රාහකයන් වෙත ලබාදීමක් මෙමඟින් සිදුකරනු ලබන බව මහව ප්‍රාදේශීය ලේකම් නඳුන් සම්පත් පවසයි.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පන්නනැයි නියෝගයක් !

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රවාහන අවශ්‍යතා සපුරාගැනීමේ පහසුකම් සුලබව නොමැති පසුබිමක, අන්තර්ජාල තාක්ෂණයේ දියුණුවත් සමඟ එහි භාවිතයන් ද ඉතාමත් පහසුවෙන් යොදා ගැනීමට හැකි වන පරිදි වැඩි දියුණු කිරීම එමඟින් සිදු වන බවකි. අන්තර්ජාල පහසුකම් භාවිතා කරන අයගෙන් 78%කට ආසන්න පිරිසක් වට්ස්ඇප් යෙදවුම භාවිත කරන බැවින් විශේෂ තාක්ෂණික හැකියාවක් නොමැතිව වුවද මෙම සේවාව ජනතාවට ලබා ගත හැකි බව පවසන මහව ප්‍රාදේශීය ලේකම් වරයා තම කාර්යාලය වෙත යොමුකරනු ලබන පැනයට පිළිතුරු ස්වයංක්‍රීයවම පිළිතුරු ලබාදෙන නිසා ග්‍රාමීය ජනතාවට අලුත් අත්දැකීමක් ලද හැකි බව ද පවසයි.

මෙම මෘදුකාංගය සහිත නව වැඩසටහනක නිසි ප්‍රතිලාභය ලැබෙන්නේ එය නිසි පරිදි ජනගත වුවහොත් පමණක් වන අතර ජංගම දුරකතන අංක 0752996044 මඟින් මෙම තාක්ෂණ යෙදවුම හා සම්බන්ධ විය හැකි බව ද ඔහු පවසා සිටියි. 

අද වන විට ඇතැම් නාගරිකයන් සිතන අන්දමට මෙම ප්‍රදේශ වාසීන්ට ඔන් ලයින් යන්න අරුමයක් නොවේ. මෑත භාගයේ ඊට සවිමත් සාධකයක් වූයේ පසුගිය කොවිඩ් වසංගතයයි. 2020 මාර්තු මාසයේ පැමිණි කොවිඩ් පළමුවන රැල්ල අගෝස්තු මුල වන තුරු රටේ පැවතුණි. ඒ හේතුවෙන් පාසල් එම මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි යන මාසවලදී වසා තබන ලදී. අප්‍රේල් නිවාඩුවෙන් පසු දෙවෙනි වාරය සදහා අප්‍රේල් මස අග පාසල් ආරම්භ කිරීම සාමාන්‍ය තත්ත්වය වුව ද කොවිඩ් හේතුවෙන් පාසල් නැවත ආරම්භ කෙරුණේ අගෝස්තු මාසයේදී ය. නමුත් වෛරසය යළි හිස එසවීමත් සමඟ ඔක්තෝබර් මාසයේ සිට නැවතත් පාසල් වසා දැමිණි.

 

කෝවිඩ් වසංගතය ළමයින්ට බලපා ඇති අයුරු -(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
මේ අතර එම කාලසීමාව තුළ දරුවන් ගේ අධ්‍යාපනය බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු විමසූ මෙම ප්‍රදේශවාසීන් හට දැන ගැනීමට ලැබුණේ අගනුවර ඇතුළු නාගරික දරුවන් එම කාල සීමාව තුළ ඔන් ලයින් අධ්‍යාපනයට යොමු ව හිඳින බවකි. එහි දී මේ වන විටත් සමාජයීය වශයෙන් යම් කොන් වීමකට ලක් ව හිඳින තමන් තව දුරටත් කොන් වේය යන බිය සිත් තුළ උපදවා ගත් ඒ දරුවන් ගේ මාපියෝ තම දරුවන් කෙසේ හෝ ඔන් ලයින් හා සම්බන්ධ කිරීමට මහත් වෙහෙසක් දැරූහ. එහි දී ඒ සඳහා අත්‍යාවශ්‍ය වන ස්මාට් දුරකතන ලබා දීමට තමන් සන්තක දේ විකිණූ හා උගස් තැබූ මා පියන් පිළිබඳව ද අසන්නට තිබේ. එමෙන්ම එම ප්‍රදේශවල ඇතැම් සිසුනට දුරකතන සංඥා ග්‍රහණය කර ගැනීම පිණිස අඩි තිහ හතලිහක් උස් ගස් වලට නැඟීමට පවා සිදුව ඇති බව ද නොරහසකි. මේ සියළු තතවයන් යටතේ නාගරික දරුවන් ගේ සහ මෙම ග්‍රාමීය ප්‍රදේශවල ඔන්ලයින් අධ්‍යාපන සටන නිමාවූයේ “හාවාගේත් ඉබ්බාගේත් රේස් එකේ” අවසානය සිහි ගන්වමිනි.

මේ තත්වය යටතේ මෙම ප්‍රදේශ වල සිසුන් තම නිවසේ දී අධ්‍යාපන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පවා යොදා ගැනීමේ ප්‍රවණතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. සිසුන්ගෙන් සැලකිය යුතු කොටසක් තම පාසල් පැවරුම් සඳහා නවීනතම අන්තර්ජාල පහසුකමක් වන චැට් ජීටීපී (ChatGPT) පවා භාවිතා කරන බව හෙළි වී තිබේ. එමෙන්ම මේ වන විට ඔවුන් ගේ පවුල් පරිසරයන් තුළට අන්තර් ජාලය කොතෙක් සම්බන්ධ වී තිබේ ද යත් එම පවුල් වල සෙසු සාමාජිකයන් පවා සිය බිල් පත් ගෙවීම් බැංකු කටයුතු ආදිය ද ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමේ නව නැඹුරුවක් පළ කරති.ඊට අමතරව අන්තර්ජාලය මඟින් තම නිවෙස් වලටම භාණ්ඩ ගෙන්වා ගැනීමේ නැඹුරුවක් මොවුන් ගෙන් වැඩි පිරිසක් තුළ දක්නට ලැබේ.

indurangana copy

අමානි ඉඳුරංගනා අබේරත්න

 

පොදුවේ ගත් විට මෙම වන්නි හත්පත්තු තරුණ පරපුර අතරේ ඉංග්‍රීසි දැනුම ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. අදටත් වන අලින් පවා බහුල ගිරිබාව ප්‍රදේශයේ නවීන ක්‍රම ඇසුරින් ඉංග්‍රීසි උගන්වන පෞද්ගලික විද්‍යායතනයක් තිබේ. මේ වන විට මෙම ප්‍රදේශයේ පාසල් බොහොමයක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ද අරඹා ඇති අතර එන් ලත් සාර්ථක ප්‍රතිඵල අනුව එය වේගයෙන් ප්‍රවර්ධනය වන බවක් ද නිරීක්ෂණය කළ හැක.

ඉකුත් ජනවාරි 05 වන ඉරිදා ගල්ගමුවේ පූලංචිය වැව අද්දර ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අබියස සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩ සටහනක් පැවැත්විණි. එහි දී වන සත්ව සම්පත පිළිබඳව ගල්ගමුව කල්ලංචියේ පදිංචි දහතුන් වියැති අමානි ඉඳුරංගනා අබේරත්න ශිෂ්‍යාව ඉංග්‍රීසි බසින් ව්‍යක්ත කතාවක් පැවැත්වීම ඒ සම්බන්ධ ආසන්නතම නිදසුනකි.

මෙවන් පසුබිමක් යටතේ අතීත වන්නි හත්පත්තු වැසියන් මේ වන විට මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවාව ස්මාට් ජංගම දුරකතනයට ගෙන්වා ගන්නා මට්ටමකට පැමිණීම අප කාගේත් නෙත් වලට තුටු කඳුළු නංවන්නක් බව නොකියාම බැරි ය.


රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා  දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රදේශීය ලේකම් කාර්යාල සේවාව වන්නි හත්පත්තු වැසියන්ගේ ස්මාට් ජංගම දුරකතනවලට | රේණුකා දමයන්ති | The Leader