කාල කලාපය අනුව, සවස හතට පමණ වික්ටර් අයිවන්ගේ අභාවය පිළිබඳ ව ආරංචි වීමෙන් අනතුරු ව, මා තීරණය කළේ මෙවර කොලමට ඔහු ගැන මගේ මතකය හා අත්දැකීම ලිවිය යුතු බව ය.
ප්‍රවෘත්ති වාර්තාකරණයේ "ස්කූප්" යනුවෙන් ජනමාධ්‍ය පාරිභාෂික වචනයක් ඇත. එය වාච්‍යාර්ථ ඉංග්‍රීසි ස්කූප් අර්ථයට වඩා වෙනස් ය. ප්‍රවෘත්තියේ ස්කූපයක් ලෙස සලකන්නේ, යම් විශේෂත්වයක් ඇති සිදුවීමක් හෝ කාරණයක්, අන් අය එය වාර්තා කරන්නට හෝ මතු කරන්නට මත්තෙන් එය වාර්තා කිරීම ය. ස්කූපයක් අදාළ ජනමාධ්‍ය ආයතනයට පාඨකයන් හෝ ශ්‍රාවකයන් ආකර්ෂණය කර ගැනීමට මහත් පිටිවහලක් වේ. බොහෝවිට කෙරෙනුයේ, එක ස්කූපයක උණුසුම යන්නට පෙර තවත් ස්කූපයක් සොයා ගැනීම යි. ආකර්ෂණය සැම විට ම අදාළ මාධ්‍ය ආයතනයට නඩත්තු කරගත්ත හැක්කේ එවිට යි. වික්ටර් අයිවන් ස්ථාපිත කළ රාවය ජනමාධ්‍ය ගුරුකුලය මේ ප්‍රවෘත්ති සංස්කෘතියේ ස්කූපාකාර හැසිරීම මුළුමනින් ම වෙනස් කළේ ය.
මා කලින් කී පරිදි, වාච්‍යාර්ථ ඉංග්‍රීසියෙන් ස්කූපයක් කියන්නේ හැන්දකින් බෙදෙන, හැන්දකට එකතු කළ හැකි හා දැරිය හැකි ආහාර ප්‍රමාණයට ය. බහුල උදාහරණයක් වන්නේ කුඩා බෝලයක් මෙන් සූරා ගත හැකි අයිස් ක්‍රීම් හැන්ද ය. රාවයේ ස්කූප අයිස් ක්‍රීම් හැන්දකින් සුරා ගන්නට හැකි තරමේ කුඩා ඒවා නොවේ. රාවය මතු කරන යමක් ගොඩ ගැනීමට සවලක් වැනි විශාල මෙවලමක් අවශ්‍ය ය. වෙනත් ලෙසකින් කියතොත්, පුංචි පුංචි ප්‍රවෘත්ති කෑලි නොවේ රාවය ස්කූප වුයේ.
රාවය සැම විට ම හඹා ගියේ, ප්‍රවෘත්ති වටිනාකමක් තිබුණ ද ඊටත් වඩා ගැඹුරු සමාජ දේශපාලන මූලධර්මයක් වෙත ය. යුක්තිය, සාධාරණය, නිදහස හා සමානාත්මතාවය ඒ මූලධර්ම අතර ප්‍රධාන තැනක් ගත්තේ ය.
සෙසු ජනමාධ්‍ය එක් ස්කූපයකින් තවත් ස්කූපයකට මාරුවන විට, රාවය ගුරුකුලයෙන් කෙරුණේ මුලින් ස්කූපයක් ලෙස මතු කළ සිද්ධිය හෝ කාරණය, පුළුල් ජනතා සාකච්ඡාව හා ක්‍රියාකාරීත්වයකට උද්දේශණය කිරීම හා ඒ වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් ක්‍රියාධරයන් ලෙස කටයුතු කිරීම ය. පාඨකයා හෝ ශ්‍රාවකයා දැනුවත් කරන්නට පමණක් වාර්තා කරන හා ඒ වාර්තාකරණයෙන් අනතුරු ව ක්‍රියාදාමය ඉන් අවසන් කෙරෙන මේ සම්ප්‍රදායික ජනමාධ්‍ය ඔර්තොඩොක්ස ප්‍රවේශය වෙනස් කළේ රාවය ගුරුකුලය ය. අනුන් ලවා කොස් ඇට බාවා නොගෙන, තමන් ම ගිණි ගොඩකට පනින පුරෝගාමී ජනමාධ්‍යවේදියා වූයේ වික්ටර් අයිවන් ය.

කලකට පෙර 'ඇත්ත' පත්තරය මෙවැනි පුළුල් සමාජ දේශපාලන කර්තව්‍යයක් ඉටු කළ ද, එය වෙනත් මානයකට හා පරිමාණයකට ගෙන ගියේ වික්ටර් අයිවන්ගේ සමාරම්භක සංස්කාරත්වයෙන් ඇරඹුණු රාවය ය.
රාවය ඇරඹෙන කාලය (1986/87) වන විට, 1977දී 5/6 ක බහුතරයක් හිමි කර ගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ඒ වන විට විපක්‍ෂදේශපාලන බලවේග අඩපන කොට, 1980 දී වැඩ වර්ජනයෙන් වෘත්තිය සමිති ද නසා දමා තිබිණ. මේ හේතු දෙකෙන් වාමාංශික ව්‍යාපාරය ද තවදුරටත් බලපෑමක් කළ හැකි බලවේගයක් ලෙස ඒවන විට නොතිබිණ. ආණ්ඩුවට යම් අභියෝගයක් වූයේ, උතුරෙන් මතු ව ආ කොටි හා වෙනත් සන්නද්ධ කණ්ඩායම් ය.

ඉන් අනතුරු ව වසර දෙකක් පමණ කියවන විට තහනම් කරන ජනතා විමුක්ති පෙරමුණ විසින් ද සන්නද්ධ අරගලයක් දියත් කෙරිණ. එහෙත් එය දෙවසරක අවසානයේ, රාජ්‍ය මිලිටරි බලයෙන් මුළුමනින් ම මර්ධනය කරන ලද අතර රජයට අභියෝගයක් වූයේ උතුරේ දමිළ සන්නද්ධ ව්‍යාපාරය පමණි. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට අභියෝග කිරීමේ හා ප්‍රතිවිරෝධතාවයක් එල්ල කිරීමේ විපක්‍ෂ, වාමාංශික හා සිවිල් සමාජයීය භූමිකාව එක්තරා විදියකට පවරා ගත්තේ රාවය (පසුව යුක්තිය) වැනි විකල්ප පුවත් පත් ය.
වසර දාහතක් අඛණ්ඩ ව ආණ්ඩු බලය අත්පත් කරගෙන සිටි එක්සත් ජාතික පක්ෂ පාලනය 1994 වසරේ අවසන් කළ දේශපාලන කැම්පේනයේ රාවය හා යුක්තිය පුවත්පත් ඉටුකළ මෙහෙවර තීරණාත්මක ය.
රාවයට මා විටින් විට ලිපියක් දෙකක් ලියා ඒවා පළ වූවත් මගේ සම්භන්ධය තිබුණේ එකල නියෝජය කර්තෘ වූ ජනරංජන සමග ය. මා වික්ටර් අයිවන් සමග ඇසුරක් ඇරැඹුවේ රාවය වෙනත් පාර්ශවයකට විකිණීමට තිබූ අවධියක ය. මුලින් ඒ යෝජිත විකිණීමට අප කිහිප දෙනෙකු අයිවන් හමු වී විරෝධය පා පුවත්පත නොවිකිණීමට පීඩනය එල්ල කරද්දී ඔහු කළේ ඒ බර හා පීඩනය අපට පෙරලා බැර කිරීම ය. එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගාමිණි වියන්ගොඩ හා මා රාවයේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් විය.
පළමු දෙවසර තුල අප සුහද ව වැඩ කටයුතු කළ අතර වැඩ ආශ්‍රිත ව පමණක නොව බීමට කෑමට ද නිතර දෙවේලේ එකිනෙකා හමු වීමට අවස්තාව ලැබිණ. එහෙත් යම් අවස්තාවක දී අධ්‍යක්ෂක මණ්ඩල මට්ටමේ අප අතර පැවති වෙනස් මත ගැටීම් බවට පෙරැළී, අවසානයේ වියන්ගොඩත් මාත් රාවයෙන් ඉවත් විණ. ඉන් පසු වික්ටර් අයිවන් සමග, දුරකතනයෙන් හෝ ටෙක්ස්ට් පණිවිඩයකින් අවශ්‍ය සන්නිවේදනය කළත් පුද්ගලික මට්ටමින් බොහෝ කලකට හමු වුයේ නැත. එහෙත් නිරතුරු ව අප දෙදෙනා එකිනෙකාගේ ලියැවිලි ඕනෑකමකින් කියවීමු.
මේ අයුරින් අප මුහුණට මුහුණ හමු නොවූ කාලය අවුරුදු හතරක් හෝ පහක් තරම් දිගු විය හැක. ඒ කාලය තුල ම, මා බලා සිටියේ නැවත හමුවීමක් එනතුරු ය. එහෙත් එම කාලයේ මා විදේශගත ව සිටි ඊට අවස්ථාවක් නොලැබිණ.
අවසානයේ, පසුගිය සැප්තැම්බර් අග මාගේ චිත්‍රපටය ගාල්ලේ තිරගත කිරීමට ගිය විට මා මුලින්ම කළේ ගොඩදූව පාරේ පිහිටි වික්ටර් අයිවන්ගේගේ නිවසට යාම ය. උදේ දහයේ සිට දහවල් එකට පමණ ඔහුගේ දයාබර බිරිඳ විසින් පිසින ලද ප්‍රණීත දිවා ආහාරය ගන්නා තෙක් අපගේ දිගු කතා බහ පහසුකරණය කළේ වික්ටර් අයිවන් ඩිකැන්ටරයක බහා ගෙන ආ විශේෂිත ද්‍රාවණයකි. එය අපගේ අවසාන හමු වීම යී මා එදා සිතුවේ නැත. එහෙත් එය අපගේ අවසාන හමුවීම ලෙස පසුගිය ඉරිදා තීරණය විය. වියෝව දුකක් ජනිත කලත්, විතක මිහිර විඳින අයෙකු ලෙස එවන් අවසන් හමුවක් සුමිහිරි ය. ඒ මධුවිත සුවිශේෂ වන්නේ, එය ඔහුගේ ම වට්ටෝරුවකට ඔහු විසින් ම පෙරා වසර පහක් පමණ පරණ කොට සුසැදි එකක් නිසා ය.

මා එදා සව්දිය පුරණ වේලාවේ සිනාසෙමින් කීවේ මේ එක්ස්ට්‍රා ස්පෙෂල්වත් මෙන්ඩිස් ස්පෙෂල් වත් නොව 'අයිවන් ස්පෙෂල්' කියා ය. ඇත්තෙන් ම ජනමාධ්‍යකරුවෙකු, ලේඛකයෙකු හා දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස වික්ටර් අයිවන් තමන්ගේ ම වට්ටෝරුවකට අනුව භාවිතාවක් විෂද කළ "ස්පෙශල් බ්‍රෑන්ඩ්" එකක් බව ඔහුගේ අභාවය සැළ වී පැය විසි හතරක් යන්නට පෙර ලියැවුණු කියැවුණු දහස් සංඛ්‍යාත ඇගැයුම් සනාථ කළේ ය.
(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



