The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම

T

The Leader Desk

January 26, 2025 • 6:02 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුට ඒ නම වැටුණේ නුවර පෙරහර කාලේ සාරවිට විකිණූ නිසාය.
  • තව අවුරුදු පහක්ම තියෙනවනෙ.
  • කළ කළ දේ පල පල දේ කියල හිතිල ඇති.” “මහින්ද මහත්තයා නං බය නෑ නේද?
  • “පෝට් සිටි එක ඇතුළෙ තමයි හොඳම තැන.
අකුරු ප්‍රමාණය (Font Size):

සාරවිට මාමා කිව්වේය. ඔහුට ඒ නම වැටුණේ නුවර පෙරහර කාලේ සාරවිට විකිණූ නිසාය. දැන් ඔහු සමූපකාර මැනේජර් කෙනෙකි. එකා සැමටත්, සැම එකාටත් යනු සමූපේ තේමාවයි. ඒ නිසාදෝ ඔහු රෙඩිමේඩ් දරුවන් පස්දෙනකුත් සමඟ “විවිධ සේවා” ජේන් නෝනා විවාහ කර ගත්තේය. සාරවිට මාමා නිසා ජේන් නෝනා අමතර සේවා නතර කළ නමුත් දැන් ඇය ද සරුසාරය.

“ජනතා අධිකරණයෙන් මොනවද කරන්නෙ?”

ජිල්බු නානා ඇසුවේය. කලකට ඉහත බෝතල් පත්තරකාරයකු වූ (මාධ්‍යවේදියකු නොවේ) ඔහු, දැන් පරණ බඩුවලට ප්ලාස්ටික් බේසම් දෙන්නෙකි.

 

රටවැසියාගේ එකම ගැලවුම්කාරයා අධිකරණය විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)
“අපි කාගෙවත් පැත්තක් ගන්නෙ නෑ.” සාරවිට මාමා හරි බරි ගැහී පිළිතුරු දීම ඇරඹුවේය.

“දැන් බලන්ඩ ජිල්බු, අර අහිංසක මහින්ද මහත්තයා කුලී ගෙදරින් පන්නන්ඩ හදනවා. යුද්දෙ දිනපු ඒ මනුස්සය කොහෙ කියල යන්ඩද? වඩමාරච්චි යන්ඩද? උන්නැහෙට මැදමුලන යන්ඩ නං, හිටං සිරාලා වගේ හෙලිකොප්ටරයක්වත් දෙන්ඩ ඕනනෙ.”

“ඒවා ඒ කාලෙ. දැන් උඩින් ගමන් නෑ. බිමින් විතරයි. අනික ඔය යුද්දෙ දිනපු කතා දැන් වලංගු නෑ, අඩු ගාණෙ මිනිස්සු ඒකට ඡන්දෙවත් දුන්නයැ. එහෙනං අද සරත් ෆොන්සේකත් පාර්ලිමේන්තුවෙ ඉන්ඩ එපායැ.”

ජිල්බු නානා කියාගෙන ගියේය. කතාව ඇත්තය. අපේ ජනතාව නොස්ටැල්ජික් නොහොත් අතීතකාමී නැත. ඔවුනට වැදගත් වර්තමානය සහ අනාගතය පමණි.

ඩඩ්ලිගේ තීන්දුවෙන් පසු අනෙකුත් මෝල් හිමියන් සහල් සඟවයි !

 

“ජනතාධිකරණයෙන් ඩඩ්ලි හාමුට මොකද කරන්නෙ?”

ජිල්බු ඇසීය.

“මොන හාමුද? ඩඩ්ලි සේනානායකද?”

“නෑ නෑ. ඒ බත් දුන් පියානෙ... මේ බත් නොදුන් පියා නොහොත් හාල් පියා.”

“ආණ්ඩුවට විසඳන්න බැරි කේස් සේරම පොලිසියටයි නීතියටයි බාර කරල තියෙන්නෙ. ඒවා ඒගොල්ලො බලාගනී.”

තාජුඩීන් මතක ද? : ශානි අබේසේකර ඊළඟ තාජුඩීන් විය යුතු ද?- (ගාමිණි වියන්ගොඩ)

 

“එතකොට අර තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්ත කේසස්?”

“ඒවා නීතියට බාරයි. පොලිසිය පරීක්ෂණ කරගෙන යනවලුනෙ.”

“මෙච්චර කල්? ලබන ආණ්ඩුවටත් තියන්නද හදන්නෙ?”

“බලමු බලමු. තව අවුරුදු පහක්ම තියෙනවනෙ. පරණ නඩු ඉවර කරන්න කලින් ජනතාවගෙ දැවෙන ප්‍රශ්න විසඳල ඉන්න එපායැ.”

ජිල්බු නානා මොහොතකට නිහඬ විය. රට පුරා යමින් පරණ යකඩ, වොෂිං මැෂින්, පරණ බැට්රි එකතු කරන ඔහු, ජනතාවගේ දැවෙන ප්‍රශ්න හොඳින් අඳුරයි.

 

සුරා බදු බලපත්‍ර නිකුත් කිරීමේ දී මුදල් අය කළේ ඇයි..? : රනිල් ගේ  කාර්යාලයෙන් නිවේදනයක්

මෑතකදී එක් පුද්ගලයෙක් බිරිඳ ගෙදර නැති අතරේ වොෂින් මැෂින් එක පරණ බඩු ලොරියට පැටෙව්වෙ අරක්කු මිල ඉහළ යාමෙන් හටගත් දැවෙන ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි. සැබෑ ප්‍රශ්නය හටගත්තේ සවස බිරිඳ නිවසට ආ පසුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජිල්බුගේ ලොරිය ටික කලකට ඒ පාරේ ගමන් කිරීම නතර කළේය.

මඳක් කල්පනා කරමින් සිටි ජිල්බු තවත් ප්‍රශ්නයක් ඇද්දේය.

“කට්ටියක් දේශපාලන පළිගැනීම් කාර්යාලයකුත් දාලලු නේද?”
“පව්. හොඳටම බය වෙලා වගෙයි.”

“ඔව්. කළ කළ දේ පල පල දේ කියල හිතිල ඇති.”

 

r5UeaxP 486x365
“මහින්ද මහත්තයා නං බය නෑ නේද? එයා කියල තිබ්බනෙ, මහින්ද කවුද කියන එක අනුරට මතක නැතිවෙලා කියලා.”

“මහින්ද මහත්තයටත් අමතක වෙලා. එයැයි තාම ජනාධිපති නෙවෙයි කියන එක.”

“කතාවක් තියෙනවනෙ, චණ්ඩි නාකි වුණත් අතේ පච්චෙ තියෙනවා කියලා.”

“තියෙනව නං තමයි. හැබැයි රැලි ගැහිලා සිංහයා පේන්නෙ පූසා වගේ.”
සාරවිට මාමා කට කොණකින් සිනාසුණේය.

“දැන් ඔය ජනතා අධිකරණය කොහෙද පිහිටුවන්නෙ? ගෝල්ෆේස් ද?”

“අපොයි මතක් කරන්ඩ එපා. ගිය පාර වගේම ඕන එකයි, එපා එකයි සේරම ඒකට රිංගන්ඩ ගනී.”

අරගල බිමෙන් සංහිඳියාවට

 

“ඔව්. බුරියානි කන්ඩ අරගලේට ආපු එවුනුත් හිටියනෙ.”

ජිල්බුන් ද කට කොණකින් සිනාසුණේය.

“පෝට් සිටි එක ඇතුළෙ තමයි හොඳම තැන... චීනෙන් ආරක්ෂාවත් දෙයි.”

“ඉන්දියාව තරහ වෙයිද?”

“නෑ. තෙල් ටැංකි ටික දෙනවනෙ.”

“එතකොට කවුද නඩු අහන්නෙ? මහෞෂධ පඬිතුමාද?”

“කැකිල්ලෙ රජ්ජුරුවෝ.”


කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...