එහෙත්, සෑම පුරවැසියෙකුටම ජෛවමිතික දත්ත පාදක කරගත් හැඳුනුම්පතක් ලබා දීමට සහ ඒ ඔස්සේ සත්‍යාපන සේවා සැපයීමට රජය විසින් සකස් කර තිබෙන සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් විදේශගත කිසිවකුට ඡන්ද බලය ලබාදිය නොහැකිය.
එමගින් අදහස් වන්නේ, දුරස්ථව ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයා ඡන්දය දීම සඳහා ලියාපදිංචි වී සිටින පුරවැසියෙකු බව අදාළ රාජ්‍ය ආයතනයට සත්‍යාපනය කිරීමට හෝ තහවුරු කිරීමට නොහැකි නම්, අන්තර්ජාලය හරහා දුරස්ථ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දිය නොහැකි බවයි. මෙහි මූලික පදනම වන්නේ ජෛවමිතික දත්ත මත පිහිටා කරන සත්‍යාපනයයි. එය මත අනන්‍යතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීමට අමතර පියවර ගත යුතුය. නමුත් ජෛවමිතික දත්ත මත පිහිටා කරන සත්‍යාපනය අත්‍යවශ්‍ය කොන්දේසිය වේ.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන් අතරින් බහුතරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින අය වෙති. ශ්‍රී ලංකා දේශපාලනය ඔවුන්ගේ පැවැත්මට ප්‍රබල බලපෑමක් කරයි. ඔවුන්ගේ රැකියා කොන්දේසි, ඔවුන් ගෙදර යවන මුදලේ වටිනාකම සහ ඔවුන් නැවත පැමිණෙන මව් රටේ තත්වය රඳා පවතින්නේ තේරී පත් වන දේශපාලනඥයන්ගේ ක්‍රියාවන් මත වේ.
ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය පාවීමට සැලැස්වීමට පෙර 2021-22 ආර්ථික අර්බුදය සහ කෝවිඩ් අධිවසංගතය අතරතුර මෙය පැහැදිලිව දක්නට ලැබුණි. නැවත පැමිණීමට අඩු සම්භව්‍යතාවක් ඇති සහ ප්‍රේෂණ ප්‍රවාහයට සැලකිය යුතු දායකත්වයක් නොදක්වන නමුත් තවමත් ශ්‍රී ලංකා දේශපාලනයට සහභාගී වීමට කැමති පිරිසක් වන සංවර්ධිත වෙළඳපොළ ආර්ථිකයන්හි ජීවත් වන වෘත්තිකයන් සහ අනෙකුත් ලාංකිකයන් මීට වඩා වෙනස් පිරිසකි.

හිටපු අගවිනිසුරු ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මැතිවරණ ක්‍රම වෙනස්කම් පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ මම පෙනී සිටියෙමි. එහිදී, විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද බලය ලබා දීම පිළිබඳව මගෙන් විමසන ලදී. මා පැවසුවේ අන්තර්ජාලය හරහා අනන්‍යතාව විශ්වාසදායක ලෙස තහවුරු කිරීමකින් තොරව දුරස්ථව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය නොහැකි බවයි. ඡන්ද කාලය තුළ පුරවැසියන් ජීවත් වන ස්ථානය කොහේ වුවත්, ඔවුන්ට ඡන්ද බලය ලබා දීමට එස්තෝනියාව සමත් වී ඇති බව සහ එය සිදු කළ ආකාරය පිළිබඳ තොරතුරු මම කොමිෂන් සභාවට ඉදිරිපත් කළෙමි.
අන්තර්ජාලය හරහා ඡන්දය දීම අවශ්‍ය ඇයි?

විදේශ රටවල වෙසෙන ලාංකික ශ්‍රමිකයින්ට ඡන්ද බලය ලබාදීම සඳහා ඇති එකම සාධාරණ හා පරිසමාප්ත විසඳුම දුරස්ථ අන්තර්ජාල පාදක ක්‍රමවේදයක් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම ප්‍රායෝගික විසඳුමක් නොවේ. එයට හේතුව, බොහෝ රටවලදී ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමන් කිරීමට සිදුවන දුර අති විශාල වීමයි.
උදාහරණයක් ලෙස, සෞදි අරාබියේ තානාපති කාර්යාලය පිහිටා තිබෙන්නේ රියාද්හිය. ජෙඩා සිට මොටෝ රියකින් රියාද් වෙත යාමට පැය අටකට වඩා වැඩි කාලයක් වැයවේ. සෞදි අරාබියේ නීති අනුව, විදේශ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදෙන්නේ නැත. එම නිසා ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ තානාපති කාර්යාල අසල ජීවත් වන අයට පමණි.

ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිතයෙන් දුරස්ථව සිට ඡන්දය ප්‍රකාශ කිරීම සාර්ථකව අත්හදා බැලීමෙන් පසු, එම විසඳුම වර්තමානයේදී තැපැල් ඡන්දය භාවිතා කරන රජයේ සේවකයින් වෙනුවෙන් ද, පසුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ගත යුතු පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් ද භාවිතයට ගැනීම සඳහා පුළුල් කළ හැකිය. සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට, අන්තර්ජාලය පදනම් කරගත් ඡන්දය ප්‍රකාශ කිරීම ආදේශ කරන්නේ නැත. එස්තෝනියාවේ මෙන් ශ්‍රී ලංකාවේ ද එය අතිරේක ක්‍රමයක් පමණක් වනු ඇත.
පුරවැසියන් සඳහා හඳුනාගැනීමේ සහ සත්‍යාපන සේවා හඳුන්වාදීමේ උත්සාහයන් මෙතෙක් අඩාල වී තිබෙන්නේ රජයේ ආයතන අතර අභ්‍යන්තර ආරවුල් සහ ප්‍රසම්පාදන ගැටලු හේතුවෙනි. ඒවා විසඳා ගත හැකි නම්, ක්‍රියාවලිය වේගවත් කළ හැකිය. බිලියනයකට අධික ජනගහනයකට විශ්වසනීය අනන්‍යතා සත්‍යාපන සේවයක් සැපයීමට ඉන්දියාව සමත් වී ඇත. ඔවුන්ගේ අත්දැකීම් මත පදනම්ව මෙවන් සේවයක් ලංකාවේ ඉක්මනින් ස්ථාපනය කල හැක.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඡන්දය දීමේ අයිතිය සම්බන්ධයෙන් ගත් කල, ඡන්දදායකයා සිටින්නේ කිසිදු නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක් නොවන දුරස්ථ ස්ථානයකය. සුදුසුකම් සහ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තවදුරටත් හැඳුනුම්පත් පරීක්ෂා කිරීම, නම් ශබ්ද නඟා කියවීම, නිරීක්ෂකයින් විසින් ලැයිස්තු පරීක්ෂා කිරීම යනාදිය කල නොහැකි නිසා යෝග්‍යතාව සහ අනන්‍යතාව සත්‍යාපනය කිරීම සඳහා අතිශය විශ්වාසවන්ත තාක්ෂණික ක්‍රම තිබිය යුතුය. වෙනස්කම්වල සංකීර්ණත්වය නිසා කුඩා කණ්ඩායමක් සමඟ ඒ සම්බන්ධ නියාමන ව්‍යාපෘති සිදු කර සහ පසුව පුළුල් කිරීම සුදුසුය.
විදේශගත ශ්‍රමිකයන් සමඟ එය ආරම්භ කළ යුත්තේ ඇයි?

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන විදේශගත ශ්‍රමිකයින් මේ සම්බන්ධ නියාමන ව්‍යාපෘතිය සඳහා වඩාත් සුදුසු වේ. පිටත්ව යාමට පෙර, ඔවුන් කාර්යාංශ කාර්යාලයකට අනිවාර්යයෙන්ම පැමිණෙන නිසා, එය ඉතා වැදගත් සම්බන්ධතාවක් ගොඩනගයි. ලියාපදිංචි ක්‍රියාවලියේ කොටසක් ලෙස, ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ද ලියාපදිංචි කළ හැකිය. නව හැඳුනුම්පත් අංකයට සම්බන්ධ කාඩ්පතක් ද ලබා දිය හැකි අතර, එමගින් කුඩා පරිමාණ PKI (Public Key Infrastructure) පද්ධතියකට සම්බන්ධ විය හැකිය. ද්විත්ව කවර ආරක්ෂණ පද්ධතියක් හෙවත් අදියර දෙකක් ඔස්සේ රහස්‍යභාවය ආරක්ෂා කරන පද්ධතියක් සඳහා එය අවශ්‍යය.
අන්තර්ජාලය පදනම් කරගෙන දුරස්ථව ඡන්දය දීම නිර්ණායක දෙකක් මත රඳා පවතී: ඒවා නම්, දියුණු ඩිජිටල් අනන්‍යතා සත්‍යාපන පද්ධති පැවැතීම සහ අන්තර්ජාලය භාවිතයෙන් ඡන්ද ක්‍රමයට සම්බන්ධ වීමේ හැකියාව වේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අතින් වඩාත්ම දියුණු ජාතීන්ගෙන් එකක් වන එස්තෝනියාව, එම නිර්ණායක දෙකම සපුරාලයි.

අපගේ විදේශගත ශ්‍රමිකයින් සහ කලින් ඡන්දය දෙන රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකුට මෙම නිර්ණායක සපුරාලිය හැකිය. අවශ්‍ය නම් ආරක්ෂක නිලධාරීන් වැනි පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැපයිය හැකිය. නමුත් මේ සෑම අවස්ථාවකදීම, ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති පුද්ගලයා ඔහු හෝ ඇය යැයි හඳුන්වා දෙන පුද්ගලයාම වන බවත්, එම පුද්ගලයාට ඡන්දය දීමට අයිතියක් ඇති බවත් විශ්වාසදායක ලෙස සත්‍යාපනය කරගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි විය යුතුය.
ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ද්විත්ව-කවර ආරක්ෂණ යාන්ත්‍රණය වැනි අමතර ආරක්ෂණ ස්ථර එස්තෝනියාව වැනි රටවල ක්‍රියාත්මක වේ. නමුත් මෙම සියලු විශේෂාංග ක්‍රියාත්මක වන්නේ ජෛවමිතික පාදක හැඳුනුම්පතක් සහ සත්‍යාපන පද්ධතියක අත්තිවාරම මත පිහිටාය.

ජෛවමිතික දත්ත පාදක හැඳුනුම්පත සහ ඒ මත පදනම් වූ සත්‍යාපනයට විරුද්ධ වන අයට තේරීමක් තිබේ: එනම්, දැනට ඡන්දය දීමට අයිතිවාසිකම ඇති නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි අයට ඡන්දය දීමට අවස්ථාව ලබා දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට සහාය වීම හෝ තාක්ෂණික භීතිකාව සහ ඉන්දු භීතිකාව නිසා වර්තමානයේ ක්‍රියාත්මක වන පෞරාණික සහ ඇතැම් ඡන්දදායකයන් බැහැර කරන ඡන්දය දීමේ ක්‍රමය දිගටම පවත්වාගෙන යාම වේ.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



