The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අතේ මතුකරගත් කරගැටවලින් පලක් නොවූ සිංහල කෞටිල්‍ය වික්ටර් අයිවන් | ඥානසිරි කොත්තිගොඩ

T

The Leader Desk

January 28, 2025 • 7:15 AM

අතේ මතුකරගත් කරගැටවලින් පලක් නොවූ සිංහල කෞටිල්‍ය වික්ටර් අයිවන් | ඥානසිරි කොත්තිගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු කැරැල්ලේ නායකයෙක් අවසන් ගමන් ගොස් සිටිනවා.
  • ඒ අතරේ 1994 ට පෙර ඔහුගේ මාධ්‍ය භාවිතාව ගැන බොහෝ වර්ණනා තියෙනවා.
  • විශේෂයෙන්ම එහි ලේ සාගරය වෙච්ච 2009.
  • "සිංහල හා දෙමළ තරුණයින්ගේ කැරලිවල ප්‍රතිපල වශයෙන් ඇතිවූ සාධාරන දුක් ගැනවිලි තිබෙන්නේ වී නමුත් රටේ සංවර්ධනය සඳහා එම කැරලි පරාජය කිරීම අවශ්‍යව තිබුනි" යි කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු කැරැල්ලේ නායකයෙක් අවසන් ගමන් ගොස් සිටිනවා. ජවිපෙ අතට වර්තමාන රාජ්‍ය බලය දිනාගත් "ස්වර්ණමය අවස්ථාවේ" එහි කොටස්කාරයෙක් නොවූ ඔහු පොඩි අතුල හෙවත් මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන්.
කැරලිකාර වික්ටර් අයිවන් ලංකා සමාජ දේශපාලන කරළියේ ප්‍රසිද්ධ වුනේ කැරලි විරෝධී, ධනේෂ්වර රාජ්‍යයේ උපදේශකයෙක්, ආරක්‍ෂකයෙක් විදියට. ඒ අතරේ 1994 ට පෙර ඔහුගේ මාධ්‍ය භාවිතාව ගැන බොහෝ වර්ණනා තියෙනවා. හැබැයි ඔහුගේ ගමන් මග නිවැරදි විනිශ්චයකට ලක්කලොත් අපට දැක ගන්න ලැබෙන්නේ මොකක් ද?


අයිවන් එතෙර මෙතෙර දේශපාලන හා රාජ්‍ය බලවතුන් ගේ සුරතලෙක් වුණා. එහෙම වෙලා ගරා වැටෙන ධනපති රාජ්‍යයේ "අවලක්‍ෂණ" සහ "කැත" සෝදා පිරිපහදු කරන්න වුනත් තනි පුද්ගලයෙක්ට පුලුවන් කියන උතෝපියාවක හිටියා.

අභාවයට පත් වික්ටර් අයිවන් (පොඩි අතුල) පිළිබඳව සටහනක් | Lionel Bopage

 

94 ට පෙර හෝ පසු ධනේෂ්වර රාජ්‍යම විවේචනයට ඔහුගේ පෑනට හසු නොවුනේ ඒ නිසයි. ඒ වෙනුවට කළේ ඒවා පුද්ගලබද්ධ කාරණා විදියට අරගෙන පහර දීම. ඒ කොන්ද ලබා දෙන්නේ ධනේෂ්වර රාජ්‍ය විසින්මයි. ඒ නිසාම තමයි ධනපති රාජ්‍යයන්ගෙන් ඔහුට කවදාවත් අනතුරක් සිදු නොවුනේ.

මොකද මාධ්‍යවේදියෙක් වේවා, ජනාධිපතිගේ සිට කසල ශෝධකයා දක්වා වූ ඕනෑම වෘත්තියක නියුතු කෙනෙක් වේවා. කොන්ද තියෙනවාද, නිර්භයව කියනවද, ලියනවද බලන ලිට්මස් පරීක්‍ෂණයක් කරන්න පුළුවන් සංසිද්ධියක් තියෙනවා. ඒක තමයි ලංකාවේ සිදුවුනු දෙමළ වර්ග සංහාර යුද්ධය. විශේෂයෙන්ම එහි ලේ සාගරය වෙච්ච 2009. ඒ වෙලාවේ කොන්ද තිබුනේ මොන ස්ථාවරයේ ද කියන එක.

 63313470 007207483 1

 

කොන්දේසි විරහිතව (ආයුධ වලින් කොමිස් ගහනා නිසා නෙමේ) යුද්ධයට විරුද්ධවත්, ඒකාබද්ධ උතුරු නැගෙනහිර දෙමළ ස්වංතීරණය වෙනුවෙනුත් නොසැලී පෙනී හිටින්න එදා කීයෙන් කී දෙනෙකුටද කොන්දක් තිබුනේ? කර්තෘ සංසදයේ ඉන්න වරලත් මාධ්‍යවේදීන්ගේ පත්තර වර්ග සංහාරයට පෙළ ගැහුණා. වික්ටර් අයිවන් ගේත් කොන්ද, පෑන, නිර්භීතකම, වීරත්වය ඒ වෙලාවේ නම් තිබුණේ නැහැ.

ජනඝාතක යුද්ධය යුක්ති සහගත කරමින් අයිවන් සිය "රාවය" පුවත් පතේ මෙහෙම ලිව්වා. "සිංහල හා දෙමළ තරුණයින්ගේ කැරලිවල ප්‍රතිපල වශයෙන් ඇතිවූ සාධාරන දුක් ගැනවිලි තිබෙන්නේ වී නමුත් රටේ සංවර්ධනය සඳහා එම කැරලි පරාජය කිරීම අවශ්‍යව තිබුනි" යි කියලා.

 

තවත් විටෙක ඔහු ලිව්වේ "ප්‍රචන්ඩත්වය සමග ගනුදෙනු කිරීමේ නීතිමය අයිතිය රජය සතුය. කුමන හෝ රටක බලය අල්ලා ගැනීමේ අරමුන ඇතිව ක්‍රියාකරන ඕනෑම ප්‍රචන්ඩ නැගිටීමක් රාජ්‍ය ඒකාධිකාරයට අභියෝගයකි. එවන් තත්වයන් යටතේ රාජ්‍යය ප්‍රචන්ඩ බලය යොදා ගැනීම නීත්‍යානුකූලය” යි කියලා. එමනිසා වික්ටර් අයිවනුත් "වන් ශ්‍රී ලංකා" වෙනුවෙන් විවිධ අංශක වලින් කශේරුකා නවාපු පත්තරකාරයෙක්. පැන තියෙන අතේ ලේ තවරා ගත් කෙනෙක්.

අසුව දශකයේ මැද භාගයේ තමයි වික්ටර් අයිවන්ගේ "රාවය" එළි දකින්නේ. ඊට සමගාමීව අලුතෙන් එකතු වුනු අනෙක් පත්තරේ තමයි "යුක්තිය". යුක්තියේ ප්‍රධාන කර්තෘ වුනේත් අසාර්ථක 71 කැරැල්ලේ තවත් නායකයෙක් වුනු සුනන්ද දේශප්‍රිය.

අවසාන කාර්තුවේ ගමන් කරමින් සිටි එක්සත් ජාතික පක්‍ෂ රජයේ (UNP ) වංචා, දූෂණ හෙළිදරව් කිරීම තමයි රාවයේ මුඛ්‍ය අරමුණ වෙලා තිබුණේ. යුක්තිය මුල් වුණේ මානව හිමිකම් වාර්තාකරණයට. හැබැයි දෙගොල්ලන්ම වෙහෙසුනේ කොරගහන ධනපති රාජ්‍යයට නව මුහුණක් හොයන්න.

 

image ba893be00f
නමුත් ධනපති පක්‍ෂවලින් කැඩී ස්වාධීන ගමනක් ආරම්භ කරපු එක්සත් සමාජවාදී පෙරමුණ (USA) මොවුන් දැක්කේ නෑ. ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ (ශ්‍රිලමප) නායකයා මෙන්ම USA එකේ නායකයා වුණේ විජය කුමාරණතුංග. දෙමළ ජාතියේ අයිතිය වෙනුවෙන් දීප්තිමත් වූ විජය ඝාතනය කිරීමත් එක්ක නැගී ආ වමේ ව්‍යාපාරය නැවතත් දුර්වල වුණා.    

විජයව ඝාතනය කළේ JVP නායකත්වයෙන් සන්නද්ධ වුනු සිංහල වර්ගෝත්තමවාදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV). ඔහුගේ ඝාතනයෙන් පස්සේ බිරිඳ චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතු‍ංග ආරක්‍ෂාව පතා දරු දෙන්නාත් එක්ක ලන්ඩන් ගියා. මේ නිසා 88 තිබුණු ජනාධිපතිවරණයට USA එකෙන් ඉදිරිපත් වුණේ ඔසී අබේගුණසේකර.

DW10 264x300© JDS1990 වසර ආරම්භ වෙද්දී රට විශාල භීෂණනකින් එළියට එන්න වෙර දරමින් හිටියේ. ඒ කාලයේ විවිධ සිවිල් ව්‍යාපාර මතුවුණා. JVP ඇතුළු දකුණේ කැරලිකාරීන්ට එරෙහි භීෂණයේ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් 90 දශකය මුල පළමුවෙන්ම පෙරමුණට ආ ව්‍යාපාරයක් තිබුණා. ඒක තමයි අතුරුදහන්වූවන් ගේ මාපිය දූ දරු සංවිධානය (OPFMD). මෙහි වාමවාදී ජනතා ව්‍යාපාරයක ලක්‍ෂණ තිබුණා. ඒක ගොඩ නගන්නට දරදිය ඇද්දේ නව සම සමාජ පක්‍ෂය (NSSP). 

මේ සංවිධානයෙන් සකස් කරපු වාර්තා තමයි එකල විපක්‍ෂ මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ සහ NSSP නියෝජ්‍ය ලේකම් ලීනස් ජයතිලක ජිනීවා මානව හිමිකම් කොමිසමට මුලින්ම අරගෙන ගියේ. 1993 පමණ තමයි "නිදහස් මාධ්‍ය ව්‍යාපාරය"  (FMM) බිහි වුණේ.

 

මංගල 5

තවත් කාලයක් යද්දී මංගල සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් "මව් පෙරමුණ" නමින් අතුරුදහන්වූවන් පිළිබඳ වඩා ලිබරල් සංවිධානයක් හැදුවා.

1991 වෙද්දී සිව් දෙසින් ගොඬ නැගුනු UNP ආණ්ඩු විරෝධය සියතට ගනිමින් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාරට බැස්සා. මෙහිදී වහාම ක්‍රියාත්මක වුනු ලංකා සමසමාජ පක්‍ෂයේ නියෝජිතයකුත් සමග ලන්ඩනය බලා ගිය කොමියුනිස්ට් පක්‍ෂ නායක කේ.පී. සිල්වා චන්ද්‍රිකා ලක්බිමට වඩම්මවාගෙන ආවා. එහෙම ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව කෙරෙව්වා. USA එකේ නායිකාව කෙරෙව්වේ නෑ.

ඒවන විටත් සැලසුම් කරතිබූ මහින්දගේ "කතරගම පාද යාත්‍රාව" UNP ආණ්ඩු විරෝධයේ තීරණාත්මක එකක්. කොළඹින් පිටත්ව සිව්වැනි දිනයේදී පා ගමන ගාල්ල නගරයට ලංවෙමින් සිටියදී බණ්ඩාරනායකවාදීන් චන්ද්‍රිකා පා ගමනට එක්කළා.

එතැනින් ආරම්භවුනු චන්ද්‍රිකා මල් පෙරහැර අවසන් වුණේ බස්නාහිර මහ ඇමතිනී හරහා ජනාධිපති පුටුව දක්වා ගමන් කරලා. කලාකරුවන් රතු හැට්ටකාරී යන විරුදාවලියෙන් ඇය සැරසුවා. FMM එක ඒ පෙරහැරේ මල් බයිසිකල්කරුවන් වෙද්දී, වික්ටර් සහ රාවයත් සුනන්ද සහ යුක්තියත් කසකාරයන් වුණා.

ck

 

ඒ වෙනුවෙන් පත්තරවලට සල්ලි පොම්ප වුණේ මිලියන ගණනින්. මේ පත්තර දෙක ජනතාව අතරට අරගෙන ගියේ වාමවාදී ජනතා ව්‍යාපාරයක ලක්‍ෂණ තිබුණා වූ OPFMD එකට විකල්පව ගොඩ නැගුණු මංගලගේ මව් පෙරමුණ.


විවිධ වර්ගයේ නැට්ටුන්කාරයන්ගෙන් හැඩවුණු චන්ද්‍රිකා මල් පෙරහැරෙන් NSSP සංවිධායක ලේකම් වෙලා හිටිය වාසුදේව නානායක්කාරත් ගිනිකණ වැටුණා. අන්තිමේදී  පක්‍ෂයෙන් එළවා දමන්න සිද්ද වුණා. පක්ෂයේ හිටිය පාර්ලිමේන්තුවාදීනුත් එකතු කරගෙන, OPFMD එකත් අරගෙන චන්ද්‍රිකා වමට තල්ලු කරන්න, ``විවෘත  ආර්ථිකේට මානුෂික මූණක්`` දෙන්න වාසුදේවත් පෙරහැරට එකතු වුණා. එහෙම වෙලා OPFMD එක "සූරිය කන්දේ" වල දැම්මා.

UNP යේ 17 වසරක හා චන්ඳ්‍රිකාගේ වසර නවයක ගෝලීය ධනවාදයේ නව ලිබරල් පාලනය අවසන් වීමත් එක්ක ඉතිරි වුණේ භූමිය විකුණා දැමීම විතරයි. මේ පෙරහැරේ කරඬුව බවට පත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, සිංහල, බොදු, ගොවි මහින්ද රාජපක්‍ෂ නමින් බෞතීස්ම කරමින් ඊළගට උතුර බලා ගමන් ඇරඹුවා. නයි මුගටි වෛරයෙන් සිටි අයිවන්ලා, JVP, චම්පිකලා මේ පෙරහැරේ කසකාරයෝ වුණා.

khsy
අවසානයේ නන්දිකඩාල් කලපුව දෙමළ දස දහස් ගණනක ලෙයින් පුරවමින් "වන් ශ්‍රී ලංකා" පෙරහැර නිමාකළා. එයින් පසු ඒ බලවේග විවිධ කණ්ඩායම් ලෙසින් බෙදී විසිරී ගියත් අයිවන් තම හාම්පුතා අත්නොහැර රැකබලා ගත්තා. එහෙම කොන්දක් නම් අයිවන්ට තිබුණා.

තමන්ට ලංකාවේ උසාවියෙන් යුක්තිය ඉටු නොවූ තැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා යන්නට වික්ටර්ගේ කොන්ද කෙලින් තිබුණා. නමුත් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිශ්චයක් ඉල්ලන දෙමළ වින්දිතයන් වෙනුවෙන් නම් එක කොදු ඇටයක්වත් හෙල්ලුනේ නැහැ. වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය සම්බන්ධයෙන් කළ ‘දැවැන්ත මැදිහත්වීමේ’ ස්වභාවය තේරුම් ගන්නට ඒකම ඇති.

ravaya colombotelegraph

 

ජනඝාතක යුද්දයට පසු රාවයට වසර විසි පහක් පිරුණු දා "පටිසෝතගාමී" නමින් උත්සවයක් අයිවන් සංවිධානය කළා. එහි අරමුණ වුණේ විසිරී, වැහැරී ගිය ධනපති රාජ්‍යය මහින්දගේ නායකත්වයෙන් නැවත එක්සත්කර ශක්තිමත් කිරීම. නමුත් මහින්දගේ ආරක්‍ෂකයන් විසින් එහි ගියවුන්ගේ එල්ලෙන අංගජාතය වැරෙන් මසාජ් කළා. මේ නිසා ඇති වූ හිත්වේදනාවෙන් මහින්ද එක්ක බියර් එකක් ගහන්න පටිසෝතයට ගිය ඇතැම් පිරිමි ආපසු හැරී ආවා. තවත් සමහරු මසාජ් එක විඳගෙනම බියර් එකකුත් ගහලාම ආවා.

පටිසෝතගාමියට සහබාගී වී සිටි සියලු පක්‍ෂවලින් වික්ටර් ඉල්ලා සිටියේ “රට තීරනාත්මක ඓතිහාසික සන්ධිස්ථානයකට එලඹ ඇත. රට ව්‍යසනයක මුවවිටෙහි පවතියි. ඇත්තේ විකල්පයන් දෙකක් පමනි. එක්කෝ ඇදහිය නොහැකි තරම් විනාශයක් ගෙන එන සමාජ විප්ලවයයි. නැතිනම් වාර්ගිකත්වය, කුලය හා ආගම නොතකා ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම පිනිස ඇතිකර ගන්නා ප්‍රධාන දේශපාලන පක්‍ෂවල එකමුතුවයි,” යනුවෙන්.

එය සිදු නොවුනු විට මල පැන්න වික්ටර් බැන වැදුනේ යුද්දෙන් පස්සේ රට ගොඩ නැගීමට උදා වූ `ස්වර්ණමය` අවස්ථාව පාලකයන් මග හැරියා කියලා. වෙර වීරිය දරලා, කෝටි ගණන් වියදම් කරලා, කඩුලු හතෙන් පැනලා, ගෝලීය බලවතුන් එක්ක හොර ගිවිසුම් ගහලා තමයි විධායක ජනාධිපති පුටුවට නගින්නේ. එහෙම වුණත් වික්ටර් හැමදාම හිතුවේ රජ පුටුවට ගොඩවෙන කුමර, කුමරියන් කොයි කාටත් පුරෝහිතකම් කිරීමට උපන් කෞටිල්‍යය තමන් කියලා.

වික්ටර් අයිවන් : මගේ මතක | සුනන්ද දේශප්‍රිය.

 

චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කරන්න අයිවන් අතේ කරගැට මතුකරගත්ත. එහෙම වූ අයිවන් අවසන් ගමන් නොගොස්, මාලිමා ආණ්ඩුවටත් ආණ්ඩු කරන හැටි කියා දෙන අපූරුව දැක ගන්නට නොලැබීම ජාතියේ අවාසනාවක්.

වාසුදේව නම් අවුරුදු 30 කට පස්සේ එයා 94 දී ගත්ත තීරණය ගැන පාපෝච්චාරණයක් කළා. ඒක කළේ ඔහු කලින් සිටි පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ව සිටි වික්‍රමබාහු කරුණාරත්නගේ අවමගුල් උත්සවයයේදී. වාසුදේව කියා සිටියේ 94 දී ඔහු ගත්ත තීරණය වැරදියි, බාහු නිවැරදියි කියලා. ජුදාස් පාපොච්චාරණය කරද්දී යේසුස් කල්වාරි කන්දේ කුරුසියේ ඇණ ගහලාත් ඉවරයි. 

රාජපක්‍ෂ රෙජීමයෙන් දිවි ගලවාගෙන රටින් පලාගියවුන් ගැනත් අයිවන්ට තිබුණේ පුදුම ඇරියස් එකක්. ``පෑන අහිංසකද`` කියන තේමාව යටතේ අයිවන් රාවයේ පිටු පිරෙව්වේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන් සීත රටවලට පැනලා ගිහින් සැප ගන්නවා කියලා.

මේ සුළු ධනේෂ්වර කැරලිකරුවන් වූ වික්ටර් හා සුනන්දගේ පොදු ලක්ෂණයක් තිබෙණවා. ඒක තමයි තමන් ප්‍රධාන කර්තෘ ධූර දැරූ පත්තරවල නම වෙනත් කෙනෙකු අතට යන්න ඉඩ නොදීම. මේක නායක වන්දනාව ඉහළින්ම රකින ස්ටැලින්වාදයේත්, පසුගාමී ධනපති දේශපාලනයේත් කැපී පෙනෙන දුර්ලක්‍ෂණයක්. සුනන්ද යුක්තිය වහගෙනම යන්න ගිහින් ජීවත් වෙනවා. වික්ටර් ජීවත් වෙද්දීම රාවයෙන් පදාසයක් ගැලවිලා ගියා.

වික්ටර් නොහොත් ජයග්‍රාහකයා | කුසල් පෙරේරා

 

ධනපති ව්‍යාපාරවලත් බ්‍රෑන්ඩ් නේම් නැතිනම් සන්නාම නාමය ඔවුන් ආරක්‍ෂා කරගන්නේ මේ ලෙසම තමයි.

වික්ටර් අයිවන් ගේ මේ භාවිතාවන් හා දෘෂ්ටිවාදය ඔහු ගෝලීය ධනවාදයේ සෘජු ඒජන්තයෙක් බවට මනාව ඔප්පු කරන්නක්. ඔහු JVP මාරාන්තික හතුරෙක් බවට පත්වෙන්නේ ඒ අර්ථයෙන්. එහෙම වුණත් අයිවන් ගේ හා JVP මාලිමා දෘෂ්ටිවාද අද සමපාත වෙලා. 
 
JVP මාලිමා රජයත් ලංකා අපරාධකාරී රාජ්‍ය මුළුමනින් විවේචනය කරන්නේ හෝ විසුරුවා හැරින්නේ නැහැ. ඒ වෙනුවට ඒ අපරාධකාරී චූදිතයන් ආණ්ඩුවේත්, රාජ්‍යයේත් කොටස්කරුවන් කරගෙන හා වගකීම් බාරදෙමින් තමයි ආණ්ඩුව ගෙනි යන්නේ. ඒ අතරේ ධනපති රාජ්‍යයේ යම් යම් අංගජාත පිරිසිදු කරමින් ``ක්ලීන් ශ්‍රී ලංකා`` රාජ්‍යයක් හදන්න පුලුවන් කියන මිරිඟුවක් පස්සේ දුවනවා. එකී මෝහනයෙන් අතීත රතු JVP, දම්පාට මාලිමාවෙන් ජනයා උසි ගන්නනවා.

 

බලධාරීන්ගේ අවධානය පිණිසයි : වසන්ගත කාලයේදී අත්අඩංගුවට ගැනීම් ගැන... - වික්ටර්  අයිවන්

ධනපති රාජ්‍යයේ යම් යම් අංගජාත පිරිසිදු කරමින් ``ක්ලීන් ශ්‍රී ලංකා`` රාජ්‍යයක් ධනපති පාර්ලිමේන්තු බලයකින් හදන්න පුලුවන් කියන මිත්‍යාවෙන් JVP වැඩ කරනකොට, වික්ටර් අයිවන් දෘඩ අධිෂ්ඨානයකින් ලිව්වේ තනි පුද්ගලයකුට වුනත් මේක කරන්න පුලුවන් යැයි හිතලා. දෙගොල්ලො අතරේ වෙනස එච්චරයි.

පසුගාමී ධනපති රාජ්‍යයන් තුළ දෝරේ ගලායන වංචා, දූෂණ, කොමිස් ගැහිලි අවම කරගන්න, පාලනය කරගන්න සිය පැවත්ම වෙනුවෙන් ගෝලීය ධනවාදයටත් අද අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. ඒත් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ නෑ.

අයිවන් සුබ ගමන් !

මහින්දත්, රනිලුත් එකඟනම් යුක්තිය මඟහැර යන තවත් කොමිසන් මක්කටෙයි -(ඥානසිරි  කොත්තිගොඩ)(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

koththigoda@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...