ඉන් ගොඩනැගුණු ආඛ්‍යාන ගැන දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒවා බොහෝ විට ශාස්ත්‍රීය මට්ටමේ විග්‍රහ නොවී ජනප්‍රිය තලයේ ආන්දෝලනාත්මක, සමහරවිට කුමන්ත්‍රණාත්මක, ස්වරූපයක් ගෙන ඇත.

"රට පාවා දෙන, රටට වින කටින, බටහිරට ගැති, දේශද්‍රෝහී, ඩොලර්වලට විකිණෙන, සිංහල බෞද්ධ විරෝධී, රට අස්ථාවර කරන, විදේශීය බළල් අත්, දේශීය සම්ප්‍රදාය හා දැනුම් පද්ධති විනාශ කරන", ආදී චෝදනා රැසක් යට කී ආඛ්‍යානයන් හී සංඝටක ලෙස දැකිය හැක. මේ ආඛ්‍යානය තීව්‍ර මට්ටකට පැමිණියේ යුද සමයේ අවසන් වසර දහය විස්ස තුළ ය. ඉහත ලැයිස්තුවට "රට බෙදන, රට දෙකඩ කරන" යන චෝදනා ද එකතු විය.
යුද්ධයේ නිමාවෙන් අනතුරු ව ද මේ ආඛ්‍යානය විස්තාරණය වූයේ වෙනත් ස්වරූපයකට ය. බලයේ සිටි ආණ්ඩුවක් හා/හෝ ජනාධිපතිවරයෙකු ප්‍රජාතන්ත්‍රික ව, එනම් ඡන්දයෙන් පරදවා, වෙනත් ආණ්ඩුවක් හා/ හෝ බලයට පැමිණම -- ජනප්‍රිය භාෂාවෙන් කියතොත්, රෙජීම් චේන්ජය -- පරාජිත දේශපාලන ධාරාව අර්ථ නිරූපණය කළේ ඉහත ආඛ්‍යානය තුළ පිහිටි විදේශ කුමන්ත්‍රණ සංඝටකය මත පිහිටා ය.

2022 වසරේ ඇති වූ ජනතා කලකිරීම, අසහනය, නොසන්සුන්තාවය හා සංවිධිත හා එසේ නොවූ ජනතා නැගිටීම් -- ලිහිල් ලෙස, අරගලය ලෙස නාමකරණය වූ -- සඳහා ද එය විවේචනය කළ පිරිස භාවිතා කළේ ඉහත ආඛ්‍යානය ම ය. එනම් 'විදේශ බළල් අතක් හෝ අතවල් කිහිපයක්' ඒ පිටුපස සිටි බව යි. පසුගිය වසරේ අවසාන කාර්තුවේ සිදු වූ රෙජීම චේන්ජය ගැන ද එක්තරා කොටසකගේ විවේචනාත්මක අර්ථ නිරූපණයේ පදනම වූයේ ද මීට කලින් සඳහන් කළ ආඛ්‍යානය ම ය.
එක්තරා කාලයක මේ ආඛ්‍යානය තම විචාරය හා විවේචනය සඳහා භාවිතා කළේ ජාතිකවාදී නැඹුරුවක් සහිත දේශපාලන ධාරාව වුවත්, පසු කාලයක දී මේ ආඛ්‍යානය මාරුවෙන් මාරුවට ඕනෑ ම විරුද්ධවාදී දේශපාලන ධාරාවක්, තමනට පසමිතුරු තවත් දේශපාලන ධාරාවකට එල්ල කිරීමේ ජනප්‍රිය ආයුධයක් බවට පත්කර ගති. විටෙක මේ ආයුධයෙන් පහර කන්නේ බලයේ සිටින ආණ්ඩුවක් වන අතර තවත් වරෙක පහර කන්නේ ආණ්ඩු බලය නැති විපක්ෂ කණ්ඩායම් හා ඒ ධාරාවේ සිටින සිවිල් සමාජ කොටස් ය.
මීට සතියකට පමණ පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ නායකත්ව වෙනස් වීම, අපගේ සාකච්ඡාවට භාජනය වන විදේශ ආධාර ආඛ්‍යානය අරභයා අනපේක්ෂිත ප්‍රවණතාවයක් ඉස්මතු කළේ ය. මෙහි දී දක්නට ඇති විශේෂත්වය වන්නේ, ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රතිපත්තිය ලෙස විධායක ආඥාවක් මගින් නිකුත් කෙරුණු අන්තර්ගතය, අප කලින් සාකච්ඡා කළ ආන්දෝලනාත්මක හා දැඩි විචාරාත්මක ස්වරූපයක් ගත් නිසා ය.

ජනාධිපති ට්‍රම්ප්ගේ දිවුරුම් දීමත් සමග ම නිකුත් වුණු විධායක ආඥා (Executive Orders) ගණනාවෙන් එකක් ඇමරිකානු විදේශ ආධාර ලබන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඇමෙරිකානු රාජ්‍යදෙපාර්තමේන්තුව ඒ යටතේ ක්‍රියාත්මක වෙන USAID වැනි ආයතන හරහා ලොව පුරා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති වහා ම බල පවත්වන පරිදි තාවකාලික ව නැවැත්වීමට (freeze) විධාන කරන ලදී. ජනවාරි 20 දාතමින් නිකුත් වුණු Reevaluating and Realigning United States Foreign Aid නමැති විධායක ආඥාවේ (Executive Order) ඊට අදාළ විධිවිධාන විස්තර කර ඇත.
එහි සඳහන් වන පරිදි, ඇමරිකානු එක්සත් ජනපද විදේශාධාර කර්මාන්තය හා නිලධරතන්ත්‍රය ඇමරිකානු අභිලාෂයන් හා සුසංයෝග නොවන අතර බොහෝ අවස්ථාවල ඒවා එක්සත් ජනපද සාරධර්මවලට ප්‍රතිවිරුද්ධ වේ.
තව ද එම විදේශ ආධාර ගෝලීය සාමය අස්ථාවර කරන අදහස් රටවල් අතර පතුරුවාලීමත්, එම රටවල් තුලත් රටවල් අතරත් සාමකාමී නොවන හා අස්ථාවර සම්බන්ධතා ප්‍රවර්ධනයට මග පාද යි. ඒ අනුව නව ඇමෙරිකානු ප්‍රතිපත්තිය අනුව, තව දුරටත් එක්සත් ජනපද විදේශ ආධාර, එක්සත් ජනපද ජනාධිපතිගේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි ලෙස නිකුත් නොකෙරේ.
ඒ කාලය තුළ එම සියලු ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාවය හා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය හා ගැලපීම පිළිබඳ ව ඇගයුමක් කරනු ලැබේ. එම ඇගයුමෙන් පසු ඇමරිකානු එක්සත් ජනපද විදේශ ආධාර ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට නියමිත ය. එයා හුදෙක් යාවත්කාලීන කිරීමකට වඩා මූලික වෙනස්කම්වලින් සපිරි දැඩි සංශෝධනයක් වනු ඇතැයි මේ වන විටත් සමපේක්ෂණය වී ඇත.

ලෝකයේ විදේශ ආධාර සපයන ප්‍රදානක ආයතන බෙදා හරිනු ලබන ආධාර ප්‍රමාණය අනුව ප්‍රමුඛයා වන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ය. 2023 වසරේ මෙලෙස ඇමරිකානු එක්සත් ජනපදය විසින් ලොව පුරා බෙදා හරින ලද විදේශ ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හැට අට (68) කි. විදේශ ආධාර ප්‍රතිපත්තිය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා සුපරීක්ෂණය කරන ප්‍රධාන ව්‍යුහය වන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ය.
විදේශ ආධාර රටවල් මට්ටමෙන් බෙදාහැරීම හා සුපරීක්ෂණය කරන ප්‍රධාන එක්සත් ජනපද ඒජන්සියක වන්නේ යූඑස්ඒඩ් (USAID) ය. එම ඒජන්සියේ වාර්ෂික බජටය ඩොලර් බිලියන පනහක් පමණ වන අතර රටවල් සියයක පමණ තම දූත කාර්යාල (Missions) පිහිටුවා ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යට කී ඒජන්සියයට අමතර කොන්ත්‍රාත් ආයතන ගණනාවක් හරහා ද තම ආධාර බෙදා හරිනු ලැබේ.
ලාංකීය සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් පසුගිය අවුරුදු විස්සක පමණ කාලය තුළ විශාල වශයෙන් ඇමෙරිකානු ආධාර මත යැපෙන්නට ගත්තේ, යුරෝපීය රටවල් ක්‍රමයෙන් තම විදේශාධාර පරිමාව අඩුකර ගත් නිසාත් ලංකාවට දුන් ප්‍රමුඛතාවය අඩු කළ නිසාත් ය. මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන මහා පරිමාණයේ රාජ්‍ය නොවන හා සිවිල් ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු විදේශාධාර ලැබී තිබුණ අතර, ඔවුන්ගේ සියලු ම ව්‍යාපෘති වියදම් වහා ම බලපවත්වන පරිදි නවත්වන්නට සිදු ව තිබේ.
මේ අනපේක්ෂිත ප්‍රතිපත්ති වෙනස තාවකාලික එකක් ද නැතහොත් දීර්ඝ කාලීන ව බලපාන එකක් ද යන්න තවමත් නිශ්චිත ව තීරණය කළ නොහැක. යම් හෙයකින් නව ඇමරිකානු එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය යටතේ ගොඩනැගෙන විදේශ ආධාර ප්‍රතිපත්තිය ස්ථීර ලෙස වෙනස් වුවහොත් රාජ්‍ය නොවන හා සිවිල් සමාජ ක්ෂේත්‍රයට ඉන් කැරෙන බලපෑම අවතක්සේරු කළ නොහැක.
(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)සමාජ හා දේශපාලන විශ්ලේෂක



