එමෙන්ම මිනිසුන් හට බුද්ධිය යොදා තම හැඟීම් ආවේග පාලනය කර ගැනීමට ඇති සහජ හැකියාව ද තිරිසන් සතුන් තුළ ඇත්තේම නැත. උන් තමන්ගේ ලිංගික ආවේග පවා එළිපිට ක්‍රියාවට නංවනුයේ එනිසාම ය.
එමෙන්ම මිනිසුන්ට වැරදි ලෙස වැටහෙන දේ තිරිසන් සතුනට එසේ නොපෙනෙන අතර එය උන්ගේ නෛසර්ගික ස්වභාවය ලෙස මිස වරදක් ලෙස සිහි මොළේ ඇති කිසිවකුත් නොසිතති. ඒ නිසාම තිරිසන් සතකු වෙතින් සිදුවන වරදක දී උන් ඉන් වලකාලීම හා ඉන් අගතියට පත් වන පාර්ශවය ඉන් මුදා ගැනීම හැරුණු කොට ඉන් ඔබ්බට කිසිවක් සිදු නෙවේ.

නමුත් එළුවෙකු සපා කෑමට සම්බන්ධ සුනඛයකු එල්ලා මරා දැමීමට මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් සමථ මණ්ඩලයක් විසින් දී ඇති තිරිසන් බව ද ඉක්මවන නියෝගයක් පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් ගොඩ නැඟී තිබේ. එම සිද්ධියකට සම්බන්ධ මාන්කුලම් ප්‍රදේශයේ කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම, සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි. පොලීසිය සඳහන් කරනුයේ සැකකාරිය දණ්ඩ නීති සංග්‍රහය සහ 1907 අංක 13 දරණ සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවකි.
ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත වූ ඡායාරූප අනුව, පසුගිය ජනවාරි 25 වන සෙනසුරාදා දින අදාල සුනඛයාගේ ගෙල ලණුවකින් ගසකට බැඳ එල්ලා මරා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද තහවුරු කොට ඇත.
මේ වන විට අනාවරණය වී ඇති අන්දමට එළුවෙකු සපා කෑ “වරදට” සුනඛයකු එල්ලා මරා දැමීමට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සමථ මණ්ඩලයක් මෙවන් තීරණයක් ගෙන ඇත්තේ ප්‍රදේශයේ ජන කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් විසඳීමේ පියවරක් වශයෙනි. ඒ අනුව මෙය දඬුවමක් සේම එක්තරා බිළි දීමක් බව ද පෙනී යයි.
නමුත් සමථ මණ්ඩලය නිකුත් කළ සහතිකයේ සුනඛයාට එවන් දඬුවම් පැමිණවීමක් පිළිබඳව සඳහන් නොවේ. ඒ අනුව පෙනී යන්නේ මෙම නියෝගය හෝ තීන්දුව ඒම සිද්ධියෙන් අගතියට පත් පාර්ශවය සැනසීමට දෙනු ලැබූ වාචික නියෝගයක් හෝ තීන්දුවක් බවකි.
සමථ මණ්ඩලය නිකුත් කළ සහතිකය
සත්ව සුභසාධන සංසදයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යොමු කර තිබේ. එමෙන්ම මෙම අතිශය ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් සත්ව ලෝලීන් සත්ව අහිංසාවාදීන් සත්ව හිමිකම් හා සුබසාධක සංවිධාන දැඩි අවධානය යොමු කොට ඇති අතර එම පිරිස් වලින් බහුතර තරුණ තරුණියන් වීම ද විශේෂත්වයකි.
එමෙන්ම වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව සතුන් කෙරෙහි දක්වන වගකීම් විරහිත ස්වරූපය ද මේ වන විට දැඩි සමාජ අවධානයට ලක් ව තිබේ. විශේෂයෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතමයන් පසුගිය කාලයේ සිදු කළ සත්ව හිංසනයට දිරි දෙන අවිචාරවත් ප්‍රකාශ බොහෝ දෙනකු ගේ සිත් සතන් කළඹාලීමට හේතු වී තිබේ.

එසේම රට තුළ පවතින සහල් හිඟයට ගෙදර දොර ඇතිකරන සුරතල් සතුන් ද යම් ආකාරයකට හේතු වන බවට ජනාධිපති අනුර දිසානායක රාපවානිනී වැඩ සටහනක දී කළ ප්‍රකාශය මේ වන විට කාටූන් ශිල්පීන් ගේ හා සමාජ ජාල ක්‍රියාකාරීන් ගේ පවා “කටගැස්මක් “බවට පත්ව තිබීම එම ප්‍රකාශයේ හාස්‍යෝත්පාදක බව මැනවින් කියා පාන්නකි.
එමෙන්ම ආණඩුව මේ වන විට තමන් ගේ නොහැකියාව වසා ගන්නට බල්ලන් බළලලුන් පවා ඉස්සරහට දමන බවට ඇතැමුන් කියන කතා සම්ප්‍රප්ප්‍රලාප වීමට ද නොපුළුවන. එබැවින් සතුනට ඡන්ද බලය නොමැති වුව ද මේ වන විට ඡන්ද බලය සහිත විශාල පුරවැසි සංඛ්‍යාතයක් අසරණ සතුන් වෙනුවෙන් පෙළ ගැසී සිටින බව සියළුම දේශපාලනඥයන් ඉතා හොඳින් සිහි තබා ගත යුතු ය.
එමෙන්ම මේ වන විට මේ දක්වා කිසිවකුටත් අසන්නට නොලැබී ඇති සත්ව හිමිකම් සහ සුබ සාධනය පිළිබඳ මැතිවරණ පොරොන්දු ද නුදුරු අනාගතයේ දීම අපට අසන්නට ලැබෙනු ඇත.ඒ එමඟින් තම තමන් ගේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙත ගොනු වන ඡන්ද සංඛ්‍යාව වේගයෙන් ඉහල නැංවෙන බව ඔවුන් ගේ සමකාලීන විඥානයට ගොනු වන බැවිනි.
අප රටේ දේශපාලනඥයන් සතුන් සම්බන්ධයෙන් දරන ආකල්ප එසේ වුව ද සතුන් ගේ සුබ සාධනය උදෙසා සත්ව සුභසාධන විද්‍යාව ( Animal welfare science) නම් වන නව විෂයක් ද මේ වන විට ප්‍රවර්ධනය වෙමින් තිබේ. සත්ව සුභසාධන විද්‍යාව යනු ගෘහාශ්‍රිතව, සත්වෝද්‍යානවල ගොවිපලවල සහ වනයේ වෙසෙන සතුන්ගේ සුභසාධනය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි.
මහාචාර්ය ඩොනල්ඩ් බෲම්සත්ව සුභසාධනය සඳහා වසර දහස් ගණනක සිට ආගම හා සංස්කෘතිය තුළ මහත් සැලකිල්ලක් දක්වා සත්ව සුභසාධනය විද්‍යාත්මක පදනමක් යටතේ විමසා බැලීම නවතම ගෝලීය ප්‍රවණතාවකි. ලොව ප්‍රථම සත්ත්ව සුබසාධන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස ඩොනල්ඩ් බෲම් ( Donald Broom ) 1986 දී එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් පත් කරන ලද්දේ එහි නවතම හැරවුම් ලක්ෂයක් ලෙසිනි. ඒ අනුව සතුන් සම්බන්ධ අවිචාරවත් ප්‍රකාශ කළ කරන අප රටේ සෑම දේශපාලනඥයකුම අඩුම තරමින් සත්ව සුභසාධන විද්‍යාව පිළිබඳ “හෝඩි පොත” වත් කියවා සිටිය යුතු බව අප ගේ වැටහීම ය. එසේ නොවන්නට දියුණු සමාජය හමුවේ ඔවුන් ගේ වාචාලකම් පරාසය තවදුරටත් පුළුල් වනු ඇත.

එම පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව “යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය සිදුකරයි” යන්න අර්ථ දක්වා ඇත.
ඒ සම්බන්ධයෙන් 2019 ජුනි 22 සෙනසුරාදා අනුරාධපුරයේ රුවන්වැලිසෑ ශාලාවේ පැවැති සත්ව අහිංසා වැඩ මුළුවක දී එවක අනුරාධපුර රුවන්වැලිසෑ විහාරාධිපති වත්මන් අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් පවසා සිටියේ 1907 වැනි කාලයක රුපියල් සියයක් යනු ඉඩම් අක්කර හත අටක් මිලට ගත හැකි මුදලක් බව ය.
මෙම තත්වය මත සත්ව හිමිකම් සංවිධාන බොහොමයක් මෙම පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටින අතර සත්ත්ව සුබසාධන පනත කඩිනමින් පාර්ලිමේන්තුව විසින් සම්මත කර යුතු බවට ආණ්ඩුවට බල කර සිටියි.

නව පනත් කෙටුම්පත අනුව කෘෘර ලෙස සතුන්ට වදදී ඔවුන් මරණයට පත්කරන තැනැත්තකුට “මහෙස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක් නොඉක්මවන දඩයකට හෝ වසර තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුයි.” යන්න ද හැකිතාක් ඉක්මනින් නීතිගත විය යුතු බව යුතු බවත් ඒ බවට අප රටේ සියලු සත්ව ලෝලීන්, අහිංසාවාදීන්, සත්ව හිමිකම් හා සුබ සාධන ක්‍රියාධරයන් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හට බල කර සිටින බවත් පවසන අපි එය අනාගතයේ අසරණ සතුන් එල්ලා මරණ තැනට රට පත් නොවීමට ගත හැකි ඉතා වටිනා උපාය මාර්ගයක් බවත් මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමු.

(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)



