The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වික්ටර් අයිවන් : වමේ පත්තර කලාවේ නවීකාරකයා | සමන් සී. ලියනගේ

T

The Leader Desk

January 29, 2025 • 10:24 AM

වික්ටර් අයිවන් : වමේ පත්තර කලාවේ නවීකාරකයා | සමන් සී. ලියනගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනෙක් තැනැත්තා මාර්ටින් වික්‍රමසිංහය.” වරක් හෙක්ටර් අබේවර්ධන තමන් හා කී බව චන්ද්‍රරත්න බණ්ඩාර ලියු සටහනක සඳහන් කර තිබිණ.“රාවය නීතියක් තකන්නේ නැතිව වැඩකරයි. ආචාර්ය කොල්වින් ආර්.
  • “මට ලිවීමට හැකියාවක් තිබෙන බව පෙනුණ විට මහජනයාගේ දේශපාලන අවබෝධය වර්ධනය කිරීමට හේතු වන ප්‍රකාශනයක් පිළිබඳව සිහින දකින්නකුගේ තත්ත්වයට පත්ව සිටියෙමි.
  • මාසික සඟරාවක්, පුවත්පතක් වැනි ප්‍රකාශනයක් මගින් යුක්තිය සඳහා සටන් කරන අතර සමාජ අවබෝධය වර්ධනය කරනු පිණිස මහඟු කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කළෙමි.” පුවත්පත් කතුවරයෙකු වශයෙන් වික්ටර් අයිවන් සිය අත්දැකීම් අලළා ලියන ලද ‘පෑන අහිංසකද?’ කෘතියේ සඳහන් කර ඇත.
  • රාවය ආරම්භ කොට කලකට පසුව ඔහු හමු වූ අවස්ථාවකදී, ප්‍රගතිශීලී ප්‍රකාශනයක් පිළිබඳව මා දකින ලද සිහිනය කළ හැකි දෙයක් බව ඔප්පු කර ඇති බවත්, එයට දායක නොවීමෙන් තමා අතින් සිදුවූයේ වරදක් බවත් ඔහු පැවසීය.” 1986 වසරේ දී රාවය සඟරාව උපත ලබන්නේ දෙවන තරුණ නැගිටීමක මුවවිටෙහිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනෙක් තැනැත්තා මාර්ටින් වික්‍රමසිංහය.” වරක් හෙක්ටර් අබේවර්ධන තමන් හා කී බව චන්ද්‍රරත්න බණ්ඩාර ලියු සටහනක සඳහන් කර තිබිණ.“රාවය නීතියක් තකන්නේ නැතිව වැඩකරයි. 

 

කොල්වින් ආර් ද සිල්වාආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා
එයම රාවයේ සාර්ථකත්වයට හේතු වෙයි.” ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කළ සඳහනක් වික්ටර් පසු කලෙක ඔහුගේ ලිපි කිහිපයකම ලියා තිබිණ. ලංකාවේ ආරම්භක වමේ නායකයින් තුළ වික්ටර් අයිවන් පිළිබඳව සහ ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබඳව තිබූ කියවීම එබඳු විය.

පෑන අහිංසකද වික්ටර් අයිවන්“මට ලිවීමට හැකියාවක් තිබෙන බව පෙනුණ විට මහජනයාගේ දේශපාලන අවබෝධය වර්ධනය කිරීමට හේතු වන ප්‍රකාශනයක් පිළිබඳව සිහින දකින්නකුගේ තත්ත්වයට පත්ව සිටියෙමි. මාසික සඟරාවක්, පුවත්පතක් වැනි ප්‍රකාශනයක් මගින් යුක්තිය සඳහා සටන් කරන අතර සමාජ අවබෝධය වර්ධනය කරනු පිණිස මහඟු කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කළෙමි.” පුවත්පත් කතුවරයෙකු වශයෙන් වික්ටර් අයිවන් සිය අත්දැකීම් අලළා ලියන ලද ‘පෑන අහිංසකද?’ කෘතියේ සඳහන් කර ඇත.

මඟහැරුණු සුසංයෝගය :

Screenshot 2025 01 29 at 15.00.38 copyහෙක්ටර් අබේවර්ධන
වික්ටර් අයිවන් මුලින්ම තමා දකින සිහිනය සැබෑ කරගන්නට උත්සාහ ගන්නේ ලංකා සමසමාජ පක්ෂයේ න්‍යායධරයෙකු වූ හෙක්ටර් අබේවර්ධන සමග එක්වය. ඔහු ‘පෑන අහිංසකද?’ කෘතියේ සඳහන පරිදි, “සමසමාජ පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකුවූ හෙක්ටර් නිදහස් මනසකින් කටයුතු කළ හොඳ පුද්ගලයෙකි. දැඩි න්‍යායික රාමුවක පිහිටා ක්‍රියා නොකරන, නිදහස්, ප්‍රගතිශීලී පුවත්පතකට ඉටු කළ හැකිව තිබෙන සමාජ කාර්යභාරය ගැන මම ඔහු සමග දීර්ඝ වශයෙන් කතා කළෙමි. 

ඔහු ඒ සඳහා විශාල උනන්දුවක් දැක්වූවා පමණක් නොව සති අන්තයේ පළවන එවැනි පුවත්පතක් ආරම්භ කිරීම සඳහා යන වියදම ගැන පවා ගණන් බැලීමක යෙදුණේය. එහෙත් කුමන හේතුවක් නිසා හෝ ඔහු එම අදහස ඉදිරියට ගෙන ගියේ නැත. රාවය ආරම්භ කොට කලකට පසුව ඔහු හමු වූ අවස්ථාවකදී, ප්‍රගතිශීලී ප්‍රකාශනයක් පිළිබඳව මා දකින ලද සිහිනය කළ හැකි දෙයක් බව ඔප්පු කර ඇති බවත්, එයට දායක නොවීමෙන් තමා අතින් සිදුවූයේ වරදක් බවත් ඔහු පැවසීය.”

 

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා - (ආචාර්ය  ලයනල් බෝපගේ)

1986 වසරේ දී රාවය සඟරාව උපත ලබන්නේ දෙවන තරුණ නැගිටීමක මුවවිටෙහිය. 1971 තරුණ කැරැල්ලේ සන්නද්ධ සටන්කාමී අත්දැකීම් සහ එහි දරුණු ප්‍රතිඵලද, වසර ගණනාවක් වැලිකඩ සිරගෙදර සිරගතව සිටිමින් ලත් අප්‍රමාණ අත්දැකීම් සහ උපයාගත් දැනුමද සහිතව, තමන් ස්වයංව වර්ධනය කරගත් ප්‍රඥාව ඔස්සේ ලාංකීය සමාජය දෙස බලන දීප්තිමත් ඇස් දෙකකින් යුත් 35 වියැති තරුණයෙකු වූ වික්ටර් අයිවන් (කැරැල්ලේ දී භාවිත නමින් පොඩිඅතුල) එහි සමාරම්භකයා මෙන්ම ප්‍රධාන කර්තෘවරයා ද විය.

වර්ණවත් කැරලිකරුවා 

 

විජේවීර බෝපගේ මහ නඩුවේ විත්තිකරුවන්විජේවීර බෝපගේ මහ නඩුවේ විත්තිකරුවන්
ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් දෙවසරකට පසු 1967 දී වික්ටර් අයිවන් එහි සාමාජිකයෙකු වන විට ඔහුගේ වයස අවුරුදු 19 කි. ඒ වන විට ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කර තිබිණ. පූර්ණකාලීනයකු වු වික්ටර් පක්ෂ කේඩරය තුළ හඳුන්වන ලද්දේ පොඩි අතුල නමිනි.  ඔහුගේ වගකීම වූයේ පක්ෂයේ වෘත්තීය අංශය සංවිධානය කිරීමය. එමෙන්ම ඉදිරියේදී සිදු කෙරෙන සන්නද්ධ අරගලයකට අවශ්‍ය  පුපුරණ දව්‍ය සහ අවි ආයුධ භාරව සිටි දෙදෙනාගෙන් එක් අයෙකු වූයේද පොඩි අතුලය. ඔහු එවක රෝහණ විජේවිරගේ සමීපතම විශ්වාසවන්තයා විය. කැරැල්ලට දින කිහිපයක් තිබියදී පොඩි අතුල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු වද බන්ධනයන්ට ලක් කළද ව්‍යාපාරයේ රහස් හෙළි කළේ නැත. පක්ෂ කේඩරය පාවාදුන්නේ නැත. ඔහු ඇතුළු අත්අඩංගුවට ගත් පක්ෂයේ පළමු පෙළ නායකයින් විද්‍යෝදය සිරකඳවුරේ රඳවා තබන ලද අතර එවක සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ඔවුන්ට එරෙහිව නඩු පවරන ලදි.

71 මහ නඩුව ලෙසින් හැඳින්වෙන කුපක්‍රට නඩුවේ 07 වන විත්තිකරු වූයේ පොඩි අතුල නොහොත් වික්ටර් අයිවන් ය. එහි 05 වන විත්තිකරු වූ අශෝකා නොහොත් සුනන්ද දේශප්‍රිය වික්ටර්ගේ කැරලි සගයෙකු මෙන්ම පසු කලෙක මාධ්‍ය සගයකුද විය. ඔහු ‘වික්ටර් අයිවන් - මගේ මතක’ යන හිසින් තබා ඇති සටහනක මෙසේ කියා ඇත. “වික්ටර් 71 අරගලය දෙස ස්වයං විවේචනාත්මක ලෙස බැලිය යුතු බවට ප්‍රබල මතයක් මහ නඩුව තුළ දැරුවේය. 1971 මහ නඩුව විභාග කළ අපරාධ විනිශ්චය කොමිසන් සභාවේ තීන්දුවෙහි වික්ටර් හඳුන්වාදෙන ලද්දේ විත්තිකරුවන් අතර වර්ණවත්ම චරිතය ලෙසය. ඔහු නඩු විභාගය තුළ එතරම්ම කැපී පෙනුණි. වික්ටර්ට පස් වසරක සිරදඬුවමක් නියම විය.”

තක්සලාවක් වූ සිපිරිගෙය

71 කැරැල්ල වික්ටර් අයිවන්එතැන් පටන් නිදහස ලබන තෙක් ඔහුගේ සරසවිය වූයේ සිරගෙදර ය. කැරැලි සමයේ මුහුණ දුන් බිහිසුණු සිද්ධියකින් වම් අත අහිමිව, දකුණු අතෙහි ද ඇඟිලි ආබාධයට ලක්ව තිබුණ ද ඔහු එය කිසි කලෙකත් කිසිදු ක්‍රියාවකට බාධාවක් කර ගත්තේ නැත. හිරගෙදර දී සිය කාලය සම්පුර්ණයෙන් ම කැප කළේ කියවීමට සහ ලිවීමට ය. ඉංග්‍රීසි පොතපත කියවමින් තනිව ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට උනන්දු වූයේය. නිසි හැඩය සහ නිසි මෙහෙයවීම ගිලිහි තිබුණු වම් අතේ ඇඟිලි අතරේ පෑන රඳවා ගනිමින් ඔහු ඉතා අසිරුවෙන් දිගින් දිගටම ලිවිම අභ්‍යාස කළේය. ඔහු සිරෙන් නිදහස්ව පැමිණි පසුව 1979 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු ‘අඳ ගොවිතැනේ අභියෝගය’ සහ ‘71 කැරැල්ල’ යන කෘති ද්විත්වයම සිරගතව සිටියදි ලියන ලද කෘතීන්ය.

රාවය මාසික සඟරාව

 

වික්ටර් අයිවන්ගේ කර්තෘත්වයෙන් 1986 දී එළි දුටු ‘රාවය’ මාසික සඟරාව පිටපත් 5000 සිට පිටපත් 40,000ක් දක්වා අලෙවි වාර්තා තබන තැනට ගමන් කරන්නේ එවකට තිබූ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව අභීත හඬක් ගෙන යන්නට රාවය සමත් වූ නිසාය. එමෙන්ම පුවත්පත් විසින් අත නොගැසූ කලාපයකට රාවය සඟරාව අත දිගු කළේය. 

 

නීතිඥ බී.ජේ. ප්රනාන්දුනීතිඥ බී.ජේ. ප්‍රනාන්දු
එහි පළමු ආන්දෝලනාත්මක හෙළිදරව්ව ලොව ප්‍රබලතම බහුජාතික සමාගමකට එරෙහිව විය. ඒ චර්නොබිල් බලාගාර කාන්දුවෙන් පසුව යුරෝපයෙන් ආනයනයකරන කිරිපිටිවල විකිරණ අඩංගු බවට කළ හෙළිදරව්වයි. මෙයින් කුපිත වුණු යුරෝපයෙන් මෙරටට කිරිපිටි ආනයනය කරන බහු ජාතික සමාගම් කිහිපයක්ම මේ හෙළිදරව්වෙන් තමන්ට සිදුව තිබෙන අති විශාල අලාභයට වන්දි ඉල්ලා රාවයට එන්තරවාසි එවනු ලැබිය. කිරිපිටි සමාගම් එවන ලද එන්තරවාසිවලට රාවය පාර්ශ්වයෙන් පිළිතුරු යවන ලද්දේ සිවිල් නඩුකර විෂයයෙහි ප්‍රවීණයකු වූ නීතිඥ බී.ජේ. ප්‍රනාන්දුය. ඔහු ලංකා සමසමාජපක්ෂයේ ඉදිරි පෙළ ක්‍රියාධරයෙකු මෙන්ම ‘සමසමාජය’ පුවත්පතේ ආරම්භක කතුවරයාද විය. ඒ සමගම කිරිපිටි සමාගම් විසින් එල්ල කරන ලද නෛතික තර්ජන අවසන් විය.

යුද බිමක නිරායුදව

 

Sri Lanka. Monk seated on the ground surrounded by tear gas. Pettah bus stand, Colombo, 28th July 1987. Protest at the signing of the Indo Lanka Peace Accord between India and Sri Lanka.88-89 කැරලි සමය

මේ අතරේ දෙවැනි තරුණ කැරැල්ල ඇවිළ යමින් තිබිණ. රාවය සඟරාව කැරලිකරුවන් හෝ ආණ්ඩුව යන දෙපාර්ශ්වයේ ම සීමාන්තික ක්‍රියා විවේචනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෙමින් කැරැල්ලේ තරුණයින් දෙස සානුකම්පිතව බැලූ වික්ටර් කැරැල්ලෙන් වමට සිදු වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ද තදබල විවේචනාත්මක මැදිහත්මක් සිදු කළේ ය.

“සමාජ අවකාශයේ අභියෝගාත්මක මුද්‍රාව වික්ටර් අයිවන්” යන කෘතියට ලිපියක් සපයන නිර්මාල් රංජිත් දේවසිරි ඒ  මොහොතේ රාවයේ භූමිකාව ගැන මෙසේ කියයි. 

“1986 - 1990 සමය තුළ රාවය සඟරාව උත්සාහ කරනු ලැබුවේ පසමිතුරු ව්‍යුහයේ එක් පාර්ශ්වයක් සමග හෝ තදබල ලෙස අනන්‍ය නොවී මූලික වශයෙන්ම පුළුල් ප්‍රජාතාන්ත්‍රීය අභිලාෂ නියෝජනය කරනු ලබන කථිකාමය වේදිකාවක් ලෙස කටයුතු කිරීම බව පෙනේ.”

 

රාවය මාසික සඟරාව 1
1990 වසරේ දී එතෙක් මාසිකව සඟරාවක් ලෙසින් ප්‍රකාශයට පත් කෙරුණු ‘රාවය’ සති අන්ත කුඩා ප්‍රමාණයේ පුවත්පතක් ලෙසට එළි දැක්විණි. වික්ටර් පත්‍ර කලාවේ විප්ලවය පටන් ගන්නේ එතැන් පටන්ය.“සංවාදශීලී ජාතික මාසිකය” ලෙස පැවැති රවයේ තේමා පාඨය “ජන දිවියේ සත්‍යගරුකභාවය උදෙසා” ලෙසට වෙනස් විය. සිය සමාජ මැදිහත්විම් වඩාත් පුළුල් කළේය. සඟරා යුගයේ සමාජයේ මැද පාන්තික සහ බුද්ධිමය තීරු අතරේ ජනප්‍රිය ප්‍රකාශනයක් වු ‘රාවය’ ඉන් පහළ සමාජ තීරු අතරට යමින්, ගොවි, කම්කරු, ධීවර ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු කරළියට රැගෙන ආවේය. ටැබ්ලොයිඩ් රාවය විකල්ප දහරාවේ පුවත්පතක් ලෙස පොදු ජනතා ආකර්ෂණය දිනා ගත්තේය.  

ජනාධිපති ප්‍රේමදාසගේ යුගය දැඩි ලෙස විවේචනය කළ රාවයට නිතර නිතර රහස් පොලිස් කඩාවැදීම් සිදු විය. රාවය පුවත්පත එතෙක් පැවැති කථිකාමය සීමාව සමතික්‍රමණය කරමින් වඩාත් ප්‍රබල ක්‍රියාකාරී සමාජ - දේශපාලන භූමිකාවකට අවතීර්ණ විය. 

විකල්පය පුළුල් පිටු අතරට

රාවය ප්රධාන ධාරාවේ පුවත්පතක් ලෙස

1994 දී වසර 17ක් පුරා පැවැති එජාප ආණ්ඩුව පලවාහැර චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් බලයට පත්කරන්නට ක්‍රියාකාරී මැදිහත්මක් සිදු කළේය. 1996 වසරේ ටැබ්ලොයිඩ් රාවය බ්ලෝඩ්ෂීට් (විශාල ප්‍රමාණයේ) පුවත්පතක් බවට පත් විය. රාවය පුවත්පතට සහ එහි කර්තෘවරයාට වැඩිම තර්ජන එල්ලවූ යුගය මෙන්ම රාවය ද පසුනොබා ඊට මුහුණ දුන් යුගය චන්ද්‍රිකා පාලන සමය විය. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනතාව වෙනුවෙන් වික්ටර් අයිවන් රාවයෙන් කළ අරගලය ලාංකීය සමාජයේ නොමැකෙන, නිර්භීත අරගලයක්විය. සාපරාධී අපහාස නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු බොහෝ ගණනක් පැවරිණ. එහෙත් ඔහු සටන අත්නොහළේය. සාපරාධී අපහාස නීතියට එරෙහිව මාධ්‍ය සංගම් සමග එක්ව සටන් කළේය.

නොනිමි අරගලය වික්ටර් අයිවන්

කැරලිකාර භූමිකාවක සිට පත්තර කලාවට පැමිණ පෙරළිකාර ගමනක් ගිය වික්ටර් අයිවන් ගාන්ධි දර්ශනයට ප්‍රිය කළේය. එමෙන්ම බර්ට්‍රන්ඩ් රසල් ඔහුගේ ප්‍රියතම දාර්ශනිකයා විය. ඔහු තම පුතුට නම තබා ඇත්තේද අතුල රසල් ලෙසය. ඒ 71 කැරැල්ලේදී තමන් හැඳින් වුණු  නමට රසල් නාමය එක්කරමිනි.

හිරෙන් නිදහස්ව පැමිණ පූර්ණකාලිනව පුවත්පත් කලාවට යොමු වන්නට පෙර එක් අවස්ථාවක ඔහු ලංකා සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසනයට තරග කළේය. ලංකා සමසමාජ පක්ෂයේ හෙක්ටර් අබේවර්ධන හැරුණු කොට ඔහු ප්‍රිය කළ තවත් අයෙකු වූයේ ලෙස්ලි ගුණවර්ධනය. එකල පානදුරේ පිහිටි ලෙස්ලිගේ නිවසට ආගිය ගමන් පිළිබඳ කතා සහ තමන් එම නිවසේ තිබූ අගනා පුස්තකාලය පරිශීලනය කළ ආකාරය ඔහු ගෞරවයෙන් යුතුව මතකයට නැගූ අවස්ථා තිබිණි.

වමේ පත්තර උරුමය

සමසමාජය පුවත්පතසමසමාජය පුවත්පත
ලංකාවේ විකල්ප පුවත්පත් කලාව ඇරඹෙන්නේ වාමාංශික පත්තර ගුරුකොට ගෙනය. 30 දශකයේ ආරම්භ කෙරෙන ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රකාශන වූ ‘කම්කරුවා’ ‘සමසමාජය’ එහි ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය ප්‍රකාශන වූ ‘සමසමාජිස්ට්’ ‘සමධර්මම්’ ‘ජනමතය’ ‘ජනසතිය’ පුවත්පත්ද ‘ජන දින’ ‘තරුව’ ‘කම්කරු මාවත’ ‘කාලයේ රාවය’ වැනි පුවත්පත් සහ සඟරාද මෙකළ එළිදුටු වාමාංශික ප්‍රකාශනයන්ය. බී.ජේ. ප්‍රනාන්දු, හෙන්රි පීරිස්, සුගතමුණි ඤාණසිරි, බටුවන්දර ගුනවර්ධණ, නිමල් හොරණ වැනි වාම කඳවුරේ ක්‍රියාධරයින් මේවායේ කතුකම් කළහ. අධිරාජ්‍යවාදයට එරෙහිව, කුල පීඩනයට එරෙහිව සටන් කළ මෙම පුවත්පත් සහ සඟරා  සමාජ සමානාත්මතාව වෙනුවෙන් පෙනීසිටියේය. එහෙත් ඒවා බොහොමයක්ම පාක්ෂිකයින් ඉලක්ක කරගත් ප්‍රකාශන විය. 

1964 වසරේ ශ්‍රීලංකාවේ කොමියුනිස් පක්ෂය විසින් ආරම්භ කළ, කීර්තිමත් පුවත්පත් කලාවේදියෙකු ලෙස වර්තමානයේද බුහුමනට පාත්‍රවන බී.ඒ. සිරිවර්ධන කර්තෘත්වය ඉසිලූ ‘ඇත්ත’ පුවත්පත වාමාංශික පුවත්පත් අතරේ ඉදිරියෙන්ම ගමන් කළ පුවත්පත ලෙස හැඳින්විම නිවැරදිය. වාමාංශික පුවත්පත් කලාව පුළුල් සමාජ දේශපාලන ඉමක් කරා ව්‍යප්ත කරනු ලැබුවේ ‘ඇත්ත’ පුවත්පතය.

 වික්ටර් අයිවන් : මගේ මතක | සුනන්ද දේශප්‍රිය.

 

වික්ටර් අයිවන්ට ද ‘රාවය’ අරඹන්නට මේ දහරාවේ අභාසය ලැබිණ. 80 දශකය වන විට වාම පුවත්පත් පමණක් නොව පොදුවේ වාමාංශික ව්‍යාපාරයද යම් පසුබෑමකට ලක්ව තිබූ අතර වික්ටර් යම් පමණකින් රාවය හරහා සමාජය තුළ ඒ අඩුව සපුරන්නට ක්‍රියා කළේය. එහෙත් ඔහු පිටුපස දේශපාලන ව්‍යාපාරයක් හෝ බලවත් පුද්ගල කණ්ඩායමක් සිටියේ නැත. ඔහු නොබියව සිය සමාජ වගකීම ඉටු කළේය. ඔහුට සම කළ හැකි ආදර්ශයක් ලංකාවේ මෑත ඉතිහාසයේ අන් තැනක හමුවන්නේ නැත. අභීත පුවත්පත් කලාවේදියෙකු ලෙසත්, අදීන ලේඛකයෙකු ලෙසත් දශක හතරක් තිස්සේ පෑනෙන් සිදු කළ මෙහෙවර, ඔහු පසුකාලීනව දැරූ කවර ස්ථාවරයක් නිසාවත් ලඝු කළ නොහැකිය. 

 

ඔහුට ‘සමසමාජය’ පුවත්පතේ ආචාරය පිරිනමමු!

Saman C. Liyanage 2(සටහන | සමන් සී. ලියනගේ)

samanmedia@gmail.com

(සමසමාජය පුවත්පතේ වර්තමාන කතුවරයා වන ලේඛකයා, රාවය පුවත්පතේ හිටපු කර්තෘ මණ්ඩල සාමාජිකයෙකි.)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...