යනාදි විශාල ජනගහනයක් සහිත රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගෙන නව පුනරුදයක් අත් කරගැනීමට සමත්වීම හේතුවෙනි.
ආසියාවේ ඉදිරි ගමන් මග හැඩගස්සවා ගැනුමට 16වන සියවසේ සිට යුරෝපීය ජාතීන්ගේ අධිරාජ්‍යවාදී යටත් විජිතකණන ව්‍යාපෘති ආසියානු රටවල ශිෂ්ටාචාරයට අත්කර දුන් ඉරණම සහ බලපෑම් පිළිබඳ පසුවිපරමක් කිරීම කාලෝචිත ය.
ආසියානු සංස්කෘතියට ආවේණික වටිනාකම්

වසර පන්සියයක කාල පරාසයක් බටහිර රටවල යටත් විජිත සහ නාවික ශක්තිය හමුවේ ආසියානු මහාද්වීපයේ රටවල් දැඩි පසුබෑමකට ලක් විය. බටහිර අධිරාජ්‍යවල බලපෑම මත සෑම ආසියානු රටක ම සංස්කෘතිය ආර්ථිකය සහ රාජ්‍ය පාලන ක්‍රමවේදය සමිපූර්ණයෙන්ම වෙනස් විය. ආසියානු ශිෂ්ටාචාරය පොදු මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණයට කර ඇති දායකත්වය සුළු පටු නොවන බව ඒ පිළිබඳ අධ්‍යයනයක් කිරීමේදී පැහැදිලි වේ.
නිදහස් චින්තනය සොබාදහම රැක ගැනීම සහ පරිසරයේ වෙසෙන සියලු ජීවීන් සමග සහයෝගයෙන් ජීවත්වීමට මිනිස් සමාජය හුරු කරවීම, යනාදිය ආසියානු සංස්කෘතියට ආවේණික වටිනාකම් වන අතර, එවා බටහිර ජීවන රටා පොළඹවන සංස්කෘතියට සහ අගයන්ට හාත්පසින්ම වෙනස් වේ. කෙටි කාලීන ආර්ථික ප්‍රතිලාභයන් ඉලක්ක කර ගනිමින් ස්වාභාවික සම්පත් සහ පරිසරය විනාශ කරවීමේ ආදීනව වර්තමානයේ සියලු සත්ව ප්‍රජාවට එක හා සමානව අත්විඳීමට සිදුවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.
යටත් විජිතකරණ මානසිකත්වය සොබා දහම කෙරෙහි කිසිම තැකීමක් නොකර භෞතික සම්පත් සුඛ විහරණයට යොදාගැනීමට උපයෝගී කරන රේඛීය අර්ථ ක්‍රමය සම්මතයක් කර පවත්වාගෙන යනු ලැබේ. මෙකී ක්‍රියාදාම මානව ශිෂ්ටාචරය තුලනාත්මකව පවත්වාගෙන යාමට අභියෝග රැසක් එල්ල කර ඇත. සොබා දහමට එරෙහි කටයුතු සියල්ලට ම ලෝකවාසී සියලු දෙනාට ම වන්දි ගෙවීමට සිදුවන බව තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. කාලගුණික දේශගුණික විපර්යාස නිරන්තරයෙන් අනතුරු අගවයි.
ධරණීය සංවර්ධණ ඉලක්ක චක්‍රය අර්ථ ක්‍රමවේද ඔස්සේ අත්කර ගැනීම

පරිසරය සහ ස්වාභාවික සම්පත් ක්‍රමවත්ව කළමනාකරණය කරන ධරණීය සංවර්ධන මාවතකට යොමු කරවීමේ වගකීම දැන් ආසියාව වෙත පැවරෙන වග නව භූ දේශපාලන සහ ආර්ථික ගතිකත්ව ඉස්මතු කරයි. බටහිර රටවල් රේඛීය අර්ථ ක්‍රමය තුළ ම සිරවෙද්දී ආසියානු රටවල් තම රටවලට උචිත චක්‍රය අර්ථ ක්‍රමය හඳුනාගෙන ඊට අනුරූප සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරවීමට නව පුනරුදයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකරයින්ගේ මූලික අභිප්‍රාය කරගැනීම නුවණට හුරුවේ.
2019 දී ඉන්දුනීසියාවේ බෝරෝබුදූර් බෞද්ධ සිද්ධස්ථානය නැරඹීමට මෙම ලියුම්කරුට හැකි විය. එම සංචාරයෙන් අනතුරුව ලබාගත් තොරතුරු කැටිකොට ආසියානුවන් සතුවූ නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික විශිෂ්ටත්වය විස්තර කරවීමට මෙම සටහන පෙළගස්වමි.
ආසියානු ශිෂ්ටාචාරයේ ප්‍රගමණයට බුදු දහමේ බලපෑම

යටගිය ආසියානු ශිෂ්ටාචාරයට බුදු දහම දැඩි බලපෑමක් කර තිබෙන බවට පිළිගත හැකි ඓතිහාසික සාධක බොහෝමයක් තවමත් ඉතිරිව ඇත. ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරය ඉන් එක් ඓතිහාසික සංස්කෘතික ස්මාරකයකි. ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ මයුර වංශික අසෝක අධිරාජ්‍යයා බුදු දහම ලොව පුරාම ව්‍යාප්ත කරවීමට කටයුතු ආරම්භ කළේ ය. ඔහුගේ පුරෝගාමීත්වයෙන් බුදු දහම ඉන්දියාවේ සිට ගොඩබිමින් පළමුව, ගාන්ධර්ව දේශය හරහා චීන අධිරාජ්‍යයට ළඟා විය.
එම කාල සීමාවේ දී ම බුදු දහම ශ්‍රී ලංකාවට ද ළඟා විය. පසුකාලීනව බුදු දහම මුහුදු මාර්ග ඔස්සේ අග්නිදිග ආසියාවට සහ ජපානයට පැමිණ ඇති බවට සාක්ෂි සොයාගෙන ඇත. බුදු දහම පිළිබඳව හටගත් උද්‍යෝගය, චීනයේ සිටි විවිධ පාලකයින්ගේ අනුග්‍රහය හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඉන්දියාවට පැමිණ බුදු දහම හදාරා ධර්මය ග්‍රන්ථාරූඪ කොට චීනයට ගෙන ගොස් ඇත. චීනය හරහා බුදු දහම කොරියාවට, වියට්නාමයට සහ ජපානයට ව්‍යාප්තව තිබේ. ගොඩබිමින් පතුරුවන ලද දහම බොහෝවිට මහායාන සම්ප්‍රදායක් අනුගමනය කරනවිට මුහුදු මාර්ග ඔස්සේ හීනයාන නොහොත් ථේරවාද සම්ප්‍රදායට මුලිකත්වය දුන් බවට පවතින විශ්වාසය යි.
ඝණ මීටර් 55000ක ගඩොල්...!

මාතෘකාවට පාදක වන බොරෝබුදූර් විහාරය දැනට ඉදීවී තිබෙන විශාලතම බෞද්ධ ආගමික සිද්ධස්ථානය යි. ක්‍රි. ව. 8 සහ 9වන සියවසේ දැනට ඉන්දුනීසීයාවේ ජාවා දූපත් ශෛලේන්ද්‍ර රාජ වංශයේ සමරතුංග නමින් රජකරන ලද පාලකයකු සමයේ දී විහාරයේ ගොඩනැගීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම යුගයේ දී බුදු දහම ආසියාව පුරාම ව්‍යප්තව තිබී ඇත. අදියර සතරකින් නිමකර ඇති විහාරයේ ඉදිකිරීම් ක්‍රි.ව. 780 සිට 833 කාල පරිච්ඡේදය තුළ සිදුවු වග ශිලා ලේඛණ ගතව තිබේ.
වර්ග මීටර් 113X113 හරි හතරැස් භූමි භාගයක විශේෂ පාෂාණ වර්ගයකින් සකස් කළ විවිධ හැඩතල ගත් කිසිම බදාමයකින් සම්බන්ධ නොවූ ගඩොල් සමූහයකින් මුළු විහාරයම තනා ඇත. වර්තමානයේ භාවිතාවන ලිගෝ කැබලි එකතු කර තනන නිර්මාණ මෙන් ඉතාමත් සූක්ෂමව සෑම කොටසක් ම එකිනෙක සම්බන්ධ කර ඇත. මුළු විහාරය ඉදිකරවීමට යොදාගත් ගඩොල් ප්‍රමාණය ඝණ මීටර් 55000 පමණ වන බවට ගණනය කර ඇත.
ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් නමැති යුග පුරුෂයාගේ මග පෙන්වීම
| ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් ප්‍රතිමාව - සිංගප්පූරු
ශෛලේන්ද්‍ර රාජ පාලනය දුර්ව ලවී ජාවා දූපත්වලින් ඉවත් වීමත් සමග බොරෝබුදූර් විහාරය සහ අවට නඩත්තු කටයුතු සඳහා යොදාගත් ඉඩ කඩ ද ජරාවාස වීම සිදුව තිබේ. බොරෝබුදූර් විහාරයේ ප්‍රතිසංස්කරණය සිදුව ඇත්තේ 19වන ශත වර්ෂයේ දී ය. මෙම නටබුන් ගරාවැටුණු විහාරය සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අග්නිදිග ආසියා යටත් විජිත කටයුතු පාලනය කල ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් විසිනි. සිංගප්පූරුව ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් කරවීමට මූලිකත්වය ගෙන ඇත්තේද ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් ය.
බොරෝබුදූර් විහාරය වර්තමානයේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ලෝක උරුමයක් වීමට පාත්‍රවීම සඳහා මුල් වන්නේ ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් වැනි යුග පුරුෂයින්ගේ මග පෙන්වීමය. බටහිර ජාතීන්ගෙන් ආසියාතිකයින්ට කොතරම් අරියාදු සිදුවූවද අපගේ පුරාවස්තූන් සංරක්ෂණයට මානව හිතවාදීව කටයුතු කල බටහිර රටවලින් පැමිණි යුග පුරුෂයින්ට අපගේ ගෞරවය හිමිවිය යුතුවේ. 1815 ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් විසින් ප්‍රථිසංස්කරණ කටයුතු ආරම්භයේදී ගන්නා ලද ඡායාරූපයක් පහතින් දැක්වේ. ඉහත විස්තර කරන ලද කරුනු එම ඡායාරූපයෙන් පැහැදිලි වේ.
බොරෝබුදූර් විහාරයේ ආකෘතිමය ව්‍යූහය සහ වාස්තුවිද්‍යාත්මක තාක්ෂණය

බොරෝබුදූර් විහාරය තැනීමට යොදාගත් සැලසුම සහ තාක්ෂණය පිළිබදව පාඨකයින් දැනුවත් කරවීමට ලිපියේ ඉතිරි කොටස වෙන් කරන්නෙමි.
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ගිනි කඳු පුපුරායාමෙන් මතුවූ භූමි භාග ය. එබැවින් එහි අඩංගු පාෂාණ වර්ග ද විෂේශ සංයුතියක් ගනී. බෝහෝවිට කැටයම් කැපීමට සහ සැහැල්ලු ගඩොල් තනාගැනීමට එවකට සිටි ගල්වඩුවන් මෙකී විශේෂිත ශෛලමය පර්වත තෝරාගෙන විහාරයේ නිර්මාණ තනා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කර ඇත. නිතර භූ චලන සහ භූමිකම්පාවලට පාත්‍රවන ජාවා දූපත්වල භූ කම්පනවලට ඔරොත්තු දෙන භූ චලනවලින් ඇතිවන දෙදරවීම් විහාරයේ ලිහිල්ව සම්බන්ධව ඇති ගඩොල් හරහා විහිදීයෑමට සරිලන සේ අසුරා තිබී ඇති බවට අනුමාන කළ හැකි ය.
බොරෝබුදූර් විහාරයේ ආකෘතිමය ව්‍යූහය භූ චලනවලට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කරවීමට සුදුසුම තාක්ෂණය එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන් සතුව තිබී ඇත. මෙම විහාරය ඉදිකරවීමේ වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පියා “ගුණධර්ම” යන නමින් පෙනී සිටි අයෙකු බවත් ඉන්දියාවේ ගුප්ත වාංශික අධිරාජ්‍යයෙන් යම් උපදෙස් ලැබෙන්නට ඇතැයි යන්න පවතින තවත් විශ්වාසයකි.
විහාර ව්‍යුහයේ විශේෂත්වය

බොරෝබුදූර් විහාරයේ මා දුටු විශේෂත්වය නම් බුදු දහමේ මූලික හර මත පිහිටා විහාරයේ ඉදිකිරීම් සැලැස්ම ගොනු කරවීම ය. අමාමහ නිවන ළඟාකරවා ගැනීමට ඉෂ්ට සිද්ධ කරගත යුතු දසපාරමිතා සපුරාගත යුතු ආකාරය වටහා ගැනීමට පහසු වනු වස් විහාරයේ ව්‍යූහය සකස්කර ඇත. විහාර ව්‍යූහයේ හරස්කඩක් විමර්ශණය කරවීමින් සිටී. (පහතින් දැක්වෙන ආකෘතිමය රූසටහන සහිත ඡායාරූපය බලන්න)
විවිධ ස්ථරවලින් පිහිටි ප්‍රධාන ඒකක දහය කාමධාතු, රූපධාතු සහ අරූපධාතු සහ අවසානයේ අමාමහ නිවන වෙත ළඟාවිය හැකි බවට තේරුම් ගැනීමට පහසුවන ආකාරයට ගොඩනගා තිබීම මෙම බෞද්ධ සිද්ධස්ථානයේ ඇති විශේෂත්වය යි. දඹදිව වන්දනා චාරිකා හමාර කර ඇති ශ්‍රී ලාංකේය බොදුනුවන්ට ධර්මය වටහාගැනීමට පහසු ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි බොරෝබුදූර් විහාරය අගනා සංචාරක ස්ථානයකි.
(සටහන | ජයශ්‍රී ප්‍රියලාල්)
jayasripriyalal59@gmail.com
|ජයශ්‍රී ප්‍රියලාල් : යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.
2025, ජනවාරි 25



