මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ දෑවුරුද්දකට පෙර 2023 මාර්තු 09 වන දිනයේයි. ඒ කල් තැබීමට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් 2024 අගෝස්තුවේදී එවකට මුදල් ඇමති වූ ජනාධිපති සහ මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයින් ඡන්දාදයකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙරුවා. කාටවත් දඬවුමක් නියමකර නොතිබුණත් මැතිවරණය නොපමාව පැවැත්වීමට පියවර ගත යුතුයි කියලා දන්වා තිබුණා.
පළාත් සභා මැතිවරණය මීටත් වැඩි කාලයක් කල් දමලා තියෙන්නේ. ඒ ගැන තවම පැහැදිලි කතාවක් නැහැ. මේ ඡන්ද කල් තැබීම ගැන ජනතාවට ඇති රුදාවක් නැහැ. නමුත් ඡන්දය තීන්දු කළ වහා පිල් බෙදී කෑ කෝ ගහන්න, පොර කන්න, පාරට බහින පිරිස් අඩු නැති වේවී.
ඡන්දදායකයින්ගේ මේ හැසිරීමෙන් කියන්නේ, “සර්වජන ඡන්දය” ලැබී අවුරුදු 94 ක් ගතවෙලත් පරම්පරා හතරකට පහකට පස්සෙත් මේ රටේ ජනතාව තවම, “ඡන්දය” කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන නැහැ කියන එකයි. මැතිවරණ නිරීක්ෂණයට, සාධාරණ මැතිවරණ පැවැත්වීමට විදේශාධාර මත දියත් කරන ව්‍යාපෘති හිමි කොළඹ සමාජ ක්‍රියාකාරීන් පවා ඡන්දයක ඇති අර්ථය, සමාජ වගකීම කුමක්දැයි කියා දන්නේ නැති වගයි.
ඒ නිසා, මෙහෙම ප්‍රශ්න කිහිපයක් මතු කරන්න මං කල්පනා කෙරුවා.

1. ඡන්දය කියන්නේ මොකක්ද?
“සර්වජන” ඡන්දය කියන්නේ මේ රටේ වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට (ඡන්දදායකයින් ලක්ෂ 17 ට පමණ) එක තැනකට නිරන්තරව එකතු වෙලා, රට ඉදිරියට ගෙන යාමේ ප්‍රතිපත්ති තීන්දු කරන්න, නීති සම්පාදනය කරන්න, ඒවා ක්‍රියාත්මක කරවා ගන්න නොහැකි නිසා ජාති, ආගම්, කුල, වත්කම්, උගත්කම්, ආදායම්, ස්ත්‍රී-පුරුෂ බෙදීම් වැනි කිසිවක් නොසළකා ඔවුන් වෙනුවෙන් නියෝජිත පිරිසක් පත් කර ගැනීමට ලබා දී ඇති මෙවලමක් නැති නම් අයිතියක්, බලයක්.
2. ඒ අයිතිය නැතිනම් වරම දුන්නේ කවුද?

මේ රට පාලනය කිරීමේ වගකීම, අපට කොන්දේසි සහිතව පැවරීමට 1930 දී මෙරටට එවපු ඩොනොමෝ කොමිසමේ නිර්දේශයක් අනුව, බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයින් තීන්දු කෙරුවා. ඒ.ඊ. ගුණසිංහ සහ යාපනයේ තරුණ සංගමය ඉල්ලා සිටියේ ඩොමිනියන් තත්ත්වය. ඒ කියන්නේ ස්වයං පාලන අයිතිය. ඒ සඳහා දැනුවත්කමක් සමාජයේ නැහැ කියලා ඩොනොමෝ කොමිසම තීන්දු කෙරුවා.
ඊට ප්‍රධාන හේතුව වුනේ, දේශපාලන පක්ෂ නොතිබීමයි. ඒ නිසා තමන්ගෙ කමට ජාතිය, ආගම, කුලය අනුව ඡන්දය දීමෙන් මහ ජාතිය බලය ගත්තම අනෙක් සුළු ජාතීන්ට, ආගමිකයින්ට අගතියක් අසාධාරණයක් වෙනවා කියලා කොමිසම කිව්වා. ඔවුන් නිර්දේශ කෙරුවේ ආණ්ඩුකාරයාගේ අවසන් තීන්දුවට යටත්ව පූර්ණ පාලන බලයක් නොමැති රාජ්‍ය මන්ත්‍රණ සභාවක්.
ඒ අනුව සර්වජන ඡන්දය හාහ පුරා කියලා පාවිච්චි කෙරුවේ, 1931 ජුනි මාසයේ පළමු “රාජ්‍ය මන්ත්‍රණ සභාව” පත්කර ගන්න. එහි සභිකයින් 58 න් 50 ක් සර්වජන ඡන්දයෙන් පත්කර ගත්තා. ඉතිරි 08 දෙනා ආණ්ඩුකාරවරයා නම් කෙරුවා (1931 ජනගහනය මිලියන 05.3)
3. 1947 සොල්බරි ව්‍යවස්ථාවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව “පාර්ලිමේන්තුව” බවට පත් කෙරෙනවා.

ඒ වනවිට 1935 පිහිටවූ ලංකා සම සමාජ පක්ෂය තිබුණා. 1944 දී අධිනීතිඥ ජී.ජී.පොන්නම්බලම් (ජ්‍යෙෂ්ඨ) සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය පිහිටුවා තිබුණා.
1947 මැතිවරණයෙන් ආණ්ඩු බලය බාර දෙන්න සොල්බරි කොමිසමේ කැමැත්ත වුනේ ඔවුන් සමග දිගින් දිගටම ගනුදෙනු කළ ඩී.ඇස්. සේනානාකගේ ප්‍රභූ නායකත්වයටයි. ඒ වෙනුවෙන් බණ්ඩාරනායකගේ සිංහල මහ සභාවත් හවුල්කර ගනිමින් ලංකා ජාතික කොංග්‍රසයේ ප්‍රධානීන් ඩී.ඇස් ගේ නායකත්වයෙන් හැදුව පක්ෂය තමයි “එක්සත් ජාතික පක්ෂය” (එ.ජා.ප).
ඒ පාර්ලිමේන්තුවේ මහජන ඡන්දෙන් පත් කෙරුණු මන්ත්‍රීවරුන් 95 යි අග්‍රාණ්ඩුකාරවරයා පත් කරන 06 දෙනයි, ඔක්කොම මන්ත්‍රීවරුන් 101 ක් හටියා. (1947 ජනගහනය මිලියන 07)
4. පාර්ලිමේන්තුවකින් ආණ්ඩුවක් පත් කෙරෙනවා කියන්නේ මොකක්ද?
පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය අයත් දේශපාලන පක්ෂයට, නැතිනම් සන්ධානයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම සඳහා අගමැතිවරයෙකු සමග පත් කෙරෙන ඇමති මණ්ඩලයට කියන්නේ ආණ්ඩුව.
5. එතකොට ආණ්ඩුවේ වගකීම මොකක්ද?
සියල්ලන් සමානයින් වන සාමකාමී නීති ගරුක සමාජයක, සමාජ සාධාරණත්වයක් ඇතිව ජනතාවගේ ජීවන තත්ත්වය ගුණාත්මකව දියුණු කිරීම
6. එහෙමනම් පළාත් පාලන නියෝජන සභා පත් කරන්නේ මොනවටද?
ආණ්ඩු පාලනයේ සරළ ප්‍රාදේශීය වගකීම් කිහිපයක් - සනීපාරක්ෂක කටයුතු, ප්‍රදේශයේ කාණු පද්ධති, කඩ සාප්පු නියාමනය, පාරවල් නඩත්තුව, පොදු පිට්ටනි-උද්‍යාන වගේ කාර්යන් දියුණු කිරීමට සහ පවත්වා ගෙන යාමට
පළාත් පාලන ඡන්දයෙන් තමයි ඒ කාර්යන් වෙනුවෙන් මහ නගර, නගර සහ ප්‍රාදේශීය සභා පත් කරන්නේ. ඒ සඳහා වගකීම් ඇතුළත් පනත් තියෙනවා. මේවාට “පළාත් පාලන” කියන එක වැරිදීයි. මේ “ප්‍රාදේශීය” පාලනය.
7. 1988 සිට 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තමයි පළාත් පාලනය සඳහා “පළාත් සභා” පිහිටුවන්නේ - එතෙක් පාර්ලිමේන්තුව සතුව තිබූ පළාත් පරිපාලනය හා සංවර්ධන කාර්යන් ඒවට බාර කෙරෙනවා.
ඉන්පසු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 ක් අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ ගණන් හැදීමට අනුව, අපට 1947 පාර්ලිමේන්තු නියෝජනය හොඳටෝම ඇති.
ඒ මන්ත්‍රී සංඛ්‍යා කෙසේ වුනත් මෙහෙම ඇහුවොත්,
· ජනතාව ඇත්තටම ඡන්දය දෙන්නේ කලින් කියුව සියල්ලන් සමානයින් වන සාමකාමී නීති ගරුක සමාජයක, සමාජ සාධාරණත්වයක් ඇතිව ජනතාවගේ ජීවන තත්ත්වය ගුණාත්මකව දියුණු කිරීම සඳහා ආණ්ඩු පත්කර ගන්නටද?
ලොකුම උත්තරය “නැත” යන්න. ඡන්දය දිය යුත්තේ රට දියුණු කිරීම සඳහා ආණ්ඩු පත්කර ගන්න කියලා මේ රටේ ඡන්දදායකයාට කිසිදු හැඟීමක් නැහැ.
ඇයි මං එහෙම කියනනේ?

- විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඉපිද, හැදී වැඩුණු වත්මන් ඡන්දදායකයා දැන් අතිශය තරගකාරී වෙළඳපල “පාරිභෝගියෙකු” මිස පුරවැසියෙකු නෙවෙයි.
- රටම කෑවා කියන අවුරුදු 76 කින් පළමු අවුරුදු 30 ක කාලයේ තිබුණු සදාචාරය, විනය, පරාර්ථය, මනුස්සකම දැන් නැහැ.
- යෝධ දූෂණ සිදු කෙරෙන්නේ කොන්තරාත් මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් ලිංගික අපචාරයන්ට ලක් කිරීම හා දූෂණය කිරීම, ළමා අපචාර හා ලිංගික අතවර, මත් ද්‍රව්‍ය අලෙවිය, කප්පම් ගැනීම්, පාතාල අපරාධ “සාමාන්‍ය කාරණා” හැටියට සිදුවන සමාජයෙයි.
ඒ සමග,
01. අවුරුදු 94 ට පස්සෙත් තවමත් ඡන්දය භාවිත කෙරෙන්නේ ඩොනොමෝ කොමිසම ස්වයං පාලනයක් සඳහා නිර්දේශ කිරීමට නොහැකි යැයි කියූ හේතු කාරණා වන ජාතිය, ආගම, කුලය අනුවයි. දේශපාලන පක්ෂ ඔවුන්ගේ ආසන සංවිධායකයින් පත් කිරීමේදී තවමත් ඒ ආසනයේ බලවත් ජාතිය, ආගම හා කුලය සළකා බලනවා.
02. දිස්ත්‍රික්කය පුරා විසිර සිටින කුඩා අවශේෂ කුල අතරින් තමන්ගේ ඡන්ද එකතු කරගත හැකි අපේක්ෂකයෙකුට ප්‍රධාන පක්ෂයක ලැයිස්තුවෙන් මනාප ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ හැකියාව ඇතැයි ඔප්පු කළ දිස්ත්‍රික්ක තියෙනවා - කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්ක නිදසුන්
03. මනාප ලබාදීමේදී පෞද්ගලික වාසි වෙනුවෙන් - බිරිඳට, දුවට පුතාට රැකියා, උසස්වීම් හෝ ස්ථාන මාරුවීම් ලබා ගැනීමට, වැලි පර්මිට්, බාර් පර්මිට්, කොන්තරාත් ලබා ගැනීමට, නාගරික මැදපංතිකයින් අතර රාජ්‍ය සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල වලට, සභාපති කම් වලට, උපදේශක හෝ තානාපති කාර්යාලවල පත්වීම් ලබා ගැනීමට අපේක්ෂකයින් තෝරා ගැනීම
04. අතිශය පෞද්ගලික කාරණා වෙනුවෙන් ඡන්දය දීලා අවුරුද්දක් හමාරක් ගත වෙන විට, ඒ අයම “ආණ්ඩුව අසාර්ථකයි” කියලා ආණ්ඩුවට එරෙහි මැතිවරණ ව්‍යාපාර වලට හවුල් වෙනවා. ඒ විරෝධයේ ගෝසාව හා ප්‍රචාරණයෙහි ආකර්ශනය අනුව ඊළග මැතිවරණයත් තීන්දු වෙනවා
පාර්ලිමේන්තුවෙහි බහුතරය තීන්දු වෙන්නෙත්, ඒ අනුව ආණ්ඩු තීන්දු වෙන්නෙත් එවැනි ප්‍රාථමික, බාල කාරණා අනුව මිස ජනතාවගේ ජීවන තත්ත්වය ගුණාත්මකව දියුණු කිරීම සඳහා ආණ්ඩු පත්කර ගන්න නෙවෙයි.
ආණ්ඩුවක් පත්කර ගන්න ඕනේ, සියල්ලන් සමානයින් වන සාමකාමී නීති ගරුක සමාජයක, සමාජ සාධාරණත්වයක් ඇතිව ජනතාවගේ ජීවන තත්ත්වය ගුණාත්මකව දියුණු කිරීම සඳහා කියලා මේ ඡන්දදායකයින් අහලාවත් නැතුව ඇති. දේශපාලන පක්ෂ වලට එවැනි සංවර්ධන සැළසුමක් හදා ගන්න බුද්ධිමය හැකියාවක් තියේද කියලත් දන්නේ නැහැ. 1994 ඉඳන් මැතිවරණ සඳහා සොයා ගත් අලුත් මුහුණු, අලුත් ලේබල් සමග අලුත් දේශපාලන සන්ධාන ඉදිරිපත් කරලා රටේ දියුණුවක් වෙන්නෙ නැහැ කියලා අත්දැකීමෙන් වත් ඉගෙන ගන්න දේශපාලන නායකයින් හා ඡන්දදායකයින් නෙවෙයි ඉන්නේ.
එහෙමනං, මොකක්ද විසඳුම කියලා ඇහුවොත්?

මාලිමා ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තු තියා ගෙන අනෙක් අයට අඩුම තරමින් “දීලා බලමු” යැයි කියූ මැද පංතිකයින් අතරින් මේ වන විට ඒ බලාපොරොත්තු බිඳ වැටෙන බව තේරුම් ගැනීමට දැනුමක් ආත්ම ශක්තියක් තියෙන කුඩා හෝ පිරිසක් ඒ ගැන දැන්වත් සමාජ කතිකාවක් ආරම්භ කළ යුතුයි. සමාජ හර පද්ධතීන්, වටිනාකම්, සාරධර්ම පිරිහීම සමග දෝරෙ ගලන අපරාධ, මේ ආර්ථිකයෙහි ආවේනික ලක්ෂණයක් කියලා සමාජ කතිකාවකට ගත යුතුයි.
ඒ හරහා ආණ්ඩුවට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමේ සමාජ ව්‍යාපාරයක් ගැන කතා කරන්න වෙනවා. එවැනි විසඳුම් මේ මාලිමා ආණ්ඩුවෙන් ඉටු නොවනවා නම්, ඊළග මැතිවරණයට ඉදිරිපත් කරන “ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළසුම” හැදීම දක්වා සමාජ කතිකාව වර්ධනය කරගත යුතුයි.
ඒ වගේම, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයින්ට හා පක්ෂ වලට කියන්න වෙනවා, මේක ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවන නිසා කොළඹ මහ ආණ්ඩුවේ කතා අවශ්‍ය නැහැ කියලා. තමන්ගේ බල ප්‍රදේශය සඳහා ඉදිරිපත් කරන “නගර සැළසුම” මොකක්ද කියලා සාකච්ඡා කරමු කියලා. ඡන්දයේ “සමාජ වගකීම” එයයි. ඡන්දය භාවිත කළ යුත්තේ ඒ වෙනුවෙන් කියලා සමාජයට කියමු.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජනවාරි 30



