The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අත්අඩංගුවට ගැනීමේ සහ ඇප දීමේ සංදර්ශන | ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

January 31, 2025 • 5:30 AM

අත්අඩංගුවට ගැනීමේ සහ ඇප දීමේ සංදර්ශන | ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විටෙක, පණඅදින සතුරෙකුට පවා එවැනි ක්‍රියාන්විතයකින් අලූතෙන් ජීව වායුවක් පිඹිනු ඇත.
  • නූතන මාධ්‍ය ලෝකයේ වෛවර්ණ දිස්නය තුළ, මෙවැනි සිද්ධියක් මහජන ප්‍රේක්ෂාවක් බවට පත්වන්නේ නිතැතිනි. මාලිමා ආණ්ඩුව මෑතක දියත් කළ, කැපීපෙනෙන අත්අඩංගුවට ගැනීම් දෙකක් සිදු විය.
  • ඒ දෙගොල්ලන්ම දින තුනක් ඇතුළත ඇප මත නිදහස් කෙරුණි. රාජපක්ෂ පවුල සහ එම කඳවුර කුමක් කීවත්, ඉහත කී අරමුණ, එනම්, සතුරා විනාශ කිරීමේ හෝ දුර්වල කිරීමේ අරමුණ මේ අත්අඩංගුවට ගැනීම් දෙක පසුපස තිබිණැයි කිසිසේත් සිතිය නොහේ.
  • එසේම, කලින් මිතුරියක්ව සිටි හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක තමන්ගේ සැතිරියක වූ පසු ඇයව තනතුරෙන් පන්නා දැමීම අරමුණු කරගෙන, පාර්ලිමේන්තුවම කැකිල්ලේ අධිකරණයක් බවට පත්කරගත් මාදිලිය රටට කියාදුන්නෙත් රාජපක්ෂලාමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
විටෙක, පණඅදින සතුරෙකුට පවා එවැනි ක්‍රියාන්විතයකින් අලූතෙන් ජීව වායුවක් පිඹිනු ඇත. නූතන මාධ්‍ය ලෝකයේ වෛවර්ණ දිස්නය තුළ, මෙවැනි සිද්ධියක් මහජන ප්‍රේක්ෂාවක් බවට පත්වන්නේ නිතැතිනි. 


මාලිමා ආණ්ඩුව මෑතක දියත් කළ, කැපීපෙනෙන අත්අඩංගුවට ගැනීම් දෙකක් සිදු විය. එකක්, මුදල් පරිහරණයේ අක්‍රමිකතාවක් පිළිබඳව අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමයි. දෙවැන්න, කළුසල්ලි සිද්ධියක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමයි. ඒ දෙගොල්ලන්ම දින තුනක් ඇතුළත ඇප මත නිදහස් කෙරුණි. 

 



රාජපක්ෂ පවුල සහ එම කඳවුර කුමක් කීවත්, ඉහත කී අරමුණ, එනම්, සතුරා විනාශ කිරීමේ හෝ දුර්වල කිරීමේ අරමුණ මේ අත්අඩංගුවට ගැනීම් දෙක පසුපස තිබිණැයි කිසිසේත් සිතිය නොහේ. සතුරා විනාශ කිරීමේ අරමුණ පෙරදැරිව යම් ක්‍රියාන්විතයක් බලගැන්විය යුතු මාදිලිය හොඳින්ම දන්නේ රාජපක්ෂලා ය. ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදය මීට සපුරා වෙනස් ය.

 

චිලී විප්ලවීය ගායක වික්ටර් හාරාට යුක්තිය ඉටුවේ: 50 වසරකට පසු ඝාතකයින්  සිරගෙට!

මරදානේ ට්‍රීපොලි වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට රාජපක්ෂලා විසින් ක්‍රියාත්මක කරන ලද මිනිමරු ක්‍රියාන්විතය ලසන්ත වික්‍රමතුංගගේ සිට ප්‍රගීත් එක්නැලිගොඩ දක්වා වන සතුරන් විනාශ කිරීමට යොදාගත් ආකාරය අප දැක තිබේ. එසේම, කලින් මිතුරියක්ව සිටි හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක තමන්ගේ සැතිරියක වූ පසු ඇයව තනතුරෙන් පන්නා දැමීම අරමුණු කරගෙන, පාර්ලිමේන්තුවම කැකිල්ලේ අධිකරණයක් බවට පත්කරගත් මාදිලිය රටට කියාදුන්නෙත් රාජපක්ෂලාමයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිය සතුරෙකු වූ පසුව ඔහුව අත්අඩංගුවට ගෙන හිරේලෑම සඳහා ඔහුගේම හමුදාව පාවිච්චි කළ නිහීන ආකාරය ගැනත් රාජපක්ෂලා තරම් කප් ගැසූවන් තවත් නැත.

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්? - (ගාමිණී වියන්ගොඩ)ශිරානි බණ්ඩාරනායක

 

ඒ නිසා, සතුරාගෙන් ඇත්තටම පළිගැනීම සඳහා, යමෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ගෙන ගොස්, එම පුද්ගලයාව පවතින නීතියේ ක්‍රියාකාරීත්වය තුළට නිදහසේ භාර කිරීම, කිසිසේත් පළිගැනීමක් සඳහා ප්‍රමාණවත් නොවේ. එවැනි නීච අරමුණු, පවතින නෛතික රාමුව සහ අධිකරණමය ක්‍රියාදාමය තුළ සාක්ෂාත් කරගැනීම උගහට බැවිනි. අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමේ සිද්ධියත් සමග, රාජපක්ෂලාගේ කාලයේ එම අනුර ප්‍රියදර්ශන යාපාම සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු කැකිල්ලේ අධිකරණයෙන් ශිරානි බණ්ඩාරනායකව ගෙදර යැවීමෙන් පළිගත් ආකාරය සැසඳීමෙන්, මේ දෙක අතරේ ඇති වෙනස ගැන කෙනෙකුට මනා වැටහීමක් ලබාගත හැකිය. 

මොන හේතුවක් නිසාවත් කෙනෙකුගේ විනාශයක් අරමුණු කිරීම යහපත් දෙයක් නොවේ. එසේ වෙතත්, කිසියම් අපරාධයකින් අගතියට පත් වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම අවශ්‍ය වන නිසාත්, අපරාධයක වගකීම අපරාධකරුවාට පැවරීමකින් තොරව සමාජ සංහිඳියාවක් පවත්වාගත නොහැකි නිසාත්, ශිෂ්ට සම්පන්න ඕනෑම සමාජයක, වරදට නිසි දඬුවම සද්භාවයෙන්ම නිර්දිෂ්ටයි. ඒ නිසා, අනුර ප්‍රියදර්ශන යාපාට හෝ යෝෂිත රාජපක්ෂට දඬුවම් කළ යුත්තේ, ඔවුන් විනාශ කිරීමට නොව, සමාජ සැකැස්ම සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාරක මට්ටුවක් වශයෙනි.

 

එහෙත් මාලිමා ආණ්ඩුව ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ, අඩු වශයෙන් එවැනි අරමුණක්වක්වත් පෙරදැරිවද? දැනට පෙනෙන්ට ඇති කරුණු අනුව, උත්තරය වන්නේ 'නැත' යන්නයි. මෙම දෙපාර්ශ්වයම අත්අඩංගුවට ගැනීමට නිමිති වූ අපරාධය හත් අවුරුද්දකටත් වැඩි කාලයක් පරණයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, මීට පෙර යම් අවස්ථාවක ඔවුන්ව අධිකරණ ඉදිරියටත් පමුණුවා තිබේ. යෝෂිත රාජපක්ෂගේ කළු සල්ලි වංචාවේ ප්‍රධාන සැකකාරිය වන ඔහුගේ මිත්තණිය මීට වසර ගණනකට කලින් අධිකරණය ඉදිරියට පමුණුවා එදා පටන් ඇප මත නිදහස් කරනු ලැබ තිබේ. 

අපරාධයක් කිරීමෙන් පසු කෙනෙකුට නිදැල්ලේ විසීමට හැකියාව තිබීම හෙවත් දණ්ඩමුක්තිය නමැති සංසිද්ධියේ ස්වභාවය අනුව, පාර්ශ්ව තුනක් එකී ප්‍රපංචයේ ප්‍රධාන චූදිතයන් කළ හැකිය. එක් පාර්ශ්වයක් වන්නේ, දේශපාලනික බලවතුන් ය. ඒ ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත. සාමාන්‍ය පුරවැසියෙකු කරන අපරාධයක් සහ දේශපාලනික බලවතෙකු කරන අපරාධයක්, අධිකරණයක් ඉදිරියට පමුණුවා යුක්තිය ඉෂ්ට සිද්ධ කිරීමේ අනුපාතිකය 10:1 කි. අපරාධකාර හරමානිස්ලා 100 ක් හිරේ වැටෙන විට, අපරාධකාර දේශපාලනඥයෝ 90 ක් නිදොස් වෙති.

 

එකී දේශපාලනික බලාධිකාරියේ මුක්කුවට සිටින ප්‍රධාන ආයතනික පාර්ශ්ව දෙක වන්නේ, පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවයි. යම් දේශපාලනික අපරාධයක් දීර්ඝ කාලයක් තිස්සේ යටගැසී තිඛෙන්නේ මේ දෙපාර්ශ්වයේ සහයෝගයෙනි. එහෙත් හැමදාමත් සමාජයේ කෝපයට ලක්වන්නේත්, දේශපාලනික වාසි තකා එක කඳවුරක් විසින් තවත් කඳවුරක් විටින්විට චූදිත කූඩුවට නංවනු ලැබීමේදී (දවසකට දෙකකට හෝ) ඛෙල්ල දෙන්නෙත් දේශපාලනඥයාම පමණි. ඇතැම් අවස්ථාවක පොලීසියේ වරද සහායකත්වය ගැන ආන්දෝලන සහ විවේචන ඇති වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව නම් හැමදාමත් 'පූජනීය' වන්නේය. අනුර ප්‍රියදර්ශන යාපාගේ සහ යෝෂිත රාජපක්ෂගේ විමර්ශන භාරව සිටි නීතිපති දෙපාර්තමේන්තුව මෙතරම් කාලයක් ඔවුන් සම්බන්ධයෙන් ගිය සතියේ ගත්තාක් මෙන් තීරණයක් ගැනීම අතපසු කෙළේ ඇයි?

ප්‍රධාන කාරණා තුනක් ඊට හේතු විය හැකිය. ඉන් ප්‍රධානතම වන්නේ, බලය දරන්නන්ගේ බලපෑමට නතු වී, අදාළ පරීක්ෂණ අතරමඟ නතර කිරීම හෝ අවසන් කළ පරීක්ෂණ වාර්තා පවා දේශපාලනික පක්ෂපාතීකම් මත යටපත් කරගෙන සිටීමයි. දෙවැනි කාරණය වන්නේ, අධිකරණයක් ඉදිරියේ ඔප්පු කරගැනීමට තරම් ශක්තිමත් සාක්ෂි නැතිකම නිසා එහි ඉදිරි කටයුතු අතහැර දැමීමයි. තෙවැන්න වන්නේ, හුදු අකාර්යක්ෂමතාව හෝ (ප්‍රමාණවත් විශේෂඥ නීතිවේදීන්ගේ හිඟකම වැනි) වෙනත් ආයතනික විලංගු නිසා අවුරුදු ගණන් පරීක්ෂණ පිළුණු වීමයි.

 

anurapriya 23 01 25 1000x600අනුර ප්‍රියදර්ශන යාපා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඇප මත මුදාහැරීම
දැන්, අනුර ප්‍රියදර්ශන යාපා සහ යෝෂිත රාජපක්ෂට අදාළ සිද්ධිවලදී, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය සමග එක්ව වර්තමාන දේශපාලන බලාධිකාරිය පසුගිය සතියේ කටයුතු කර ඇත්තේ එවැනි ඓතිහාසික සන්දර්භයක් පසුබිමේ තබාගෙන ය. එවිට, ඔවුන්ගෙන් කිසිවෙකුට ඇප ලබා නොදීමට තරම් පිළිගත හැකි සාධාරණ හේතුවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අභිචෝදකයන් කිසිවෙකුට නොහැකි වීම පුදුමයක් නොවේ. ආණ්ඩුව මේ අවස්ථා දෙකේදීම කටයුතු කෙළේ ඒ ගැන වැටහීමක් නැතිවද? අවුරුදු දහයකට කලින් සිදු වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ දැන් තකහනියක් අත්අඩංගුවට ගැනීම, 16 වැනි සියවසේ යුරෝපයේ ක්‍රියාත්මක වූ දණ්ඩන ධර්මාධිකරණ සම්ප්‍රදාය තුළ මිස, 21 වැනි සියවසේ ප්‍රජාතාන්ත්‍රීය යුක්තිධාර්මික ක්‍රියාවලියක් තුළ කෙසේ නම් සාධාරණිකරණය කරන්නද?

යුක්තිය ඉෂ්ට කිරීමේ හුදු අවශ්‍යතාව තිබූ පමනින් යුක්තිය ඉෂ්ට කිරීමක් සිදුවන්නේ නැත. මෙතෙක් කල් පැවති රාජ්‍ය පාලනයන් සහ මේ වර්තමාන පාලනය අතර ඇති එක වෙනසක් විය හැක්කේ, මීට කලින් කිසි ආණ්ඩුවකට නොතිබුණු අව්‍යාජ අවශ්‍යතාවක් මේ ආණ්ඩුවට ඒ ගැන තිබීමයි. මේ ආණ්ඩුවට වඩාත් සමීපත්වයක් දරණ 2015-2019 යහපාලන ආණ්ඩුවත් බලයට පත්වුණේ, සමාජ ශෝධක අරමුණු පිරුණු ආශ්වාදජනක වේදිකාවක් මතිනි. එසේ තිබියදීත්, දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් සහ මහපරිමාණ දූෂණ ක්‍රියා විමර්ශනය කර යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් නිසි මාර්ගයට පිවිසීමට එම ආණ්ඩුව කිසි විටෙකත් සමත් වුණේ නැත.

මෛත්‍රි රනිල් සහ ටිප්ටොප් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නමෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ

 

සමාජ වැදගත්කමකින් යුත් ඇතැම් අපරාධ විමර්ශනයන්ට මුල් තැන දෙමින්, එකී නඩු කෙටි කාලයක් තුළ අවසන් කිරීමේ විශේෂ අධිකරණ පටිපාටි පවා සකස් කිරීමට එම යහපාලන ආණ්ඩුව උත්සාහ ගත්තත්, දේශපාලනික නායකත්වයේ (මෛත්‍රීපාල සිරිසේන/රනිල් වික්‍රමසිංහ) යටිකූට්ටු අභිලාෂයන් සමග ඒ ව්‍යායාම සියල්ල, එක්තරා මොහොකින් පසු, ව්‍යර්ථ විය. ඊට වෙනස්ව, යහපාලන ආණ්ඩුවට නොතිබුණු සංගතභාවයක් සහ අවංකභාවයක්, මේ ක්ෂේත්‍රය තුළ වර්තමාන පාලකයන්ට ඇතැයි සිතිය හැකිය.  
     
එහෙත්, එම අව්‍යාජ අවශ්‍යතාව සහ එය ඉෂ්ටසිද්ධ කරගැනීමේ ප්‍රායෝගිකත්වය අතර ඇති නොපෑහීම, චේතනාව පිරිසුදු වූ පමණින් පෑහෙන්නේ නැත. 

දේශපාලනඥයන්ට සහ බලවතුන්ට සම්බන්ධ මෙවැනි අපරාධ, ඒවා විමර්ශනය නොකර ගතවන දවසක් පාසා, ඒවායේ සාක්ෂි සඟවා තබාගන්නා දවසක් පාසා, නූල් බෝලයක් සේ තව තවත් ගැටගැසී පටලැවෙන්නේය. එය එසේම වන බවට බලයේ සිටින ආණ්ඩු වගබලාගනු ලැබේ.

 



මේ සිදුවීම් දෙක අයත් වන කාලයේ සිට ආණ්ඩු හතරක් (මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාබය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ) බලය හොබවා ඇත. මේවා ඇතුළු තවත් අපරාධ රාශියක සාක්ෂි එකී පාලකයන් විසින් විවිධ ආකාරයෙන් අස්ථානගත කර ඇතිවාට හෝ විකෘති කර ඇතිවාට හෝ අවුල් කර ඇතිවාට කිසි සැකයක් නැත. අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් දීමට හැකියාවක් දැන් නොලැඛෙතොත් එසේ වන්නේ, වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවකට වඩා, එකී දීර්ඝකාලීන ස්වභාවික ක්‍රියාවලිය තුළ බොහෝ අපරාධ කොහොමත් එසේ දුර්වර්ණ වී ඇති බැවින් විය හැකිය. 

එසේ නම්, මේ ආණ්ඩුව කළ යුත්තේ, අධිකරණය ඉදිරියට පැමිණවිය හැකි සිද්ධි පරිස්සමින් තෝරාබේරාගෙන ඒවා පමණක් කඩිනම් කිරීමයි. යම් කාලයක් ගතවුණත්, සාර්ථකව අවසානයක් කරා රැගෙන යන එක අපරාධ නඩුවක්, අතරමඟ ඇනහිටින සිල්ලර නඩු දුසිමකට වඩා වටනේය.

 

අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ, එකී අපරාධ සිද්ධි පිළිබඳ විභාග කඩිනමින් අවසන් කර, අවසානාත්මක වශයෙන් යුක්තිය පසිඳලීම මිස, රංගනීය අත්අඩංගුවට ගැනීම් පිළිබඳ සංදර්ශන නැරඹීමට නොවන බව ආණ්ඩුව මතක තබාගැනීම වටී. ''ඇතුළට යන විට කෙඳිරිගාන්න එපා'' යැයි ජනාධිපතිවරයා අලංකාරෝක්තියෙන් කියද්දී ජනතාව තුළ ඇති කෙරුණු ඒ ප්‍රහර්ශය, යෝෂිත රාජපක්ෂ සිය ජයග්‍රහණය අතේ ඇඟිලි දෙකකින් සංකේතවත් කරමින් එළියට එන දර්ශනය දකින විට, විකාර රංගනයක් බවට පත්වන්නේ නිතැතිනි. මේ ආණ්ඩුව යම් හෙයකින් අසාර්ථක වනු ඇත්තේ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, රාජපක්ෂලාවත් සාර්ථක කරමින් ද යන කුකුස එහිදී කෙනෙකු තුළ මතු වෙයි.

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරේ

 

ආණ්ඩුව කෙරෙහි විවිධ අංශවලින් මතුවෙමින් පවතින අප්‍රසාදය, මෙවැනි රංගනයන් තුළින් තවත් උත්සන්න වනු නියතයි. අනුර ප්‍රියදර්ශන යාපාට සහ ඔහුගේ බිරිඳටත්, යෝෂිත රාජපක්ෂටත් අහවල් දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම්දුනි නම් ඔවුන් නොවැරදීම එහි එනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු, අවශ්‍ය නම් අත්අඩංගුවට ගෙන, මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකිව තිබුණි. එසේ තිබියදී, මෙසේ අත්අඩංගුවට ගැනීම බාල නාටකීය ජවනිකාවක් පමණක් බව හුදී ජනයාටත් හැඟෙන තරමට බොළඳ විය. 

ඊයේ (29) උදේ පෙට්‍රල් ගැසීම සඳහා ගිය අවස්ථාවේ පිරවුම්හල් සේවකයා කී කතාවක් මෙහි සටහන් කිරීම වටී. මේ සේවකයා, මාලිමා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් සිටි කෙනෙකු බව, මීට කලින් විටින්විට ඇති වූ කතාබහේදී මට වැටහී තිබේ. ඒ අවස්ථාවල ඔහු කතා කෙළේ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය ගැන නොව, 'මාලිමා' අපේක්ෂාව ගැනයි. සැබෑ වෙනසක් වෙතැයි යන අහිංසක අපේක්ෂාවක් ඔහු තුළ විණැයි එම අවස්ථාවලදී මා නිරීක්ෂණය කර ඇත. ඊයේ අප අතර ඇති වූ කෙටි දෙබස මෙසේ ය:  

 

මතවාද - Results from #225
ඔහු: මොකද මහත්තයා වෙන්නෙ?
මම: ඒ A කියන්නෙ?

ඔහු: මේගොල්ලො කරගෙන යයිද?
මම: ඒක ඉතිං ඉස්සරහට බලන්න ඕනෙ.

ඔහු: ආයි සැරයක් අපි අහුවුණාද කියලත් හිතෙනවා, මහත්තයා.
මම: ඇයි එහෙම හිතන්නෙ?

ඔහු: නැහැ, මට නිකමට එහෙම හිතෙනවා.

එවැනි පුරවැසියෙකු 'නිකමට එහෙම හිතීම' තුළ ඇත්තේ, ගැඹුරු සමාජ චලනයක අඳුරු සේයාවකි. ජනාධිපතිවරණයට කලින් සහ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයෙන් අනතුරුව, රටේ විවිධ තැන්වල සාමාන්‍ය පුරවැසියන් සමග කෙරෙන මෙවැනි කෙටි වචන හුවමාරු තුළින් ලැබූ ප්‍රතිචාරයන්ගෙන් සපුරා වෙනස් ප්‍රතිචාරයකි මෙය. මාලිමා ආණ්ඩුව කෙරෙහි පසමිතුරු ආකල්ප දරණ මගේ ඇතැම් උගත් මිතුරන්ගේ නිර්දය විවේචන බරපතළ විදිහට ගණන් නොගෙන සිටින මට, ඊයේ උදේ ඇතුල් කෝට්ටේ පිරවුම්හලේ සේවකයා මෙසේ කීම, බරපතළ අනතුරක ඉඟියක් යැයි හැඟිණ.

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? - (ගාමිණී වියන්ගොඩ)රතුපස්වල සිදුවීම

මේ අත්අඩංගුවට ගැනීම් දෙකට පාදක වී ඇති සිදුවීම්, ආරක්ෂක හමුදාවන්ට ඈතින්වත් නෑකමක් නැති අවස්ථාවන් ය. එනම්, ලොකුම මාරකය බාධකයක් නොවන අපරාධයන් ය. එහෙත්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, රතුපස්වල ඝාතනය, කප්පම් සඳහා පැහැරගෙන ගොස් මරා දැමූ දෙමළ ශිෂ්‍යයන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත වැන්නන්ට වධහිංසා පැමිණවීම සහ වැලිකඩ සමූහ ඝාතනය වැනි අපරාධවලට ආරක්ෂක අංශ විවිධ තලවලින් සම්බන්ධයි. මුදල් සාවද්‍ය පරිහරණයක් පිළිබඳ යෝෂිත රාජපක්ෂගේ සහ අනුර ප්‍රියදර්ශන යාපාගේ සිල්ලර සිදුවීම් ගැන බලධාරීන්ගේ ප්‍රවේශයේ විලාසය මෙසේ නම්, ආරක්ෂක අංශ විත්තිකූඩුවට නැංවෙන අතීත අපරාධ පිළිබඳ යුක්ති විනිශ්චයක් කවදා සිදු වේදැයි යන්න සිතාගැනීම අසීරු නැත.

මතවාද - Results from #24

 

අද (30) අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ 'රාණි' චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹදී තිරගත වෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පැහැරගෙන ගොස් දසවධ දී මරාදැමුණු, රිචඩ් ද සොයිසා නමැති විශිෂ්ට මිනිසාගේ ඛේදවාචකය ඉදිරියේ, ඔහුගේ මව වන මනෝරානී සරවණමුත්තු සිය ආදරණිය පුත්‍රයාගේ මිනීමරුවන් සොයා, එම මිනීමරුවන් නීතිය ඉදිරියට පැමිණවීම අරමුණු කරගෙන, ජීවිතයේ අවසානය දක්වා ගෙන ගිය මාතෘ අරගලය මේ සිනමාපටයට පාදක වී තිබේ. ඇය ජීවත්ව සිටි තාක් පමණක් නොව, අදටත් රිචඩ් ද සොයිසාගේ මිනීමරුවන් කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා නැත. (මහ රෑ ඔහුගේ නිවසට ගොස් ඔහුව අත්අඩංගුවට ගත් ඉහළ පොලිස් නිලධාරියා ඊට පසු කලෙක මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු අතින් පංචිකාවත්තේදී ඝාතනය වුණි.) මහපොළොව නුහුලන එවන් දේශපාලනික ඝාතනයක්, අවසානයේ තිරයක් මත දිගහැරෙන සිනමා සිත්තමක් වශයෙන් පමණක් ඉතිරි වන නරුම දේශයක වැසියන් වන අපට, යුක්ති ධර්මය සලසන විනිශ්චය ක්‍රියාවලියක් වෙනුවට, අයුක්තියේ විලාපය කියාපාන කලා කෘතියක් 'රස විඳීමට' අවස්ථාවක් තිබීමත් වාසනාවකි !.              

ප.ලි: රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෙකු යැයි එදා පාලකයන් සිතූ නිසා ය. එය වැරදි අවබෝධයක් බව, මේ ලියුම්කරු ඒ කාලයේ ලියා ඇත.


පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(සටහන | ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...