The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මා ද කැටුව රෝද තුනෙන් සමාජය තරණය කළ ආදරණීය 'කට්ටා' | අනුර හොරේෂස්

T

The Leader Desk

January 31, 2025 • 7:36 AM

මා ද කැටුව රෝද තුනෙන් සමාජය තරණය කළ ආදරණීය 'කට්ටා' | අනුර හොරේෂස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසැනින් මා ද නුදුරු දිනයක, යම් මොහොතකදී මේ අයුරින් මියයනවා නේදැයි විදුලියක් මෙන් මගේ මනස පුරා දිව ගියේය.
  • කටුදෙනිය නොහොත් අප කවුරුත් හඳුනන ‘කට්ටා’ මට වඩා දෙවසරකින් පමණ බාල වුවත් ඔහු අප හැරගොස් ඇත්තේ අනපේක්ෂිත අයුරිනි.
  • වසර ගෙවී 1984 උදා වෙද්දිම ‘කට්ටා’ද ඊට එක් වූයේ ය.
  • ඇතැම් සන්ධ්‍යා යාමයන් හි ඔවුන් සමඟ මධුවිතට ද සම්බන්ධ වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
එසැනින් මා ද නුදුරු දිනයක, යම් මොහොතකදී මේ අයුරින් මියයනවා නේදැයි විදුලියක් මෙන් මගේ මනස පුරා දිව ගියේය.
 
අපට බොහෝ විට මරණයක් පිළිබඳ හාංකවිසයක් නොදැනේ. නොහැගේ. එහෙත් මෙබඳු සහෘදයකු ගේ නික්මයාම ඇසුණු සෑම මොහොතකම මට සිහිවන්නේ මගේ මරණයයි.
 
කටුදෙනිය නොහොත් අප කවුරුත් හඳුනන ‘කට්ටා’ මට වඩා දෙවසරකින් පමණ බාල වුවත් ඔහු අප හැරගොස් ඇත්තේ අනපේක්ෂිත අයුරිනි. මරණය යනු එයයි.
 
475378085 10228245061099355 1850991945622157734 n


1983 වසරේදී මම දිවයින පුවත්පතට ආරම්භක ආධුනික පුවත්පත් කලාවේදියෙකු වශයෙන් එක් වීමි. 1983 වසර ගෙවී 1984 උදා වෙද්දිම ‘කට්ටා’ද ඊට එක් වූයේ ය. “මේ මගේ යහළුවෝ…” යයි කියමින් තෝරාගත් කිසියම් පිරිසක් එහිදී ඔහු ඇසුරු කළාදැයි මම නොදැක්කෙමි. මන්ද ඔහු අපේ පත්‍ර කන්තෝරුවේ කාගෙත් බඩ බැඳගත්’ සගයෙකු වූ බැවින් ය.

කට්ටා’ පත්‍ර ලෝකයේ දැවැන්තයන් වූ සුනිල් මාධව ප්‍රේමතිලක, දයාරත්න රණසිංහ, දයා ලංකාපුර, උපාලි තෙන්නකෝන්, ස්ටැන්ලි ප්‍රේමරත්න, රෝහණ වෙත්තසිංහ, මෙරිල් පෙරේරා, අශෝක ගුණතිලක, දයාසේන ගුණසිංහ සමග ද එකට මේසයේ හිඳ දිවා ආහාරය ගනී. ඇතැම් සන්ධ්‍යා යාමයන් හි ඔවුන් සමඟ මධුවිතට ද සම්බන්ධ වෙයි. එම ඇසුර ‘කට්ටා’, මා ඇතුළු නාරද නිශ්සංක, ලයනල් මුණසිංහ, සිරිමෙවන් කස්තුරිආරච්චි, අභාවප්‍රාප්ත ප්‍රදීප් කුමාර බාසූරිය, ඉන්ද්‍රපාල නානායක්කාර වැනි එවක ආධුනික පත්‍ර කලාවේදීන් සමඟද නොමඳව පවත්වාගෙන ගියේ නොබිඳෙන, නොමැකෙන මිත්‍රත්වයක සුන්දර සිනහවක් නිරතුරුව දෙතොලග රඳවා ගනිමින්ය.

464231068 3108067252668291 1985760983153236341 n

 

දිනක් උදයේ උපාලි පුවත්පත් සමාගමේ ප්‍රධාන කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා සිය මැදිරියෙන් පිටතට පැමිණ “අයිසේ…” යයි සිය ගැඹුරු හඬින් සියලුම පත්‍ර කලාවේදීන් ඇමතුවේය. මගේ මේසය අසලම කටුදෙනිය හිඳ සිටී. ඔහුගේ වම්පසින් රණසිංහ මහතා සිය සිරුර කෙලින් තබාගෙන අවධානයෙන් අපව නිරීක්‍ෂණය කරයි. අප කවුරුත් ඔහු දෙස බලා සිටින්නට වූයේ තරමක චකිතයකිනි. 

“ඊයේ දවල් මරා දාපු අපරාධකාරයෙක්ගේ මළගෙදරට මහ රෑ …..ඇමතිතුමා ඇවිල්ල තියෙනවා. කාටද ඒ ගැන හොයලා හොඳ ලිපියක් ලියන්න පුළුවන්.” රණසිංහ මහතා එක්වරම විමසුවේය. ‘කට්ටා’ හුන් තැනින් විදුලියක් මෙන් නැගී සිටියේය. “සර් මේ අනුරට පුළුවන් ඒ ගැන ලියන්න.” කිසිම විමසීමක් මාගෙන් නොකළ ‘කට්ටා’ රණසිංහ මහතාට පැවසුවේ මා තැති ගන්වමින් ය. මන්ද ඒ භීෂණ අවධියයි. අදටත් පාඨකයින් හා ප්‍රේක්ෂකයින් හමුවේ ප්‍රසිද්ධ “පාතාල ලෝකයෙන් බිඳක්… ගිනිඅවි සහ ගිනිකෙළි” නිර්මාණය වූයේ කටුදෙනියගේ ආගන්තුක රෙකමදාරුව මත ය.

මේ අයුරින් එතැන් පටන් ‘කට්ටා’ මගේ ජනමාධ්‍ය ජීවිතයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්නට සමත් වූයේය. ඔහු සතුව එකල ත්‍රීවිලරයක් තිබිණ. Part time රක්ෂා ක්‍රමයක් අප එකල දැන සිටියේ නැත. උදේ කාලයේ පත්තර කන්තෝරුවේ රැකියාව කරන “කට්ටා” රාත්‍රියේ ත්‍රීවිලරය පදවා අමතර මුදලක් හම්බ කර ගන්නට උත්සාහ කළේය. ආකල්පමය වශයෙන් ඔහු එදා අපට වඩා ඉදිරියෙන් ගමන් කළේය. 

 

474857251 10162577174333011 3289598211319291962 n
එම ත්‍රී විලරයේ නැගී සිකුරාදා රැය පහන් වනතුරු මමත් ‘කට්ටා’ත් කොළඹ නගරයේ අහුමුළුවල සැරි සැරුවෙමු. “ඒ අඳුරු රාත්‍රී කාලයන්හි මොනවද අපි සොයා නොගත්තේ.. මොනවද ඒ කාලේ අපි ලිව්වෙ නැත්තේ…” මා අදත් සිහිපත් කරන්නේ ඉමහත් සතුටකිනි. කට්ටා සහ මම කොළඹ නගරය සිකුරාදා රාත්‍රියේ ‘පෙරළුවෙමු’. රාත්‍රියේ සිදුවන මහා බිහිසුණු සිදුවීම් පෙළක් ඉරිදා දිවයින සංග්‍රහයේ නොකඩවා පලවන්නට වූයේ ‘කට්ටා’ගෙත් මගෙත් එකමුතු කමින්ය.

ජීවිතයත් මරණයත් අතරේ කෙරෙන මුහුදු ‘සවාරි’, කඳු, වනාන්තර තරණ ඔහුගේ නමින් දිවයින පිටු අතර අදටත් සැඟවී තිබේ. දිවයින පත්‍රය පාඨකයන් අතරේ දැඩි ඇල්මක් සහ විශ්වාසයක් රෝපණය කරවන්නට උරදුන් පත්‍ර කලාවේදීන් පිරිස අතරේ චන්ද්‍රසිරි කටුදෙනිය නාමය ද කිසිදා කිසිවෙකුට අමතක නොවේ.

‘කට්ටා’ අප කාගේත් සුහද මිතුරෙක් වූයේය. කාර්යාලයේ සිටින මිතුරන් අතරට පැමිණි සෑම මොහොතකම ‘කට්ටා’ගේ මුවග රැඳුණු සිනහ රැල්ල අදටත් මගේ මතකයේ රැඳී තිබේ. ඔහුගේ මුවට සිනහවක් නැඟෙන්නට හේතුවක් අවශ්‍ය වූයේම නැත. සිනහ මුවින්ම එහෙ, මෙහෙ ඇවිද ගියේය. ඔහුගේ සිනහව අපගේ මතකයේ වඩාත් රැඳී තිබෙන්නට හේතුවක් වූයේ උඩුතොල මත වැඩී තිබූ අපූරු රැවුලයි.

දිවයින පුවත්පත වෙනුවෙන් පුවත් සහ විශේෂාංග ලිපි සකස් කිරීමට ඔහු දැරූ වෙහෙස අපමණ ය. ජීවිතයත් මරණයත් අතරේ කෙරෙන මුහුදු ‘සවාරි’, කඳු, වනාන්තර තරණ ඔහුගේ නමින් දිවයින පිටු අතර අදටත් සැඟවී තිබේ. දිවයින පත්‍රය පාඨකයන් අතරේ දැඩි ඇල්මක් සහ විශ්වාසයක් රෝපණය කරවන්නට උරදුන් පත්‍ර කලාවේදීන් පිරිස අතරේ චන්ද්‍රසිරි කටුදෙනිය නාමය ද කිසිදා කිසිවෙකුට අමතක නොවේ.

ආදරණීය මිතුරාණෙනි. ඔබට උතුම් වූ නිර්මාණ සම්පත්තිය හිමිවේවා!.

(සටහන | අනුර හොරේෂස්)

(උපුටා ගැනීම - vinivida)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...