මවුබිම නිදහස් ස්වෛරී රාජ්‍යයක් සේ සලකන්නේ ද? නැතිනම් නිදහස, ස්වෛරීත්වය දිනාගත යුතු ව ඇතැ යි සලකන්නේ ද?
මවුබිම ස්වෛරී ජනරජයක් බව පිළිගන්නේ නම්, ඒ පිළිබඳ අවලෝකනයකට හා අනාගත ශ්‍රී ලංකාව පිළිබඳ අධිෂ්ඨානයකට සුදුසු ම දිනය කවර දා ද? ඒ නිදහස වෙනුවෙන්, ඒ වගේ ම ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවුණු, දිවිපිදූ සැම අනුස්මරණයට සුදුසු ම දිනය කුමක් ද?
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ අදහස කුමක් විය හැකි ද? අර්ධ නිදහසක් ලැබූ පෙබරවාරී හතර? ජනරජයක් වූ මැයි විසිදෙක? තමන් ගේ පක්ෂයේ සහෝදරවරු උස් නිදහස වෙනුවෙන් දිවිපිදූ අප්‍රේල් පහ?
හිමිදිරියේ නිදහස් චතුරස්‍රය බලා ගියේ මේ ගැන යම් කතාබහක් වේ දැ යි දැනගැනීමට ය. කතාබහක්? නිදහස් චතුරස්‍ර භූමිය, උලෙළට සැරසෙමින්!
හිමිදිරියත් සමඟ නිදහස් චතුරස්‍රයට ඇවිදින්නට එන්නෝ බොහෝ ය. එක් කාලයක නාවික හමුදා නිලධාරීන් සමඟ ජනාධිපති ආර්යාවන් මෙන් ම බොහෝ ආරක්ෂකයන් සමඟ ඇවිදින ආරක්ෂක ලේකම්වරුන් ද මෙහි දැකගත හැකි විය. ඔවුන් අද දක්නට නැත. ඒත්, එදා ඇවිදීමට ආ සමහර මැති-ඇමැතිවරු අද පාර්ලිමේන්තුවේ නැතත් ඇවිදිනු දැකිය හැකි ය.

එහෙත් ඒ අතරින් පතර දිනයක ය. වෘත්තියෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන් වේ වා, වෛද්‍යවරුන් වේ වා, නීතිඥයන් වේ වා, ව්‍යාපාරිකයන් වේ වා, ක්‍රීඩකයන් වේ වා... බහුතරය හුදී ජනයා ය.
"එතකොට පෙබරවාරි හතර නිදහස සමරනවා!"
"නැතුව?"
"නෑ, මම හිතුවේ මැයි විසිදෙක ජනරජ දිනය සමරයි ද කියා."
"පෙබරවාරි හතර... මැයි විසිදෙක... දෙක ම හැත්තෑහය වසරක සාපයට නේ අයිති!"
"කිවුවත් වගේ... ඒත් ඔය සැරසෙන්නේ..."

"අපේ රට යටත් විජිත ස්වාමීන් ගෙන් සම්පූර්ණයෙන් ම මිදිලා, ජනරජයක් වුණේ එක්දාස් නමසිය හැත්තේ දෙකේ! මැයි 22!!"
"ඒ ජනරජ සමරුව පවත්වන්න අවුරුදු කීය ද ඉඩ ලැබුණේ... පහයි නේ... ජේ.ආර්. නිදහස් උත්සවේ ආපහු පෙබරවාරි හතරට ගෙනගියා නේ!"
"අපොයි, ආර්ජන්ටිනාව, ඒ අසළ ෆෝක්ලන්තයට අයිතිවාසිකම් කිවුවාමත්, ජේ.ආර්. ගත්තේ එංගලන්තයේ පැත්ත නේ! ඒ යුරෝපයේ රටවල් පවා නිහඬ වෙද්දී..."

"ජේ.ආර්. විවෘත ආර්ථිකේ වැළඳගත්තේ... තැචර් - යකඩ ගැහැනියටත් පෙර ද කොහේ ද!"
"යැංකි-ඩිකී කිවුවේ නිකම් ය?"
"ඒත්, ඊට පස්සේ ආණ්ඩු කීයක් ආවා ද... යූ.එන්.පී. ආණ්ඩු අතහරිමු! චන්ද්‍රිකා... සිරිමාවෝ ගේ දුව?"
"අපොයි, එයා ගියේ ඒ පාරේ ම නේ...?"
"මොන?"
"විවෘත ආර්ථිකේ ම කියන්න ලැජ්ජාවට මානුෂීය මුහුණුවරක් දෙනවා කිවුවා... යූ.එන්.පී. පාර ම තමයි..."
"එතකොට මහින්ද?"
"ඒ වගේ කරුණු ගැන අවධානය යොමු කරන්න පුළුවන් කාලයක් ද... එ තුමාට ලැබුණේ සුනාමියෙන් බැටකාපු රටක්; ඒ වගේ ම රනිල්, දල දේශීය නිෂ්පාදනය ඉක්මවා ණය කරපු රටක්! ඇයි ප්‍රභා! රටෙන් භාගයක් කොටියාට ලියලා දීපු රටක්!"
"හැබැයි එ තුමා නිසා අපිට දෙ වැනි නිදහස් සැමරුමක් ලැබුණා... කොටියා ගෙන් රට නිදහස් කරගත් දිනය!"
"අනුරලාට නම් ගැලපෙන්නේ ඔය එක දවසක් වත් නෙවේ නේ... එයාලා කවි ලියාගෙන, චිත්‍ර ඇඳගෙන සැමරුවේ අප්‍රේල් පහ නොවැ!"
"ඒක නිදහස් අරගලයක් ද?"

"ඇයි, ඒ සහෝදරවරුන්ට නඬු පවරලා තියෙන්නේ රැජිණ ගේ ආණ්ඩුවට එරෙහි ව කැරැලි ගැහුවාට නේ... ඒ කිවුවේ සිරිමාවෝ ගේ ආණ්ඩුවට යැ යි... එංගලන්තයේ මහරැජිණ ගේ ආණ්ඩුවට නේ..."
"ඒක තමයි, පෙබරවාරී හතර නිදහස ලැබුණා කිවුවට, අවසාන වශයෙන් රටේ නායිකාව එංගලන්තයේ මහරැජිණ!"
"ඒක නේ... හතළිස් අටේ නිදහස ලැබුණා කිවුවාට... තිරිකුණාමලය වරාය, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ... මේවා තිබුණේ බ්‍රිතාන්‍යයන් යටතේ නේ..."
"ඔව්, බණ්ඩාරනායක අගමැතිතුමා තමයි, ඒවා අපේ රටේ පාලනයට ගත්තේ!"
"ඒවාට ඉතින් ජීවිතෙන් ම වන්දි ගෙවන්න වුණා නේ..."
"ඒ විතරක් ය යි, දැන් ඔය අනුර ඉන්දියාවත් එක්ක දියුණු කරන්න යන තිරිකුණාමලයේ තෙල් ටැංකි! ඒවාත් පවුම් දහස්ගණනක් ගෙවලා නේ ලංකාවට පවරා ගත්තේ!"
"මැතිණිය ගේ ආණ්ඩුවට එරෙහිවත් හමුදා කුමන්ත්‍රණයක් සිද්ධ කළේ... විසිතුන් වන පැයේ තොරතුරක් ලැබුණු නිසා එතුමිය ගේ ජීවිතේ බේරුණේ... ඒ කුමන්ත්‍රණ කාරයන්වත් එංගලන්තේ සාමි මණ්ඩලේ නිදහස් කළා නේ!"
"එහෙනම් අප්පේ... කොහොම ද අපි හතළිස්අටේ... පෙබරවාරි හතර... නිදහස් වුණා කියන්නේ?
"හැබෑට ම!"
"දැන් ඔය කොලුවෝ අප්‍රේල් කැරැල්ල ගැහුවේ.. ඒ රැජිණ ගේ ආණ්ඩුවට එරෙහිව නේ..."
"ඇත්තට ම එහෙම ද.... නැත්නම්.. ?"
"නැත්නම්?"
"මේක, මැතිණිය ගේ ආණ්ඩුවට විරුද්ධ හමුදා කුමන්ත්‍රණය වගේ ම ද... මේ කැරැල්ල අධිරාජ්‍යයට විරුද්ධව ද... නැතිනම් අධිරාජ්‍යයෙන් මිදෙන්න ලැබුණු ජනවරමට විරුද්ධව ද?"
"කිවුවත් වගේ... ඩොමීනියන් තත්වයෙන් මිදෙන්න, බ්‍රිතාන්‍යයෙන් මුළුමනින් ම මිදෙන්න, තුනෙන් දෙකක පාර්ලිමේන්තු ජනවරමක් පළමු වරට ලැබුණු ගමන්... අඩු ම තරමින් ඒ ප්‍රතිඥා ඉටු කරයි ද කියලා අවුරුද්දක්වත් නොබලා නේ කැරැල්ල ගැහුවේ!"
"ඒක නේ... මැතිණිය කැරැල්ල පරාද කළාට. අන්තිමට මේ විනාසේ ජේ.ආර්.ට පාර කැපුවා."

"ඇත්ත නේ... ප්‍රේමදාස මහත්තයා වේදිකාවක් ගානේ කිවුවේ... මනම්පේරි ඝාතනය ගැන... කැරැල්ලේ විනාශය ගැන නේ... ඒ අත්අඩංගුවට ගත් තරුණ-තරුණියන්ව පුනරුත්ථාපනය කරලා, සමාජගත කරලා තියෙද්දී... ඔය මනම්පේරි ඝාතනයට අදාල හමුදා නිලධාරියාට එරෙහි ව විනය පියවර ගත්තා ලු!"
"එතකොට... මේ පාරත් වෙන්නේ ඒක ද? අන්තිමට විජාතික බලවේගවලට ඕනෑ දේ ද?"
"ඒ කිවුවේ...?"
"ඇයි මහත්තයෝ... දැන් ඔය මුල්‍ය අරමුදලේ ගිවිසුම එහෙම ම ඉදිරියට යනවා නේ. .?"
"ඒක නෙවේ, ඇයි මේ නිදහස් සමරුවට, නිදහස් චතුරස්‍රයේ පිටුපස?"
"නිදහස් සමරුව, නිදහස් චතුරස්‍රයේ පිටුපස?"

"ගෝඨාභය ජනාධිපතිතුමා ගේ කාලේ නම් කළේ එහා පැත්තේ තමයි, මේ කරන්න යන්නේ පිටුපස ද? ඔබතුමා හමුදාවේ නිසා දන්නවා ඇති නේ...?"
"ඔව්, පිටුපස තමයි... අනෙක් පස නේ ප්‍රධාන කොඩිගහ, පීඨිකාව..."
"වැරැදිලා ද?"
"නිදහස පස්සට?"
"අනේ දෙවියනේ!"
"මාර්තු දෙ වන දාට ම ගෙනගියා නම්... හැත්තෑහය වසරක සාපය කිය-කියා... නිදහස ලැබීම ම සාපයක් කියලා නේ මේ අය නොකියා කියන්නේ...?"
"කිවුවත් වගේ, මාර්තු දෙක වඩා ගැලපේ වගේ!"
"කවුද එතකොට බ්‍රවුන්රිග් ගේ තැන ගන්නේ...?"
"ඇයි අර තනාපතිතුමිය... එතුමිය ගැලපෙනවා නේ!"
"එකෙන් ම!"
"එතකොට ඩොයිලි?"
"ගවර්නර්... ඇත්තට ම දැන් රට පාලනය කරන්නේ එතුමා නේ!"
"අර රේගු පරීක්ෂාවකින් තොර ව කන්ටේනර් නිදහස් කරගන්න ආණ්ඩුකාරතුමා ද?"
"එ තුමා අඩුගාණේ මේ ආණ්ඩුව බලයට ගේන්න පරිත්‍යාග කළා ලු නේ... එ තුමාත් බලගතු ආණ්ඩුකාරයෙක් තමයි!" 
"එතකොට ඩොයිලී?"
"ගෝඨාභය තමන් ගේ ජනවරම පාවාදුන්න වෙලාවේ පත් කළ අධිපතිතුමා, මුල්‍ය අරමුදලට යන්න තෝරාගත්තු ගවර්නර්!"
"තෝරගත්තා ද... තෝරලා දුන්නා ද?"
"හැබෑට ම, මහබැංකු අධිපතිතුමා... ගෝඨාභය ගේ අධිපති! රනිල් ගේ අධිපති!! දැන් අනුර ගේත් අධිපති!!!"
"ඒක නේ මම කිවුවේ... මුල්‍ය අරමුදලේ ගිවිසුම ඉදිරියට ම යනවා කියලා!"
"එතකොට සමරන්නේ උඩරට ගිවිසුම ද... මේ මුල්‍ය අරමුදලේ ගිවිසුම ද?"
"දෙක ම ද!"
| ගජබා
(ඉරිදා දිවයින සංග්‍රහය, 2025/02/02)



