හඳගමගේ පූර්ව-පරිණත විශ්‍රාමික තීරණයේ අභිප්‍රාය වූයේ, දුම්කොළ නැට්ටට හිර වුණ බෙල්ලට නිදහස දී තමන් වඩා කැමති කලා කලාපයේ පූර්ණ කාලීන ව කල් ගත කිරීමට ය. එහෙත් ඊට කනකොකා හැඬුවේ කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග ය. වසංගතයෙන් පැනවුණු සීමා හා බියකරු මානසිකත්වය නිසා බොහෝ කලාකරුවෝ නිර්මාණකරණයෙන් වැළකී සිටිය හ. මාරාන්තික වයිරසයක් සමග හඳගම හැප්පුණේ "ඇල්කොහොල් නැති බියර්" නමැති කරන්නට බැරි දෙයක් කරමිණි. ඊට ඔහු භාවිතා කළ තාක්ෂණ උපාය සංචරණ හා නිරෝධායන සීමාවලට වෙට්ටුවක් දමා සිනමා ප්‍රකාශනයක් සමාජගත කිරීමට සමත් විය. "අල්බොරාදා" චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කළේත් කෝවිඩ් සීමාවන් අතර ම ය. මේ ආකාරයට නාහෙට නාහන හඳගම ගමන ඉතා කෙටි කලකට හෝ අඩාළ කළේ ඔහුගේ අනපේක්ෂිත අසනීප තත්ත්ව ය.
අල්බොරාදා
රිචඩ් ද සොයිසා
හඳගම කරනට බලාපොරොත්තු වන සිනමා කෘතියේ තේමාව හෙළිදරව් කළ විට මට සතුටක් ද දුකක් ද එක සේ දැනිණ. රිචඩ් ද සොයිසා එකල අප පාසලේ ගුරුවරයකු වූ අතර, අපට හත්වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන් වී ය. සුදු කුරුතා කමිසයක් හැඳ, එහි දෑත් වැලමිට තෙක් රෝල් කර, කුරුතාව කිටි කිටියට ඇදගත් ඩෙනීම් ජීන්සයකට යට කොට, ඔහු පාසලට එන්නේ ට්‍රේල් මෝටර් බයිසිකලයකිණි. එය මනරම් සිනමා දර්ශනයකි.
එකල ලංගමයෙන් මසකට වරක් පාසලට එන්නේ සීසන් ටිකැට්ටු විකිණීමට වන අතර, බොහෝවිට අපට එය මිලදී ගැනීමට අවශ්‍ය සල්ලි ගෙන ඒමට අමතක වේ. මේ අවස්ථාවේ අප කවුරු කවුරුත් පොඩි ලෝන් එකක් ගහන්නේ රිචර්ඩ් සර් ගෙනි. මා ඇතුළු කීපදෙනෙක් ම ඒ ණය පියවන්නේ නැති (ඒ මුදලෙන් කැන්ටිමෙන් යමක් කන නිසා) වූවත් ඔහු කෙදිනක හෝ ඒ ගැන විමසුවේ නැත. පාසල් රැකියාවෙන් පසුව ද රිචඩ් නාට්‍ය කටයුතු සඳහා නිතර ආගිය කෙනෙක් වූ අතර, ඉන් පසු ව ලයනල් වෙන්ට් හි පිහිටි සමාජ ශාලාව ආශ්‍රිත ව නඩත්තු වූ ඔහුගේ මිතුරු සමාජය ගැන ද යම් අවබෝධයක් මට තිබිණ.
ස්වර්ණා මල්ලවාරච්චි - වෛද්‍ය මනෝරානි සරවනමුත්තු
වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මට හමුවන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නොව, එන්ජීඕ කලාපයේ ය. ඈ සභාපතිත්වය දැරූ සෙන්ටර් ෆො ෆැමිලි සර්විසස් ආයතනය (රිචඩ් ගේ මරණයෙන් පසු, දරුවන් හෝ ස්වාමිපුරුෂයන් අහිමි වූ කාන්තාවන් සමග වැඩ කිරීමට ස්ථාපිත කරන ලද්දකි) සමග මා එකල සමීප වෘත්තිය සම්බන්ධයක් පවත්වාගෙන ගිය නිසා ඇයගේ ඇවතුම් පැවතුම් ගැන යම් අවබෝධයක් ලැබිණ. මේ කරුණු මා හෙළි කළ විට, හඳගම වඩාත් සතුටු විය.
ඉන්පසු සති කිහිපයක් ම, උදේ පාන්දර ම චිත්‍රපටයේ දර්ශනයක තේමාව සහිත පේළි දෙක තුනක් ද සහිත ව දුරකථන ඇමතුමක් මට ලැබෙන්නේ අසෝක බාස්ගෙන් ය. ඉන් අනතුරු ව දවසම මා කරන්නේ එය විස්තාරණය කරමින් දෙබස් ලිවීම ය. මා ඇනූ දෙබස් බදාම ටික ඊමේල තාච්චියකට දමා මා අසෝක බාස්ට පිළිගන්වන අතර, "තව හොඳට අනන්න" (දෙබස් ඔයිට වඩා කඩල කඩලා ලියන්න, ටෙන්ෂන් එක වැඩි කරන්න, බිල්ඩප් එක තව ගන්න) ආදී වශයෙන් ඔහු මට පෙරළා කියන අතර, ඒ අනුව මම නැවත වරක් දෙබස් බදාමය වැලි සිමෙන්ති අඩු වැඩි කරමින්, වතුර ගසමින් නැවත අනා පිළිගන්වමි. සමහර විට මා අනන තාච්චි ප්‍රතික්ෂේප වේ. එහෙත් මට සතුට දැනෙන්නේ "නියමයි" කියා අසෝක බාස් මට ඉමෝජියක් එවන විටය. විටෙක ඔහු උදැල්ල ගෙන බදාම අනයි; ඒ ඔහු මට දෙබස් අනන්නට උගන්නන හැටි ය. සමහර අවස්ථාවලදී අසෝක බාස් මට ගල් පේලියක් දෙකක් අල්ලන්නට ඉඩ හසර ලබා දෙන්නේ දර්ශනයේ ස්වරූපය හා ගලා යෑම ගැන ද මගේ නිර්මාණශීලී දායකත්වයට ද අවකාශයක් සකසා දෙමිණි.

චිත්‍රපටයට නමක් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් යෝජනා කරන ලෙස හඳගම මට කී අතර. මුලින් අප තීරණය කළේ "ඕ අබ්සලොම් මයි සන්" යන බයිබලීය මූලාශ්‍රයකින් එන එකකි. චිත්‍රපටය රූගත කරන විට ක්ලැපරයේ ලියා තිබුණේ මේ නම ය. ඉන් පසු ව, ඊට වඩා හාත්පසින් ම ගැලපෙන නමක් වූ "රාණි" චිත්‍රපටයට යෙදිණ.
මට මතක විදියට, හරියට මාසයකින් පමණ තිර නාටකය ලියා අවසන් වූ අතර, වැඩි කලක් යන්නට පෙර නිෂ්පාදන කටයුතු ද පශ්චාත් නිෂ්පාදන කටයුතු ද ඉතා හොඳින් කෙරුණ බව මට දැන ගන්නට ලැබිණ. රටේ නොසිටි නිසා මේ අවධියට මට සහභාගී වීමට උනන්දුවක් හෝ අවස්ථාවක් නොවී ය. එහෙත් ඒ අවධියේදී අසෝක බාස්ට රාණි බිල්ඩිමේ බිත්ති බඳින්ටත්, උළුවහු තියන්නටත් වහල ගහන්නටත්, සුද තියා "ප්ලේන්ට්" කරන්නටත් දක්ෂකම ද කැපවීම ද එක සේ තිබූ කණ්ඩායමක් ගොනු කරගන්නට හැකි වූ බව බිල්ඩිමේ "පිනිශ්" එක දුටු විට කෙනෙකුට හොඳින් වැටහේ. මෙහි සිදු වූ තවත් විශේෂත්වයක් වූයේ, රාණි බිල්ඩිමට ගෙවදින්නට පෙර ම ඒ ගැන ලොකු කතා බහක් ඇති වීමත්, පෝස්ටර් බාස්ලා විශාල ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් ම රාණී බිල්ඩිම ගැන පෝස්ටර් ඇඳීම යි.
අසෝක බාස් කෙතරම් දස්ස බාස් කෙනෙකු වුවත්, මේ සා ගොඩනැගිල්ලක් ගොඩනගන්නට විය පැහැදම් දැරීමට අත මිට සරු අර්ථපතියෙක් සිටිය යුතු ය. කුමන හෝ හේතුවකට හෝ අහේතුවකට, ඒ වැඩේට අත හිත දෙන්නට ඉදිරිපත් වුණේ ද තවත් බාස් කෙනෙක් ය. ඒ වෙන කවුරුත් නොව ලොව පරසිඳු ලයිකා මොබයිල් ව්‍යාපාරය හා තවත් ව්‍යාපාර ගණනාවක අධිපති සුබාස්කරන් අලිරාජා මහතා ය.
(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



