The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'නිදොස් පුද්ගලයින්ට' අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?

T

The Leader Desk

February 4, 2025 • 6:37 AM

'නිදොස් පුද්ගලයින්ට' අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු පහ හමාරක් තිස්සේ ඔහු පමණක් නොව පවුලේ සාමාජිකයින් ද සමාජයේ විවිධ පීඩනවලට ලක්විය.
  • ඔහුගේ දියණියගේ පාසල් ගමන ද අඩාළ වූ බවට මාධ්‍ය වාර්තා පළ විය.
  • කෙසේ වෙතත්, වසර 5කුත් මාස 6කට පසු අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
  • ඔක්තෝබර් 06 වන දා ඔහු කළ ප්‍රකාශය තුළ, "එවැනි අසාධාරණයක් තවත් කෙනෙකුට සිදු නොවීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා," යනුවෙන් ද සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන් කරපු, ඒ වෙනුවෙන් පෙනී සිටිය අයගේ ජයග්‍රහණයක්.''
එලෙස අදහස් පළ කළේ, කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටි වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි නිදොස් කොට නිදහස් කිරීමටත්, ඔහුට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කිරීමටත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ඔක්තෝබර් 06 වන දා නියෝග කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ය.


අවුරුදු පහ හමාරක් තිස්සේ ඔහු පමණක් නොව පවුලේ සාමාජිකයින් ද සමාජයේ විවිධ පීඩනවලට ලක්විය. ඔහුගේ දියණියගේ පාසල් ගමන ද අඩාළ වූ බවට මාධ්‍ය වාර්තා පළ විය.

කෙසේ වෙතත්, වසර 5කුත් මාස 6කට පසු අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

2024 ඔක්තෝබර් 06 වන දා ඔහු කළ ප්‍රකාශය තුළ, "එවැනි අසාධාරණයක් තවත් කෙනෙකුට සිදු නොවීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා," යනුවෙන් ද සඳහන් විය.

 

shafi1

වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි

 

නිදොස් කොට නිදහස් කරන ලද තවත් අවස්ථා

වෛද්‍ය ෂාෆිගේ සිද්ධියට අමතරව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි කිහිප දෙනෙක් ද පසුව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ශක්තික සත්කුමා


ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (26) කැඳවයිශක්තික සත්කුමාර
මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති මෙම පනත යොදා ගනිමින් ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලදී.

භික්ෂූන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබු අතර "අර්ධ" නමින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

අත්අඩංගුවට ගෙන දින 130 ක කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහුට ඇප මත මුදා හරිනු ලැබුවේ 2019 අගෝස්තු 08 දින ය.

ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී 2021 පෙබරවාරි මස 9 වන දා විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කරන ලද වාර්තා සලකා බැලූ මහෙස්ත්‍රාත් අධිකරණය හෙතෙම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ ය.

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර

බුදුදහමට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදු කළ බව පවසමින් පවරා තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2024 ජූනි මස 19 වන දා නියෝග කළේ ය.

නතාෂා එදිරිසුරිය සහ බෲනෝ දිවාකර අත්අඩංගුවට ගැනීමට මුලික වූයේ, 'මෝඩාභිමානය' නමින් පවත්වනු ලැබූ ප්‍රහසන වැඩසටහනකදී සිදුකළ බවට පැවසූ ප්‍රකාශයක් සම්බන්ධව ය.

ඇයට සහ ඔහුට වසරක පමණ කාලයක් එහි විත්තිකරුවන් ලෙස සිටීමට සිදුවිය.

 

natasha

නතාෂා එදිරිසූරිය

 

'නීතිය පළිගැනීමේ අවියක් විදිහට පාවිච්චි කිරීම නතර කළ යුතු යි'

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීම හරහා තමන්ට හිතාමතා දැඩි පීඩනයක් එල්ල කිරීමට උත්සහ කළ බව මාධ්‍යවේදී බෲනෝ දිවාකර පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, එය තමන්ට පමණක් නොව සියලු ම ප්‍රහසන ශිල්පීන්ට එල්ල කළ පීඩනයක් බව ය.

 

පුවත් - Results from #6072බෲනෝ දිවාකර

"මට සිද්ධ වුණා හිත මිතුරන්, ඥාතීන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. මම ආගමකට අපහාසයක් කළා ද කියන සැකය ඔවුන් අතර ඇති වුණා. ඒකෙන් අපට සිද්ධ වුණා කාලයක් සැඟවිලා වගේ ඉන්න. මම කොහොම හරි ඒ පීඩනයට අමාරුවෙන් හරි මුහුණ දුන්නා. ඒත් නතාෂා ඇතුළු කිහිප දෙනෙකුට ම ඒ චෝදනාව නිසා ඇති වුණ කම්පනයෙන් ගැලවෙන්න පුළුවන් වුණේ නෑ. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රහසන ශිල්පී භූමිකාවෙන් ඉවත් වෙන්න පවා තීරණය කළා. පිරිසකට ඕන වුණා අපේ කටවල් වසන්න. ඒ නිසයි එහෙම දෙයක් කළේ. මම දකින්නේ සමාජයේ හොඳට තියෙන නීති පළිගැනීමට අවියක් ලෙස පාවිච්චි කරන එක නතර කරන්න ඕන. ඒ නිසා මම ඒ අපහාසයට එරෙහිව වන්දි නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒත්, සමාජයේ හඬක් නැති අය මේ වගේ අසත්‍ය චෝදනා නිසා අපහසුතාවට පත්වෙනවා ඇති ද? ඒක නතර කළ යුතු යි."

නිදොස් පුද්ගලයෙකුට අසත්‍ය චෝදනා එල්ල කළහොත් කළ හැක්කේ කුමක් ද?

නිදොස් පුද්ගලයෙකු ලෙස වසර ගණනක් විත්තිකරුවෙකු කර තැබීම හරහා ඔහුට යම් අගතියක් සිදුවිය හැකි ය.

ඒ, ඔහුට හෝ ඇයට තමන් නිර්දෝෂී බව අධිකරණය හමුවේ ඔප්පු කිරීමට යම් කාලයක් ගත වන හෙයිනි.

චෝදනාව එල්ල වී විත්තිකරුවෙකු ලෙස ගත කරන කාලය තුළ ඔහුට හෝ ඇයට සමාජමය වශයෙන් යම් අගතියක් සිදුවන බව නීතිවේදීහු පිළිගනිති.

එවැනි අවස්ථාවකදී අගතියට පත් පුද්ගලයාට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිඥ අචලා සෙනෙවිරත්න පැහැදිලි කළා ය.

"යම් පුද්ගලයෙක් යම් චෝදනාවක් සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරපු දිනයේ ඉඳල මාසයක් ඇතුළත නොතීසි යවල ඒ කට්ටියට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවලා ඊට පස්සේ මාස තුනක් ඇතුළත ද්වේශසහගත නඩු පැවරීම යටතේ සිවිල් අධිකරණයේ නඩුවක් දාලා වන්දි ගන්න පුළුවන්."

වන්දියේ වටිනාකම තීරණය වන්නේ කෙසේ ද?

වන්දි නඩුවක් පැවරීමේදී අදාළ පුද්ගලයාගේ සමාජයීය සහ සිවිල් තත්ත්වය අනුව වන්දියේ වටිනාකම තීරණය වන බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය.

"තමන්ට වුණ හානිය සහ කීර්ති නාමය කෙළසීම කියන එක මත තමයි වන්දිය තීරණය වෙන්නේ. කෙනෙකුගේ වටිනාකම තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ තත්ත්වය මත. ඒ කෙනාගෙ කීර්තිය, සමාජමය වටිනාකම, කරපු රැකියාව ඒ ඔක්කොම බලපානවා ඒකට. ඒ කරුණු සලකලා තමන්ට තීරණය කරන්න පුළුවන් වන්දි මුදල කීය ද කියලා."

'නිදොස් කොට නිදහස් කිරීම' යනු කුමක් ද?

යම් චූදිතයෙකු නිදොස් කොට නිදහස් කිරීම සඳහා බලපාන සාධක කිහිපයක් තිබේ.

"සාක්ෂි නොමැති වීම, සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හෝ විවිධ තාක්ෂණික ගැටලු මත නඩු ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. මේ වගේ අවස්ථාවල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදු කරන්න පුළුවන්," නීතීඥ සන්ධ්‍යා පෙරේරා මීට පෙර බීබීසී සිංහල සේවය පළ කළ ලිපියකදී පැහැදිලි කර තිබිණි.

අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන් ම පැවරී ඇත්තේ පැමිණිලි පාර්ශවය වෙත ය.

අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ, අහිංසකභාවයේ පූර්ව නිගමනයට (Presumption of innocence) අනුව ය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයෙකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ වී තිබේ.

(සටහන | කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...