The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'තරුණ ප්‍රජාව අතර පිළිකා අවදානම ඉහළට': ඔබට පිළිකාවක් ඇත්දැයි කල්තබා හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවා ද?

T

The Leader Desk

February 4, 2025 • 8:52 AM

'තරුණ ප්‍රජාව අතර පිළිකා අවදානම ඉහළට': ඔබට පිළිකාවක් ඇත්දැයි කල්තබා හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව විසින් සිදුකළ පර්යේෂණයක දත්තවලට අනුව, වයස අවුරුදු 50ට අඩු පිරිස් අතර පිළිකාව වර්ධනය වීම ඉහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය වේ.
  • කැපී පෙනෙන ලෙස වර්ධනය වන ගෝලීය සෞඛ්‍යමය අභියෝගයක් වන මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ද විශාල බලපෑමක් එල්ල කරයි.
  • වන විට 77%ක ගෝලීය වැඩි වීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරන්නේ, 2050 වන විට වසරකට වාර්තා වන නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 77%කින් වැඩි වනු ඇති බවට ය.
  • එම තත්ත්වය පහළ සහ මැදි අදායම් ලබන රටවල්වල වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වනු ඇතැයි පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව විසින් සිදුකළ පර්යේෂණයක දත්තවලට අනුව, වයස අවුරුදු 50ට අඩු පිරිස් අතර පිළිකාව වර්ධනය වීම ඉහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය වේ.


කැපී පෙනෙන ලෙස වර්ධනය වන ගෝලීය සෞඛ්‍යමය අභියෝගයක් වන මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ද විශාල බලපෑමක් එල්ල කරයි.

2050 වන විට 77%ක ගෝලීය වැඩි වීමක්

 

ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි

ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරන්නේ, 2050 වන විට වසරකට වාර්තා වන නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 77%කින් වැඩි වනු ඇති බවට ය.

එම තත්ත්වය පහළ සහ මැදි අදායම් ලබන රටවල්වල වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වනු ඇතැයි පැවසෙයි.

ජනගහනය වයස්ගත වීම, දුම්කොළ සහ ඇල්කොහොල් භාවිතය සහ ස්ථුලභාවය මෙම තත්ත්වය හේතු වන ප්‍රධාන සාධක කිහිපයකි.

2022 වසරේදී ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 20ක් වාර්තා වී ඇති අතර, එය ගෝලීයව සිදුවන දෙවන වැඩි ම මරණවලට හේතුව යි.

එම වසරේ ම පිළිකා ආශ්‍රිත මරණ මිලියන 9.7ක් වාර්තා වී ඇති අතර, එයින් මරණ මිලියන 1.8කට හේතු වී ඇත්තේ පෙනහලු පිළිකා වේ.

එය එම වසරේ සිදුවූ මරණවල ප්‍රතිශතයක් වශයෙන් 18.7%කි.

ගෝලීයව වැඩියෙන් ම වාර්තා වන්නේ ද පෙනහලු ආශ්‍රිත පිළිකා වන අතර, පියයුරු පිළිකා වාර්තාවීම් අතින් දෙවන ස්ථානයේ ද, ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තෙවනුව වැඩි වශයෙන් ද වාර්තා වේ.

cancer BBC

ගෝලීයව අවුරුදු 50ට අඩු පුද්ගලයින් අතර පිළිකා වැඩි වීමක්

 

බ්‍රිතාන්‍යයේ පිළිකා පිළිබඳ සඟරාවක් වන BMJ Oncology විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, 1990ට සාපේක්ෂව 2019 වන විට වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින්ට පිළිකාව වැළඳීම 79%කින් ඉහළ ගොස් ඇති බව ය.

මෙම වයස් කාණ්ඩයේ ම පිළිකා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1990 සිට 2019 වන විට 28%කින් ඉහළ ගොස් ඇති බව ද එහි තවත් සොයා ගැනීමකි.

මෙම පර්යේෂණයේදී ඔවුන් රටවල් 204ක පිළිකා වර්ග 29ක් නිරීක්ෂණය කර තිබේ.

ඇමෙරිකානු පිළිකා සංගමයේ (ACS) නවතම වාර්තාවක දැක්වෙන්නේ, වයස අවුරුදු 50ට අඩු සුදු ජාතික කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇතිවීමේ අනුපාතිකය 2012 සහ 2021 අතර කාලයේදී වාර්ෂිකව 1.4%කින් වැඩි වී ඇති අතර, එය වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ගෙන් 0.7%ට සාපේක්ෂ වැඩි අගයක් ගන්නා බව ය.

දිනකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 12ක් !

 

උගුරේ ඉහළ කොටසේ ඇති වන පිළිකා, අමාශය ආශ්‍රිත පිළිකා සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තරුණ වැඩිහිටියන් අතර බහුලව වාර්තා වී ඇති බව බ්‍රිතාන්‍යයේ පිළිකා පිළිබඳ සඟරාව වැඩිදුරටත් විස්තර කරයි.

මහරගම ජාතික පිළිකා ආයතනයේ රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන ජනවාරි 29 වන දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, 1990 - 2020 දශක තුනක කාලය තුළ දත්ත පිරික්සීමේදී මේ වන විට වසරකට අවුරුදු 50ට අඩු පිළිකා රෝගීන් මිලියනයක් පමණ මිය යන බව පෙනී යන බව ය.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වාර්තා වීම

cancer BBC 1

වාර්තා වූවන්ගෙන් 17,582ක් පිරිමින් වන අතර, 20,171ක් කාන්තාවන් ය.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පෙන්වා දුන්නේ, 2021 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 37,753ක් බව ය.

ඒ අතරින්, 17,582ක් පිරිමි පුද්ගලයින් වන අතර, 20,171ක් කාන්තාවෝ වෙති.

ජාතික පිළිකා මර්දන වැඩසටහන නිකුත් කර ඇති දත්තවලට අනුව 2005 සිට 2021 වසරවලදී නව පිළිකා රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.

මෙතෙක් ජාතික දත්ත ලෙස 2021 වසර දක්වා පමණක් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්ත වාර්තා නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග පිළිබඳ ඒකකය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, 2022 වසරේ වාර්තා වී ඇති නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 33,243ක් බව ය.

cancer BBC 2

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පිළිකා වාර්තා වන්නේ කාන්තාවන්ගෙන් වන අතර, වෛද්‍ය හසරැලි පැවසුවේ කාන්තාවන් අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු පිළිකාව බව ය

 

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති පිළිකා රෝගීන් අතර බහුලව ම වාර්තා වන පිළිකා පිළිබඳව ද වෛද්‍ය හසරැලි විස්තර කළා ය.

"ශ්‍රී ලංකාවේ පිරිමින් අතර වැඩි වශයෙන් වාර්තා වෙන්නේ මුඛ පිළිකා. ඉන්පසුව වාර්තා වෙන්නේ පෙනහලු ආශ්‍රිත පිළිකා," වෛද්‍යවරිය විස්තර කළා ය.

පිරිමින් අතර තෙවනුවට වැඩියෙන් ම වාර්තා වන්නේ මහා අන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා බව ඇය පැවසුවා ය.

දත්ත දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පිළිකා වාර්තා වන්නේ කාන්තාවන්ගේ වන අතර, කාන්තාවන් අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු පිළිකාව බව වෛද්‍ය හසරැලි පවසයි.

ඉන්පසුව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන පිළිකා වාර්තා වීම ඉහළ අගයක් ගන්නා අතර, තෙවනුව මහා අන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිතව වාර්තා වන පිළිකා වැඩි අගයක් ගනියි.

cancer BBC 3

'ශ්‍රී ලංකාවේ පිරිමින් අතර වැඩි වශයෙන් වාර්තා වෙන්නේ මුඛ පිළිකා. ඉන්පසුව වාර්තා වෙන්නේ පෙනහලු ආශ්‍රිත පිළිකා'

 

පිළිකා වාර්තාවීම ඉහළ යන්නේ ඇයි?

බ්‍රිතාන්‍යයේ පිළිකා පිළිබඳ සඟරාව සහ ලැන්සෙට් වාර්තාවන්ට අනුව පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වර්ධනය වීමට එක් හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ, වැරදි ආහාර ගැනීමේ පුරුදු ය.

තව ද ස්ථුලභාවය සහ හෝර්මෝන අක්‍රිය වීම පිළිකා අවදානම වැඩි වීමට හේතු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන ද පිළිකා බහුල වීමට හේතු කිහිපයක් පැහැදිලි කළේ ය.

"පිළිකා රෝගය බහුල වීමට හේතුව වෙන්නේ ලෝකයේ ජනගහනය දිනෙන් දින ම වයස්ගත වීම," ඔහු පැවසුවේ ය.

"ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වන රටවල් අතරින් ප්‍රමුඛස්ථානයේ සිටින රටක්. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ඉතා ම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දැනට අනුමානය කරලා තියෙනවා 2040 වන විට ශ්‍රී ලංකාවේ 60ට වැඩි අය අතර 25%ක් පිළිකා වාර්තා වෙන්න පුළුවන් කියලා."

ඔහු පැවසුවේ වයස්ගත වීමත් සමග පිළිකා තත්වය ඇතිවීමට අවදානම වැඩි වන බවයි.

මීට අමතරව කලින් හඳුනාගැනීමට ඇති හැකියාවන් වර්තමානය වන විට දියුණු වී ඇති නිසා පසුකාලීනව හඳුනාගැනීමට ඉඩ ඇති පිළිකා කලින් හඳුනාගැනීම, පිළිකා වාර්තාවීම ඉහළ යාමට හේතුවක් බව ඔහු පැවසුවේ ය.

"ඒ වගේ ම වයස අවුරුදු 50ට වඩා අඩු අය අතර පිළිකාව ශීඝ්‍රයෙන් වර්ධනය වන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේක හරි ම සංකීර්ණ කරුණක්," වෛද්‍යවරයා පැවසුවේ ය.

"මත්පැන් පානය, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානය වැනි හේතු ප්‍රධාන වශයෙන් හේතු වන බව පෙන්වා දිය හැකි යි. තවත් ප්‍රධානතම සාධකයන් වන්නේ ක්‍රියාශීලී නැති, ව්‍යායාම නැති ජීවිතයක් ගත කිරීම."

මීට අමතරව සමබල ආහාරවේලක් නොගැනීම, ආහාර රටා වර්තමානයේ වෙනස්ව තිබීම, ස්ථුලභාවය සහ තරබාරුකම ද වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින් අතර පිළිකා වර්ධනය වීමට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ ය.

 cancer BBC 5

පිළිකාවේ මුල් අවස්ථාවේදී ම හඳුනා ගැනීමෙන් වාර්තා වන පිළිකාවලින් තුනෙන් එකක් නිට්ටාවට ම සුව කළ හැකි බව වෛද්‍ය හසරැලි පැවසුවා ය.

කලින් හඳුනා ගන්නේ කෙසේ ද?

ශ්‍රී ලාංකිකයන් අතර බහුල පිළිකා තත්ත්වයන් කලින් හඳුනාගත හැකි රෝග ලක්ෂණ පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පැහැදිලි කළේ ය. එවැනි අවස්ථාවකදී හඳුනාගත රෝග ලක්ෂණ ලෙස පහත රෝග ලක්ෂණ ඔහු පැහැදිලි කළේ ය.

මුඛ පිළිකා

* සුදු හෝ රතු පැහැති පැල්ලම්
* ගැටිති/ගෙඩි
* දිවේ ඇති වන ඝනවීම් සහ වෙනස්වීම්
* කල් පවතින සුව නොවෙන තුවාල
* ගිලීමේ අපහසුතා
* සැපීමේ අපහසුතා
* විශේෂ හේතුවක් නොමැතිව දත් සෙලවීම හෝ වැටීම
* කටහඬ වෙනස් වීම
* බෙල්ලේ ඇති වන ඉදිමීම්

පෙනහලු පිළිකා

* කල් පවතින කැස්ස
* කැස්ස සමග ලේ වහනය
* පපුවේ හෝ උරහිසේ වේදනාව
* හුස්ම ගැනීමේ අපහසුතා
* අලුතෙන් ඇදුම තත්ත්වයන් ඇතිවීම
* බර අඩුවීම සහ කෑම අරුචිය

බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා

* මළපහ පිටවීමේ දෛනික රටාව වෙනස් වීම
* මළපහවල ස්වභාවය වෙනස් වීම
* මළපහ සමග රුධිරය පිටවීම
* උදරයේ වේදනාව

ගලනාලය ආශ්‍රිත පිළිකා

* ගිලීමේ අපහසුතා
* ආහාර ගැනීමේදී වේදනාවක් දැනීම
* කෑම අරුචිය සහ බර අඩුවීම
* කළු පැහැයෙන් මළපහ වීම
* ආහාර දිරවීමේ අපහසුතා කලක් තිස්සේ පැවතීම

පියයුරු පිළිකා

* පියයුරේ ගැටිත්තක් ඇතිවීම
* පියයුරු සමේ ඇති වන වෙනස්කම්
* තන පුඩුවේ සිදුවන වෙනස්කම්
* පියයුරුවල හැඩයේ ඇති වන වෙනස්කම්
* කිහිල්ලේ ඇති වන ගැටිති හෝ ඉදිමීම්
* තන පුඩුවෙන් ශ්‍රාවයන් පිටවීම

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකා

* ගෙලේ, උගුරේ ඉදිමීම්
* ගිලීමේ අපහසුතා කටහඬ වෙනස් වීම

මෙවැනි රෝග ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහා ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සිදු කළ යුතු බවට වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

ඒවා හඳුනාගත් විගස වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් පිළිකාව කලින් හඳුනා ගතහොත් ඇතැම් පිළිකා නිට්ටාවට ම සුව කළ හැකි බව ඔහු පැවසුවේ ය.

'පිළිකා වළක්වා ගැනීමට සහ නිට්ටාවට ම සුව කළ හැකි යි'

 

පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
ශ්‍රී ලාංකිකයන් අතර බහුලව වාර්තා වන පිළිකා තත්ත්වයන්ගෙන් තුනෙන් එකක් වළක්වා ගැනීමටත්, තුනෙන් එකක් කලින් හඳුනා ගැනීමටත් හැකි බව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පෙන්වා දුන්නා ය.

"අපි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා," ඇය පැවසුවා ය.

එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් ඇය පෙන්වා දුන්නා ය.

* දුම්පානය, මත්පැන් භාවිතය, පුවක් සහ දුම්කොළ සැපීමෙන් වැළකීම

* ක්ෂණික ආහාර, සැකසූ මස් වර්ග සහ රතු මස් ආහාරය අවම කිරීම

* දිනකට පැය බාගය බැගින් සතියකට දින පහක් ශරීරයට දැනෙන සේ ව්‍යායාම කිරීම

* ආරක්‍ෂිත ලිංගික සබඳතා පවත්වා ගැනීම


මුල් අවස්ථාවේදී ම පිළිකා හඳුනා ගැනීමෙන් ද පිළිකාවලින් තුනෙන් එකක් නිට්ටාවට ම සුව කළ හැකි බව වෛද්‍යවරිය පැවසුවා ය.

"පියයුරු පිළිකා වගේ පිළිකා කලින් හඳුනා ගැනීමෙන් නිට්ටාවට ම සුව කරන්න පුළුවන්. අවුරුදු 20ට වැඩි සියලු ම කාන්තාවන් මාසයක එක නිශ්චිත දවසක තමාගේ පියයුරු හොඳින් ස්පර්ශ කරලා බැලීමෙන් පියයුරේ වෙන වෙනස්කම් හඳුනාගන්න පුළුවන්," වෛද්‍ය හසරැලි පවසයි.

පිළිකා හඳුනා ගැනීමට ඔබ යා යුත්තේ කොතැනට ද?

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ මාධ්‍ය හමුවේදී පිළිකාවක් හඳුනා ගැනීමට පවතින පහසුකම් පිළිබඳව විස්තර කරන ලදී.

ඒ අනුව, පහත සඳහන් ඕනෑම ස්ථානයකින් ඔබට පිළිකාවක් වැළඳී තිබෙන්නේදැයි නොමිලේ ම පරික්ෂා කිරීමට අවස්ථාව තිබේ.

සුවනාරි සායන

* සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිතව 1,000කට අසන්න සායන සංඛ්‍යාවක් පැවැත්වේ. කාන්තාවන්ගේ මුඛ, පියයුරු සහ ගැබ්ගෙළ පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කරයි. වයස අවුරුදු 35 -45 අතර කාන්තාවන් අනිවාර්යයෙන් යොමු වීම වැදගත් ය.

නවදිවි සායන

* රජයේ රෝහල් ආශ්‍රිතව සායන 1,200ක් පමණ පැවැත්වේ. වයස අවුරුදු 35ට වැඩි ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයට ම යොමුවිය හැකි ය.

පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන

මධ්‍යස්ථාන 5ක් ක්‍රියාත්මක වේ.

* නාරාහේන්පිට
* මාතර
* යාපනය
* මඩකලපුව
* රත්නපුර

පියයුරු පිළිකා සායන

මෙම සායන 26ක් පමණ ක්‍රියාත්මක වේ.

ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනවල රැඳී නොසිට ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම සඳහා ආරම්භ කර ඇත. මීට අමතරව ඕනෑ ම ශල්‍ය සායනයක් හෝ රජයේ රෝහලක් වෙත යාමෙන් ඔබට පිළිකා තත්ත්වයන් මුලින් හඳුනාගෙන ඒවා සුව කර ගැනීමේ හැකියාව පවතියි.

| BBC සිංහල සේවය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'තරුණ ප්‍රජාව අතර පිළිකා අවදානම ඉහළට': ඔබට පිළිකාවක් ඇත්දැයි කල්තබා හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවා ද? | The Leader