The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නූතන ආදරය 'වැලන්ටයින් දින' ෆ්‍රී-මාකට් එකෙන් මිලට ගැනීම | කුසල් පෙරේරා

T

The Leader Desk

February 4, 2025 • 11:04 AM

නූතන ආදරය 'වැලන්ටයින් දින' ෆ්‍රී-මාකට් එකෙන් මිලට ගැනීම | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදරය විඳින්නට මිස, මනින්නට නොහැක්කකි.” - මේ මගේ කියැවීමකි පෙබරවාරි 14 වන දිනට නම්කර ඇති “වැලන්ටයින් දිනය” ආදරවන්තයින්ගේ දිනය ලෙස අලෙවි කර ගැනීමේ වෙළඳ කටයුතු දැනටම පටන් ගෙන ඇත.
  • සමාජ මාධ්‍ය ජාල වලද වැලන්ටයින් කතා ආරම්භවී ඇත.
  • “වැලන්ටයින් දිනය” සම්බන්ධ ඒ ප්‍රචාරක කටයුතු ප්‍රවේසමෙන් විමසන්නේ නම් දැකිය හැක්කේ, එය වැඩිහිටියනට අලෙවි නොකෙරෙන, යෞවනයින්ගේ “ආදරයට” සීමාකර ප්‍රචාරය කෙරෙන බවය.
  • එනිසා පසුගිය දින කිහිපයේ මම “ආදරය” ගැන ඇති අර්ථ දැක්වීම් සෙව්වෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආදරය විඳින්නට මිස, මනින්නට නොහැක්කකි.”

- මේ මගේ කියැවීමකි


පෙබරවාරි 14 වන දිනට නම්කර ඇති “වැලන්ටයින් දිනය” ආදරවන්තයින්ගේ දිනය ලෙස අලෙවි කර ගැනීමේ වෙළඳ කටයුතු දැනටම පටන් ගෙන ඇත. සමාජ මාධ්‍ය ජාල වලද වැලන්ටයින් කතා ආරම්භවී ඇත. “වැලන්ටයින් දිනය” සම්බන්ධ ඒ ප්‍රචාරක කටයුතු ප්‍රවේසමෙන් විමසන්නේ නම් දැකිය හැක්කේ, එය වැඩිහිටියනට අලෙවි නොකෙරෙන, යෞවනයින්ගේ “ආදරයට” සීමාකර ප්‍රචාරය කෙරෙන බවය. මේ සමාජය වැලන්ටයින් දිනයේවත් “ආදරය” වැඩිහිටියනට අදාලයැයි නොසිතන සමාජයකි.

 

classiclovestories 640 2
එනිසා පසුගිය දින කිහිපයේ මම “ආදරය” ගැන ඇති අර්ථ දැක්වීම් සෙව්වෙමි. ශේක්ස්පිය, චාල්ස් ඩිකන්ස්, ගොගොල්, ඩොස්ටොයිස්කි, ජේන් ඔස්ටන්, චාලට් බ්‍රොන්ටෙ, ගාර්සියා මාර්ක්වෙස්, ඩී.එච් ලෝරන්ස්, වොලේ සොයින්කා, චිනුආ අචෙබෙ, ඔස්කා වයිල්ඩ්, මාක් ට්වේන්, නැබකොව්, වර්ජීනියා වුල්ෆ්, ජේන් ඔස්ටන්, රෂ්ඩි, අරුන්දති රෝයි වැනි මගේ මතකයට නැගුණු මා ආදරය කරන විශ්ව සාහිත්‍යධරයින් “ආදරය” ගැන කියා ඇත්තේ මොනවාදැයි සෙව්වෙමි.

ඔවුන් ආදරය ගැන කියා ඇති සියල්ල සුමටය, සුන්දර ය. සියල්ල මනෝරාජික ය. පැබ්ලො නෙරුදා කියා තිබුණේ “මා ඔබට ආදරය කරන්නේ, ඒ කෙසේ ද? කවදා සිටද? නැතිනම් ඒ කොහේ සිටද? වැනි කිසිවක් නොදැනය” කියා ය. මාක් ට්වේන් කියා ඇත්තේ “ආදරය යනු ගොළුවන් හා බිහිරන් පවා තේරුම් ගන්නා භාෂාවක්” යැයි කියා ය. එහෙත් ඒ කිසිවකින් ආදරය සඳහා පොදු නිර්වචනයක්, පොදු අර්ථ දැක්වීමක් මට සොයා ගත නොහැකි විය.

ඒ සියල්ලෙන් කියන්නේ විඳින්නට හැකි නම්, “ආදරය” අතිශය පෞද්ගලික වින්දනයක් යැයි කියා පමණි. ශේක්ස්පිය ආදරය හඳුනාගත් අයුරු ගොගොල් ආදරය හඳුනාගෙන නැත. ගොගොල් හඳුනාගත් ආදරය චාලට් බ්‍රොන්ටෙ විඳ නැත. ඇය කියන්නා වූ ආදරය ව්ලැදිමීර් නැබකොව් ගේ “ලොලිතා” විඳි ආදරය නොවේ. ඔස්කා වයිල්ඩ් විඳි ආදරය ඒ සියල්ලන් නොවිඳි ආදරයකි. ලෝරන්ස් ගේ “චැටලි ආර්යාව” සොයා ගත් ආදරය, අනෙකුන් විඳින්නට බිය වූ අතිශය සරාගී ආදරයක් විය.

 

b9c9c91ff33b9727cdfd39a7aef3511e
ලිංගිකත්වය සම්බන්ධව ලියැවුනු ලොව සුපතල ඉන්දියානු දාර්ශනිකයෙකු වූ වත්ස්‍යයානා ගේ “කාම සූත්‍රය” කෘතියට අනුව “කායික ආදරය වෙළාගනු ලබන ඉතා සමීප ලෙන්ගතුකම, කිව නොහැකි තරමේ ප්‍රමෝදයක් වන දෙවියන් සමග විඳින්නාවූ ආදරයේ උපරිම ගැඹූරු සතුට වන්නේ ය”.

අපේ ලාංකීය ඉතිහාසයෙහි ලිංගිකත්වය සම්බන්ධ එවැනි අර්ථ ගැන්වීම් හා ආදර කතා නැත. “චිත්‍රා” උන්මාදයෙන් සිටියෙකැයි ඉතිහාසගතව ඇත්තේ එබැවිනි. සාලිය - අසෝක මාලා අතර වූ ප්‍රේමය, රොමියෝ හා ජුලියට් අතර වූ ප්‍රේමය මෙන් විස්තර නොවන්නේද අප ආදරය විඳින්නට නොදන්නා නිසා යැයි සිතමි. අප ආදරය හා ලිංගිකත්වය අතර විශාල දුරස්ථ බවක්, ජුගුප්සාජනක වෙනසක් තබන්නේද එනිසාවෙන් යයි සිතමි. අප ව්‍යුක්ත ලෙස අති සෞම්‍ය, පිරිසිදු ආදරයක් සාහිත්‍යයට නගා ගෙන ඇත්තේද ඒ දුරස්ථ බව තබා ගැනීමට යැයි මම සිතමි.

ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන කතා කරන්නෙම නැහැ'

 

ගලින් නෙලා ඇති ඉසුරුමුණියේ පෙම් යුවලට ආදර වැනුමක් එකතු කර “.....තුරුලට ලං වී පෙම් රස උරනා, රස ඒ රස උල් පා...... ” යැයි ලියූ ගී පද රචකයා, ඊළගට ඇය “පිවිතුරු සුකුමල පෙම්බරියක” යැයි කියන්නේ සම්මත ව්‍යුක්ත ආදරයෙහි රැඳෙන්නට ය. නන්දා වෙනුවෙන් සුනිල් ආරියරත්න “ඔබයි රම්‍ය සඳ කිරණ, ඝණ අන්ධකාරේ....” යැයි ගීතයක් ලියා දෙන්නේද ඒ සුචරිතවාදී පසුගාමිත්වය සමගිනි.
 
අපගේ සමාජයේ 19 වන සියවසේ පමණ සිට එවැනි ව්‍යුක්ත, සමාජ ස්පර්ශයක් නොමැති ආදරයක් ගැන කතා හැදෙන්නේ වික්ටෝරියානු සුචරිතවාදය විසින් පුරුෂාධිපත්‍යයික වහලක් යට පවත්වා ගන්නා න්‍යෂ්ඨික කුටුම්භය, එනම් “පවුල”, වන්දනීය හවුලක් ලෙස තහවුරු කරනු ලැබීමත් සමගය. විවාහයට එන්නත් කළ සුචරිතවාදය මගින් යෞවනය විඳින්නාවූ කෝල හැඟුම් පිරි ශෘංගාරාත්මක “ආදරය” නිර්වින්දනය කර, එය විවාහයෙහි අතුරු රාජකාරියක් බවට පත් කිරීමත් සමගය. 
 
රජ කාලයේ කන්ද උඩරට සමාජයෙහි කෘෂි ඉඩම් හිඟය හමුවේ පලදාව වෙනුවෙන් ඉඩම් කැබලිවීම වළකා ගැනීමට හැදුණු “එක ගෙයි කෑම, බින්න බැහීම” වැනි විවාහ සම්මතයන්හි වික්ටෝරියානු සුචරිතවාදය නොදත් “ආදරය” දෙන්නා දෙමහල්ලෝ තේරුම් ගෙන සිටියේ කුමන ආකාරයේ ආත්මීය බැඳීමක් සමගින්දැයි ඉතිහාසය සම්බන්ධ රචනා මගින් පැහැදිලි වන්නේ නැත. 

 


එහෙත් අක්ක නගෝ එක සැමියෙකු සමගින් දීග යාමත් අයියා මලෝ එක බිරිඳක් සමගින් දීග යාමත් එකල කන්ද උඩරට සමාජයේ සම්මතයක් බවට පත් වූවකි. ඔවුන් හවුලේ බුක්ති විඳි ඒ ආදරයෙහි කවර ආකාරයේ කඩෙතොලු තිබුණත්, බහු සේවන “පවුල” ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට ඒ කිසිත් හරස් නොවුනි. නැතිනම් එය එකල සමාජයේ සංස්කෘතික ලක්ෂණයක් වන්නේ නැත.

වර්තමාන වික්ටෝරියානු සම්මත පවුල් ජීවිතය යනු තරගකාරී පාරිභෝගික ජීවිතයක් නඩත්තු කර ගැනීමේ හවුලක් බවට පත්කර තිබෙන්නකි. වික්ටෝරියානු සුචරිතවාදය සංකල්පගත වන්නේද “පෞද්ගලික අයිතිය” ව්‍යාප්ත වූ බ්රිතාන්‍ය වාණිජ වෙළඳ ආර්ථිකයෙහි ය. තරගකාරී වෙළඳපල ආර්ථිකයෙහි “ආදරයට” ආදේශකයක් ලෙස වර්ධනය කෙරෙන්නේ පවුලේ ජීවන මටට්ම ඉහළ දමා ගැනීමේ තරගයට අවශ්‍ය වගකීම් හා කැපකිරීම් සඳහාවන “හවුල්වීම” ය. ඒ හවුල වෙහෙසකර, කාර්ය බහුල වගකීමක් වන පමණට, වික්ටෝරියානු න්‍යෂ්ඨීක විවාහ සංස්කෘතියෙහි “ආදරය” අහිමි කෙරෙන ලිංගිකත්වය, “රාජකාරිමය” වගකීමක් බවට පත් වන්නේය.

ආලින්දයෙන් ඔබ්බට 17 - තෙවන සිල් පදයේ ම දිගුවක් වූ 'HUMAN ERRORS' - (ජයසිරි  අලවත්ත)

ලිංගිකත්වය සුචරිතවාදී රාජකාරියක් ලෙස පරිවර්තනය කර ගැනීම, මානව පැවැත්මෙහි විකෘතියකි. මානව වර්ගයාගේ පරිනාමය තුල මානවයා දියුණු කරගත් “කාම සූත්‍රය” කෘතියෙහි කියන්නාවූ “....කිව නොහැකි තරමේ ප්‍රමෝදයක් වන දෙවියන් සමග විඳින්නාවූ ආදරයේ උපරිම ගැඹූරු සතුට” වත්මන් තරගකාරී වෙළඳපල සඳහා අත හැරීමෙන් ස්වභාවික ජෛව අවශ්‍යතාවයක තිබෙන්නාවූ සෞන්දර්යාත්මක සෙනෙහෙබර ලිංගික ආකර්ශනය බාල්දු කෙරුණි.

වෙළඳපල තරගය විසින් එළෙස අතහැර දැමෙන්නේ, මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙන් වන මානුෂීය ලක්ෂණයක් වන “සෞන්දර්යාත්මක ලිංගික බන්ධනය” වේ. එය විවෘතව කියන්නේ නම්, “ආදරයේ ශෘංගාරාත්මක බන්ධනය” අත හැර දමා නූතන පුරුෂාධිපත්‍ය සමාජය ඉතිරි කර ගෙන ඇත්තේ නොදියුණු සතුන්ගේ රළු, ප්‍රචණ්ඩ කාමුකත්වය පමණි.   
 
මේ සමාජයේ දිනපතා වැඩිවන ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය හා ඔවුන් ලිංගික අතවර වලට හසුවීම, පාසල්වල ගුරුවර ගුරුවරියන් අතින් ළමුන් ලිංගික හිංසනයට හා අපයෝජනයට ලක් වීම, විවාහයෙහි සහ වැඩිහිටි ආදරයෙහි “සෞන්දර්යාත්මක ලිංගික ආකර්ශනය” අහෝසි වීමෙන් ඇතිවන හිඩැස “නොදියුණු සතුන්ගේ රළු, ප්‍රචණ්ඩ කාමුකත්වය” විසින් පුරවා ගැනීමේ අවාසනාවන්ත ප්‍රතිපලයක් යැයි මම සිතමි.
 
එනිසා වැලන්ටයින් දිනය අප අර්ථවත් කරගත යුත්තේ “කාම සූත්‍රය” කෘතියෙහි කියන්නාවූ “....කිව නොහැකි තරමේ ප්‍රමෝදයක් වන දෙවියන් සමග විඳින්නාවූ ආදරයේ උපරිම ගැඹූරු සතුට”  මිස හුදෙක් යෞවනයට සීමා කෙරෙන, ඔවුන් කුල්මත් කෙරෙන දිනයක් ලෙස නොවේ.
 
ගුවන් විදුලි රඟ මඬල වේදිකාවට ගෙන ඒම | කුසල් පෙරේරා(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 පෙබරවාරි 04
නොහොත් 77 වන ජාතික නිදහස් දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...