The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ

T

The Leader Desk

February 5, 2025 • 6:22 AM

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසුන් සමඟ කෙතරම් නොමනාප වුවද එම මිත්තනිය අසරණ සුනඛාදී සතුන් කෙරෙහි දක්වන ලද්දේ අසීමිත කරුණාවකි.
  • එනිසාම ගම්මානයේ නිවෙස් වලින් නිසි සැළකුම් නොලබන සුනඛයන් දහයක් පහළොවක් පමණ ඇගේ පැරණි නිවසේ ගෙමිදුල හා ඉස්තෝප්පුව තම වාසභවනය කරගෙන සිටියහ.ඒ අතරින් සමහරකු ඇගේ සැමියා ජීවත්ව සිටි කාලයේ පාවිච්චි කළ හාන්සි පුටුව පවා තම නිදි යහන බවට පත් කර ගෙන සිටියහ.
  • ඒ සියලු සුනඛයන්ට ‘දුවේ, පුතේ’ යන ආදරණීය වදන්වලින් ඇමතූ මිත්තනිය තම ගෙවත්තේ ඇති වතුර බොන ළිඳෙන් දිය ඇද බැරි බැරි ගාතේ මාරුවෙන් මාරුවට ඔවුන් නාවනු ද මම කොතෙකුත් දැක ඇත්තෙමි.
  • ඉන්පසු අඩනින්දෙන් ඊට කන්දුන් මට වැටහී ගියේ අපේ නිවසට ආසන්නතම නිවසක කිසිවෙකු හදිස්සියේ මියගොස් එම පවුලේ ඥාතීන් විලාප නඟන බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සැමියාගේ මරණයෙන් පසු දූ දරුවන්ද විවාහකොට දී තම පැරණි නිවෙසේ හුදෙකලා දිවිපෙවෙතක් ගත කළ ඇය පිළිබඳව අපේ ගමේ බොහෝ අය දැන සිටියේ ඉතා නපුරු, දුෂ්ඨ ගති පැවතුම් ඇත්තියක ලෙසිනි. 

ඕනෑම කෙනකු සමඟ ඉතා සුළු කරුණකදී වුව අඬදබර කරගන්නා ඇයව එවක ළාබාලයන් වූ අපට පෙනුණේ සුරංගනා කතාවල එන නපුරු මන්ත්‍රකාරියක මෙනි. ඇගේ බාහිර පෙනුම හා හැසිරීම් රටාව අනුව එවක අපි ඇයට බට කොළ ආච්චි යනුවෙන් නමක් පට බැඳ තිබූ බව ද මතකය.ඒ එවකට අප ඉමහත් ආශාවෙන් යුතුව කියැවූ “මිහිර” පත්‍රයට එස් ඒ දිසානායකයන් සිත්තම් කළ බූ,බබා කතාවේ එන බටකොළ ආච්චි නම් නපුරු මන්ත්‍ර කාරිය හා එම මිත්තනිය අතර පැවැති සමානාත්මතා සැලකිල්ලට ගනිමිනි.

 

360 F 669489868 dnRWEjq02vWa4VweIS5OWcvJZeCPnwWf

මිනිසුන් සමඟ කෙතරම් නොමනාප වුවද එම මිත්තනිය අසරණ සුනඛාදී සතුන් කෙරෙහි දක්වන ලද්දේ අසීමිත කරුණාවකි. එනිසාම ගම්මානයේ නිවෙස් වලින් නිසි සැළකුම් නොලබන සුනඛයන් දහයක් පහළොවක් පමණ ඇගේ පැරණි නිවසේ ගෙමිදුල හා ඉස්තෝප්පුව තම වාසභවනය කරගෙන සිටියහ.ඒ අතරින් සමහරකු ඇගේ සැමියා ජීවත්ව සිටි කාලයේ පාවිච්චි කළ හාන්සි පුටුව පවා තම නිදි යහන බවට පත් කර ගෙන සිටියහ.

ඒ සියලු සුනඛයන්ට ‘දුවේ, පුතේ’ යන ආදරණීය වදන්වලින් ඇමතූ මිත්තනිය තම ගෙවත්තේ ඇති වතුර බොන ළිඳෙන් දිය ඇද බැරි බැරි ගාතේ මාරුවෙන් මාරුවට ඔවුන් නාවනු ද මම කොතෙකුත් දැක ඇත්තෙමි.

 

360 F 831229227 AzpPX0iFzeBT91s8ViDY837WCGJOEYPr
එය එක්තරා අඳුරු වැසිබර රාත්‍රියකි. හිටිහැටියේ එම මිත්තනිය ගේ පැරණි නිවස දෙසින් ඇසුණු මහා විලාප හඬකින් ඒ වන විට නින්දේ පසුවූ මම තිගැස්සී පිබිදුණෙමි. ඉන්පසු අඩනින්දෙන් ඊට කන්දුන් මට වැටහී ගියේ අපේ නිවසට ආසන්නතම නිවසක කිසිවෙකු හදිස්සියේ මියගොස් එම පවුලේ ඥාතීන් විලාප නඟන බවකි. එහෙත්, මඳින් මඳ ඊට වඩාත් හොඳින් කන්දුන් මට වැටහී ගියේ එය සුනඛයන් පිරිසක් එකවර උඩු බුරන හඬක් බව ය. එමෙන්ම ඒ සුනඛයන් එම කාන්තාවගේ මංගො නෝනාගේ ‘බලු මුළුවට’ අයත් සුනඛයන් බව ද මට වටහාගත හැකි විය.

පසුදාට පහන්වී මා උදයේ පාසල් ගොස් ආපසු එන අතරේ අසල්වැසියන් කිහිපදෙනෙකු ඇගේ නිවස ඉදිරිපිට සුදු කොඩියක් අදිනු පෙනිණ. ඒ පිළිබඳව විමසූ විට දැනගන්නට ලැබුණේ පෙරදා රාත්‍රියේ එම කාන්තාව තම නිදියහනේම මියගොස් ඇති බවයි. වෙනදා අරුණෝදයට පෙර පිබිදෙන ඇය එදින පෙරවරු අට නවය වනතුරුත් එළිපහලියේ පෙනෙන්නට නොසිටීම නිසා අසල්වැසියන් ඒ සම්බන්ධයෙන් විපරම් කිරීමේදී ඇය තම යහන මත විකාර රූපී ඉරියව්වකින් වැතිර සිටින අයුරු දැක තිබේ. පසුව නිවසේ දොරගුළු බිඳ අසල්වැසියන් නිවසට ඇතුළු වූ පසු යහනේ වැතිර සිටි එම මිත්තනියගේ සිරුර ශීතල වී ගල් වී තිබෙන අයුරු ඔවුන් දැක ඇත.

එම කාන්තාව ගේ මරණය සම්බන්ධ පුවත අහල පහල ගම්වල පවා පැතිර ගිය අතර ඇගේ නිවසේ සිටි සුනඛයන් සියල්ල එදා රාත්‍රියේ අසාමාන්‍ය අයුරින් උඩුබිරීම පිළිබඳව ද බොහෝ දෙනා කතා විය.

 

360 F 651769552 a3laiIpsxKs5NnbLZzCIOy66QNt4Q3ea

‘‘ඔහොම බල්ලෝ එකසැරේ උඩු බුරන්නේ පව් කරපු අය මැරෙන්න කලින් විතරයි. මොකද ඒ අය මැරෙන්න කිට්ටු වෙනකොට අපායේ යම රජ්ජුරුවෝ තමන්ගේ බල්ලන්ව මේ ලෝකෙට එවනවා ඒ මැරුණු මනුස්සයව අපායට එක්ක යන්න. ඒ යෝධ බල්ලො කළුම කළු පාටයි. ලේ පාට ඇස් හතරක් තියෙනවා. රතු පාට දිව යාර ගාණක් දිගයි. ඒ බල්ලන්ව අපිට නොපෙනුණාට මෙහේ බල්ලන්ට හොඳට පේනවා. ඒ යම බල්ලන්ගේ ඉවත් දැනෙනවා.එතකොට තමයි මෙහේ බල්ලෝ ඔය විදියට බයෙන් වෙව්ල වෙව්ලා බෙරිහන් දෙන්නේ. පස්සේ ඒ බල්ලෝ ඇවිත් ඒ මැරුණු කෙනාව කෙළින්ම අපායට ඇදගෙන යනවා.’’

එම කාන්තාව ගේ මරණය හා සුනඛ උඩුබිරීම සම්බන්ධයෙන් අපගේ වැඩිහිටියන් දැක්වූ අදහස්වල පොදු සමාලෝචනයයි ඒ. ඊට පසු අප ප්‍රදේශයේ සිදුවූ ඇතැම් මරණවලට පෙර එවන් සුනඛ උඩුබිරුමක් නොඇසීමට හේතුව ඒ මියගිය පුද්ගලයන් දෙව්ලොව යාම යැයි එවක මම තනිවම තීරණය කළෙමි.

එහෙත්, ළමා වියෙන් තරුණ වියට පත්වීමත් සමඟ යමෙකු මියගිය පසු ඒ තැනැත්තා අපායට කැඳවාගෙන යාමට එන යම බල්ලන්ගේ කතාවේ ඇති විශ්වසනීය බව මා කෙරෙන් දුරු විය. ඒ ඒවා සමාජ මානව විද්‍යාත්මකව ඒකරාශී කළ යුතු ගැමියන්ගේ මතිමතාන්දර ලෙස මට පසුකලෙක ඒත්තු ගිය බැවිනි.

 

greek god hades nikolay todorov

නමුත් පසු කලෙක හින්දු ආගමික විශ්වාසයන් පිළිබඳ යම් හැදෑරීමක් කරන විට මගේ මනැස විස්මයෙන් ඇළලී ගියේ එම යම රජ්ජුරුවන් සතු සුනඛයන්ගේ කතාව පැරණි වෛදික ග්‍රන්ථවල පවා සඳහන්ව ඇති බව දැකීමෙනි. යම රජතුමා සතුව ෂර්වරා (කැළැල් සහිත) සහ ශ්‍යාම (තදනිල්) යන නම් සහිත සුනඛයන් දෙදෙනෙකු හිඳින බවත් මිනිස් ලොව හා යමලොව අතර සම්බන්ධීකරණ කටයුතු කරනුයේ ඔවුන් විසින් බවත් පැරණි වෛදික ග්‍රන්ථවල දක්වා තිබේ. එහෙත්,පැරණි භාරතීය ආගමික විශ්වාසයන් එලෙස අපේ ගම්බද වැඩිහිටියන්ගේ මනැස තුළට පිවිසෙන ලද්දේ කෙලෙසදැයි කීමට නම් මට අදත් නොපුළුවන.

dongs212

 

දැන් අපි මෙම සුනඛ උඩුබිරුම සහ ඒ හා සබැඳුණු මරණ පිළිබඳව විමසුමක යෙදෙමු.

සුනඛ උඩුබිරුම සහ ඊට ආසන්න දිනයක සිදුවන මිනිස් මරණ අහඹු ලෙස සිදුවන සිදුවීම් (Coincidence) බව නිසැකය. එමෙන්ම මෙම සුනඛ උඩුබිරුම් සහ ඊට ආසන්න දිනයක සිදුවෙන මිනිස් මරණ සම්බන්ධයෙන් කෙරෙන සෑම විමසුමක්ම එම දෙවන සිදුවීම මුල්කොට සිදුවන බවද නොරහසකි. විද්‍යාත්මක පදනමකින් තොර මෙම මිථ්‍යා තර්කනය ලතින් භාෂාවෙන් හැඳින්වෙනුයේ Post hoc ergo propter hoc යනුවෙනි.

සුනඛයන් උඩුබුරන්නේ මක් නිසාද යන්න සම්බන්ධයෙන් ලොව පුරා නවීන විද්‍යාත්මක පර්යේෂණ සිදුකොට තිබේ. අප රටේ බොහෝ දෙනෙකු තවම අසාවත් නොමැති සත්ව චර්යාවේදය (Ethology) නම් විෂය පථය ඔස්සේ අපට ආසන්නතම ඉන්දියාවේ පවා එවන් පර්යේෂණ සිදුකොට ඇත.

 

pexels zaneta misutova 17279155

එහිදී මූලික වශයෙන් අනාවරණය වී ඇත්තේ වෘකයන්ගෙන් හා සිවලුන්ගේ ප්‍රධාන සන්නිවේදන ක්‍රමයක් වන උඩුබිරුම ( Howling ) සුනඛයන් තම ද්විතීයික සන්නිවේදන ක්‍රමයක් ලෙස යොදාගන්නා බව ය. එහිදී ප්‍රධාන වශයෙන් ආහාර අහේනිය, සාගින්න, තම ලිංගික ආවේග පිටකරගත නොහැකි වීම, අනාරක්ෂිත බව වි‍ශේෂයෙන් විරහ වේදනාව ආදී ආත්ම ධෛර්යය බිඳවැටෙන කරුණු මුල්කොට සුනඛයන් උඩුබිරීමට පෙළඹෙන බව අනාවරණය වී තිබේ. එමෙන්ම එක් සුනඛයෙකු එසේ උඩු බුරන විට ඒ හැඟීම් ආවේග තමන් සතු කරගනිමින් සෙසු සුනඛයන් ද එලෙස එම කාර්යයට එක්වනුයේ රංචු චර්යාව (Herd behavior) නම් සිද්ධාන්තය පදනම් කරගන බවද සත්වවේදීන් සහ සත්ව චර්යාවේදීහු මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන සිටිති.

එහෙත්, මෙවන් නවීන විද්‍යාත්මක කරුණු තවමත් අප රටේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට පවා නොපිවිසීම මත අදටත් මෙම සත්ව චර්යාව බොහෝ දෙනෙකු වටහාගනුයේ ‘මරණයක සංඥාවක්’ යන අතිපෞරාණික මිථ්‍යා මතය පදනම් කරගනිමිනි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...