The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඝාතනය වෙනුවට ආදරය රැගෙන එන බලු වෑන් එක | අරුන්දි ජයසේකර

T

The Leader Desk

February 5, 2025 • 8:33 AM

ඝාතනය වෙනුවට ආදරය රැගෙන එන බලු වෑන් එක | අරුන්දි ජයසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙදහස් විසි එකේ එකෝමත් එක දවසක ඒ කලබගෑනිය ඇවිළෙන්නේ අනුරාධපුර මහනගර සීමාව ආශ්‍රිත ප්‍රදේශයකිනි.
  • මේ බලුවෑන් එක බල්ලන් නොමරන බව දැන් ඔවුන්ට සහතිකය.
  • ජලභීතිකාවෙන් තොර, ආදරය කරුණාව පිරුණු සුන්දර නගරයක් වෙනුවෙන් ඇරඹුණු ‘පස් අවුරුදු සුනඛ ගහන පාලන ව්‍යාපෘතිය’ උනුන් සහෝදරයන් බවට පත් කොට හමාර ය .
  • පස් අවුරුදු සැලැස්මක් අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත අධික සුනඛ ගහනය පිළිබඳ ගැටලුව රජයේ අවධානයට යොමු වෙන්නේ එවකට රුවන්වැලි සෑය චෛත්‍යාරාම අධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පූජා භුමියෙන් සුනඛයන් ඉවත් කර දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමක් හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙදහස් විසි එකේ එකෝමත් එක දවසක ඒ කලබගෑනිය ඇවිළෙන්නේ අනුරාධපුර මහනගර සීමාව ආශ්‍රිත ප්‍රදේශයකිනි.

අන් විසඳුමක් නැති තැන බලු පූස් පැටවුන් පන්සලට පූජා කළත්, පාර බදුගෙන සිටින බලු රෑනට ඉඳහිට දෙස් දෙවොල් තිබ්බත්, තමන්ගේ ප්‍රජාව හා අවියෝජනීයව බැඳුණු මේ අහිංසකයන් ආගන්තුකයන් පිරිසක් පැමිණ කුදලාගෙන යනු බලා සිටින්නට තරම් ඔවුන් නිවට හෝ නරුම වූයේ නැත. වෑන් රථයට පහර දී සුනඛයන් මුදාගත් ප්‍රදේශවාසීන්ගෙන් රියැදුරු අතුළු පිරිස ගුටි නොකා බේරුණෙ අනූනවයෙනි.

ඒ එදාය. මේ බලුවෑන් එක බල්ලන් නොමරන බව දැන් ඔවුන්ට සහතිකය. දැන් ප්‍රදේශවාසීන් ඉන්නේ ජංගම පශු වෛද්‍ය සායනය එන්නේ කවදාදැයි ඇඟිලි ගණිමිනි. සැතපුම් ගණන් දුර ගෙවාගෙන, සුරතලුන් ලොරි, ට්‍රැක්ටර්, ෆුට් බයිසිකල්වල පටවාගෙන සායනයට සෙනඟ එන්නේ වැල නොකැඩීය. හිමිකරුවන් නැති වීදි සුනඛයන් සොයා ගම් නියම්ගම් පීරන ජංගම රථයට මගපෙන්වන්නේද ගම්වාසීන්ය. ජලභීතිකාවෙන් තොර, ආදරය කරුණාව පිරුණු සුන්දර නගරයක් වෙනුවෙන් ඇරඹුණු ‘පස් අවුරුදු සුනඛ ගහන පාලන ව්‍යාපෘතිය’ උනුන් සහෝදරයන් බවට පත් කොට හමාර ය.


පස් අවුරුදු සැලැස්මක්

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත අධික සුනඛ ගහනය පිළිබඳ ගැටලුව රජයේ අවධානයට යොමු වෙන්නේ එවකට රුවන්වැලි සෑය චෛත්‍යාරාම අධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පූජා භුමියෙන් සුනඛයන් ඉවත් කර දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමක් හේතුවෙනි.

 

වෛද් ය චමිත් නානායක්කාරjpeg වෛද්‍ය චමිත් නානායක්කාර
ජනාධිපති කාර්යාලය හරහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව  වෙත යොමු වූ ඒ ඉල්ලීම Vets for Future ආයතනයේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර වෙත හරවා යැවෙන්නේ එවකට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොතිබීම හේතුවෙනි.

ගැටලුව ගැන සොයා බැලූ ඔහුට පෙනුණේ, හිමිකරුවන් ඇති සතුන්ද නිදැල්ලේ යන, මහජනතාව බලු පැටවුන් පූජා භුමි වෙත ගෙනවිත් දමන පසුබිමක සුනඛයන් විතැන් කිරීම ප්‍රායෝගික නොවන බවයි. දීර්ඝකාලීන විසඳුම පූජාභූමිය තුළ සිටින සතුන් එන්නත්කරණයට හා වන්ධ්‍යකරණයට ලක්කිරීමෙන් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවට ඔහු කළ පැහැදිලි කිරීම නිහතමානීව පිළිගත් නායක ස්වාමීන්වහන්සේ, පූජා භූමියේ පස් අවුරුදු නියමු ව්‍යාපෘතියකට අනුමැතිය දීමට එකඟ වූහ.

Justice for Animals ආයතනයේ මූල්‍යමය සහායත්, අනුරාධපුර මහනගර සභාවේ කළමනාකරණ සහායත් ඇතිව 2021 වසරේදී ව්‍යාපෘතිය ඇරඹෙන්නේ ඒ අයුරිනි.

“අපි අනුරාධපුර වෙළඳ නගරය, පූජා නගරය සහ ජනාවාස පවතින ප්‍රදේශය වශයෙන් අනුරාධපුර මහ නගර සීමා බල ප්‍රදේශය කොටස් තුනකට බෙදාගෙන ඒ එක ඒකකයක මධ්‍යස්ථාන තුන බැගින් පිහිටුවලා ඒ ගැන මහජනතාව දැනුවත් කළා. අපි මුලින්ම ප්‍රදේශයේ එන්නත්කරණ වාර්තා ඇසුරින් සුනඛ ගහනය ආසන්න වශයෙන් කීයක්ද කියලා ගණනය කළා. නමුත් දෙවන වසරත් අවසාන වෙනකොට අපිට තේරුණා අපි මොනතරම් පිළිවෙළට මේ වැඩේ කළත් සුනඛ ගහනයේ අඩුවක් නැති බව. හේතුව තමයි, මිනිස්සු නිරන්තරයෙන්ම පූජාභූමියට පැටවුන් ගෙනවිත් දැමීම. අපි මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරලා, ආණ්ඩුකාරවරයා, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ නගර සභාව සහභාගීත්වයෙන් රැස්වීමක් ක‍ැ‍‍ඳවේවා. 

සායනය වෙත සුරතලෙකු ගෙන ආ මෙහෙණින් වහන්සේ නමක්සායනය වෙත සුරතලෙකු ගෙන ආ මෙහෙණින් වහන්සේ නමක්

 
අපි යෝජනා කළේ නගර සභා සීමාව අපි ආවරණය කරන්නම්, මනුප, නැනුප, මිහින්තලේ කියන ප්‍රදේශවල වගකීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බාරගන්න කියලා. නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ කාර්යයට යොදවන්න තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන නැහැ කියලා ඒකට එකඟ වුණේ නෑ. ඊට පස්සෙ ආණ්ඩුකාරතුමා Justice for Animals සංවිධානයේ අධ්‍යක්ෂ ටාෂියා කැප්ටන් මහත්මියගෙන් ඉල්ලා සිටියා නගර සීමාවෙන් ඔබ්බටත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරිද කියලා.”

ව්‍යාපෘතියේ තුන්වෙනි වසරේ සිට වැඩපිළිවෙළ නගර සීමාවෙන් ඔබ්බට විහිදෙන්නේ ඒ අයුරිනි. නගර සීමාවේ සිට කිලෝමීටර 2, 5, 10 සීමාවන් දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පූජා භූමියට බලු පැටවුන් සපයන “සැපයුම් මාර්ග” අවහිර කිරීමට පශු වෛද්‍ය කණ්ඩායම පියවර ගත්හ. මෙම ක්‍රියාවලිය සඳහා එවකට අනුරාධපුර නාගරික කොමසාරිස් ධුරය දැරූ රුවන් විජේසිංහ මහතා දැක්වූ නොමඳ සහයෝගය ඔහු සිහිපත් කරන්නේ කෘතඥතාපූර්වකවය. වගකිවයුතු පාර්ශ්ව රැසක් වගකීම් මගහැර ඇති පසුබිමක මෙම ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දර දිය අදිමින්, පශු වෛද්‍ය කණ්ඩායමට ‘සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරයක්’ නිර්මාණය කරදීමට ඔහු කළ මෙහෙවර සුළුපටු නොවේ.
 
හිටපු නාගරික කොමසාරිස් රුවන් විජේසිංහහිටපු නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ
ජලභීතිකාව මර්දනය සඳහා වන්ධ්‍යකරණය

මානුෂීය සුනඛ ගහන පාලනයක් සඳහා විධිමත් වැඩපිළිවෙළක වැදගත්කම පැහැදිලි කරමින් අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල අසාර්ථකත්වයට හේතුව වැඩපිළිවෙළෙහි පැවති අවිධිමත්භාවය මිස වන්ධ්‍යකරණ සංකල්පයේ වරදක් නොවන බවයි.

“අපිට පවතත්නා නීති රීති අනුව සුනඛයෙක් තැනකින් තව තැනකට විතැන් කරන්න බැහැ. සුනඛයන් රැකබලාගන්න මධ්‍යස්ථානයකුත් අපි සතුව නැහැ. ඒ නිසා සුනඛයන් අපහරණය නොකර සුනඛ ගහනය පාලනය කරන දීර්ඝකාලීන මානුෂීය වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුවෙලා තිබුණා. 
 
නමුත් එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් විධිමත්ව කරන්න ඕන. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල හරහාත් වරින් වර සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළත් සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න බැරි වෙලා තියෙන්නේ වන්ධ්‍යාකරණයට ලක්වෙන්නේ සුනඛයන්ගෙන් ඉතාම සුළු ප්‍රමාණයක් නිසා. 
 
WhatsApp Image 2024 01 18 at 17.10.36 1.jpeg
නමුත් මේ වැඩපිළිවෙළ හරහා වීදි සුනඛයන්ගෙ ගහනය වැඩි ප්‍රදේශ කල් තියා අඳුනාගෙන ඒ ප්‍රදේශවල වීදි සුනඛයන්ට වගේම ගෘහාශ්‍රිත සුනඛයන්ටත් වඳ සැත්කම් කරන්න අපි පියවර ගත්තා. මේ වෙනකොට අනුරාධපුර නගරයේ ජීවත් වෙලා ඉන්න සුනඛයන්ගෙන් සියයට හැත්තෑවක් වන්ධ්‍යකරණය කරලා එන්නත් විදලා ඉන්න‍ෙ. මේ වනකොට නගර සීමාවේ සුනඛ ගහනය වර්ධනයේ පැහැදිලි වෙනසක් දකින්න තියෙනවා.”
ශ්‍රී ලංකාවේ ජලභීතිකාව ආශ්‍රිත මිනිස් මරණවලට මූලිකවම හේතුවෙන්නේ සුනඛ සපාකෑම් බව ප්‍රකට කරුණක් වුවද, එන්නත් කරන ලද සුනඛයින් ජලභීතිකාවෙන් ප්‍රජාව ආරක්ෂා කරන පවුරක් ලෙසද ක්‍රියා කරන බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. ඒ ඔවුන් මිනිස් වාසස්ථාන ආසන්නයට එන වන සතුන් පලවාහරින බැවිනි.

“සුනඛ ගහනයෙන් සියයට අසූවක් එන්නත් කළොත් ස්වාභාවිකවම ඔවුන් තුළ සමූහ ප්‍රතිශක්තිය ගොඩනගෙනවා. සුනඛ ගහනය පාලනය කිරීම මෙතනදී වැදගත් වෙන්නෙ සුනඛයන්ගෙ ගහනය කුඩා වෙද්දි අපි එන්නත් කළ යුතු සත්තු ප්‍රමාණය අඩු වෙන නිසා. එතකොට සාපේක්ෂව කෙටි කාලයකින් අපිට ජලභීතිකාව ලංකාවෙන් තුරන් කරන්න පුළුවන්.” පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පෙන්වා දෙයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලටද වීදි සුනඛයන් හේතු වන බවත්, එවන් අනතුරු අවම කිරීම සඳහාද ගහන පාලනය වැදගත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එක සතෙක්වත් හරවලා යවලා නෑ!

“අපි අද වෙනකම් එකම එක සතෙක්වත් හරවලා යවලා නැහැ...” ඔහු පවසන්නේ අභිමානයෙනි. “අපි උදේ හය වෙනකොට වැඩ පටන්ගන්නෙ. රෑ අට පහු වෙනකම් සැත්කම් කෙරෙනවා. රෑ නවයට වුණත් සතෙක් ගෙනාවොත් අපි ප්‍රතිකාර කරනවා. සැත්කමෙන් පස්සෙ සංකුලතා ඇති වුණොත් අපි ගිහින් ප්‍රතිකාර කරනවා. මගේ කණ්ඩායමේ හැමෝම සත්තුන්ට ආදරේ අය. අපි මේ හැම දෙයක්ම කරන්නෙ හරිම සතුටින්.” ඔහු පවසයි.
 
සායනය වෙත සුරතලා ගෙන ආ ප් රදේශවාසියෙක්සායනය වෙත සුරතලා ගෙන ආ ප්‍රදේශවාසියෙක්
වන්ධ්‍යකරණය සහ එන්නත්කරණය මූලික පරමාර්ථ වුවද සායනයේ සේවාව ඊට සීමා වූවක් නොවේ. සතුන්ගේ පෝෂණය පිළිබඳව උපදෙස් දීම, පරපෝෂිත ආසාදන, තුවාල, චර්ම රෝග ආදියට ප්‍රතිකාර කිරීම ද මෙහිදී සිදු වෙයි.
 
කොවිඩ් වසංගතය ආශ්‍රිත සංචරණ සීමා, ආර්ථික අර්බුදය, ඖෂධ සහ උපකරණ හිඟය, සහ ඉන්ධන හිඟයට මේ ආදරණීය මිනිසුන්ගේ නොසන්සි‍ඳ‍ෙනා ධෛර්යය බිඳකින් හෝ සිඳලීමට නොහැකි වූයේ අභියෝගවලට සාමූහිකව විසඳුම් සෙවීම විනා වගකීම්වලින් පලායාම ඔවුන්ගේ පිළිවෙත නොවූ නිසාය. වසංගත තත්ත්වය උත්සන්නව පැවති සමයේ සංචරණය සඳහා සායනික කණ්ඩායමට හැර සෙසු අයට තහංචි පැනවුණු වකවානුවක මහමග හාමත් වූ සතුන් වෙනුවෙන් දර ළිපක බත ඉදුණේ ද පශු වෛද්‍යවරුන් අතිනි. ඉන්ධන හිඟය හමුවේ පසුනොබා තම සුරතලුන් කරපින්නාගෙන පයින්ම සායනය කරා පැමිණි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය හා ගෞරවාදරය මිස ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් වෙන් වූ අන් කිසිදු ගෙවීමක් නොවීය.

 “අලුත් පොළ”

ටාෂියා කැප්ටන්ටාෂියා කැප්ටන්ආර්ථික අර්බුදය රටම ගිලගනිමින් තිබියදී පවා ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්වැලක් වූයේ ව්‍යාපෘතියට මූල්‍යමය දායකත්වය සැපයූ Justice for Animals සංවිධානයේ අධ්‍යක්ෂ ටාෂියා කැප්ටන් මහත්මියගේ සංවිධාන ශක්තියයි. ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ලොතරැයි දිනුම් ඇදීම්, පොත් සල්පිල්, භාවිතා කළ නිමි ඇඳුම් අඩු මිලට විකිණීම වැනි කටයුතු රැසක් ඇය සංවිධානය කළාය.
“අලුත් පොළ”ඒ අතරින් සුවිශේෂී වූ ප්‍රයත්නයකි. ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමි වුණු කාන්තාවන් හස්ත කර්මාන්ත කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාව හඳුනාගත් ඇය ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් වෙළෙඳපොළක් නිර්මාණය කරන අතරම තම ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කරගනීම සඳහාද එය අවස්ථාවක් කර ගත්තාය.

භාවිත කරන ලද උසස් තත්ත්වයේ නිමි ඇඳුම් සහ ගෘහ භාණ්ඩ පහසු මිලට ලබාදෙමින් සත්ව සුබසාධන ක්‍රියාවලියට දායක වන අතරම පාරිසරික, ආර්ථිකමය සහ සමාජීය වශයෙන් වඩාත් තිරසර පරිභෝජන රටාවක කොටස්කරුවන් වීමට අඩු ආයාදම්ලාභීන්ට අවකාශය විවර කර දුන්නාය.

සත්ව සුබසාධනයේ වැදගත්කම මතු පරපුරට සත්ව සුබසාධනයේ වැදගත්කම මතු පරපුරට
සත්ව සුබසාධන කටයුතුවලට අමතරව දුෂ්කර පාසල්වල දරු දැරියන්ට පරිසරය සුරැකීමේ සහ සතුන්ට කාරුණික වීමේ වැදගත්කම කියාදෙන අධ්‍යාපනික වැඩසටහන්, චිත්‍ර තරඟ ආදිය සංවිධානය කිරීම වෙනුවෙන්ද එම අරමුදලින් කොටසක් වැය කෙරේ. එහෙත් පරිසර සංරක්ෂණය සහ සත්ව සුබසාධනය දෙස වපරැසින් බලන්නන්ගෙන් ඇය වෙත නැගෙන අවලාදවල නම් නිමක් නැත.
“සමහරු අපිව ප්‍රශ්න කරනවා මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙද්දි ඔයාලා සත්තු වෙනුවෙන් වැඩ කරන්නෙ ඇයි කියලා. හඬක් නැති සතුන් වෙනුවෙන් හඬක් නැගීමත් අපේ මූලිකම පරමාර්ථයක් බව ඇත්ත. නමුත් අපි කරන දේවල්වල ප්‍රතිලාභ සමස්ත ප්‍රජාවටම පොදුයි. ඔබ සත්තුන්ට අකමැති වෙන්න පුළුවන්. නමුත් ඔබ කැමතිද ඔබ ජීවත් වෙන, ඔබේ දරුවන් සෙල්ලම් කරන වටපිටාවේ එන්නත් නොකරපු අනාරක්ෂිත සත්තු ගැවසෙනවාට? ඔවුන් හැම තැනම මලපහ කරලා වීදිය අපවිත්‍ර වෙලා තියෙනවාට?  ඔබ මානසික නිදහස බලාපොරොත්තුවෙන් ඇවිදින්න යද්දී දද කුෂ්ට නිසා පීඩා විඳින සත්තු දකින්න ලැබෙනවාට? අපි මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හරහා සමස්ත ප්‍රජාවේම ජීවන තත්ත්වය උසස් කරන්න අපි දායක වෙනවා.”

විසඳුමේ කොටස්කරුවන් වෙමු

heroimage0.044270001619106190
මිනිසත් බව අගයන පුරවැසියන්ට මේ වැඩපිළිවෙළ වෙනුවෙන් සහාය වීමට කළ හැකි දෑ බොහෝය. අනුරාධපුර ප්‍රදේශය අවට සුනඛ ගහනය අධික ප්‍රදේශ පිළිබඳව පශු වෛද්‍ය කණ්ඩායම දැනුවත් කිරීමෙන්, සායනයේ කටයුතු සඳහා සහාය වීමෙන්, වන්ධ්‍යකරණයේ සහ එන්නත්කරණයේ වැදගත්කම ගැන ප්‍රජාව දැනුවත් කිරීමෙන් සහ ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස්කිරීමේ ක්‍රියාවලියට දායක වීමෙන් ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ මානුෂිය මෙහෙවරට ඔබට දායක විය හැක.
“අනුරාධපුර කියන්නෙ ලංකාවෙ වැඩිම ආගමික සිද්ධස්ථාන සංඛ්‍යාවක් තියෙන, ඒ නිසාම අතිවිශාල වීදි සුනඛ ගහනයක් තිබිච්ච නගරයක්. ඉතින් එහෙව් නගරයකින් ජලභීතිකාව තුරන් කරන්න අපි ටික දෙනෙකුට පුළුවන් වුණා නම්, ඒකාබද්ධ වුණොත් අපිට මොනවද කරන්න බැරි?” පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා විමසන්නේ සිනාමුසුවය. ඒ හුදෙක් පැනයක් නොවේ; දැන්වත් කඹ ඇදිල්ල පසෙක තබා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීම වෙනුවෙන් අත්වැල් බැඳගන්නා ලෙස වගකිවයුත්තන් ඇතුළු සියලු පාර්ශ්ව වෙත කෙරෙන සුහද ඇරයුමකි.

Arundi Jayasekara
(සටහන | අරුන්දි ජයසේකර)

arundijayasekara@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...