The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ක්ලීන් ශ්‍රී ලංකා': ක්‍රම වෙනස සහ අභිලාශීය මධ්‍යම පන්තිය

T

The Leader Desk

February 5, 2025 • 4:12 PM

'ක්ලීන් ශ්‍රී ලංකා': ක්‍රම වෙනස සහ අභිලාශීය මධ්‍යම පන්තිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණයේ දී ලද අති විශාල ජනවරමේ ගැම්ම වියැකී යෑමට නොදී පවත්වා ගැනීමේ දී මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වේ.
  • ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මෙම ව්‍යාපෘතියේ අරමුණ ශ්‍රී ලංකාව ආසියාවේ පිරිසිදු ම රට බවට පත් කිරීම බවයි.
  • පසුගිය මැතිවරණය ම පාර්ලිමේන්තුව සහ දූෂිත දේශපාලන ක්‍රමය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් බව ජජාබ වේදිකාවේ නිතර ප්‍රකාශ කෙරිණි.
  • ඒවා අතර, වර්ෂ 2014දී ඉන්දියානු අගමැති නරේන්ද්ර මෝදිගේ ජයග්‍රහණයෙන් පසු දියත් කෙරුණු ‘ක්ලීන් ඉන්දියා’ වැඩසටහනත්, සිංගප්පූරුවේ අග්‍රමාත්‍ය ලී ක්වාන් යූ ගේ සන්නාමීය වැඩසටහනක් බවට පසු කාලීනව පත් වූ ‘කීප් සිංගපෝර් ක්ලීන්’ වැඩසටහනත් කැපී පෙනෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැතිවරණයේ දී ලද අති විශාල ජනවරමේ ගැම්ම වියැකී යෑමට නොදී පවත්වා ගැනීමේ දී මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වේ.

ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මෙම ව්‍යාපෘතියේ අරමුණ ශ්‍රී ලංකාව ආසියාවේ පිරිසිදු ම රට බවට පත් කිරීම බවයි. පසුගිය මැතිවරණය ම පාර්ලිමේන්තුව සහ දූෂිත දේශපාලන ක්‍රමය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් බව ජජාබ වේදිකාවේ නිතර ප්‍රකාශ කෙරිණි. පැවති දේශපාලන තන්ත්‍රරය කෙරෙහි සාමූහික සාමාජ වෛරය කැටි කොට ගැනීමට සහ තීව්‍ර කිරීමට එය මනා රූපකයක් සැපයී ය.

‘ක්ලීන් ශ්‍රී ලංකා’හි කලාපීය ආභාෂ

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කලාපීය වශයෙන් සාර්ථකව දියත් කෙරුණු වෙනත් වැඩසටහන් සිහියට නංවයි. ඒවා අතර, වර්ෂ 2014දී ඉන්දියානු අගමැති නරේන්ද්ර මෝදිගේ ජයග්‍රහණයෙන් පසු දියත් කෙරුණු ‘ක්ලීන් ඉන්දියා’ වැඩසටහනත්, සිංගප්පූරුවේ අග්‍රමාත්‍ය ලී ක්වාන් යූ ගේ සන්නාමීය වැඩසටහනක් බවට පසු කාලීනව පත් වූ ‘කීප් සිංගපෝර් ක්ලීන්’ වැඩසටහනත් කැපී පෙනෙයි.

මේවාට අමතරව, පිරිසිදු කිරීම යන්න දැඩිව දේශපාලනික සහ දෘෂ්ටිවාදී  වශයෙන් අර්ථ ගැන්වූ අවස්ථාවක් ලෙස චීන විල්වයෙන් පසුව, 1950 දශකයේ මුල් භාගයේ දී ක්‍රියාත්මක කෙරුණු තුන් ඈඳුණු ව්‍යාපෘතියක් වූ දූෂණ මර්ධනය, නාස්තිය අවම කිරීම සහ නිලධාරිහරණ ව්‍යාපෘතිය දැක්විය හැකිය. එය ක්‍රියාත්මක වූයේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් 1960 දශකයේ දී දියත් කළ වඩාත් ප්‍රචලිත වූ චතුර්විධ පවිත්‍රකාරක වැඩසටහනට ප්‍රවේශයක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ‘අක්‍රමවත්’ නාගරික අවකාශය ‘පිරිසිදු’ සහ ‘පවිත්‍ර’ කිරිමේ වැඩසටහන් මින් පෙර අවස්ථාවල ද ක්‍රියාවට නැංවී තිබේ. විශේෂයෙන් ම, යුද්ධය අවසන් වීමෙන් පසුව, මංමාවත් සුද්ද පවිත්‍ර කිරීම, යාචකයන් සහ නිවාස අහිමි පුද්ගලයන් මෙන්ම සුනඛයන් ද පාරවල්වලින් ඉවත් කිරීම, නාගරික අඩු ආදායම්ලාභී වාසස්ථාන සහ අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීම ඇතුළු ‘පවිත්‍රකාරක’ ක්‍රියාකාරම් ඒ යටතේ දක්නට ලැබුණි.

ඒ ‘ව්‍යාපෘතිවලින්’ දෙකක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, එවකට ආරක්ෂක ලේකම් ධුරය දරමින් දැඩි මිලිටරිමය ස්වරූපයක් ගත් නාගරික අලංකරණ යුගය හා සම්බන්ධය. එතැන් පටන්, පවිත්‍ර නගරය පිළිබඳ ජනතා ඉල්ලුම දිනෙන් දින වර්ධනය වූ අතර, එය නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන නැගී එන මධ්‍යම පන්තියේ අනන්‍යතාව විද්‍යාමාන කරන ඉල්ලීමක් බවට පත් විය. ඔවුන්ගේ දැඩි ආකර්ෂණයට සහ පිළිගැනීමට ලක් වූ නාගරික සහ යාබද ප්‍රදේශවල ඉදි කළ ඇවිදන මංතීරු එම පිබිදෙන මධ්‍යම පාන්තික අභිලාෂයන්ගේ ප්‍රකාශනයක් බවට පත් වූ අතර ‘පැළැන්තිමය’’ ජීවිතයක සලකුණු ලෙස සංජානනය කෙරිණි.

ගෝඨාභය රාජපක්ෂ 2019 වර්ෂයේදී  ජනාධිපති ධුරයට පත් වීමට සමගාමීව තාප්ප සහ බිත්ති පුරා සිතුවම් ඇඳ තමා වෙසෙන ප්‍රදේශය අලංකරණය සඳහා තරුණයන් ප්‍රමුඛ ජනයාගේ පෙළඹීම මෙකී සමාජ සංචලන අභිලාශය වඩාත් පුලුල් වූ ජනතා සහභාගිත්වයක් සහිතව ප්‍රකාශ වීමක් ලෙස සැලකිය හැකිය.

ප්‍රතිසංස්කරණවල භාෂා භාවිතයේ වෙනස්කම්

 ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් විසින් දේශීය වශයෙන් දියත් කරන ලද පුළුල් ව්‍යාපෘතියකට ඉංග්‍රීසි නමක් යෙදූ පළමු අවස්ථාව මෙය යි. මීට පෙරාතුව, දේශපාලනික වශයෙන් බලවත් අර්ථයක් සහිත ඉංග්‍රීසි පදයක් එහි සිංහල හෝ දෙමළ අර්ථය අභිභවා ජනගත වූයේ නම්, ඒ ‘system change’ යන්න ය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යෘපෘතියේ සිංහල තේමාව වන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ යන්න ජාජාබය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ තේමාව ම ය.

එහෙත් එම තේමාවේ ඉංග්‍රීසි පරිවර්තනය මැතිවරණ ප්‍රකාශනයේ දක්වා ඇත්තේ ‘A Rich Country - A Beautiful Life’ ලෙසින් වන අතර ක්ලීන් ශ්‍රී ලංකා නාමකරණයේදී එය ‘A Beautiful Island - Smiling People’ ලෙස යළි හැඩ ගන්වා තිබේ. මෙසේ සිංහල තේමා පාඨය එකම වෙද්දී, එහි ඉංග්‍රීසි පරිවර්තනය වෙනස් වීමට තුඩු දුන් කවර හේතු තුඩු දුන්නේ දැයි නිශ්චය කිරීම අපහසුය. එහෙත්, වඩාත් නිශ්චිතව නිරීක්ෂණය කළ හැකි දෙය නම්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධ භාෂා භාවිතය මගින් ඇඟවුම් කරන්නේ සියලු දෙනා හට තමන් කැමති අර්ථයක් ආරෝපණය කළ හැකි, එමෙන්ම විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමට තැත් කරන පුළුල් තේමා පාඨ බව ය.

එබැවින්, ‘ක්ලීන්’ යන්න හිස් බඳුනක ස්වරූපය ගන්නා අතර, ඊට විවිධ අර්ථ ආරෝපණය කිරීම දැනටමත් සිදු වෙමින් පවතී. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය, මංමාවත් පවිත්‍රකරණය, සාම්ප්‍රදායික ජීවන රටා සුරක්ෂා කිරීම, හෝ ආධ්‍යාත්මික පාරිශුද්ධකරණය ආදී විවිධ මානවලින් දැනටත් මෙකී අර්ථ ගැන්වීම් දියත් කර තිබීම ද නිරීක්ෂණය කළ හැකි ය.

සමාජ සාධාරණත්ව මාදිලිවල හැඩතල

xfgte46

මෙසේ ‘සියල්ල ග්‍රහණය කිරීමේ’ සංකල්පීකරණය සහ වාග් රටාව, පසුගිය මැතිවරණ දෙකේ දී ජාජබය වෙත ලැබුණු පන්තිමය සීමා අතික්‍රමණය කළ ජන වරම ඇසුරින් අවබෝධ කර ගත හැකි ය. ඒ ජනවරම පසුපස, විශාල වශයෙන් පිරිසිදු නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ ප්‍රිය කරන, නැගී එන මධ්‍යම පාන්තික ඡන්ද දායක පිරිසකගේ සාමූහික බලය විද්‍යමාන වේ.

මෙකී උත්තරාගමනීය සමාජ සංචලතාව සිය ප්‍රමුඛ අභිලාෂය කර ගත් මධ්‍යම පාන්තික ප්‍රජාව විසින් වර්ෂ 2015 සිට එකිනෙකින් ඉඳුරා වෙනස් යැයි බැලූ බැල්මට පෙනෙන පාලක පක්ෂ සහ කණ්ඩායම් වෙත බලය ලබා දී ඇති අතර ඒ සියලු අවස්ථාවන්හි දී එකිනෙකින් වෙනස් මාදිලි ඔස්සේ  ‘ක්‍රම වෙනසක්’ එනම් ‘system change’ අත්හදා බලමින් සිටී. ඒ මාදිලි අතර 2015 සිට යහපාලන ආණ්ඩුව මගින් ඉදිරිපත් කළ ලිබරල් ප්‍රජාතන්ත්රවාදී යැයි පෙනෙන ආකෘතිය ද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉඟි කළ සංවර්ධන ඒකාධිකාරීවාදය සහ වර්තමාන ජාජබ ආණ්ඩුව ඉදිරිපත් කරන සමාජ සාධාරණත්ව මාදිලිය ද දැකිය හැකිය.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේදය

zser45g

රාජ්‍ය ආයතන සහ නිලධාරීන් හට ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හඳුන්වා දීමට නිර්මාණය කළා යැයි දැන ගන්නට ලැබුණු ලේඛනයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සැලසුම් කර ඇත්තේ පහත පරිදි ය.

ව්‍යාපෘතියේ ඉහළ ම තීරණ ගැනීමේ ව්‍යූහය වන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධන බලකාය යි. සියලුම සාමාජිකයින් සිංහල ජාතිකයන් වන 18 දෙනකුගෙන් යුතු කාර්ය සාධන බලකාය යටතේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට නියමිත ය.

ව්‍යාපෘතියේ පරිපාලන ව්‍යූහය, අමාත්‍යාංශ 24 සහ පළාත් සභා පද්ධතිය ද ඔස්සේ ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන සම්බන්ධීකරණ කමිටු හරහා ග්‍රාම නිලධාරී වසම් මට්ටම දක්වා ව්‍යාප්ත වේ.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහ ජනතා සහභාගිත්වය තහවුරු කිරීමට දිස්තත්‍රික්ක සහ ග්‍රාමීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා සභා පිහිටුවීමට නියමිත අතර ඒවා ඍජුව ක්‍රියාත්මක වීමට යෝජිතව ඇත්තේ ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේය.

ව්‍යාපෘතිය යටතේ දියත් කෙරෙන ක්‍රියාකාරකම්වල ප්‍රමුඛතා හඳුනා ගැනීටම සහ ඒවා සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩ කිරිම පිණිස, ජනතා සහභාගිත්වයට විවෘත විය හැකි පරිදි රාජ්‍ය ආයතන ස්වයං ප්‍රතිව්‍යූහගතකරණයට ලක් වීම ද ව්‍යාපෘතියේ සංකල්පීය රාමුව මගින් අපේක්ෂා කෙරෙයි. ගම් මට්ටමින් ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා සංවාද කිරිම සහ ‘අනුමත’ ව්‍යාපෘති ප්‍රාදේශීය පාලන ආයතනවල ක්‍රියාකාරී සැලසුම්වලට ඇතුළත් වන බව තහවුරු කර ගැනීම, සහ ඒවායේ ප්‍රගතිය සහ ගැටලු ඍජුව ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධන බලකායට දැන්වීම ග්‍රාමීය සභාවල කාර්යභාරයකි.

මෙබඳු ව්‍යාපෘතිවල මුලාරම්භ

sert34

මෙසේ රාජ්‍ය සහ ජනතා වශයෙන් සමගාමී ව්‍යූහ ගොඩ නගා තිබීම සැලකිය යුතු කාරණයකි. නිලධාරීවාදයේ අගති බොහෝ කලක පටන් ජනතාව අත් දැක ඇත. එමෙන්ම, විශේෂයෙන් ම වර්ෂ 2009ට පසු යුගය තුළ, පරිපාලන ව්‍යූහ තුළ සාමූහික තීරණ ගැනීමේ ක්‍රියාවලි ඔස්සේ පුරවැසි සහභාගිත්වයට වැඩි ඉඩක් අවශ්‍ය බව දිගින් දිගටම ප්‍රකාශ වුණු ජනාතා අභිලාෂයකි.

විටින් විට පත් වූ ආණ්ඩු රාජ්‍ය යාන්ත්‍රණයට සමගාමී පුරවැසි ව්‍යූහ ගොඩ නැගීමට උත්සාහ දැරීය. මින් පෙර පැවති එවන් මූලාරම්භ කිහිපයක් මෙසේ ය.

ජන සභා (2011), ග්‍රාම ශක්ති (2016), සහ ජන සභා (2023). රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය තුළ තමට දායක විය හැකි අඩවිය නිර්මාණය කර ගැනීමට ජනතාවට ඇති අභිලාෂය මෙයින් පෙනී යන අතර එවන් අඩවි නිර්මාණය කර දීමෙන් ආණ්ඩු අපේක්ෂා කරනුයේ පුරවැසි අවකාශය තුළ සිය අණසක තහවුරු කරමින් ආණ්ඩුවල සුජාතභාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙනි. ඉහත සඳහන් කළ කිසිදු පුරවැසි සහභාගිත්ව මූලාරම්භයක් සාර්ථක නොවුණු අතර ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක නොවීම සහ නිලධාරී තන්ත්‍රයේ ප්‍රතිවිරෝධය ඊට බලපෑවේය.

ක්ලීන් ශ්‍රී ලංකා ග්‍රාමීය සභා එම මාවත ඔස්සේ තබන නවතම පියවර ලෙස පෙනී යයි. මැතිවරණ සමයේ දී ජාජබය විසින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කමිටු පිහිටවූයේ ප්‍රචාරණයට සහ නව ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමේ මෙවලමක් වශයෙනි. ක්ලීන් ශ්‍රී ලංකා ග්‍රාමීය සභා පිහිටුවීට මෙකී මැතිවරණ කමිටු පදනම මත සිදු කළ හොත්, සහභාගිත්ව තීරණ ගැනීමට පිණිස වන පුරවැසි අභිලාෂය සහ ජාජබ දේශපාලනය අතර සිදු වන අන්තර්ඡේදනය පෙර නොවූ මට්ටමක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී.

සංකල්පීකරණය සහ ක්‍රියාවට නැංවීම අතර පරස්පරතා

zdfw345

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පළමු ක්‍රියාකාරකමක් වූයේ, දැඩි ජනමාධ්‍ය ආවරණයක් ලබා දෙමින් බස් සහ ත්‍රීරෝද රථවල සවි කර තිබූ අමතර බාහිර උපාංග ඉවත් කිරීමේ මෙහෙයුමකි. සරුවපිත්තල හෝ බාල වැනි අර්ථයක් දෙන පදයක් වන ‘තොරොම්බල්’ ගැලවීම ලෙස ජනගත වූ මෙම මෙහෙයුම විසින් විවිධ පාර්ශ්ව වෙතින් ප්‍රතිචාර ලැබිණි. බස් රථ සහ ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගම් ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය විසින් මාර්ගාර්ක්ෂාව පිළිබඳව දැනට පවතින නීති සීමාවට පිටින් අර්ථකතනය කරනා බවයි.

මේ විරෝධය හමුවේ මෙහෙයුම මාස තුනකින් කල් දැමූ අතර එම කාලය තුළ අමතර සවි කිරීම ගලවා දැමීමට රථ හිමියන්ට සහන කාලයක් ද පොලීසියට නීතිවල අර්ථකතනය සහ සිය නිලධාරීන් නිසි පරිදි දැනුවත් කිරීම සඳහා කාලයක් ද ලැබිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳ  සංකල්පීකරණය තුළ සියලු දෙනා ඒ වෙත ආසක්ත කර ගැනීමට අපේකෂා කෙරුණ ද එය ක්‍රියාවට නැංවෙන්නේ වෙනත් ආකාරයකිනි. මෙම ව්‍යාපෘතියට මධ්‍යම පාන්තික සහයෝගය විශේෂයෙන් ලැබී ඇත. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ආරක්ෂාව හීන වීමට බලපාන ප්‍රධාන හේතුව නම්, රියදුරන්ගේ ‘හික්මීමක්’ නැති කම බව ඇඟවුම් කෙරේ’. කෙසේ වෙතත්, ප්‍රවාහන ක්ෂේත්‍රය අනාරක්ෂිත සහ අකාර්යක්ෂම වීමට බලපාන ව්‍යූහාත්මක ගැටලු සමූහයක් තිබේ.


මධ්‍යම පන්තියේ අපේක්ෂා කලාපයෙන් බැහැරව

zdet4fg

මගී ප්‍රවාහනය යන එකම කාර්යය සඳහා යෙදවූ පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ක්‍රියාත්මක නොවීම, වඩා ආරක්ෂිත සහ මගී ප්‍රවාහන සඳහාම සැකසූ බස් රථ සඳහා කාලාන්තරයක් තිස්සේ ආයෝජනය නොකිරීම සහ ඒ සදහා සිදු කෙරුණු මූලාරම්භ පවත්වා ගෙන යෑමට නොහැකි වීම, මගී ප්‍රවාහනය සඳහා ත්‍රීරෝද රථවලට වඩා ආරක්ෂිත වාහන වෙත පරිවර්තනය වීමට නොහැකි වීම, මාර්ගවල අබලන් තත්ත්වය, දුර්වල සහ යල් පිනූ නීති රීති, සහ ප්‍රවාහන පද්ධතිය නියාමනය සඳහා පවතින ආයතන පද්ධතියේ අකාර්යක්ෂමතාවට හේතු වන පරිදි ඒවායේ භූමිකා අර්ථ ගැන්වී නොමැතිකම සහ බොහෝ ආයතන තුළ එදිනෙදා දූෂණ ක්‍රියා මුල් බැස තිබීම මේවා අතරින් කිහිපයකි.

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ දියත් කළ තොරොම්බල්කරණ ප්‍රයත්නයේ සෞන්දර්යය පිළිබඳ දේශපාලනය දෙස බැලූ විට පෙනී යන කරුණක් තිබේ. එනම්, තොරොම්බල් යනු අලංකාරවත් බව පිළිබඳ මධ්‍යම පන්තිය විසින් පිළිගන්නා ලක්ෂණ වන ‘මටසිළුටු’, ‘අවමතාවාදී’ හෝ ‘ඉහළ පාන්තික’ රස කලාපයට අයත් යමක් නොවේ.

ඒ වෙනුවට, තොරම්බල් ලෙස මධ්‍යම පාන්තික නාමකරණයට ලක් වන්නේ, මධ්‍යම පාන්තික ජනයා ඉන් පහළ සමාජ ස්ථරවල කලා රුචිකත්වයේ ලක්ෂණයක් යැයි සැලකීමට පෙළඹෙන, ‘ග්‍රාමීය’, ‘සරුවපිත්තල’ රුචිකත්වය යි. බස් රථ සහ ත්‍රීරෝද රථ රියදුරන් සිය ආදායම් මට්ටම්වලින් කෙසේ වතුදු, සමාජ පිළිගැනීම අතින් මධ්‍යම පන්තියේ අපේක්ෂා කලාපයට අයත් රැකියාවල නියැළෙන්නෝ නොවෙති.

මැතිවරණයට පෙර චෞර වළල්ල සහ පසු චෞර වළල්ල

zdet45

ක්‍රම වෙනස හෙවත් සිස්ටම් චේන්ජ් යන්න මැතිවරණ සමයේ දී ජාජබය විසින් ප්‍රධාන වශයෙන් ම වර නැඟුවේ ‘චෞර වළල්ලක්’ විසින් අරක් ගෙන සිටිනු ලබන දේශපාලනයේ ඉහළ ස්ථර පවිත්‍ර කර, ඒකී චෞර තන්ත්‍රය (චෞරයන් විසින් සිදු කරන ලද පාලනය), නීතිය හමුවට ගෙන ඒම ලෙසයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනේ පළමු අදියර මගින් ‘පහළ ආදායම්’ යැයි සැලකෙන කණ්ඩායම් ‘හික්මවීම’ අරමුණු කර ගැනීම ඔස්සේ උක්ත ජනවරම ප්‍රමාද කිරිමට අවශ්‍ය තර්කනය ද ගොඩ නැගෙයි. මැතිවරණ සමයේ දී ඉතා සාර්ථකව දියත් කෙරුණ ප්‍රභූ-විරෝධී සටන් පාඨය (එනම්, විදේශයන්හි සැඟවූ මුදල් යළි මෙරටට ගෙන ඒම, ආර්ථිකය අර්බදුයට හෙළූවන් නීතිය හමුවට ගෙන ඒම ආදිය) දැන් ‘සමස්ත සමාජයට’ ම අදාළ ලෙස පුළුල්ව අර්ථ ගන්වමින් තිබේ.

චෞර වළල්ලට අයත් වන්නේ කවුරුන්ද යන්න මැතිවරණයට පෙර සහ පසු වෙනස් වෙමින් තිබේ. මැතිරවණයට පෙර, ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක ඉතා ශූර ලෙස චෞර වළල්ල යන පදය පට බැන්දේ දූෂිත අරමුණු වෙනුවෙන් ඉතා කිට්ටුවෙන් බැඳුණු දේශපාලඥයන්, ඉහළ තනතුරු දරන ඇතැම් නිලධාරීන්, සහ ව්‍යාපාර හිමියන් ඇතමෙක් හැඳින්වීමටය.

බලයට පැමිණි පසු, දුෂණය පිළිබඳ චෝදනාව ‘ප්‍රජාතන්ත්‍රීකරණය’ වී තිබේ. එම චෝදනාවට ලක් වන නවතම ක්ෂේත්‍ර ලෙස රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව නිතර හැඳින්වෙන අතර, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඇති ප්‍රධාන බාධකය ලෙස එය බව වැඩි වැඩියෙන් කියවේ. ධනවාදයේ රුදුරු ඒජන්තයන් ලෙස පෙර නාමකරණය වූ දේශීය සහ විදේශීය දූෂිත ගජ මිතුරු ව්‍යාපාර සමග දැන් කුලුපගව වැඩ කිරීමට ආණ්ඩුවට ප්‍රායෝගික හේතු බල කර සිටී.

අභිලාශීය මධ්‍යම පාන්තිකයින්ගේ ගාමක බලය සහ ‘සිංගප්පූරු සිහිනය’

setw45f

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නියාමකයන්ට ‘පහත අතුවල ඇති ඵල’ නෙළා ගැනීමට අවශ්‍ය ය. මැතිවරණවලදී ලබා දුන් පොරොන්දු තාවකාලිකව හෝ සන්තර්පණය කිරීමට එය අත්‍යාවශ්‍ය වේ. මධ්‍යම පන්තියේ ‘සිහින දේශය’ ගොඩ නැංවීම යුද්ධය නිමා වූ අවදියේ පටන් නැගී ආ ස්ථාවර අභිලාෂයක් වන අතර එය විවිධාකාර දේශපාලන ප්‍රතිචාර දක්වා විහිද තිබේ. මෙයින් අදහස් වන්නේ, ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින අභිලාශීය මධ්‍යම පාන්තික ප්‍රජාවක් බිහි වීම සහ ඔවුන්ට මැතිවරණවල ප්‍රතිඵලය තීරණය කිරීමේ විශාල ඉඩ හසරක් සෑදීමයි.

වර්ෂ 2015, 2019, 2022 සහ 2024 දී සිදු වූ ආණ්ඩු මාරු පසුපස සිටින ගාමක බලය මෙම අභිලාශීය මධ්‍යම පාන්තික පිරිසයි. මෙම මධ්‍යම පාන්තික සිහිනය සාක්ෂාත් කර ගැනීමට තමාට නායකත්වය ලබා දිය හැකියැයි  දැනට දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන දේශපාලඥයින් ද ඉඟි කරතත් ඔවුන්ට වර්තමානයේ දී ඇති දේශපාලික සුජාතභාවය අල්ප ය. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික දිශානතිය සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ ඇති සීමාව හේතුවෙන් ශ්‍රී ලාංකික මධ්‍යම පන්තියේ ‘සිංගප්පූරු සිහිනය’ සැබෑ කිරීම ඉතා දුෂ්කර සහ දීර්ග කාලීන මාවතකි.

ජාජබ ආණ්ඩුව විශාල ජනවරමක් සහිත ආණ්ඩුවකි. ඉහත අභිලාශීය සිහිනයේ සීමාකාරිත්වය සහ එය සාක්ෂාත් කර ගැනීමට ඇති දුෂ්කරතා පිළිබඳ කතිකාව ජනතාව අතරට ගෙන ගොස් පුළුල් කතිකාවක් ගොඩ නැගීමට සහ ඉහළ බලාපොරොත්තු සහ සැබවින්ම කළ හැකි දෙය අතර මධ්‍යය සොයා ගැනීමට අදාළ දූත මෙහෙවර ඉටු කිරීමට විශාල විභවයක් ජාජබය සතුව දැනටත් පවතී.

Harindra B DisanayakeDr Rajni Gamage(සටහන | හරින්ද්‍ර බී. දසනායක සහ ආචාර්ය රජ්නි ගමගේ)

 

 



(මෙම ලිපිය 2025 ජනවාරි 26 සන්ඩේ මෝර්නින් පුවත් පතේ පළවූ ලිපියක සංස්කාරික පරිවර්තනයකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...