The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!

T

The Leader Desk

February 6, 2025 • 8:41 AM

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට නෙමෙයි අපේ ලොකු පුතා බැඳලා ඉන්න ලේලිට, ඇත්තෙන්ම මට ඒ ගැන වැඩි දැනීමක් නැති හින්දා මං එයාට කිව්වා; ඕවා ගැන හොයන කෙනෙක් ඉන්නවා; එයාගෙන් වත් අහලා බලන්නම් කියලා” අප නිතර ගනුදෙනු කරන ව්‍යාපාරික හිතවතකු පසුගිය දිනයෙක මා හා කීය.
  • “ඇත්තෙන්ම මේක මගේ හොඳම යාළුවා ගේ ප්‍රශ්නයක්.
  • “මොනවා වුණත් ඔය වගේ පරණ මතිමතාන්දර වල කිසිම ඇත්තක් වත් වැදගත් කමක් වත් නෑ කියලා තමයි සේරටම කලින් කියන්න වෙන්නේ.
  • අලුතින් ගෙයක් වගේ දෙයක් හදනකොට ඇති වෙන එක එක ප්‍රශ්න ගැටළු හින්දා ඒවා හදන මිනිස්සුන් ගේ හිත්වල ගොඩ ගැහිලා ඉබේම ආතතියක් ඇති වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මට නෙමෙයි අපේ ලොකු පුතා බැඳලා ඉන්න ලේලිට, ඇත්තෙන්ම මට ඒ ගැන වැඩි දැනීමක් නැති හින්දා මං එයාට කිව්වා; ඕවා ගැන හොයන කෙනෙක් ඉන්නවා; එයාගෙන් වත් අහලා බලන්නම් කියලා” අප නිතර ගනුදෙනු කරන ව්‍යාපාරික හිතවතකු පසුගිය දිනයෙක මා හා කීය.

“තොරතුරු ටිකක් කියන්න නම් පුළුවන්. ඒත්, ඕවා කිසිම වැදගැම්මකට නැති ගුප්ත විශ්වාස කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඔය කියන විදිහට ගෙදරක ප්‍රධාන උළුවස්ස තියන දිසාව අනුව ඒ ගෙදර ජීවත් වෙන අයට මාරක ප්‍රතිඵල ලැබෙනවා නම් මේ වෙන කොට ලෝක ජනගහනයෙන් බාගයක් විතරම අඩු වෙන්න එපැයි. මොකද ඔය ගුප්ත දෝෂ මඟ හරවා ගන්න කියලා උළුවහු පැනීම වගේ වැඩ කරන්නේ අපි වගේ ලෝක ජනගහනයෙන් බොහොම සුළු කොටසක් විතරනේ” මම එවේලේ ඔහුට කීවෙමි.

“මම හිතන්නේ ඒ ළමයා ඔය ගැන අහන්නේ වෙන මොකක් හරි කාරණේකට වෙන්න ඕනේ, මොකද? ලොකු පුතාලා, අලුත් ගේ හදලා දැන් අවුරුදු තුනක් විතර වෙනවනේ” එම ව්‍යාපාරිකයා කීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම වැඩිමල් ලේලිය උපාධිධාරි ගුරුවරියක බැවින් ඇය තව වැඩිදුර අධ්‍යයන කටයුත්තක් සඳහා එම කරුණු පිළිබඳව සොයනවා විය හැකිය යන්න ය.

 

ulu
“ඇත්තෙන්ම මේක මගේ හොඳම යාළුවා ගේ ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න උළුවහු පැනීම කියන්නේ මොකක්ද? කියලා හරියටම දැන ගන්න ඕනේ” ඊට දින කිහිපයකට පසු ම’වෙත සිදු කළ පූර්ව දැනුම් දීමකට අනුව තවත් සම වයසේ කාන්තාවක සමඟ අප නිවසට පැමිණි මගේ හිතවත් ව්‍යාපාරිකයා ගේ දියණිය කීවා ය.

“මොනවා වුණත් ඔය වගේ පරණ මතිමතාන්දර වල කිසිම ඇත්තක් වත් වැදගත් කමක් වත් නෑ කියලා තමයි සේරටම කලින් කියන්න වෙන්නේ. අලුතින් ගෙයක් වගේ දෙයක් හදනකොට ඇති වෙන එක එක ප්‍රශ්න ගැටළු හින්දා ඒවා හදන මිනිස්සුන් ගේ හිත්වල ගොඩ ගැහිලා ඉබේම ආතතියක් ඇති වෙනවා. පස්සේ ඒවා හිත ඇතුලේ පිරුණම මානසික අර්බුද ඇති වෙන හින්දා තමයි ඔය ගෙවල් හදන කොට බහිරව පූජා වගේ දේවල් තියන්නේ.

ඒ එක්කම අලුතින් හදන ගෙවල් ඉස්සරහ “මෙම නිවසට බුදු සරණයි දෙවි පිහිටයි” වගේ බැනර් එල්ලුවොත් ඒවාට එල්ල වෙන ඇස්වහ කට වහ දුරු වෙනවා කියලා ජන විශ්වාසයක් තියනවා. මොකද එතකොට ඒ වගේ දකින ඕනෙම කෙනෙක් “අනේ මේ ගේ කොච්චර ලස්සනද?” කියලා හූල්ලනවා වෙනුවට මෙම නිවසට බුදු සරණයි කියන එක හිතෙන් හරි කියවෙනවනේ, අලුත් ගෙයක් හදන කොට සිද්ද කෙරෙන ඔය උළුවහු පැනීමත් ඒ වගේම නොවිධිමත් මනෝ චිකිත්සාවක් විතරයි” මම ඔවුන්ට පැහැදිලි කර දුනිමි.

“එතකොට මොකක්ද ඔය උළුවහු පැනීම කියන්නේ. අපිට ඒක තමයි විශේෂයෙන් දැන ගන්න ඕනේ.” එවිට මා කී දේ පිළිබඳ එතරම් තැකීමක් නොමැති ලෙසින් මගේ ව්‍යාපාරික හිතවතා ගේ දියණිය කීවා ය.

“ඔය දිව්‍ය ලෝකේ වඩුවා, ඒ කියන්නේ නිර්මාණ ශිල්පියා කියන විශ්ව කර්මයා ගැන අපි අහලා තියනවානේ, නමුත් අදත් ඉන්දියාවේ හින්දු ජනතාව ගෙන් වැඩි කොටසක් ඉදිකිරීම් වලට වගේම සියළුම කර්මාන්ත වල දී අධිපති විශ්වකර්ම දෙවියන්ව අදහනවා; වෙන එකක් තියා රොකට් යැවීමේ දී පවා. ඒ වගේම ඉන්දියාවේ හින්දු සමාජයේ ඉදිකිරීම් සම්බන්ධ හැම කටයුත්තකදීම විශ්ව කර්ම දෙවියන් සිහි කරනවා. අදත් ඉන්දියාවේ හැම අවුරුද්දකම සැප්තැම්බර් 17 විශ්ව කර්ම දිනය විදිහට වෙන් කරලා තියනවා ඒ විශ්වාස වලට අනුව ගෙදරක් වගේ ගොඩනැගිල්ලක උළුවහු තියන එක ඒ කියන්නේ ගෘහ ප්‍රවේශනය කියන එක විශ්ව කර්මයා ගේ අවසරය මතම කළ යුතුයි කියලයි එහේ හින්දු භක්තිකයෝ හිතන්නේ. නමුත් අපේ සමාජයේ විශ්ව කර්ම ඇදහීමක් නැති හින්දා ඒ වෙනුවට යොදා ගන්නේ බහිරවයව” මම කීවෙමි.

 

door1
“එතකොට ඔය උළුවහු පැනීම කියන දේ කරන්නේ බහිරවයව සිහි කරලද?” එසැනින් මගේ ව්‍යාපාරිකයා ගේ දියණිය ඇසුවා ය.

“ඔව්; හුඟක් පලාත්වල එහෙම තමයි, හැබැයි එතන තියෙන්නේ බහිරවයා ගැන ගෞරවයකට වඩා බයක්, මොකද ඔය උළුවහු පැනීම හරියට නොකළොත් වස් දොස් වදියි කියලා මිනිස්සු බයයි.” මම කීවෙමි.

“එතකොට ඉස්සර වෙලාම උළුවහු පනින කෙනාටලු නේද? ඔය වස් වදින්නේ?” එවිට මා කෙසේවත් නොසිතූ ලෙස මගේ ව්‍යාපාරික මිත්‍රයා ගේ දියණිය සමඟ පැමිණි අනෙක් කාන්තාව ඇසුවා ය.

“එහෙම කතාවක් තියනවා තමයි. ඒත් කවුරු උළුවහු පැන්නත් කිසිම ප්‍රශ්නයක් නෑ .කවුරු හරි කියනවා නම් මම උළුවහු දාහකින් හරි පනින්නම්. නමුත් සාමාන්‍යයෙන් ඒ ගේ හදපු බාස් උන්නැහේ තමයි ඉස්සර වෙලාම උළුවහු පනින්න ඕනේ කියන්නේ, ඒත් හුඟක් බාස් උන්නැහේලා එක පාරටම උළුවහු පනින්නේ නැතුව ඊට කලින් තමන් වැඩ කරපු වඩු ආයුධ උළුවස්සෙන් ඇතුලට දානවා ඒ වගේම ඒ උළුවස්සෙන් කුකුළෙක් පන්නන සිරිතකුත් තියනවා” මා එසේ කී සැනින් මගේ ව්‍යාපාරික මිතුරා ගේ දියණිය මෙන්ම ඇගේ මිතුරිය ද බලවත් තිගැස්මකට ලක්වනු පෙනිණ.

”ඔන්න ඕක තමයි අපිට දැන ගන්න ඕනෙ වුණේ. මෙයාලගේ අලුත් ගෙදර තමයි ඔය උළුවහු පනින එක සූදානම් කරලා තිබුණේ” මගේ ව්‍යාපාරික මිතුරා ගේ දියණිය තම යෙහෙළිය දක්වමින් කීවා ය.

 



“ඇයි මොකක්ද ප්‍රශ්නේ?” ඔවුන් ගේ එම වික්ෂිප්ත බව හමුවේ මම ඇසීමි.

“මෙයාලගේ අලුත් ගෙදර ඔය උළුවහු පනින එකට දිනයක් දා ගන්න ඕනෙ කියලා ගේ හදපු බාස් උන්නැහේ මෙයාලට කියලා තියනවා පුළුවන් නම් ඊට කලින් ඔය වැඩේට හොඳ නැකතක් බලලා කොහෙන් හරි ගම් කුකුළෙක් හොයා ගන්; සතාට කිසිම අනතුරක් නොකර ආපහු ගිහින් දෙන්න පුළුවන් කියලා” එසේ කී මගේ මිතුරා ගේ දියණිය සිය යෙහෙළිය දෙස බැලුවේ එම කතාවේ ඉතිරි කොටස ඇය ලවා කියවා ගැනීමට මෙනි.

“ඉතින් මමත් ඔය උළුවහු පනින වැඩේට ගම් කුකුළෙක් සොයා ගන්න ඕනේ හින්දා කල් ඇතුවම අපේ ගේ ළඟ ග්‍රොසරියට ගිහින් කියන කොට එතන හිටපු කෙනෙක් කිව්වා අපොයි ඕකට නම් වෙන කුකුළෙක් මොකටද? අහවල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමාවම ගන්න පුළුවන් නේ මිනිහත් හොඳ ගම් කුකුළෙක් තමයි කියලා. ඊට පස්සේ කොහොම හරි එහෙම කිව්වේ මම කියලා හැම තැනම පැතිරිලා ඒ මනුස්සයා දැන් අපිත් එක්ක නයි වෛරෙන් ඉන්නේ. මොකද ඒ පැත්තේ හුඟක් ගෑනු අය ඒ මනුස්සයට කියන්නේ කුකුළා කියලලු.ඒකත් මම දැන ගත්තේ පස්සෙ” මගේ මිතුරාගේ දියණිය ගේ යෙහෙළිය එම උළුවහු පැනීමේ කතාවේ සුලමුල විමසීමට හේතුව එසේ විස්තර කළා ය.

ඒ අනුව මේ වන විට මගේ සිත තුළට පිවිස ඇති ගැටළු දෙකක් තිබේ .ඉන් පළමු වැන්න එවන් උළුවහු පැනීමක් සඳහා සැබෑ ගම් කුකුළකු වෙනුවට එවැනි ආදේශකයක් යොදා ගත නොහැකිද? යන්න ය. ගම් කුකුළකු විසින් කළ යුතු උළුවහු පැනීමක් සඳහා ඉදිරිපත් වීමෙන් මටත් අනවශ්‍ය නමක් පටබැඳේ ද? යන්න මා තුළ ඒ සම්බන්ධයෙන් හට ගෙන ඇති දෙවන ගැටළුව ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්! | The Leader