The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ 'දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ' සංකල්පය

T

The Leader Desk

February 7, 2025 • 5:12 AM

කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ 'දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ' සංකල්පය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කඩා පැනීම් වලින් කොටසක් යම් යම් නීති විරෝධී කටයුතු සිදු කෙරෙන ස්ථාන වෙත ඒ සඳහා බලය ලත් නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.
  • එහෙත් පසුගිය 05 දා සිදු වූ අප ගේ මාතෘකාවට බඳුන් වන මෙම කඩා පැනීම සිදුව ඇත්තේ අප රටේ ජනානන්දනීය පුද බිමක් වන රුහුණු කතරගම මහා දේවාලයට ය.
  • ඒ කඩා පැනීම සිදුකොට ඇත්තේ විගණකාධිපති කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් විසිනි.
  • ඔවුන් මොනරාගල පිහිටි විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බව ද පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙම කඩා පැනීම් වලින් කොටසක් යම් යම් නීති විරෝධී කටයුතු සිදු කෙරෙන ස්ථාන වෙත ඒ සඳහා බලය ලත් නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.
 
එහෙත් පසුගිය 05 දා සිදු වූ අප ගේ මාතෘකාවට බඳුන් වන මෙම කඩා පැනීම සිදුව ඇත්තේ අප රටේ ජනානන්දනීය පුද බිමක් වන රුහුණු කතරගම මහා දේවාලයට ය. ඒ කඩා පැනීම සිදුකොට ඇත්තේ විගණකාධිපති කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් විසිනි. ඔවුන් මොනරාගල පිහිටි විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බව ද පැවසෙයි.
 
එම නිලධාරීන් ගේ ඉලක්කය වී තිබුණේ කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේ ගේ පරිපාලනය යටතේ පවතින එම දේවාලයේ ප්‍රධාන කාර්යාලයයි. එදින පෙරවරුවේ පැමිණි විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පස්වරුව දක්වාම එහි විගණක පරීක්ෂණ කටයුතු සිදු කළ බව පැවසෙයි.


මේ වන විට කතරගම දේවාලය ආශ්‍රිතව පැතිර යන හෝ පතුරුවා හරින පුවත් වලට අනුව එම විගණන නිලධාරීන් කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයට හදිසියේ පැමිණ පරීක්ෂණ අරඹා ඇත්තේ ජනාධිපති වරයා ගේ විශේෂ නියෝගයකිනි. ඒ අනුව මෙය මේ වන විට වත්මන් ආණ්ඩුව සාර්ථක හෝ අසාර්ථක ලෙසින් සිදු කෙරෙන හොරු ඇල්ලීමේ හෝ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ එක් අදියරක් ලෙස යමකුට හැඟී යා හැක. එමෙන්ම මෙම සිදුවීම මුල් කොට ‘කතරගම දේවාලයේ බස්නායක නිලමෙත් ගසා කාලා එහෙනම්’ වැනි ප්‍රවාදයක් ජනගත වීමේ පහසු අවකාශයක් පවතී.

 

නමුත් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු අනාවරණය වන පරිදි මෙය කතරගම රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු තනතුර දරන සොමිපාල ටී රත්නායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකි. ඔහු එමඟින් දන්වා සිටින්නට ඇත්තේ කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ සිදුවන මූල්‍ය භාවිතය සැක සහිත බව ය. ඒ අනුව එවැනි ස්ථානයක විගණක පරීක්ෂාවක් සිදු කිරීමට කාගේවත් නියෝගයක් අණක් නොමැතිව වුවද විගණකාධිපතිවරයාට නීතිමය බලයක් තිබේ. මෙම විගණන පරීක්ෂාව සිදු කොට ඇත්තේ ඒ අනුව ය.

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ඇයි ? -(ප්‍රණීත් අභයසුන්දර)

 

රුහුණු මහා කතරගම දේවාලය 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 4 (1) විධිවිධාන පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධික්ෂණය යටතේ පාලනයට යටත් වේ. එහි 43 වැනි වගන්තිය අනුව දේවාලයේ පාලන කටයුතු සඳහා බෞද්ධ කටයුතු විෂය භාර ඇමතිවරයාට ව්‍යවස්ථා පැනවිය හැකිය. එමෙන්ම එහි 25, 35 (1) හා 35 (2) වගන්ති ප්‍රකාරව දේවාලයේ මූල්‍ය සහ වත්කම් පාලන කටයුතු සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නියමයන් පැන විය යුතු අතර විහාර හා දේවාලගම් පනතට අනුව ඊට අයත් ඕනෑම සිද්ධස්ථානයක මූල්‍ යපරිපාලනය සම්බන්ධ අභ්‍යන්තර විගණනයන් කිරීම එම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ. එමෙන්ම එම විගණන වාර්තා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමක් ද සිදු වේ.

නමුත් ඊට අමතරව එවන් ස්ථාන සම්බන්ධ වෙනම විගණන පරීක්ෂණ පැවැත්වීමේ පූර්ණ බලය විගණකාධිපතිවරයා සතු වෙයි. ඒ කෙසේ හෝ මෙම ගිනුම් වාර්තා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඔස්සේ බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව ඉහත සඳහන් විගණන පරීක්ෂාවේ කිසිදු අයෝග්‍යතාවක්;”දේව කෝපයකට හේතුවක්” අපට නොපෙනෙයි.

 

කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර ගැටුමක්

එමෙන්ම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසිය යුතු පරිදි කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලය වෙත ලැබෙන සෑම ආධාරයක්ම එහි නිල වෙබ් අඩවියේ යාවත් කාලීන කෙරෙමින් ප්‍රදර්ශනය කෙරේ. එමගින් කතරගම අපේක්‍ෂා රෝහල ඇතුළු වෙනත් ආයතන මුල් කොට මේ දක්වා සිදුවී ඇති සේවාවන් සම්බන්ධයෙන් විස්තර කිරීමට නම් වෙනම ලිපියක් ලිවිය යුතුව තිබේ.

එමෙන්ම මෙම විගණන පරීක්ෂාව සම්බන්ධයෙන් කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරයන් පවසා ඇත්තේ තමන් මෙම විගණනය දේවාශිර්වාදයක් සේ සළකන බව ය. ඊට හේතුව එම අධීක්ෂණය සහ නිගමනය යටතේ පාලනය වන කතරගම දේවාල ප්‍රධාන කාර්යාලයේ මූල්‍යමය කටයුතු පාරද්‍රශ්‍ය භාවයකින් යුතු බව ඉන් තවදුරටත් තහවුරු වන බැවිනි.

 

කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි - (රේණුකා දමයන්ති ගමගේ)
කතරගම රුහුණු මහා දේවාල අරමුදලින් රුපියල් මිලියන 176 ක් වැය කොටඉදි කෙරුණු ‘මහරගම අපේක්‍ෂා රෝහලේ ළමා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය පසුගිය දා විවෘත කෙරිණ. ඒ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එම ප්‍රදානය සඳහා දායක වූ සියළුම දෙනාට තුති පැසසුම් පුද කළ යුතු තැන වෙනත් පණ්ඩිත කතාවක් කියන්නට ගොස් පොදු ජන සමාජය ඉදිරියේ ලකුණු සෑහෙන ප්‍රමාණයක් කපා ගත්තේ ය.

එහි දී ඇමතිවරයා කීයේ මෙරට සංවර්ධනය උදෙසා කතරගම දෙවියන් පමණක් නොව තිස් තුන් කෝටියක් දෙවිවරුන් දෙන මුදලටත් වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව ය. නමුත් ඒ මුදල් මෙරට පොදු ජනතාවගේ මිස කතරගම දෙවියන් ගේ බැංකු ගිනුමින් බැර වූ ඒවා නොවේ. එමෙන්ම මින් මතු මෙරට සෞඛ්‍ය සේවය උදෙසා දේශපාලන හිතවත්කම් “හිත උණුවීම්” ආදිය මත ලබා දෙන ප්‍රතිපාදන ජාතික සැලැස්මකට අනුව පොදු අරමුදලකට බැර විය යුතු බව ද ඇමති වරයා කීය.

 

අපගේ වැටහීම අනුව ඇමතිවරයා ගේ මෙම ප්‍රකාශය කිසියම් මඟුල් ගෙදරකට යන අයකු එහි මංගල මේසයෙන් නැඟිටින අතරේ “අපි කන මඟුල් වල හැටියට මේවත් මඟුල් ද ?’යනුවෙන් පැවසීම වැනි සදාචාර විරෝධී කතාවකි. අප ගැමි සමාජයේ “කට කැඩිච්ච කතා” කියන්නේ ද මේවාට බව ද ඇමති වරයාට කාරුණිකව මතක් කොට දෙන්නෙමු. එහෙත් පසුව නලින්ද ජයතිස්ස ඇමතිවරයා ගේ එම ප්‍රකාශයේ දොසක් තමන්ට නොපෙනෙන බව පවසමින් ජාමේ බේරා ගත් කතරගම බස්නායක නිලමේ වරයා ඉන් දේවාලයට ලැබෙන මහජන ආධාරදාමය මන්ද පෝෂණයකට ලක් නොවන තැනට උපායශීලී ලෙස කටයුතු කරනු දක්නා ලදී. 

විහාර හා දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා ගේ අධීක්ෂණයට හා නියාමනයට යටත් වනුයේ එම ආගමික ස්ථානය වෙත ලැබෙන ආධාර පමණි. ඒ හැරුණු විට යමකු බාරයක් ඔප්පු කිරීම පිණිස දේවාලයකට ගම් කුකුළකු නිදහස් කළ හොත් ඒකා එම විගණනයනට යටත් නොවේ. ඒ ආකාරයෙන්ම බැතිමතුන් විසින් දෙවියන්ට පුදන පූජා වට්ටියේ ඇති පඬුර හැරුණු කොට සෙසු දෑ එහි සේවය කරන කපුවා ගේ අභිමතයට යටත් වේ. පඬුර පමණක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව භාරයට ගන්න බව කියනු ලැබේ. 

 

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ඇයි ? -(ප්‍රණීත් අභයසුන්දර)
එමෙන්ම මීට අඩ සියවසකට එපිට පවා දේවාල වල කපුවන් රුපියල බැගින් පගාව නොදුන්න හොත් පුජා වට්ටි ප්‍රතික්ෂේප කරන බවත් බලදේව දේශබන්ධු විසින් සම්පාදනය කරන ලද “සර්ව දේව යාදිනි සහිත දේව කන්නලව්ව” (රත්න පොත් ප්‍රකාශකයෝ) කෘතියේ සඳහන් වේ. අද වන විට බැතිමතුන් දෙවියන් පුදන පූජා වට්ටියේ තබන පඬුරට අමතරව ඒ මත තබා ඇති මුදල් නෝට්ටුව හෝ නෝට්ටු මිටිය ඒ පගාවේම පරිනාමයක් බව අතිශයින් පැහැදිලි ය.ඒ අනුව බලන විට වත්මන් සමාජය දෙවියන් ඉදිරියේම කපුවන්ට පගා දෙන මට්ටමට පල්ලම් බැස ඇත.

අප රටේ සෑම දේවාලයකම පාහේ අඩු වැඩියෙන් දක්නට ලැබෙන මෙම ජාවාරම් යාන්ත්‍රණය මේ වන විට ශ්‍රී ලංකාවේ ජනකාන්තම පුදබිමක් බවට පත් වූ කතරගම දේවාලය තුළ ශීඝ්‍ර ප්‍රවර්ධණයකට ලක්වීම ඉතා ස්වභාවික ය. ඒ අනුව මෙම මුදල වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් දක්වා ඉහළ නැංවී තිබේ. එමෙන්ම මේ මහා ධන සම්භාරයට රන් බඩු ඇතුළු වෙනත් වටිනා භාණ්ඩ හා ද්‍රව්‍ය තෙක් ද විහිද යන්නකි. මේ තත්ත්වය යටතේ කතරගම දේවාලයේ සේවය කරන කපුවන් කොතෙක් තෘෂ්ණාභරිත වී තිබේද? යත් දේවාලයෙන් වැඩි ආදායමක් අරමුණු කර ගනිමින් හිටපු බස්නායක නිලමේ වරුන් හා ගැටුම් ඇති කර ගැනීම සහ ඔවුනොවුන් අතරේ අසමඟිකම්, නොහොඳ නෝක්කාඩු, කලකෝලාහල සේම සාපරාධී ක්‍රියාවන් පවා සිදුකර ගැනීමෙන් මනාව තහවුරු වේ.

plate
ආන්දෝලනයට ලක්වූ රන්තැටිය

අංගොඩ ලොක්කා නම් පාතාල කල්ලි සාමාජිකයා ගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කරන ලද බව පැවසෙන රුපියල් ලක්ෂ තිස් අටක් පමණ වටිනා රන් තැටියක කතරගම රුහුණු මහා දේවාලයේ ප්‍රධාන කපු තනතුර දරන සොමිපාල ටී රත්නායක විසින් අස්ථාන ගත කිරීමක් වාර්තා වීම එම සොර මැරකම් හා ජාවාරම් යාන්ත්‍රණය හා සම්බන්ධ එක් සමාජමය පිළිබිඹුවක් පමණි.

එමෙන්ම ඒ සම්බන්ධ වඩාත් වැදගත්ම කරුණ වනුයේ තේ කෝප්පයෙන් කිඹුලන් දැකීමක් මෙන් කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක වරයා ගේ කාර්යාලය තුළින් ද සොරුන් මතු කර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කොට ඇත්තේ ද කතරගම රුහුණු මහා දේවාලයේ ප්‍රධාන කපු තනතුර දරන සොමිපාල ටී රත්නායක විසින්ම වීම ය.

ඒ අනුව මෙම සටහන නිමා කරනු පිණිස සුදුසු කුමක් හෝ සමාප්ති වාක්‍යයක් පිළිබඳව සිතීමට වෙර දරත්ම ඒ සඳහා ක්ෂණිකව සිතට නැඟුණු හැගීමක් මෙහි සටහන් කරන මම මීට නැවතුම් තිත තබමි. එනම් ‘දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ’ යන්න ය.

මහින්ද' නම් රාවණ ගෙන් ගිළිහුණු බලය 'රනිල්' නම් රාම අතට පත්වේ ද? - (රේණුකා  දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ 'දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ' සංකල්පය | The Leader