The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පලතුරු ඔය කියන තරම් ගණන් ද?

T

The Leader Desk

February 7, 2025 • 8:18 AM

පලතුරු ඔය කියන තරම් ගණන් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප රටේ ජනතාව ප්‍රධාන ආහාර වේල් කෙරෙහි දක්වනු ලබන සැලකිල්ලට සාපේක්ෂව පලතුරු අනුභවය කෙරෙහි දක්වන්නේ ඉතා අඩු උනන්දුවකි.
  • ඊට එක් හේතුවක් නම් පලතුරු කියූ සැණින් අපේ සිහියට නැගෙන්නේත්, පලතුරු ලෙස අප සිතා සිටින්නේත් සාමාන්‍යයෙන් නිතරම දක්නට ලැබෙන ඇපල්, දොඩම්, මිදි, අඹ, ගස්ලබු, අන්නාසි ආදී වශයෙන් සීමිත පලතුරු වර්ග කිහිපයක් වීම ය.
  • මෙම පලතුරු වර්ග බොහෝ විට වෙළෙඳ පොළේ ලාබෙට නොමැති නිසා අපේ මනසේ ඇඳී ඇති සංකල්පය වන්නේ "පලතුරු මිලයි" යන්න සහ "අපට මේවා කන්න වත්කමක් නෑ" යන්න ය.
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සාමාන්‍යයෙන් පුද්ගලයකු දිනකට ගත යුතු පලතුරු ප්‍රමාණය ග්‍රෑම් 400 ක් විය යුතු අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ අනුව දිනකට පුද්ගලයකු පලතුරු වර්ග දෙකක්වත් ආහාරයට ගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අප රටේ ජනතාව ප්‍රධාන ආහාර වේල් කෙරෙහි දක්වනු ලබන සැලකිල්ලට සාපේක්ෂව පලතුරු අනුභවය කෙරෙහි දක්වන්නේ ඉතා අඩු උනන්දුවකි. එහිදී බොහෝ දෙනෙක් නගන තර්කය වන්නේ "පලතුරු කන්න කොහෙද සල්ලි තියෙන්නේ?" යන්න යි. ඊට එක් හේතුවක් නම් පලතුරු කියූ සැණින් අපේ සිහියට නැගෙන්නේත්, පලතුරු ලෙස අප සිතා සිටින්නේත් සාමාන්‍යයෙන් නිතරම දක්නට ලැබෙන ඇපල්, දොඩම්, මිදි, අඹ, ගස්ලබු, අන්නාසි ආදී වශයෙන් සීමිත පලතුරු වර්ග කිහිපයක් වීම ය.
 
 මෙම පලතුරු වර්ග බොහෝ විට  වෙළෙඳ පොළේ ලාබෙට නොමැති නිසා අපේ මනසේ ඇඳී ඇති සංකල්පය වන්නේ "පලතුරු මිලයි" යන්න සහ "අපට මේවා කන්න වත්කමක් නෑ" යන්න ය. මේ අනුව පලතුරු  ආහාරයට එක්කර ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව තුළ දැකිය හැක්කේ උදාසීන ප්‍රතිපත්තියකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සාමාන්‍යයෙන් පුද්ගලයකු දිනකට ගත යුතු පලතුරු ප්‍රමාණය ග්‍රෑම් 400 ක් විය යුතු අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලාංකිකයන් සඳහා වූ  ආහාර මාර්ගෝපදේශ අනුව දිනකට පුද්ගලයකු පලතුරු වර්ග දෙකක්වත් ආහාරයට ගත යුතුය. නමුත් නිර්දේශිත ප්‍රමාණයන්ට අනුව පලතුරු ආහාරයට ගන්නේ අප රටේ ජනතාවගෙන් 5% ටත් අඩු ප්‍රමාණයකි.
 
අපේ රටේ දේශීය පලතුරු වර්ග 100 කට අධික ප්‍රමාණයක් තිබෙන බව පැවසුවොත් ඔබ විශ්වාස නොකරන්නට පුළුවන. මේ සමහර වර්ග බොහෝ දෙනකු පලතුරු ලෙසින් හඳුනන්නේවත් නැත. එම නිසා ඒ පලතුරු වර්ග ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මෙම පලතුරු වර්ග ඌන භාවිත පලතුරු ලෙස හඳුන්වන අතර මේවා අපගේ ගම්වල, ගෙවත්තේ සහ අවට පරිසරයේ ඕනෑ තරම් දක්නට ලැබේ. ඒවා ආහාරයට ගැනීමට කිසිදු වියදමක් දැරීමට සිදුවන්නේ ද නැත.
 
z p 37 A Sri Lankan
එමනිසා පැහැදිලිවම කිව හැක්කේ අප පලතුරු ආහාරයට ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන්නේ පලතුරු මිල වැඩි නිසා නොව, ඒවා ගැන  ප්‍රමාණවත් දැනීමක් නොතිබීම නිසා බව ය. අනෙක් අතට සමහර ගුණදායක කුඩා පලතුරු වර්ග කෙරෙහි අප අල්පමාත්‍රයක තරමේ උනන්දුවක්වත් නොදැක්වීම ය. මේ සඳහා එක් උදාහරණයක් ලෙස වෙරළු පිළිබඳව සැලකුවහොත් වෙරළු වාරයට ගස් යට වෙරළු බොහෝසෙයින් ඉදී වැටෙයි. වෙරළු ගෙඩියක ඇති පෝෂණ ගුණය විශාල ය. විටමින් C, විටමින් A, පොටෑසියම් ක්ෂුද්‍ර පෝෂක, ප්‍රතිඔක්සිකාරක සහ තන්තු ද මෙහි බහුල වේ. එනිසා පිළිකා සෛල වර්ධනය පාලනය කිරීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම, බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීම වැනි සෞඛ්‍යමය වාසි රැසක් ලැබේ. අනෙකුත් ඌන භාවිත පලතුරුවල ද මෙවැනි පෝෂණ ගුණ රැසක් අඩංගු ය.
 Pic 22
 
එනිසා මෙරට ජනතාව අතර පලතුරු පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා ලංකාවේ තිබෙන පලතුරු පිළිබඳව, ඒවායේ පෝෂණ ගුණයන් ගැන සහ පලතුරු ආහාරයට ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. එබැවින් පලතුරු ආහාරයට ගැනීම ප්‍රචලිත කිරීම සහ ඒ තුළින් නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ ආකල්පය පෙරදැරිව, පලතුරු සම්බන්ධ සියලුම අංශ ආවරණය වන සේ පලතුරු උළෙලක් කොළඹ දී පැවැත්වීමට Scaling up Nutrition People's Forum (SUN PF) පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සංසදය කටයුතු සූදානම් කර ඇත. මෙම පලතුරු උළෙල පෙබරවාරි 21, 22 යන දෙදින තුළ පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා  කොළඹ 07, මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ජනතාවට නොමිලේම මෙම පලතුරු උළෙල නැරඹීම සඳහා එක්විය හැකිය. 
       
SUN ( Scaling up Nutrition) යනු "සියලුම මිනිසුන්ට ආහාර හා හොඳ පෝෂණයක් ලැබීම සඳහා අයිතියක් ඇත" යන්න මූලධර්මය කරගත් ගෝලීය සංවිධානයකි. 2010 වසරේදී පිහිටුවනු ලැබූ මෙම සංවිධානය මගින් සියලුම ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයන් තුරන් කිරීම සඳහා  සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා රජය ද 2012 වසරේදී මෙම ව්‍යාපාරය සමග එක්විය.
 
475796620 1007000284789307 195428105372793013 n
        
ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඒ ඒ රටවල්වල රජයන් හි ප්‍රධානත්වයෙන් යුතුව, ප්‍රධාන ජාල හතරක් SUN ව්‍යාපාර යටතේ ක්‍රියාත්මක වේ. එම ජාලයන් වන්නේ SUN සිවිල් සමාජ සංවිධාන ජාලය, එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, පෝෂණය සම්බන්ධ වැඩසටහන් වලට ආධාර කටයුතු පුද්ගලයන්ගේ හා ආයතනවල ජාලය සහ කර්මාන්ත හා පුද්ගලික ආයතන ජාලය යන මේවා ය. Scaling up Nutrition People's Forum යන ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද SUN සිවිල් සමාජ සංසදය වන අතර එය 2014 වසරේදී පිහිටුවනු ලැබිණි. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශයෙහි අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය මෙම ව්‍යාපාරය පිළිබඳව වර්තමාන රාජ්‍ය නිලධාරියා ලෙස කටයුතු කරයි. SUN සිවිල් සමාජ සන්ධාන ජාලයෙහි ආසියානු කලාපීය සමුළුව සඳහා මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව වන අතර එම සමුළුව ආසියානු කලාපයේ රටවල් 15 ක සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 17 දින සිට 21 දින දක්වා කොළඹදී පැවැත්වෙන අතර එම නියෝජිතයන් ද මෙම පලතුරු උළෙල නැරඹීම සඳහා එක් වීමට නියමිත ය.
      
ශ්‍රී ලංකාව පුරාම විහිදුණු සිවිල් සමාජ සංවිධාන ජාලයකින් සමන්විත SUN සිවිල් සමාජ සංසදය ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් විවිධ වැඩසටහන්, මැදිහත්වීම්, උපදේශන ආදිය  සිදු කරන අතර මෙම පලතුරු උළෙල ද එවන් එක් වැඩසටහනකි. මේ පලතුරු උළෙලෙ හි ඉලක්කගත කණ්ඩායම් වන්නේ කුඩා දරුවන්, පාසල් දරුවන්, තරුණියන්, සියලු මහජනතාව, සිවිල්  සමාජ සංවිධාන, දේශීය පලතුරු ගොවීන්, පලතුරු ආශ්‍රිත සැකසුම් නිෂ්පාදනය කරන්නන් සහ පලතුරු අලෙවිකරුවන් ය.
 
Blog Maree 2කොළඹදී පැවති 2018 ලෝක ආහාර දින සැමරුමේ වෙළඳ කුටි
මෙමගින් පලතුරුවල විවිධත්වය හා දිනපතා පරිභෝජනයෙහි සෞඛ්‍යමය වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් නැවුම් පලතුරු වෙළඳ කුටි, නැවුම් පලතුරු සාම්පල, පලතුරු නිෂ්පාදන ප්‍රදර්ශන, පලතුරු තේමා කරගත් වෙළඳ භාණ්ඩ කුටි, පලතුරු පැළ ආදී බොහෝ දේවල් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතී. ඔබගේ දැනුම මෙන්ම විනෝදය සඳහා පලතුරු ආහාරයට ගැනීමේ තරග, පලතුරු කැපීමේ තරග, පලතුරු සම්බන්ධ ප්‍රශ්නාවලි, හොඳම පලතුරු බීම සාදන්නන් තේරීමේ තරග වැනි අන්තර් ක්‍රියාකාරකම් ද මෙම පලතුරු උළෙලට ඇතුළත් කර ඇත. එම ක්‍රීඩාවලට සහභාගී ජයග්‍රහණය කරන්නන්ට තෑගි පිරිනැමේ.
කොවිඩ් 'නසන' කෑම වට්ටෝරුවක්
 
මේ හැරුණු විට අධ්‍යාපනික සැසි, තාක්ෂණික සැසි, ප්‍රායෝගික ඉදිරිපත් කිරීම්, සෞඛ්‍යමත් ආහාර වේලක් සඳහා පලතුරුවල ඇති වැදගත්කම සේම පලතුරු සැකසීම හා වාණිජමය මෙන්ම ගෘහමය මට්ටමින් පලතුරු කල් තබා ගැනීම සඳහා සැකසීමේ ක්‍රම පිළිබඳ වැඩමුළු සහ දැනුවත් කිරීම් ද පැවැත්වේ. මෙම වැඩසටහන් හා සැසි සඳහා කෘෂිකර්ම සහ ආහාර  සැකසුම් ක්ෂේත්‍රයේ විශේෂඥයන්, පෝෂණවේදීන් සහ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ විශේෂඥයන් තාක්ෂණික දායකත්වය සපයයි. ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන පලතුරු උළෙල නිසා මෙම වෙළඳ කුටි ඇතුළු අනෙකුත් අංග නරඹන්නන්ට අලුත් අත්දැකීමක් වනු නියත ය.
       
මෙම පලතුරු උළෙල පරිශ්‍රයේදී නැවුම් පලතුරු වර්ග හැරුණු විට විවිධ පලතුරු සැකසුම් අතර පලතුරු සලාද, පුඩිම් වර්ග, ජෑම්, චට්නි, කෝඩියල් වර්ග, නිවර්තන කලාපීය පලතුරු වර්ග ඇලවූ කෙබාබ්, පලතුරු මිශ්‍ර කිරි නිෂ්පාදන, ස්වභාවික රසකාරක එකතු කර සාදා ගත් පලතුරු ස්මූති ඇතුළු පලතුරු බීම වර්ග, නිවර්තන කලාපීය පලතුරු රසකාරක යොදා සකස් කරන ලද පලතුරු අයිස් ක්‍රීම්, පලතුරු අච්චාරු, ඖෂධීය පැළෑටි සහ පලතුරු කහට එකතු කිරීමෙන් සකස් කරන ලද පලතුරු තේ, පලතුරු වතුර (fruit water), වියළි පලතුරු, කැන්ඩිඩ් පලතුරු, පලතුරු බේක් කළ නිෂ්පාදන ආදිය වේ.
 
Jackfruit
 
ඌන භාවිත පලතුරු වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා ඇති කුටි මගින් නරඹන්නන්ට නොමිලේ පලතුරු සාම්පල් ලබාගත හැකිය. මේවායින් නිතර ආහාරයට නොගන්නා විවිධාකාර පලතුරු වර්ග ආහාරයට ගැනීමට අවස්ථාව ලැබෙන අතර පලතුරු විවිධත්වය පිළිබඳ දැනුම, පලතුරු තේරීම, අගය කිරීම, වැඩි දියුණු කිරීම යන මේ සියල්ල පිළිබඳ දැනුම ද වැඩි කරගත හැකිය.පලතුරු ශාක සම්බන්ධ කුටි මගින්  ඒවා වවාගැනීම පිළිබඳ දැනුම ලබා දෙයි. එසේම පැල වර්ග මිලදී ගැනීම, කාබනික ගොවිතැන භාවිතයෙන් කෙරෙන ගෙවතු වගා ක්‍රම පිළිබඳ දැනුමද වැඩි කර ගත හැකිය. කුඩා දරුවන් සඳහා නැවුම් පලතුරු ආහාර, ක්‍රීඩා වැනි  විකල්ප ක්‍රම මගින් විවිධ වර්ගයේ පලතුරු හඳුන්වා දෙන අතර දෙමාපියන් හා භාරකරුවන්ට දරුවන්ගේ පලතුරු පරිභෝජනය ඉහළ නැංවීම පිළිබඳ දැනුමද ලබා දෙනු ඇත.
 hq720
 
පලතුරු අස්වනු නිවැරදිව නෙලා ගැනීම, ගබඩා කිරීම නිවැරදිව සිදුකොට ඒවායෙහි පෝෂණ ගුණ සහ රසය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම, පලතුරු කල් තබා ගැනීම හා අපතේ යාම අඩු කිරීම සම්බන්ධ ප්‍රායෝගික වැඩමුළු, පලතුරු වියලා දීර්ඝකාලීනව තබා ගත හැකි ක්‍රම හා කෙටි ආහාර සකසා ගැනීම, පලතුරු ටින් කිරීම හා ශීත කිරීම මගින් ඒවායෙහි රසය සහ ගුණය වැඩි කාලයක් නොනැසී පවත්වා ගැනීම, පලතුරු පැසවීම සිදුකරන නිෂ්පාදන සකස් කිරීම යන ක්ෂේත්‍ර ඔස්සේ ලබාගත හැකි දැනුම පලතුරු ආශ්‍රිත ස්වයං රැකියා කිරීමට අපේක්ෂා කරන්නන් හට විශාල මඟපෙන්වීමක් වන අතර ඒ සඳහා තාක්ෂණික සහායක් ද ලැබෙනු ඇත.
        
මෙලෙස පලතුරුවලට අදාළ සියලුම අංශ ආවරණය වන සාර්ථක පලතුරු උළෙලක අත්දැකීම ලබාගන්නට සහභාගීවන්නන් හට මෙමගින් නිරායාසයෙන්ම හැකියාව ලැබේ.
 
indu pereraසටහන - ඉන්දු පෙරේරා
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...