The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රක්තෝපකාරය | උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

February 9, 2025 • 5:27 AM

රක්තෝපකාරය | උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් එතුමා ගැන ද වත්මන් ජනකාන්ත ආණ්ඩුව කෙරෙහි ද ජනතාවගේ ඇති ප්‍රසාද ජනක හැඟීම් හා ආකල්ප එක් අවස්ථාවක බොඳ වූයේ සෞඛ්‍ය විෂය භාර ඇමතිතුමා මහරගම පිළිකා රෝහලේ දී සිදු කළ ප්‍රකාශයක් නිසා ය.
  • කතරගම දේවාලය විසින් රැස් කරන ලද අරමුදලින් සැදුණු පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන්ගේ ඇටමිදුළු ආශ්‍රිත ප්‍රතිකාර කිරීමට පහසුකම් ඇති වාට්ටුවක් විවෘත කිරීමට ආ විට ය සෞඛ්‍ය ඇමතිතුමා මේ ප්‍රකාශය කළේ. එතුමාගේ ප්‍රකාශයේ සාරය වූයේ මෙසේ ය.
  • ආධාර කිරීම හොඳ හිතින් කලත්, හිතන හිතන විදිහට, හිතන හිතන අයට, හිතන හිතන වෙලාවට ආධාර කිරීම මින් පසු නොඉවසන බව යි.
  • ඉන් එතුමා අදහස් කළේ, ආධාර මින් පසු බාර නොගන්නා බව නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එහෙත් එතුමා ගැන ද වත්මන් ජනකාන්ත ආණ්ඩුව කෙරෙහි ද ජනතාවගේ ඇති ප්‍රසාද ජනක හැඟීම් හා ආකල්ප එක් අවස්ථාවක බොඳ වූයේ සෞඛ්‍ය විෂය භාර ඇමතිතුමා මහරගම පිළිකා රෝහලේ දී සිදු කළ ප්‍රකාශයක් නිසා ය. කතරගම දේවාලය විසින් රැස් කරන ලද අරමුදලින් සැදුණු පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන්ගේ ඇටමිදුළු ආශ්‍රිත ප්‍රතිකාර කිරීමට පහසුකම් ඇති වාට්ටුවක් විවෘත කිරීමට ආ විට ය සෞඛ්‍ය ඇමතිතුමා මේ ප්‍රකාශය කළේ. 
 


එතුමාගේ ප්‍රකාශයේ සාරය වූයේ මෙසේ ය. ආධාර කිරීම හොඳ හිතින් කලත්, හිතන හිතන විදිහට, හිතන හිතන අයට, හිතන හිතන වෙලාවට ආධාර කිරීම මින් පසු නොඉවසන බව යි. ඉන් එතුමා අදහස් කළේ, ආධාර මින් පසු බාර නොගන්නා බව නොවේ. ඇමති අවධාරණය කළේ, සෞඛ්‍ය පිළිබඳ රජයේ සාර්ව ප්‍රතිපත්තිය අනුව තීරණය වන ප්‍රමුඛතා හා අවශ්‍යතා මත, පුණ්‍ය සංවිධාන විසින් කරන්නට බලාපොරොත්තු වන ආධාර ස්ථානගත කරන බවයි. 

මධ්‍යගත යාන්ත්‍රණයක ප්‍රතිපත්තියක් මත පිහිටුවා මනා සම්බන්ධීකරණයක් යටතේ සිදුවන සාර්ව මට්ටමේ සැලසුම් ක්‍රියාවලි කොමියුනිස්ට් සමාජවාදී ආණ්ඩුකරණයේ සම්ප්‍රදායකි. සෞඛ්‍ය ඇමතිතුමාගේ ප්‍රකාශය කෙනෙකු අසංවේදී ලෙස දුටුව ද ඔහුගේ සිතුවිලි මූලාශ්‍රය වන්නේ යට කී මධ්‍යගත සාර්ව සැලසුම් සම්ප්‍රදාය යි. තමන්ගේ ම ක්‍රමයකට, බොහෝ විට නිර්මාණශීලී ලෙස ද සමහර විට එසේ නොවන ලෙස ද, කැපවීමකින් යුක්ත ව, යමක් කිරීම කොමියුනිස්ට් පක්ෂ සම්ප්‍රදාය යි. ඔවුන් බලයේ සිටියත් නොසිටියත් තමන්ගේ ම තාලයට යමක් කිරීමේ දැඩි ඕනෑකමක් හා උනන්දුවක් මෙවැනි පක්ෂ ඌරුවක් ඇත්තන්ට ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි.

il treno dei bambini 1Il treno dei bambini movie

 

මේ බව මට වඩ වඩා පසක් වූයේ, මීට සති දෙක තුනකට පෙර නැරඹූ ඉතාලි චිත්‍රපටයක් නිසා ය. "ඉල් ට්‍රේනො දෙයි බම්බිනී" (Il treno dei bambini) හෙවත් චිල්ඩරන්ස් ට්‍රේන් (The Children's Train- දරුවන් ගෙන යන දුම්රිය), මේ චිත්‍රපටයේ නම යි. දෙවන ලෝක යුද්ධයෙන් ඉතාලිය බොහෝ බැට කෑ අතර යුද්ධය අවසාන වන විට එරටෙහි බොහෝ ප්‍රදේශ දරුණු දරිද්‍රතාවයකින් හා ආහාර හිඟතාවයකින් පෙළිණ. මේ කාලය වන විට (1946), ඉතාලි කොමියුනිස්ට් පක්ෂය, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රික පක්ෂය විසින් පිහිටුවන ලද සමගි ආණ්ඩුවේ සන්ධාන සාමාජිකයෙක් විය. ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ එවකට නායකයා වූ ටොග්ලියට්ටි, එම ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය.

යුධ සමයේ ඉතාලි කොමියුනිස්ට් පක්ෂය, බෙනිටෝ මුසෝලීනීගේ ෆැසිස්ට් පාලනයට එරෙහි ව විරුද්ධ පාක්ෂික භූමිකාවක් ඉටු කළ ද, සමගි ආණ්ඩුවේ තමන්ට ලැබුණු ඉඩකඩ ප්‍රයෝජනයට ගෙන තමන්ගේ ම ආරට, පක්ෂ ව්‍යාපෘති කිහිපයක් දියත් කළේ ය. ඉන් ජනප්‍රිය එකක වූයේ "ට්‍රේනි ඩෙ ලා ෆෙලිචිටා" හෙවත් "ට්‍රේන්ස් ඔෆ් හැපිනස්" (සතුටු කෝච්චී) ව්‍යාපෘතිය ය. 

 

foto06 itrenidellafelicitacc80 3
සතුටු කෝච්චි ව්‍යාපෘතියෙන් කළේ දරුණු දරිද්‍රතාවයෙන් පෙළුණු දකුණු ඉතාලියානු කුඩා දරුවන් හැත්තෑ දහසක් පමණ, සාපේක්ෂ ව යමක් කමක් තිබූ උතුරු ඉතාලියානු ප්‍රදේශවල, කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් විසින්, කෙටි කාලයක්, හදා වඩා ගන්නට දුම්රියක පටවා යැවීම යි. දකුණු ඉතාලියේ ලාසියෝ, සිසිලිය, සාඩීනියාව වැනි ප්‍රදේශවලින් නැති බැරි කුඩා දරුවන් සොයාගෙන, ඔවුන්ගේ නම් ගම් පක්ෂ කාර්යාලයේ ලියාපදිංචි කොට, සෑම දරුවෙකුට ම අංකයක් ලබා දී, එය සටහන් කරන ලද කබායක් අන්දවා, කාණ්ඩ පිටින් දුම්රිය ගමන් වාර සිය ගණනක් සංවිධානය කර මේ දරු පිරිස පටවා යැවූයේ, ඉතාලි කොමියුනිස්ට් පක්ෂ කාඩරය විසිනි.

 

foto07 arrivederci 
දරුවන්ගේ සුභසාධනය නිසියාකාර ව කෙරෙනු පිණිස නිරන්තර සොයා බැලීමක් උතුරේ ඉතාලි කොමියුනිස්ට් පක්ෂ කාඩරය නිරතුරු ව කළ අතර ඒවා දකුණේ කාර්යාලය සමගත් බෙදා හදා ගත්තේ මධ්‍යගත සම්බන්ධීකරණ කාර්යාලයක් විසිණි. උතුරේ කලක් නැවතී සිටින දරුවන්ට දකුණේ වෙසෙන තමන්ගේ දෙමාපියන්ට ලියුම් යැවීමේ ක්‍රමයක් තිබිණ. එය ද සම්බන්ධීකරණය කළේ පක්ෂ යාන්ත්‍රණය යි. උතුරේ විවිධ ප්‍රදේශවලින් එවන ඒ ලියුම් ලැබෙන්නේ දකුණේ පක්ෂ කාර්යාලයටය යි. දකුණේ සිටින දරුවන්ගේ දෙමාපියන් වරින් වර එම කාර්යාලයේ අදාළ කාඩර්වරයාගේ මේසයට ගොස් තමන්ගේ දරුවාගෙන් ලියමනක් ඇවිත් ඇත්දැයි විමසිය යුතු ය. එවිට අදාළ කාඩර්වරයා පිළිවෙලට මනා ලෙස ගොඩ ගසා තිබෙන ලිපි මිටි අතුරෙන් ලිපියක් ඇත්නම් බාර දෙනු ලබන්නේ යම් ලේඛනයක භාරගත් බවට අත්සන ද ලබා ගනිමිණි.

 

foto03 nonesistenordesudsoloitalia
මේ ආකාරයට දරුවන් යවන්නේ සයිබීරියාවේ වහල් සේවයට කියා කටකතාවක් පැතිර ගොස් වික්‍ෂිප්ත වූ දෙමාපියයෝ වරක් තම දරුවන් සතුටු කෝචියේ යැවීමට අකමැති වූ හ. චතුර කථිකයන් වූ ඉතාලි කොමියුනිස්ට් පක්ෂ කාඩරය, ජන හමු සිය ගණනක් පවත්වා, එම දුර්මත පරාජය කොට, දෙමාපියන් ව නැවත වරක් තමන්ගේ ව්‍යාපෘතියට අවනත කර ගත් හ. රෝජෝ එමිලියා, මොඩේනා, බොලොඥා, රවෙන්නා, ටස්කනි වැනි උතුරු ඉතාලි ප්‍රදේශවල සිටි ඉතාලි කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් අදාල දුම්රිය ස්ථානවලට පෙළ ගැසී සිටියේ, සතුටු කෝච්චියෙන් බැස අංක පිළිවෙලට පෝලිමේ එන දරුවෙකු හෝ දෙදෙනෙකු භාරගෙන ශීත ඍතුවේ තමන්ගේ පවුලේ කෙනෙකු මෙන් හදා වඩා ගැනීමට ය. අග හිඟකම බොහෝ දැනෙන්නේ ශීත ඍතුවේ නිසා, දකුණේ දරුවනට අවශ්‍ය කෑම බීම හා උණුසුම උතුරේ තම සත්කාරක පවුලෙන් ලැබිණ.

පක්ෂ යාන්ත්‍රණය මත ගොඩනැගෙන මීට තරමක් සමාන කර්තව්‍යයක් ලංකාවේ උතුරෙන් ද කලකට පෙර අසන්නට ලැබිණ. ඒ තමිල් ඊලම් විමුක්ති කොටි සංවිධානය, ආයතනයක ලෙස ගත් කල අතිශය දක්ෂ සංවිධාන පරිකල්පනයකින් සහ ශක්තියකින් ක්‍රියාත්මක වූ අවධියේ ය. ඔවුන්ගේ මූලික ප්‍රවේශය වූ සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවූ සටන් ප්‍රයත්නයන්ට සමාන්තර ව බොහෝ සමාජ සංස්කෘතික හා පරිපාලන ව්‍යුහ බොහෝමයක් මහත් පරිශ්‍රමයක් දරා නඩත්තු කළේ ය.

 

Childrens Homes Illams Tamil Eelam June 2004 a

කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය සෙන්චෝලයි හා කාන්තරූබන් ළමා නිවාස ද්වය ඒ අතර වැදගත් ය. කල් යත් ම කොටි සාමාජිකයන්ට විවාහ වීමට හා දරුවන් සෑදීමට අවසර ලැබිණ. එවැනි පවුල්කාර කොටි සාමාජිකයන් සටනේදී මිය ගිය විට ඔවුන්ගේ දරුවන් හදා වඩා ගැනීමට ය සෙන්චෝලෙයි හා කාන්තරූබන් ළමා නිවාස ආරම්භ කරනු ලැබුවේ. කාන්තරූබන් යන නම ලැබුණේ ඒ නමින් සිටි තරුණ කොටි සාමාජිකයෙකු නිසා ය. ඔහුගේ මව හා පියා 1983 ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය නිසා මිය ගිය හ. ඒ හේතුවෙන් කොටි සංවිධානයට බැඳුණු කාන්තරූබන් පවසා ඇත්තේ යම් දිනෙක තමා සටනේදී මිය ගියහොත්, තමන් වැනි ඉරණමකට ගොදුරු හෝ කුඩා දරුවන් අනාථ වීමට ඉඩ නොදෙන ආකාරයේ ආයතනයක් ආරම්භ කළ යුතු බව ය. පිරිමි දරුවන් බලා හදා ගන්නා ආයතනයට කාන්තරූබන් යන නම යොදනු ලැබුවේ ඔහු 1990 පේදුරුතුඩුවේ දී හමුදාවට එරෙහි ප්‍රහාරයක දී මියගිය විට ය.

kantharupan

 

දෙසැම්බර් අග නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක් ලෙස තිරගත වූ චිල්ඩරන්ස් ට්‍රේන් හී ඉහත කී ආකාරයට උතුරට ගොස් හැදුණු වැඩුණු අමෙරිගෝ නමැති, දුප්පත් කුඩා පිරිමි දරුවෙකු එම සත්කාරක පවුල නිසා වයලින් වාදනය උගෙන ගෙන, පසු කාලයක විශිෂ්ට සංගීතඥයෙකු වීම දක්වා විකාශනය වන කතා වස්තුව එකල ඉතාලිය කෙතරම් අගාධයක සිටි බවද ඒ අරභයා ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යගත ක්‍රමයට කෙරෙන 'රක්තෝපාකාර' ප්‍රවේශය ගැන ද පක්ෂය සංවිධානය වන අධිපති ස්වරූපය, ධූරාවලිය හා පුරුෂාධිපත්‍යය වැනි කරුණු ගැන ද අවබෝධයක් ලබා ගත හැක.

නැතිමොර සිතිවිලි - (උදන් ප්‍රනාන්දු)(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...