The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

T

The Leader Desk

February 10, 2025 • 10:54 AM

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේත් විභාග දෙපාර්තමේන්තුවේත් ජාතික අධ්‍යාපන ආයතනයේත් ප්‍රධාන නිලධාරීන් සමග ජා.ජ.බ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුවේ කිහිප දෙනෙකුත් 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අගමැතිනිය සමග සාකච්ඡා කර ඇත.
  • මේ කියන්නාවූ 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන්නේ කොහේද?
  • “ජාතික අධ්‍යාපනය” එලෙස පවත්වා ගෙන යා නොහැක.
  • කලෙක සිට මේ රටේ බිඳ වැටුණු, පිරිහෙමින් ඇති අධ්‍යාපනය දුර දිග යන, පුළුල් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ එබැවින් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එයට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේත් විභාග දෙපාර්තමේන්තුවේත් ජාතික අධ්‍යාපන ආයතනයේත් ප්‍රධාන නිලධාරීන් සමග ජා.ජ.බ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුවේ කිහිප දෙනෙකුත් 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අගමැතිනිය සමග සාකච්ඡා කර ඇත.

මේ කියන්නාවූ 2026 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන්නේ කොහේද? ඒවා සම්පාදනය කෙරුවේ කවුරුන්ද? එම ප්‍රතිසංස්කරණ ආවරණය කරන්නේ අධ්‍යාපනයෙහි කවර ක්ෂේත්‍රද? එවැනි කිසිදු කාරණාවක් පිළිබඳව සම්පූර්ණ තොරතුරු කොහේවත් නැත.

school kids lk

මුල සිට කතාව පටන් ගතහොත් මේ රටේ සමස්ථ විධිමත් අධ්‍යාපනය - “පෙර පාසල්වල සිට ප්‍රාථමික, ද්විතියික, උසස් හා වෘත්තීය අධ්‍යාපනය දක්වාත් ඒවායේ ගුරු සේවා හා පුහුණුකරුවන් දක්වාත් පාසල් පරිපාලනයේ සිට අධ්‍යාපන පරිපාලනය දක්වාත්” - සියල්ල මුළුමනින්ම ගරා වැටුණු, පිරිහුණු, පරපුටු, දූෂිත ක්ෂේත්‍රයක් ලෙස පවත්වා ගෙන යන්නකි. කණ්ඩායමක් කල්ලියක් හවුල් වී එයට තැන තැන අණ්ඩ දැමීමෙන් අධ්‍යාපනයේ යෝධ හිල් වැසෙන්නේ නැත. “ජාතික අධ්‍යාපනය” එලෙස පවත්වා ගෙන යා නොහැක. පවත්වා ගෙන නොයා යුතුය. කලෙක සිට මේ රටේ බිඳ වැටුණු, පිරිහෙමින් ඇති අධ්‍යාපනය දුර දිග යන, පුළුල් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ එබැවින් ය.

 මේ සමාජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩංගු විය යුතු අත්‍යාවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් ඇත. අධ්‍යාපන අරමුණු සම්බන්ධව හා ළමුන්ගේ ඉගෙනීම පිළිබඳව දරුවන්ට අතිශය අහිතකර දෙමාපියන් කර තියාගෙන ඉන්නා ප්‍රාථමික පසුගාමී ආකල්ප වෙනස් කිරීම එකකි. දෙවැන්න, ගුරුවරුන් “ගුරුවරයෙකු” සතු වගකීම් හා රාජකාරී මොනවාදැයි නොදැන ගුරු වෘත්තියෙහි නිරත වීම අධ්‍යාපන ක්‍රියාවලියෙහි නොතිබිය යුත්තකි. පාසල් විෂය මාලාව හා පාඨමාලා පිළිබඳ කතාවත් පාසල් හා අධ්‍යාපන පරිපාලනය ගැන කතාවත් ඉන්පසුව එන කතා ය. පළමු කතා දෙකෙන් පසු ඒවා අනිවාර්යෙන් සාකච්ඡාවට ගැනෙන මාතෘකාවන් ය.

 

images 81

පළමු මාතෘකාව වෙත යොමු වන විට දැකිය හැක්කේ මේ සමාජයේ ජනප්‍රිය පාසල් වලට තම දරුවන් කෙසේ හෝ ඇතුළත් කර ගැනීමට උත්සාහ දරන මැදපංතික තරුණ දෙමාපියන් සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන බවය. නමුත් ඒ වෙනුවෙන් දරණ මහන්සිය හා වැය කිරීම් සඳහා ඉන් ලැබෙන වාසිය කුමක්දැයි ඔවුහු හරියාකාරව නොදනිති. එහි ප්‍රතිපලය වී ඇත්තේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම යෝධ දූෂණ ජාලයක් නිර්මාණය කිරීමකි.  

එය එම පාසල්වල විදුහල්පතිවරුන්ද, අධ්‍යාපන නිලධාරීන්ද විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික මැදපංතිකයින්ද හවුලේ නඩත්තු කරන රුපියල් කෝටි ගණන් අත මාරු කෙරෙන දූෂණයකි. මේ දූෂිත ක්‍රියාවලියට නිල ආවරණයක්ද ඇත. දරුවන් පළමු වසරට ඇතුළත්කර ගැනීමේදී නිවසේ සිට පාසලට ඇති දුර කි.මී. 02 ට අඩු විය යුතුයැයි වන නීතිය අවුරුදු 30 ට 40 ට වඩා එපිට කාලයක සිට ක්‍රියාත්මක කෙරෙන රටේ, අගලවත්ත, අම්බලංගොඩ, ඇහැළියගොඩ, වරකාපොල, මීරිගම, මීගමුව වැනි ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසල් වලට ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා පාසල් සේවා වාහන යැයි අවසර ලබා දීමෙන් හැම ආණ්ඩුවක්ම සහ මේ සමාජයද ඒ දූෂණය අනුමත කරති.
yELLOW vAN
ඊළගට තම දරුවා අනෙක් දරුවන්ට ඉහළින් ඔසවා තැබීමේ තරගය සඳහා ගුරුවරුන් පිනවීමේ අනුග්‍රාහක පිංකම් වලට දෙමාපියන් හවුල් වීමත් තව දූෂණයකි. අධ්‍යාපනයෙහි ඒ දූෂණ කවුරුත් කතා නොකරන මහ පරිමාන දූෂණ ගොන්නකි. ඒ දූෂණ වලට හවුල් වන්නට තරම් ආර්ථික ශක්තියක් නොමැති දෙමාපියන්ගේ දරුවෝ ඒ තරගයෙන් හැලෙති. එවගේම ඒ තරගයෙහි ගිලී ඉන්නා දෙමාපියන් තම දරුවන්ගේ නිදහස, විවේකය හා කැමැත්ත නොතකා තමන්ගේ තේරීම් හා තීන්දු සමගින් දරුවන් බලහත්කාරයෙන් ඇදගෙන යාමේ, ආත්මාර්ථකාමිත්වයකින් පෙළෙන්නාහ. 
 
තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය උරච්චිකර දමන එවැනි පසුගාමී දූෂිත දෙමාපියන් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැක. එනිසා ප්‍රතිසංස්කරණ සම්බන්ධ සමාජ කතිකාවෙහි එක් ප්‍රධාන මාතෘකාවක් විය යුත්තේ දෙමාපියන් සමග අධ්‍යාපන අරමුණු සම්බන්ධයෙන් දිග හැර ගන්නා සමාජ කතිකාවය.

දෙවැනි කතාව වන ගුරුවරුන් වර්තමානයේ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම පිළිබඳ කතාවද දුගඳ හමන කතාවකි. ගුරුවරයෙකු යනු කවර වගකීමක් ඇත්තෙක්දැයි ඇසූ විට පුරුද්දට මෙන් කියන්නේ, ළමුන්ට උගන්වන්නා ගුරුවරයෙකු යැයි කියා ය. එහෙත් සැබෑ ගුරුවරයෙකු යනු ළමුන්ට උගන්වන්නකු නොව, ළමුන්ට ඉගෙන ගැනීම සඳහා සහාය වන්නෙකු ය. 
 
 
z p xi teacher
 
දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන් තේරුම් නොගත්තාට පංතියට ගොස් ළමුන්ට උගන්වන්නා සහ ළමුන්ට ඉගෙන ගැනීමට ආධාර කරන්නෙකු, සහාය වන්නෙකු අතර ලොකු වෙනසක් ඇත. එය අනාගතය වෙනුවෙන් උගත් බුද්ධිමතෙකු හැදීම හා විභාග සහතිකලාභියෙකු හැදීම අතර ඇති වෙනස ය. එවගේම ගුරුවරයා යනු අනාගතය සඳහා කාර්යක්ෂම ශ්‍රමිකයෙකු මෙන්ම මේ සමාජයේ සංස්කෘතික විවිධත්වය සාධනීය ලෙස හඳුනා ගන්නා, ආත්මගරුත්වය හඳුණන, යහපත් පුරවැසියෙකු වන්නට ළමා පෞරුෂය වර්ධනය කරන්නට මග පෙන්වා දෙන්නෙකි.
දැන් ප්‍රශ්නය වන්නේ අපේ පාසල්වල ඉන්නා ළමුන්ට කණ පැලෙන්න අතින් පයින් පහර දෙන, කොසු මිටි වලින් පහර දෙන, රෝහල්ගත කරන තෙක් පහර දෙන, දඬුවම් ලෙස සිසුන්ගේ කොණ්ඩා රුයිතෙට කපන, සිසුවියන්ගේ ගවුමේ පහළ වාටිය කපා දමන, තමන්ගේ විකෘතීන් ආතතීන් සඳහා ළමුන් ලිංගික හිංසනයට හා කුරිරුකම් වලට ලක් කරන විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන් අයත් වන්නේ කොතැනටද යන්න ය. 
 
 105804447 688d70d6 1c37 449c 9c0a d6d7cd638fc2.jpg 
එවැනි පැමිණිලි වලින් ගුරු මණ්ඩලයේ තම හිතවතා හිතවතිය ආරක්ෂා කර ගැනීමට මැදිහත්වන සහ ඒ කිසිවක් නොඇසුනා මෙන් නොදැක්කා මෙන් ඉන්නා ගුරු මණ්ඩලයේ අනෙක් නිහඬ සාමාජික සාමාජිකාවන් අයත් වන්නේ කවර ඝණයකටද යන්න ය. එවගේම මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ ළමා මනස වර්ගවාදී ආගම්වාදී මනස්ගාත වලින් පුරවන පුද්ගලයින් ගුරුවරුන් විය හැකිද යන්න ය.

ගුරු සේවය මෙවැනි අශිෂ්ටයින්ගේ තක්කඩි සේවාවක් නොවිය යුතුය. එය වැදගත් අනාගත පරපුරක් හදන්නා වූ නම්බුකාර සේවාවක් ලෙස තහවුරු කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් ගුරුවරුන් බඳවා ගන්නා අවම සුදුසුකම සහ බඳවා ගැනීමේ පටිපාටිය ගැනත් දැනට අනෙකුත් රජයේ සේවකයින්ට අනුපාතිකව සකසන වැටුප් මට්ටම් අතහැර, ගුරුවරුන්ට වෙනත් අමතර ආදායම් සොයන්නට අවශ්‍ය නොවන වැදගත් වැටුප් ක්‍රමයක් හැදීමත් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය දියුණුකර ගැනීමේ අවකාශ හැදීම ගැනත් මේ සමාජය සාකච්ඡ කළ යුතුය.      

අධ්‍යාපනයට අදාල ප්‍රතිසංස්කරණ කිසිවක් එනිසා කොළඹ බලධාරීන් හා දේශපාලන කණ්ඩායමක් හෝ කල්ලියක් විසින් ඔවුන්ගේ වායු සමීකරණය කෙරුණු කාමරවල තීන්දු කළ යුතු හෝ කළ හැකි කාර්යක් නොවේ. එය සමස්ථ සමාජයම හවුල් වන්නාවූ විවෘත සාකච්ඡා ඔස්සේ තීන්දු කළ යුතු බරපතල ප්‍රතිසංස්කරණ සම්පාදන ක්‍රියාවලියකි.
 
 
AS 2357

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එනිසාම පාදක විය යුතු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මේ රටේ විධිමත් අධ්‍යාපනය සම්බන්ධ ආණ්ඩුවක් බාර ගන්නා වගකීම කුමක්දැයි තීන්දු කළ යුත්තේ එම “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” මගින් ය. එය විවෘත සමාජ කතිකාවක් ඔස්සේ සමාජය එළැඹෙන පොදු එකඟතාවක් විය යුතුය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවක් සමාජ වගකීමට බැඳ තැබෙන්නේ ඒ සමාජ එකඟතාව මගින්ය. ප්‍රතිසංස්කරණ සකස් කළ යුත්තේ ආණ්ඩුවට බාර කෙරෙන ඒ සමාජ වගකීම් අනුව ය. නිදසුනක් ලෙස කිවහොත් ජාත්‍යන්තර පාසල් යැයි පෞද්ගලික සමාගම් විසින් ලාභය සඳහා පවත්වා ගෙන යන අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය ස්ථාවරයක් තිබිය යුතුය.  
ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නේද නැතිනම්, ස්ථිර නියාමනයකට යටත් කෙරෙන්නේද හෝ වර්තමානයේ මෙන් ආණ්ඩුව ඒ සියල්ලෙන් ඉවත්ව ඉන්නේද යනු ප්‍රතිපත්තිමය තීන්දුවකි. එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි පැහැදිලි විය යුත්තකි. එවගේම, හන්දි ගානේ කඩ කාමරවල ආරම්භ කෙරෙන විදේශ උපාධි අලෙවි කිරීමේ කොම්පැනි සම්බන්ධයෙන් ආණ්ඩුවක වගකීම කුමක්ද? රජයට බදු ආදායම් ලැබීම සඳහා ඒවාද විදේශ රැකියා ඒජන්සි මෙන් ලියාපදිංචි කරන්නේද? එවැනි පෞද්ගලික අධ්‍යාපන ඒජන්සි සමග “ජාතික අධ්‍යාපනය” යනු කුමක්ද? කෙටියෙන් කියන්නේ නම්, ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපනය “පෞද්ගලීකරණය” කිරීම ගැන සමාජයෙහි පොදු එකඟත්වයක් තිබිය යුතුය. ආණ්ඩුවක අධ්‍යාපන ප්‍රතිපත්තිය යනු ඒ “සමාජ එකඟතාවය” මිස, කල්ලි කණ්ඩායම්වල යෝජනා නොවිය යුතුය.

8c8d8ebd22ce7372706bc4cac244fffc XL
එනිසාම පාර්ලිමේන්තුවෙහි සම්මත කළ යුතු “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” විවෘත සමාජ කතිකාවක් ඔස්සේ “ධවල පත්‍රිකාවක්” ලෙස පළමුව කෙටුම්පත් කරගත යුතුව ඇත. එයට ආරම්භයක් ලෙස, අධ්‍යාපන ඇමතිනියට මනාප අයුරු ඇයගේ කණ්ඩායමක් සමග සකස් කර ගන්නා දළ කෙටුම්පතක් සමාජගත කළ හැකිය. එවැන්නක් සමාජගත කිරීමේ පහසුම සහ සාර්ථකම පිළිවෙත වනු ඇත්තේ රජයේ පාසල් 10,100 ට වැඩි සංඛ්‍යාවක් හරහා ගුරුවරුන් දෙලක්ෂයකට වැඩි පිරිසකට හා ළමුන් ලක්ෂ 40 කගේ පමණ දෙමාපියන්ට එම දළ කෙටුම්පත බෙදා හැරීම ය. 
 
එවැනි සමාජ කතිකාවකට ගුරු සංගම් පමණක් නොව, රජයේ හා පෞද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිතිද, නීතිඥ, විශේෂඥ වෛද්‍ය, වරලත් ගණකාධිකාරී වැනි වෘත්තිකයින්ගේ සංවිධානද වාණිජ හා ව්‍යාපාරික සංවිධානද හවුල් විය යුතුය. අධ්‍යාපනය ඒ සියලු වෘත්තීය හා වෘත්තික ක්ෂේත්‍ර වලට අදාල වනවා සේම සාර්ථක දියුණු අධ්‍යාපනයක් පවත්වා ගැනීම වෙනුවෙන් බරපැන් දැරීමට හවුල්වන පිරිස් ලෙස ඔවුන්ටද ඒ වෙනුවෙන් සමාජ වගකීමක් ඇත.

එනිසා මේ මොහොතේ ගුරු හා විදුහල්පති සංගම් වලටත් සමාජ ක්‍රියාකාරීන්ටත් පැවරෙන ආසන්නම වගකීම වන්නේ 2026 ක්‍රියාත්මක කරන්නේ යැයි අගමැතිනිය කියූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන මෙන් බල කිරීමය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුත්තේ දීර්ග දියුණු සමාජ කතිකාවකින් පසුව ලියැවෙන කෙටුම්පතක් වශයෙන් පමණි. 
 
 
434017666 783394563891610 5212118164410758559 n
අපහසුවකින් තොරව එය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට කළ හැක්කකි. තම පාසලේ සංවර්ධන සමිතිය කැඳවා අගමැතිනිය කියූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන මෙන් යෝජනා සම්මත කර අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමෙන් කවුරුන් හෝ කාගේ හෝ අවශ්‍යතාවකට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනය තව අවුල් කිරීම ඔවුන්ට වළකා ගත හැක. එවගේම එවැනි මැදිහත්වීම් සමග ප්‍රාදේශීය “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදන කමිටු” පිහිටුවා ගැනීමටත් නම්බුකාර ස්වාධීන ගුරු සේවාවක් සමග දියුණු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගැනීමටත් දායක වන්නට හැකි ය.
මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම්, අධ්‍යාපනය ගොඩ දමා ගන්නා තෙක් මේ රටේ කිසිදු අර්බුදයක් හරියාකාරව විසඳිය නොහැකි බව ය. එබැවින් අධ්‍යාපන අර්බුදය විසඳීම සඳහා විවෘත සංවාදයක් ඔස්සේ ප්‍රතිසංස්කරණ සකස් කර ගැනීම අනිවාර්ය වැදගත් සමාජ වගකීමක් වන බව තේරුම් ගත යුතුය.

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 පෙබරවාරි 09
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...