The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

February 11, 2025 • 10:45 AM

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ පාලකයන් සත්ව හිමිකම් ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ උනන්දුවක් පළ නොකිරීම ඒ සම්බන්ධ කදිම දර්ශකයකි.
  • ශිෂ්ටාචාර ගත වීමටත් පෙර සිටම මේ දක්වා මිනිසා කෙරෙහි වැඩිම සාධනීය බලපෑම් කරන සත්වයා ද සුනඛයා බවට කිසිදු සැකයක් නැත.
  • නමුත් ලොව විවිධ විෂයන් සම්බන්ධයෙන් ගෝලීය හා ජාත්‍යන්තර මට්ටමින් දැනුම් අවබෝධයන් ලබා හිඳින ශ්‍රී ලාංකේය සමාජය මෙම මිහිතලයේම මිනිස් අප බඳු තවත් ජීවීන් කොටසක් වන සතුන් පිළිබඳව දන්නේ ඉතා සුළු වශයෙන් බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම් වලදී පෙනී යයි.
  • විශේෂයෙන් සතුන් ගේ චර්යාවන් සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණය කෙරෙන සත්ව චර්යාවේදය (Ethology ) විෂයක් වශයෙන් තබා එම නම වත් අප සමාජය තුළ ව්‍යවහාර වන බවක් නොපෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ පාලකයන් සත්ව හිමිකම් ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ උනන්දුවක් පළ නොකිරීම ඒ සම්බන්ධ කදිම දර්ශකයකි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුනට බල කොට සිටීමේ සමාජමය උනන්දුවේ ද පැහැදිලි අඩුවක් පෙනේ.

මිනිස් ලෝකය හා සත්ව ලෝකය යනු ලෝක දෙකක් ලෙස හඳුන්වා දීමේ ලෝක සම්මතය හුදු යථාර්ථයකට වඩා කල්පිතයකට නෑකම් කියන්නකි.ඊට හේතුව මිනිසා සහ සෙසු සත්ව කොට්ඨාශ ද මේ මිහි තලයේ වෙසෙන ජීවී ප්‍රජාව නියෝජනය කරන බැවිනි.ඒ අනුව මිනිස් සත්ව දෙකොටසම සොබා දම් මවගේ දරුවන් සේ සැලකීම ඊට වඩා යථාර්ථයට සමීප ය.

main puppies 1280p

 එමෙන්ම පොදු සම්මතයට අනුව පැවසෙන මිනිස් ලොව හා සත්ව ලොව එකි’නෙක සම්බන්ධ කරන සත්වයා සේ බොහෝ දෙනකු හඳුන්වන සතෙක් ද සිටියි.ඒ සුනඛයා ය. ශිෂ්ටාචාර ගත වීමටත් පෙර සිටම මේ දක්වා මිනිසා කෙරෙහි වැඩිම සාධනීය බලපෑම් කරන සත්වයා ද සුනඛයා බවට කිසිදු සැකයක් නැත. නමුත් ලොව විවිධ විෂයන් සම්බන්ධයෙන් ගෝලීය හා ජාත්‍යන්තර මට්ටමින් දැනුම් අවබෝධයන් ලබා හිඳින ශ්‍රී ලාංකේය සමාජය මෙම මිහිතලයේම මිනිස් අප බඳු තවත් ජීවීන් කොටසක් වන සතුන් පිළිබඳව දන්නේ ඉතා සුළු වශයෙන් බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම් වලදී පෙනී යයි.

විශේෂයෙන් සතුන් ගේ චර්යාවන් සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණය කෙරෙන සත්ව චර්යාවේදය (Ethology ) විෂයක් වශයෙන් තබා එම නම වත් අප සමාජය තුළ ව්‍යවහාර වන බවක් නොපෙනේ. සුනඛයන් සම්බන්ධයෙන් හැදෑරීම පිණිස වන සුනඛවේදය ( Cynology) නම් වන විෂය පථය සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයම ය. අප රටේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් සහිත වූවන් ගෙන් බහුතරය පවා ඉහත සඳහන් , Ethology Cynology යන වදන් වත් අසා නොමැති බව ප්‍රායෝගිකව අත් දකින්නට ඔබටත් පුළුවන.

සුනඛ ප්‍රජාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. Canis lupus familiaris යන එකම විද්‍යාත්මක නමින් හැඳින්වුව ද ගෘහස්ථ සුනඛ ප්‍රජාව ඉන් මුල් තැන ගනී. ඉතිරිය මිනිස් ප්‍රජාව හා කිසිදු සබැදියාවක් නොමැති වන සුනඛ ගණයට අයත් වේ.

 

Petting Dog Reduces Stress

ඉහත සඳහන් සුනඛවේදය නම් වන විෂය පථය හුදෙක් ගෘහස්ථ සුනඛයන් පිළිබඳ විද්‍යා ශාස්ත්‍රයකි. සුනඛයා ගේ සම්භවයේ හා ස්වභාවික ඉතිහාසයේ සිට සුනඛ කායික මානසිකත්වය මත පදනම් වන සුනඛ චර්යාවන් ඇතුළු බොහෝ කරුණු එම සුනඛ වේද විෂය පථයට අයත් වේ.සුනඛයන් ගේ ස්වභාවික ඉතිහාසය, මානව සුනඛ අන්තර් සම්බන්ධතාව, සුනඛ බුද්ධිය හා සුනඛ චර්යාවන් අධ්‍යයනය, සුනඛ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම මානව අවශ්‍යතා සඳහාම සුනඛයන් යොදා ගැනීම, සුනඛ කායික මානසික සෞඛ්‍ය යහපැවැත්ම, මිනිස් සුනඛ දෙපාර්ශවය ආරක්ෂාව ආදී වූ කරුණු රැසක් මෙම සුනඛවේදය යටතේ විස්තර කෙරේ.

ඒ අනුව මෙම සුනඛවේදය විෂය පථය නිසි පරිදි හැදැරූ අයකුට සුනඛයකු දුටු මතින් ඒ සතා පිළිබඳ බොහෝ කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි ය. “මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති” යන්න සුනඛවේද විෂය පථය නිසි පරිදි හැදැරූවන් අතර ප්‍රචලිත පිරුළකි. ඇතැම් විට මෙය අර්ධ සත්‍යයක් විය හැකි වුව ද මුසාවක් නම් නොවන බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය.

 

toddler header

සාමාන්‍යයෙන් සුනඛ පුහුණු කරුවන් සුනඛයන් හසුරුවන්නවුන් පශු වෛද්‍යවරුන් ආදීන් තුළ සුනඛයන් සම්බන්ධ යම් යම් දැනීම් අවබෝධයන් පවතින බව නොරහසකි.
එහෙත්, මෙම සුනඛවේදය නිසි පරිදි හැදෑරුවන් තුළ ඒ සියළු කරුණු සංයුක්ත වූ දැනුමක් ස්ථාපිත වනු ඇත. මෙහි දී කුඩා කල සිට සුනඛයන් ඇසුරෙහි ජීවත් වූ සහ ඔවුන් ගේ ඇසුර ප්‍රිය කළවුන්ට මෙම සුනඛවේද විෂය පථය ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි බව අනාවරණය වී තිබේ. එම සුවිශේෂ හැකියාව අප ගේ ඇතැම් කුඩා දරුවන් තුළ පවා තිබේ.

එහෙත්, ඒ හා සම්බන්ධ විෂයක් ඇති බව වත් නොදන්නා බොහෝ වැඩිහිටියෝ දරුවන් ගේ එම හැකියාවන් “කුණු කූඩයට”දමති. ඒ ඉන් දරුවාගේ අධ්‍යාපනයට හා අනාගතයට ප්‍රයෝජනයක් නොමැති බව පවසමිනි. විශේෂයෙන් සුනඛ වේදය හදාරන ලද්දවුන් විසින් ලෝකය හමුවට ගෙන එන ලද කරුණු අතුරින් සුනඛ බුද්ධිය පිළිබඳ කරුණු අප තුළ විස්මයක් දනවයි. ඔවුන් පවසනුයේ මිනිසා ගේ බුද්ධි ඵලය අනුව සුනඛයන් ඉතා දුබල වුව ද ඔවුනට ආවේණික වෙනම බුද්ධි ඵල ඒකකයක් මුල් කොට විමසුමක් කළ හොත් එහි දී මිනිසා ද එපරිද්දෙන්ම දුබලයකු වන බව ය.

Sad dog waiting alone at home.

පොලිස් සුනඛයකු හට පොලිස්පති රාජකාරිය කළ නොහැක්කාක් මෙන් පොලිස්පති වරයකුට පොලිස් සුනඛ රාජකාරියක් ද කළ නොහැකි වීම ඊට නිදසුනක් සේ ඔව්හු දක්වති.එමෙන්ම කිසියම් ගමනක් ගොස් පැමිණෙන තම හාම්පුතා ගිය ස්ථානය සුනඛයා නොදත් මුත් ඒ කාලය තුළ තම හාම්පුතා කළ කී දේ පිළිබඳ ඉතා සියුම් වැටහීමක් සුනඛයාට ලද හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ.

මිනිස්- සුනඛ අන්තර් ක්‍රියාවන් අප සමාජයට නුහුරු නුපුරුදු ඒවා නොවේ. අප රටේ ජීවත් වූ ආදි වාසී වැදි ජනතාව සුනඛයන් හා පවත්වා ගෙන ගිය විශිෂ්ඨ සහජීවනය දෙස් විදෙස් විද්වතුන් ගේ පවා දැඩි අවධානයට යොමු වී තිබේ. ශ්‍රී ලාංකේය වැදි ජනතාව පිළිබඳ අග්‍රගන්‍ය පර්යේෂකයකු වූ වෛද්‍ය ආර්.එල් ස්පිටල් ඒ අතුරින් ප්‍රමුඛතමයකි.

Yellow Lab High Five

අප සමාන්‍යයෙන් අප විශ්වාස කරන අන්දමට සුනඛයන්ට මිනිසුන්ට මෙන් කතා බස් කළ නොහැක. එහෙත්, මිනිසුන් ප්‍රධාන වශයෙන් යොදා ගන්නා භාෂණ හා කථන මාධ්‍ය ඔස්සේ වැඩිදුර යා නොහැකි වුවද සුනඛයන් තම අදහස් ප්‍රකාශ කරන වෙනත් මාධ්‍ය කිහිපයක් තිබේ. 

මෙම සුනඛවේදය පිළිබඳ මනා දැනුමක් ඇත්තවුන්ට එම සුනඛ සන්නිවේදන ක්‍රම හඳුනා ගැනීමටත් එමගින් සුනඛයන් හා ප්‍රබල සන්නිවේදනයක් පවත්වාගෙන යාමටත් හැකි වේ. එහෙත්, ගැටළුව පවතින්නේ මානවයන් හට ඉතා වැදගත් මෙම විෂය පථයන් කවදා කෙලෙස අප ශ්‍රී ලාංකේය සමාජයට සම්ප්‍රේෂණය වේද යන්න ය.

  
Screenshot 2024 12 25 at 10.13.44 copy

(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...