The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම : නීතිය ක්‍රියාත්මක වීමට තිබෙන සියලු බාධක ඉවත් විය යුතුයි

T

The Leader Desk

February 11, 2025 • 10:50 AM

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම : නීතිය ක්‍රියාත්මක වීමට තිබෙන සියලු බාධක ඉවත් විය යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රගීත්ට යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් අඛණ්ඩ අරගලයක නිරත වන්නීය.
  • "මම තවමත් ජීවත් වෙන්නේ ප්‍රගීත් වෙනුවෙන් තමයි." සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවේ දැන් බොහෝ දෙනෙකුට ප්‍රගීත්ව අමතක වී ගොස් ඇති බව සිහිපත් කරමින්.
  • පුතුන් දෙදෙනාව තම ලයෙහි හොවා ගැනීමට තරම්වත් ඉඩක් ඉතුරු නොකොට සත් සමුදුරින් එහාට රැගෙන ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනාද මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වීමෙන් වළක්වා ගැනීම සඳහායි.
  • කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගිරිතලේට රැගෙන යමින් සිටියදී පැහැර ගැනීම සිදු කළ බව කියන විත්තිකරුවන් විසින් ලබාගෙන ඇති දුරකථන ඇමතුම් පිළිබඳව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ සාක්ෂි මෙහෙයවීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රගීත්ට යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් අඛණ්ඩ අරගලයක නිරත වන්නීය.

"මම තවමත් ජීවත් වෙන්නේ ප්‍රගීත් වෙනුවෙන් තමයි."

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවේ දැන් බොහෝ දෙනෙකුට ප්‍රගීත්ව අමතක වී ගොස් ඇති බව සිහිපත් කරමින්.

 

සන්ධ්‍යා ජීවත් වන නිවසේ ප්‍රගීත්ව මතකයට නැගෙන සිහිවටන රාශියකි. එහෙත් එම සිහිවටනවලට පණ පොවන්නට කිසිවෙකුටත් නොහැකි වී තිබේ. සන්ධ්‍යාට, ප්‍රගීත්ගේ ජීවමාන සංකේත දෙක වූයේ පුතුන් දෙදෙනායි. පුතුන් දෙදෙනාව තම ලයෙහි හොවා ගැනීමට තරම්වත් ඉඩක් ඉතුරු නොකොට සත් සමුදුරින් එහාට රැගෙන ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනාද මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වීමෙන් වළක්වා ගැනීම සඳහායි.



"මගේ දරුවන්ගේ ළමා වියත් නැති කළා, තරුණ වියත් නැති කළා, අපේ ජීවිත විනාශ වුණා. එච්චරයි සිද්ධ වුණේ''

ඇය හුදෙකලා අරගලයක නිරත වෙමින් ප්‍රගීත් සහ සිය පවුල වෙනුවෙන් නීතියේ සාධාරණත්වය තවමත් අපේක්ෂා කරන්නීය.

 

සන්ධ් යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට 1024x640

කෙසේ වුවත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හෝ නඩු කටයුතු තවමත් පවතින්නේ සාධාරණය ඉටුවේ යයි අපේක්ෂාවක සේයාවකුදු නොමැති තැනකය. රාජ්‍ය හස්තයේ මෙහෙයවීමෙන් දිගින් දිගටම එල්ල වූ බාධා කිරීම් හමුවේ ප්‍රගීත්ව අතුරුදන් කළ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන අතර ඔවුන්ට එරෙහිව නීතිය ඉදිරියට යමින් පවතින්නේ බාධා කම්කටොලු මධ්‍යයේය.


කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය

 



ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගිරිතලේට රැගෙන යමින් සිටියදී පැහැර ගැනීම සිදු කළ බව කියන විත්තිකරුවන් විසින් ලබාගෙන ඇති දුරකථන ඇමතුම් පිළිබඳව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ සාක්ෂි මෙහෙයවීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.  ඒ අනුව නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින පෞද්ගලික දුරකථන සමාගම් දෙකක නියෝජිතයින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ඔක්තෝබර් 28 වැනිදා ආරම්භ විය. 

එම දුරකථන ඇමතුම් හරහා ප්‍රගීත් ගිරිතලේට රැගෙන ගියේ කවුරුන් විසින්ද, අතරමගදී දුරකථනයෙන් සම්බන්ධ වූයේ කාත් සමගද සහ එසේ සම්බන්ධ වූවන්ගේ දුරකථන විස්තර පිළිබඳව අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ. මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු අනුව ප්‍රගීත් එක්නැලිගොඩව ගිරිතලේ හමුදා කඳවුරේ සිට අක්කරෙයිපත්තුව දක්වා රැගෙන ගොස් ඇත.

 

පළමු පැහැර ගැනීම

ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රථම වරට පැහැර ගැනීමට ලක් වූයේ 2009 වසරේ අගෝස්තු 27 වැනිදා ය. පැහැරගත් කණ්ඩායම ඔහුව පැහැරගෙන ගොස් තිබුනේ ලියුම් කවරයක තිබූ අත් අකුරු ඔහුගේදැයි සැක හැර දැනගැනීම සඳහා බව පසුව වාර්තා විය.

වැරදි පුද්ගලයෙක්ව පැහැරගෙන ඇති බව පවසමින් දිනකට පසුව ඔහුව අතුරුගිරිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබුණි. තමාව පැහැරගෙන ගොස් පැය ගණනක් රඳවා තබාගෙන සිට මුදා හැරුණු බවට ප්‍රගීත් එක්නැලිගොඩ හෝමාගම පොලිසියට පැමිණිලි කළේය.

එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධය

2010 ජනවාරි 24 - 27 අතර ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී දෙවැනි වරටත් ඔහුව පැහැර ගැනීමට ලක් වේ. මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේ ඔහුගේ මිතුරන් හෝ පවුල නොදන්නා යම්කිසි අයකු හමුවීමට යමින් සිටියදී ය. අතුරුදන් වූ දිනයේ ප්‍රගීත් උදෑසනම නිවසින් පිටත්ව ගොස් ඇති අතර, රාත්‍රී 9.30 වන තෙක්ම ආපසු පැමිණ තිබුණේ නැත.


මීට පෙරද පැහැර ගැනීමකට ලක්ව තිබූ හෙයින්, ප්‍රගීත් රාත්‍රියේ එම වේලාව වන විට ගෙදර නොඑන්නේ නම් ඔහුට දුරකථනයෙන් අමතන සිරිතක් ඔහුගේ බිරිඳ සන්ධ්‍යාට විය. ඒ, ඔහු කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ ද හෝ ඔහු සිටින්නේ නිවසට ළඟපාත ද නැතිනම් දුරකදැයි දැන ගැනීමට ය. 24 වැනිදා මුළු රාත්‍රිය පුරාම සන්ධ්‍යා සෑම පැය භාගයකටම වරක් ඔහුගේ ජංගම දුරකථන දෙකටම ඇමතීමට උත්සාහ කළා ය.

නමුත් අසන්නට ලැබුණේ ඔහුගේ ජංගම දුරකථනය විසන්ධි කර ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ හෝමාගම පොලිසියට පැමිණිලි කළ අතර අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කිරීමටද පියවර ගත්තාය.

හබයාස් කෝපුස් යනු නීති විරෝධීව රඳවාගෙන සිටින පුද්ගලයෙක් නීතිය ඉදිරියට පමුණුවන ලෙස කරන ඉල්ලීමකී. මෙය අනීතිකව රඳවාගෙන සිටින පුද්ගලයාට හෝ ඔහුගේ සමීපතමයෙකුට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැක. ප්‍රගීත් සම්බන්ධයෙන් එම නඩු විභාගය සිදු කෙරෙන්නේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

එම පැමිණිල්ලට අනුව හෝමාගම පොලීසිය විසින් බී වාර්තාවක් ගොනු කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.

පළමු පැහැර ගැනීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුනේ නැත. හබයාස් කෝපුස් නඩුවේ මුලින්ම සාක්ෂි ලබා දුන්නේ එක්නැලිගොඩ මහත්මියයි.

එක්නැලිගොඩ පැහැර ගැනීම සහ ආණ්ඩු පාර්ශවයේ ප්‍රතිචාර

 

Arundika Fernando Independent Member in Parliamentඅරුන්දික ප්‍රනාන්දු

අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත්වන බව, එවකට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 2013 වසරේදීය. ප්‍රංශයේ ජීවත්වන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන මහතාගේ නිවසේදී ඔහුව තමාට  මුණගැසුණු බව ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවෙන් පරිබාහිරවත් මේ ප්‍රකාශය සිදුකිරීම නිසා ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි සඳහා අරුන්දික ප්‍රනාන්දු කැඳවනු ලැබිණි.

එහෙත් ප්‍රගීත් විදේශගතව සිටින බව සනාථ කිරීමට ඔහු අපොහොසත් වූයේය. ඔහු විසින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් වෙඩිවර්ධන මහතා කියා සිටියේ විදේශගත වීමෙන් පසුව අරුන්දික ප්‍රනාන්දු කිසිම අවස්ථාවක තමාට මුණ ගැසී නොමැති බවය.

පරීක්ෂණ පවත්වා තහවුරු කරගෙන ඇති පරිදි ප්‍රගීත් විදේශයක රැකවරණ ලබා සිටින බව සෑහෙන දුරට තහවුරු කරගෙන ඇති බවට ප්‍රකාශ කළ අනෙක් පුද්ගලයා වන්නේ එවකට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ මොහාන් පීරිස් ය. 2011 නොවැම්බරයේදී රටේ නීතිපතිවරයා සහ ජනපතිට හා කැබිනට් මණ්ඩලයට නීති උපදේශකවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස්, එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව (United Nation’s Committee against Torture [CAT]) ඉදිරියේ නිල වශයෙන් පෙනී සිටිමින් කමිටුවට කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන බව ය.

ඉන්පසුව, ප්‍රශ්න සහ පිළිතුරු සැසියේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුවට එක්නැලිගොඩ මහතා විදේශ රටක සරණාගත රැකවරණය ලබන බවට තොරතුරු තිබෙන බවයි. ඒ අනුව කාටුන් ශිල්පියා නිදහස් කරන ලෙසට ගෙනයන ව්‍යාපාරය විහිළුවක් වූ බවද ඔහු ප්‍රකාශ කර ඇත.

mohan peiris 2021.05.14මොහාන් පීරිස්

ඒ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට කැඳවූ අවස්ථාවේදී මොහාන් පීරිස් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් මුළුල්ලේ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සිටිනා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි. එක්නැලිගොඩ තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ප්‍රකාශ නොකළ බවද එහිදී ඔහු පවසා ඇත.


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි අජිත් පී. පෙරේරා මහතා 2013 වසරේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පාර්ලිමේන්තුවට ලිපියක් එවමින් ප්‍රකාශ කර තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩව සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ලංකාවෙන් පිටතට රැගෙන ගිය බවට තොරතුරු ඇති බවයි.

ඔහුද හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා කැඳවූ අතර සාක්ෂි ලබා දෙමින් හෙතෙම ප්‍රකාශ කළේ ලද තොරතුරු මත එම ප්‍රකාශය සිදු කළ බවත් ඉන් එහාට යමක් කීමට නොහැකි බවත්ය. 2015 වසරේ අගෝස්තු මාසය දක්වා හබයාස් කෝපුස් නඩුව විත්තිකාරයෙක් හෝ සැකකාරයෙක් නොමැතිව එනම් වගකිව යුතු පාර්ශවයක් නොමැතිව පවත්වාගෙන යන ලදි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට අපහාස කිරීම

 

 102015431 img e3ac0b60d4fae35650f99e277dc4c9a4 v.jpg

2016 ජනවාරි 25 වැනිදා ප්‍රගීත් එක්නැලිගොඩ  නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගෙන අවසන් වූ පසුව අධිකරණ භූමියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදී තර්ජන සිදු කළේය. පසුව හෝමාගම පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ අංක 386 හා අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බියගැන්වීම යන චෝදනාවලට නඩු පවරන ලදි.

අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඥානසාර හිමි වැරදිකරු ලෙස තීන්දු කෙරුණී.

2018 වසරේ ජූනි මස 14 වැනිදා ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6ක සිරදඬුවම් නියම විය. එසේම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 වන්දි මුදලක් සහ දඩ මුදල් ලෙස රජයට රුපියල් 1500 ක මුදලක්ද ගෙවිය යුතු බවට නියෝග කෙරුණි. ඉන් දින 8කට පසුව ඥානසාර හිමියන් විසින් සිදුකළ අභියාචනයක් සලකා බැලීමෙන් පසු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඥානසාර හිමිට ඇප ලබාදුන් අතර එම ඇප මත සිටිය දී නැවත වරක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19ක සිර දඩුවමක් වසර 06කින් ගෙවී යන පරිදි නියම කළේය.


2019 මැයි මස 23 වැනිදා එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දුන් අතර ජනාධිපතිවරයාගේ එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව පවසමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොණු කළාය.

සාක්ෂි අනාවරණය

 Eknaligoda court

2015 අගෝස්තු මාසය වන විට ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ යුද හමුදා කඳවුරකට රැගෙන ගිය බවට සාක්ෂි අනාවරණය කර ගැනීමට හැකි විය. ඒ අනුව ගිරිතලේ හමුදා කඳවුරේදී ‍ එක්නැලිගොඩව ප්‍රශ්න කළ බව කියන රන්බණ්ඩා නමැති සාජන් මේජර්වරයාව අත්අඩංගුවට ගැනුණි.

ඊට අමතරව මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) , චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනාද අත්අඩංගුවට පත්විය.

එක්නැලිගොඩ පැහැරගෙන රඳවා තැබූ බවත් තමා විසින් ඔහුව ප්‍රශ්න කෙරුණු බවත් රන්බණ්ඩා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. ඊට අමතරව මුරලි නමැති එල්ටීටීඊ සැකකරුවෙක්ද එහි රඳවා තබාගෙන සිට ඇත.

2019 නොවැම්බර් මස මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය නිමා කරමින් නීතිපතිවරයා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කළේ ය. ඒ මිනීමැරීම ඇතුළු චෝදනා 17ක්  සඳහා ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 02 වගන්තිය (අනුබල දීම), 112 වගන්තිය (ආරක්ෂා කිරීම; තම යුතුකම වන්නා වූ වරදක් සිදු කිරීමේ උපක්‍රමයක් රජයේ සේවකයෙකු විසින් වසන් කරනු ලැබීමේ වරද), 140 වගන්තිය (නීති විරෝධී රැස්වීම), 355 වගන්තිය (මිනීමැරීම සඳහා අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම) සහ 296 වගන්තිය (මිනීමැරීම) ඇතුළත් වගන්ති ගණනාවක් යටතේ ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනු කරනු ලැබිණි.

සාවද්‍ය සාක්ෂි ලබා දීම

 

08262010 15cd 11ef 82ff 816edb5c0ef2.jpg

2019 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මෙම නඩුවේ විභාගය ආරම්භ විය. එදින මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් අතර ඉන් අනතුරුව සාක්ෂි විභාගය ආරම්භ විය. 2020 සැප්තැම්බර් 20 වැනිදා නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩගේ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කෙරුණි. 

මෙතෙක් පැවති නඩු විභාගයේ දී වාර්තා වූ සුවිශේෂී සිද්ධීන් වන්නේ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටි යුද හමුදා හිටපු සැරයන් රන්බණ්ඩා සහ හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් හෙවත් මුරලි යන සාක්ෂිකරුවන් විසින් අධිකරණය හමුවේ පැමිණිල්ලට අගතිදායක ලෙස සාක්ෂි ලබාදීම (සාවද්‍ය සාක්ෂි) සඳහන් කළ හැකිය.

හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සහ හිටපු LTTE සමාජිකයෙකු වන සුරේෂ් කුමාර් (මුරලි) යන අය මුලින්ම සැකකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මොවුන් නිදහස් කොට රජයේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කටඋත්තරයේ අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ යුද හමුදා කඳවුරේ විත්තිකරුවන්ගේ අත්අඩංගුවේ සිටි බව එම සාක්ෂිකරුවන් විසින් සඳහන් කර තිබුණි. ඒ අනුව මෙම පුද්ගලයින් දෙදෙනා නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා පියවර ගත්තේය.

නඩුවට අගතිගාමී වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම

 

1 6

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය. 2015 ජනවාරි 08 දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම එම කොමිෂන් සභාවට පැවරී තිබූ රාජකාරිය විය.

 එහෙත් මෙම කොමිෂන් සභාව මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කළු පැල්ලමක් එක් කරමින් බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ඒ වන විට උසාවියේ විභාග වෙමින් පැවැති හමුදා නිලධාරීන්ට එරෙහි බොහොමයක් නඩු ඉවත් කර ගැනීමට නිර්දේශ කළේය.

හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සහ ශම්මි කුමාරද මෙම කොමිසම හමුවේ තමන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව පවසමින් පැමිණිලි ඉදිරිපත් කළහ. පැමිණිල්ල විභාග කිරීම සඳහා රන්බණ්ඩාට සිතාසිය ලැබුණු අවස්ථාවේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේය. ඒත් පිළිබඳව විරෝධය පළ කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණයට වඩා ඉහළ තැනක හැරෙන්නට වෙනත් තැනක සාක්ෂි ලබා දිය නොහැකි බව ත්‍රිපුද්ගල මහාධිකරණ  විනිසුරුවරු සඳහන් කළහ.

මහාධිකරණ විනිසුරුන්ගේ තීරණය ජනාධිපති කොමිෂන් සභාව වෙත දැනුම් දීමට එහි ගිය අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන්ගේ තීරණය අභිබවා යමින් රන්බණ්ඩාගෙන් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කළේය.

 

judge upali abeyratneජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න

එහිදී රන්බණ්ඩා, අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේ සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් බව සඳහන් කර තිබුණි. ඔවුන් සඳහන් කරන ආකාරයේ ප්‍රකාශයක් ලබා දුනහොත් තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලපෑම් කිරීම නිසා තමා පොලිසියට එවැනි ප්‍රකාශයක් ලබා දුන් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවකු වන හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් (මුරලි) නමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදෙමින්, තමා ගිරිතලේ කඳවුරේ සිටියදී ප්‍රගීත් එක්නැලිගොඩ එහි සිටි බවට ප්‍රකාශයක් ලබාදී තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙය වීමේදී සාක්ෂිකාර සුරේෂ් කුමාර් නමැත්තා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ බලපෑම් හේතුවෙන් තමා මෙවැනි ප්‍රකාශයක් කළ බව ය.

 අත්අඩංගුවේ පසුවන තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට තමන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ ලබාදුන් බවත් එම සාක්ෂිකරු ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව චූදිතයින් අධිකරණය ඉදිරිය ලබාදුන් සාක්ෂිය සහ ජනාධිපති කොමිෂන් සභාවේ හමුවේ සිදුකළ පාපොච්චාරණය අතර විශාල පරස්පරයක් දක්නට ලැබුණි. ඉන් අනතුරුව සාක්ෂිකරුවන් දෙදෙනා පැමිණිල්ලට අවාසිදායක ලෙස සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔවුන් අගතිදායක සාක්ෂිකරුවන් වශයෙන් නම් කොට ඔවුන්ට එරෙහිව "සාවද්‍ය සාක්ෂි" ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.

Shani Abeysekara copyශානි අබේසේකර

දේශපාලන පළිගැනීම් සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසම පිටු 150 ක් ඉක්ම වූ දිර්ඝ වාර්තාවක් ලියමින් ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම සහ අතුරුදහන් කිරීම පිළිබඳ නඩුවෙහි සැකකරුවන් සියලු දෙනා,  නිදහස් කළ යුතු බවටත්, බොරු නඩුවක් ගෙතීම සම්බන්ධයෙන් ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු පැවරිය යුතු බවටත් නිර්දේශ කළේය.

එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව හමුදා භටයන් හා නිලධාරීන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ පාලක පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් ආදීන්ට එරෙහිව ගොනු කර ඇති නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළේය. අගමැති යෝජනාව පාර්ලිමේන්තුවට එන්නේ කොමිසමේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 ජනවාරි 15 වන දින අමාත්‍ය මණ්ඩලයට කර තිබූ නියමයක් පරිදිය.

අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් නම් නොකිරීම

සාජන් රන්බණ්ඩා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට තර්ජනය කළ නිසා ප්‍රගීත් එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කළ බව ප්‍රකාශ කළ බවයි. එසේ නම් ඒ පිළිබඳව අධිකරණ හමුවේ සාක්ෂි දීමට නීතිපති දෙපාර්තමේන්තුව මෙම අපරාධයේ  ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කැඳවූයේ නැත්තේ ඇයිද යන්න ගැටලුවකි.


නඩුවට පාදක වන විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියෙකු මෙම නඩුවේ සාක්‍ෂියක් ලෙස නම් කර නොමැති බව අගතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වරක් අධිකරණයේ අවධානයට යොමු කර සිටියේය.

සත්‍යය අනාවරණය නොවීම


Screenshot 20230726 135624 Google

ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ අපරාධයේ සත්‍ය අනාවරණය වීමට එරෙහිව එල්ල වූ බාධා කිහිපයකි. නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවේ අධිචෝදනා ඉදිරිපත් නොකර අනවශ්‍ය කාලයක් නඩුව තබාගෙන සිටීම එක් හේතුවකි. අනෙක් කරුණ වන්නේ එම ප්‍රමාදයත් සමඟ ඇතිවන බල පෙරළියයි. එනම් අලුතින් බලයට පත්වන රජය මැදිහත් වෙමින් මෙම විත්තිකරුවන් නිදහස් කර ගැනීමට හැකිවන අන්දමේ වාතාවරණයක් සකස් කරනු ලැබීය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හරහා සිදු වූයේ එයයි.

ජනාධිපති කොමිෂන් සභාව පවතින නීතිය අභිබවා යමින් කටයුතු කිරීම පැහැදිලිවම දක්නට ලැබුණි. අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩු කිහිපයක් නිෂ්ප්‍රභ කිරීමට කොමිසම මගින් යෝජනා කර තිබුණි. එපමණක් නොව, කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නඩුවල, විමර්ශන නිලධාරීන්, නීතීඥවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සාක්ෂිකරුවන් හා වෙනත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද යෝජනා ඉදිරිපත් විය. කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මුල් කාර්යයන් අතරින් එකක් වන්නේ, කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබුණු නඩු සම්බන්ධ විමර්ශන හා විභාගයන් නැවැත්වීමට කටයුතු කිරීමයි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව ද ඒ අතර විය.


රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුවූ අපරාධ සඳහා යුක්තිය

සමස්තයක් ලෙස ගත් කල, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට එකකට පසු එකක් බලයට පත්වූ ආණ්ඩු සමත් වී නැත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී අපරාධවලට මුහුණ දුන් ජනමාධ්‍යවේදීන්ට යුක්තිය නොවුනා පමණක් නොව අපරාධකරුවන් දණ්ඩ මුක්තියට යටත් කිරීමටද පියවර ගැණුනි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හරහා අමානුෂීය ඝාතන ඇතුළු අපරාධවල කුණු සෝදා හැරීමට පියවර ගැනුනේ කිසිදු හිරිකිතයකින් තොරවය. එමගින් රාජ්‍යය විසින් සිදු කරනු ලබන අපරාධවලට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉවතට ගමන් කෙරුණි. මේ සියල්ලෙහිම වින්දිතයා බවට අවසානයේ පත්ව තිබෙන්නේ එක්නැලිගොඩ පවුලේ උදවියයි.

ලංකාවේ අපරාධ නඩුවල ඇති ඔප්පු කිරීමේ භාරය ඉතාම සම්ප්‍රදායික නඩුවක් ඔප්පු කිරීමට තිබෙන භාරයයි. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසන්නේ මෙවැනි සුවිශේෂී නඩුවකදී විශේෂයෙන්ම රාජ්‍ය බලය මැදිහත් වූ අපරාධ නඩුවල ස්වභාවයෙන්ම පවතින සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ඔප්පු කිරීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ අපරාධකරුවන්ට දඬුවම් කිරීම සිදු කළ නොහැකි බවයි. මන්ද එම අපරාධය සිදුකර තිබෙන්නේම නීතියේ දැලින් එය වසා ගත හැකි අන්දමටය. එම නිසා මෙවැනි නඩු සමග ගනුදෙනු කිරීමට සිදු වන්නේ ලංකාවේ අපරාධ නීතියේ පවතින නිර්ණායකයන් භාවිතා කිරීමෙන් නොවේ. ඉන් එහා ගිය අලුත් නෛතික නිර්ණායක ඒ සඳහා සොයා ගැනීමට සිදු වේ.

layer 25.02.10 උපුල් කුමරප්පෙරුම
මේ සියලුම නඩුවල අපරාධ සිදුකර තිබෙන ස්වභාවය, එම අපරාධයට සම්බන්ධ වී සිටින හවුල්කාරයින්, ඒ අපරාධ මෙහෙයවූ රාජ්‍ය හස්තය, අපරාධකරුවන් ආරක්ෂා කළ රාජ්‍යය ආදී සියල්ල සමග ගනුදෙනු කිරීමට පවතින අපරාධ නීතියට හැකියාවක් නැත. රජය පාර්ශ්වයෙන්ම අපරාධයේ සාක්ෂි වසන් කරනු ලබයි. මේ සියල්ලෙහිම එකතුව නිසා මේවා නොවිසඳුණු අපරාධ බවට පත්ව තිබෙන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙන්වා දුන්නේ ය. එම නිසා මෙවැනි ස්වභාවයේ විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත් වී සිදුකළ අපරාධවල වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට නම් අලුත් නෛතික නිර්ණායක හඳුන්වා දීමට රජයට සිදු වනු ඇත.  

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීම සිදු වන්නේ 2010 වසර ආරම්භයේදී ය. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරෙන්නේ 2019 වසරේ දීය. වසර පහළොවකට ආසන්න දීර්ඝ කාලයක් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ අපරාධයට සම්බන්ධ වූවන් සොයා යන විමර්ශන ප්‍රගතියකින් තොරව, විවිධ බාධාවන් සහිතව ඉදිරියට ඇදෙමින් තිබේ.

ප්‍රගීත්ව පැහැරගෙන ගිය මාර්ගය සොයා ගැනීම සඳහා දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ප්‍රමාද වන අන්දමක් දක්නට ලැබේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ බාධා කිරීම ආදිය නිසාද විමර්ශන පවත්වාගෙන යාමේදී ඇති වූයේ බාධාවකි. ප්‍රගීත් එක්නැලිගොඩ පමණක් නොව මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අනෙකුත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටු කිරීම පවතින්නේ මෙවැනිම හෝ මීටත් වඩා නරක තැනක ය.
 
 
 105434351 2cc2312a 688d 425e a5ba b23c975d19af
මෙවැනි ඇතැම් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මෙපමණකින්වත් නීතිය ක්‍රියාත්මක නොවේ. විශේෂයෙන්ම උතුරේ ජනමාධ්‍යවේදීන්ට, සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිබඳ විමර්ශන පවතින්නේද කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි තැනක නොවේ. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවම වශයෙන් විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සිදු වෙමින් තිබේ. එසේ නොවන අපරාධ ගණනාවක්ම යටපත් වී ගොස්ය. නැතිනම් සැලසුම් සහගතව යටපත් කර තිබේ.

එම සියලු අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමට තිබෙන සියලු බාධක ඉවත් විය යුතුය. දශක ගණනාවක් තිස්සේ හඬ නැගෙන දණ්ඩමුක්තිය අහෝසි කිරීමේ සටන් පාඨය යථාර්ථයක් කළ හැක්කේ එමගිනි.
 
WhatsApp Image 2025 02 11 at 10.08.02 AM
(සටහන | දිලීෂා අබේසුන්දර)
මාධ්‍යවේදී
dileeshaa@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...