හිටපු මැති ඇමතිවරු හතලිස් තුන් දෙනෙකුට කෝටි ගණනක් වන්දි වශයෙන් මහජන මුදල් වැය කිරීම ගැන මේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස ය.
මේ අන්දමේ අරගල කලබල වලින් දේපල හානි වූ විවිධ මට්ටම්වල දේශපාලකයන් විශාල පිරිසක් සිටියත් නම් ප්‍රසිද්ධ කෙරුණේ හිටපු මැති ඇමතිවරුන්ගේ පමණක් වීම ද විශේෂයකි. මේ හෙළිදරව්වත් සමඟ දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ඒ මැති ඇමතිවරුන්ට දිගටම කිවිසුම් යන්නට පටන් ගන්නට නම් ඇති බව හද්දා පිටිසර ගමක ඉපදුණු මට මගේ තවමත් නොනැසී පවතින ගැමි විඥානයෙන් කිව හැකි ය.
එකල අපේ ගම්වල කාට හෝ හේතු විරහිතව එක දිගට කිවිසුම් යන්නේ නම් ගැමියන් සැලකුවේ එය කවුරුන් හෝ ඒ තැනැත්තාට බලවත් ලෙස දෝෂාරෝපණය කරන විට සිදු වන්නක් ලෙස ය. ඒ අපේ ගැමි න්‍යාය අනුව නම් දින කීපයක් ගත වුණත් ඔවුන්ට තවමත් කිවිසුම් යාම සිදුවෙමින් තිබිය යුතු ය. ඒ කෙසේ වෙතත් මේ පිළිබඳව ඔවුන්ට කීමට ඇති දෙයක් ඇත්දැයි ජන මාධ්‍ය ද නොවිමසන නිසාදෝ මේ වන්දි මුදල් ගැනීම ගැන ඔවුන් ලබා දෙන පිළිතුර කුමක්දයි අපට දැනගත නොහැකි ව තිබේ.
මෙසේ නිවාස හානිවල වින්දිතයන් වූ හිටපු මැති ඇමතිවරුන් බලයේ සිටිය දී කළ කී දේ ගැන මගේ කිසි ප්‍රසාදයක් නැත. එහෙත්, ඔවුන්ගේ නිවාස ඇතුලු දේපල බුර බුරා ඇවිලෙන ගින්නෙන් දැවෙනු දුටු මට බලවත් කණගාටුවක් දැනුණු බව මෙහි ලා සඳහන් කළ යුතු ය. ඒ එකී නිවාසවල ජීවත් වූ ඒ බලවන්තයන්ගේ අඹු දරුවන් වයෝවෘද්ධ දෙමව්පියන් කෙතරම් බියකින් සැකයකින් කොහේ හෝ හැංගී ඒ බිහිසුණු අත්දැකීම විඳ ගන්නවා ඇතැයි යන සිතුවිල්ල නිසාම ය.

මේ කම්පනය මට මුල්වරට දැනුණේ 1983, ජුලි කලබල අවස්ථාවේ දී ජුලි මස 28හෝ 29දින දෙකින් එකක “කොළඹට කොටි ඇවිත් පහර දෙනවා” යනුවෙන් පැතුරුණු කට කතාව සමඟ විජේරාම මහරගම කොට්ටාව ආදී ප්‍රදේශවල දෙමළ ජාතිකයන්ගේයැයි සැක කරන කඩ සාප්පු බිඳිමින් ගිනි තබමින් බස් රථවල ගමන් ගත් දෙමළ ජාතිකයන් යැයි සිතිය හැකි මිනිසුන්ට පහර දෙමින් එවක ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සංවිධායක වරුන්ගේ සංවිධායකත්වයෙන් ඇති කළ මහා භීෂණය සියැ`සින් දුටු අවස්ථාවේ දී ය.
එවක විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු වූ මට විශ්ව විද්‍යාලයේ සිට කලබල ඇති විය හැකි නිසා ප්‍රමාද නොවී වහා නේවාසිකාගාර වලට යන ලෙසට එවක අප ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ සුදර්ශන පොන්වීර සහෝදරයා කළ දැනුම් දීම මත නිවසට ඒමට මම මඟට බැස්සෙමි වෙනදා විජේරාමේ සිට බස් රථයෙන් මාකුඹුරට එන මට එදා එන්නට සිදුවුණේ පයින් ය. ආණ්ඩුවේ ලොක්කන්ගේ මෙහෙයවීමෙන් වානේ සංස්ථාවේ, පිඟන් සංස්ථාවේ ලොරි රථ වලින් කඩු පොලු රැගත් මැරවරයන් ගෙනැවිත් නගරවල බස්සවා ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවනු මා දුටුවේ ඒ පාද යාත්‍රාවේදී ය. ඒ ප්‍රසිද්ධියේ මිනිසුන්ට පහර දෙනු, දේපල ගිනි තබනු මා දුටු පළමු අවස්ථාවයි.

ඉන්පසු මා කම්පනයට පත් වු අවස්ථාවන් වූයේ උපදිසාපති වරයෙකු ලෙස අම්පාර කච්චේරියේ සේවය කරද්දී මාන්තොට්ටම දීඝවාපිය අරන්තලාව බන්ඩාරදූව බෝගමුයාය වැනි ගම්වල ත්‍රස්තවාදීන් විසින් අහිංසක මිනිසුන් දරුවන්, කාන්තාවන්, භික්ෂුන් වහන්සේලා වෙඩි, තබා, කැති ගා මරා දමා තිබෙනු දැක, ගත් විට සහ 88/89 කාලයේ පාර දිගට ටයර් සෑවල දෑත පිටුපසට බැඳ පිළිස්සූ තරුණ තරුණියන්ගේ සිරුරු කොටස් දුටු විට ය.
අරගලය වෙලාවේ අරගල කරුවන් සාමකාමීව සිය උද්ඝෝෂණය කරගෙන යද්දී ඉවසා දරාගත නොහැකිව කඩිකුලප්පුව හැදුණු දේශපාලන අමනයන් කොළඹට රැස්වී අරගල කරුවන්ට තිරශ්චීන ලෙස ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය ද ඇතුලුව ඉන් අනතුරුව ඊට ප්‍රතිවිරුද්ධව දියත් කෙරුණු ප්‍රතිප්‍රහාරය කොළඹින් බැහැර ක්‍රියාත්මක වූයේ කිසියම් සංවිධනාත්මක භාවයකින් යුතුව ය.

එසේම නීතිය හාසාමය ආරක්ෂා කිරීමේ වගකීම භාරව සිටි රාජ්‍ය ව්‍යුහය වූ පොලිසිය මේවා වෙන්නට ඉඩ හැර බලා සිටියෝ ය. එය හරියටම 1983 ජුලි කලබලයේදී පොලිසිය හා හමුදාව දැක්වූ නිහඩතාවය බඳු විය. ඇතැම් ස්ථානවලදී පොලිස් නිලධාරීන්ගේ පුද්ගලික මැදිහත් වීම මත කලබල තීව්ර වීම වැලකුණි. එසේ වුවද ආණ්ඩුවේ දේශපාලකයින්ට එරෙහිව ඔවුන්ගේ නිවාස දේපල ව්‍යපාර ස්ථාන වාහන ආදිය ගිනි තබා විනාශ කිරීමට සංවිධානාත්මක මැරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නවුන්ගෙන් කිසියම් බාධාවක් නොවීම පුදුම සහගත ය.

ශිෂ්ට රාජ්‍යයක මෙබඳු කලබල වලට වගකිවයුත්තන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු ය. එසේ වුවත් ශ්‍රීලංකාවේ පාලකයන් හැමදාම ඒවා අමතක කළා මිස නීතිමය පියවර ගැනීමට උනන්දු වුණේ නැත. 1983 ජුලි කලබලයට වගකිව යුත්තන්ට එරෙහිව මෙන් නීතිය ක්‍රියාත්මක් කළේ ද නැත. අනිකුත් ජාතිවාදී කෝලාහලවලට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක නොවිණි. ටයර් සෑවල අවසන් ගමන් ගිය වුන් පොකුරු පිටින් මැරුණේ කෙසේදැයි යන්න සෙව්වේ නැත. වෙන එකක් තබා අත් අඩංගුවට ගත් පිළිගත් දේශපාලන පක්ෂයක නායකයා ඇතුලු සියලුම නායකයන් මරා දැමීම ගැන කිසිදු පරීක්ෂණයක් කෙරුණේ ද නැත. මේවා සිදුවුණේ කෙසේදැයි සෙවීමට වඩා වන්දියක් දී ඒවා අමතක කිරීම පැවති ආණ්ඩුවල පුරුද්ද විය.

එහෙත්, සෑම පාලනයකටම එබඳු අය ප්‍රයෝජනවත් නිසාදෝ ඒ අයට විරුද්ධව පියවර ගැනීම අමතක කෙරිණි .ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ, සාධරණය ගැන කථා කළ අයත් මේ නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු වලට අභියෝග කළේ නැත. සාලාව යුද්ධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීම කෙසේ වුණාදැයි අදටත් මහජනතාව දන්නේ නැත. ඒ පිපීරීම නිසා හානිවූ දේපල සඳහා රජය වන්දි ගෙවන බව ආරම්භයේදීම නිවේදනය කළත් මේ සාධාරණයැයි කියන දේශපාලන කණ්ඩායම් ක්‍රියා කළේ සාධාරණ වන්දියක් ගෙවනු කියා රජයට එරෙහිව උද්ඝෝෂණ පා ගමන් සංවිධානය කිරීම ය.

එමෙන්ම රජයේ සියලු අවිගබඩාවලට ඉදිරියේ දී මෙබඳු දේ නොවන බවට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකිරීමට බවත් මම පෙන්වා දුනිමි. එහෙත්, ඔවුන්ටත් අවශ්‍ය වුනේ වන්දිය ප්‍රමාණවත් නැතැයි කියා ආණ්ඩුව විනාශ වූ දේපලවලට වන්දි ගෙවා ජන ප්‍රසාදයක් ඇතිකර ගැනීම් වැලැක්වීමට ය. එහි ප්‍රතිඵල ලෙස අදත් සාලාව අවි ගබඩාව ගිනිගත්තේ කෙසේදැයි කවුරුවත් දන්නේ නැත.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී හානි වූ සියල්ලන්ට වන්දි ගෙව්වේ රජයෙනි. රජය මියගිය අයටත් නිවාස විනාශ වූ අයටත් ඒ ස්ථානයෙන් ඉවත් කළ අයට නිවාස හා ඉඩම් වෙනුවෙනුත් වන්දි ගෙවා නිමකළේ ය. අදටත් කුණු කන්ද පවත්වා ගෙන යාමේ නීත්‍යානුකූල භාවය එහි කඩා වැටීමට වග කිව යුතු අය කවුරුන්දැයි සොයා බලා ඒ සා විශාල විපතක් සිදුවීමට නිශ්චිතව වගකිව යුත්තන් හඳුනාගෙන රට ඉදිරියේ තබා නැත.

මෙවන් පසුබිමක් තුළ මේ අරගලයේදී මැයි නව වෙනි දින හා ආසන්න දිනවල රට පුරාම පාහේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානිවූ ස්ථාවර වත්කම් වලට වන්දි ගෙවීම ගැන සාකච්ඡා කළ යුතුව ඇත. මේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉලක්කය වී තිබුණේ එවකට පැවති ආණ්ඩුවේ බලධාරීන්ගේ දේපල ය. එහි දී නිවාස ව්‍යාපාරික ස්ථාන වාහන, කාර්යාල ගොඩනැගිලි ආදී සියල්ලට පහර දී අලාබ හානි කර ගිනි තබා විනාශ කිරීමට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ අය ක්‍රියා කළහ.
මේ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ රටේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ අතර අගමැති වරයාගේ නිවස ද ගිනි තබා විනාශ කිරීමට ප්‍රචණ්ඩ කාරීන් ක්‍රියා කර තිබුණි. නමුත් අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස සන්නද්ධ හමුදා හා පොලිසිය මෙහෙයවීමට පටන් ගැනීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය විය.
ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය වීමත් සමඟ ඊට වග කිව යුත්තන් සෙවීම “එපා වාහෙට හොදි බෙදන්නාක් මෙන්” නමට පමණක් කෙරුණු ක්‍රියාවක් විය. තැනින් තැන යම් යම් පුද්ගලයන් අල්ලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා මිස විධිමත් විමර්ශනයක් ඒ ගැන සිදුවූ බවක් පෙනෙන්නට නොතිබුණි. නිවාස ගිනි ගැනීම නිසා උන්හිටි තැන් අහිමි වූ මැතිඇමතිවරුන්ට කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කළ මහල් නිවාසවල තාවකාලික නවාතැන් පහසුකම් සැපයිණි. ඉන් අනතුරුව මෙබඳු කලබල වල පසු කටයුත්ත වන ගිනි තබා විනශ කළ හා වෙනත් අලාබ හානි කළ නිවාස ඇතුලු දේපල වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානි වූ ජීවිත හා දේපල වලට වන්දි ගෙවීම පිළිබඳ ක්‍රියාවලිය 1983 වර්ෂයේ සිට ආරම්භ කළ එකකි. 1983 ජුලි කලබලවලදී හානියට පත් ජීවිත හා දේපලට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සඳහා විධිවිධාන පැනවූයේ මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව පනවන ලද හදිසි නීති රෙගුලාසි වලිනි. ඒ සඳහා අනුමත නීතියක් එකල නොවීය. ඒ යටතේ 83 ජුලි කලබලවලින් විනාශයට පත් ව්‍යාපාරික ස්ථාන නිවාස ආදියට වන්දි ගෙවීමටත් ජීවනෝපාය සඳහා ණය පහසුකම් සැපයීමටත් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දිගෙවීමටත් තැනැත්තන් දේපල හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය හෙවත් PERIA නම් ආයතනයක් රජය විසින් ආරම්භ කරන ලදී.
ඉන්පසුව 1987 අංක 19 දරණ පණත පාර්ලිමේන්තුවේ සම්මතකර මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම් කටයුතු සඳහා නෛතික පදනම ඇති කරන ලදී .මේ යටතේ උතුරු නැගෙනහිර ක්‍රියත්මකව පැවති බිහිසුණු යුදමය තත්වයෙන් හානි වූ සිවිල් පුද්ගලයන්ට ජීවිත හා දේපල වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතුත් විනාශයට පත් ආර්ථික කටයුතු පුනරුත්ථාපනය සඳහා සහන ලබාදීමත් සිදු කෙරිණ. එවක මේ රාජ්‍ය ආයතනයෙන් යුද්ධයෙන් විපතට පත් සිවිල් පුද්ගලයන්ට වන්දි ගෙවීම වැඩි වශයෙන් කෙරුණත් උතුරු නැගෙනහිරින් බැහැර දිවයිනේ කවර ස්ථානයක වුණත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වූ හානි සඳහා සහන සැලසීමත් සිදු කිරීමට බාධාවක් නොවීය.
ඒ යටතේ,

2006 හා 2014 බේරුවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා
2014 අළුත්ගම සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා
2017 වර්ෂයේ ගිංතොට සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා
2018 වර්ෂයේ අම්පාර දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල සිදු කෙරුනු ප්‍රචණ්ඩ ක්‍රියා
2019 පාස්කු බෝම්බ ප්‍රහාරය භා ඉන්පසුව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් විපතට පත් වූවන්ට ජීවිත හානි දේපල හානි වෙනුවෙන් වන්දි පිරිනැමීම සිදුකෙරුණේ මෙම නීතිමය පදනම යටතේ මේ ආයතනය හරහා ය.
වර්තමානය වන විට මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිදුවන හානි වෙනුවෙන් සහන සැලසීමේ ක්‍රියාවලිය භාර මේ රාජ්‍ය ආයතනය 2018 අංක 34 දරණ පාර්ලිමේන්තු පනත මගින් බල ගැන්වුනු හාණි පූර්ණ කාර්යාලය නමින් වඩාත් ශක්‍තිමත්ව ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ අනුව සමාජ මාධ්‍යවල කෙසේ පෙන්වා දුන්නත් නීති විශාරදයන් ලෙස සමාජයේ පෙනී සිටින්නවුන් පොට වරද්දාගෙන ස්වභාවික විපත් වලින් සිදුවන හානි සඳහා සහන සලසන ආපදා කලමණකරණ නීති පොත පෙන්වමින් මාධ්‍ය ඔස්සේ මොනවා කිව්වත් රට තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා කැරලි කෝලාහල ආදියෙන් හානි සිදුවන දේපල හා ජීවිත වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා වන නීතිමය පදනමක් 1987 සිට ශ්‍රී ලංකා රජය විසින් සකසා ඇති බවත් මේ පසුගිය අරගල සමයේ සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානි සිදුවූ දේපලවලට වන්දි ගෙවා ඇත්තේ එකී නීතිමය ක්‍රියාවලිය හරහා බවත් පෙන්වා දිය යුතුව තිබේ.
රටේ “විධායකය” මෙහෙයවීමට ජනතාව “ආණ්ඩුවක්” පත්කරති. විධායකය යනු රටේ පනවා ඇති නීති ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහයයි. ආණ්ඩුවේ වගකීම “විධායකයෙන්” සිදුවන වරදක් වෙතොත් නිවැරදි කිරීම ය. ඒ නිවැරදි කිරීමේ ප්‍රතිකර්මයට අවශ්‍ය ආයතන පද්ධතියකුත් “විධායකය” සතු වේ. මේ වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වරදක් ඇතිදැයි සොයා බැලීමට අවශ්‍ය නම් ආණ්ඩුවට ඊට අදාල කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැත.
එසේ තිබියදී වන්දි ගත් අය සමග ඇති දේශපාලන “ඇරියස් කවර් කිරීම” සඳහා වන්දි ගැනීම අනීතිකයැයි පෙන්වීමට ගොස් පොට වරද්දා ගැනීම ආණ්ඩුවේ දුර්වල කමකි. ඊට උඩ ගෙඩි දෙන්නට වැරදී නීති පෙන්වා බෙරිහන් දෙන උගතුන් යැයි කියන අය ගැනත් මේ වරද අභ්‍යන්තරව ආණ්ඩුවට පෙන්වා දී ආණ්ඩුව අසීරු තත්වයට පත්වීම වලක්වා ගන්නට අසමත් විධායකයේ නිලමක්කාර මගේ රාජ්‍ය සේවා මිත්‍රයින් ගැනත් කණගාටු වීම හැර වෙන දෙයක් දැන් කළ නොහැක.
එසේම වන්දි ගෙවීමට විෂයවූ දේපල නීත්‍යානුකූලව උපයා ගත් ධනයෙන් අත්පත් කරගත් ඒවාදැයි පරීක්ෂා කිරීමටත් වන්දි ගෙවීම බාධාවක් නොවේ. මේ යන විදියට නම් පෙනෙන්නේ වන්දි ගැනීම ගැන විරෝධයක් ජනතාව තුළ ඇති කරමින් විරුද්ධවාදීන්ට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීම මේ සියල්ලට වඩා වැදගත් සේ ආණ්ඩුව කල්පනා කර ඇති බව ය.
(සටහන | සුනිල් කන්නන්ගර) කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com
(vinivida.lk)



