ඒ හමුවෙන් පසු ගුරු සංගම් නායකයින්ගෙන් “වොයිස් කට්” ගැනීමට මග බලා සිටි මාධ්‍යවේදීන්ට ඔවුන් කියූ සියල්ලෙහි වූයේ ගුරුවරුන්ගේත් විදුහල්පතිවරුන්ගේත් ගුරු උපදේශකයින්ගේත් වැටුප්, වැටුප් වර්ධක, හිඟ වැටුප්, දීමනා, ස්ථාන මාරුවීම්, උසස්වීම් වැනි අතිශය පුද්ගලවාදී ආත්මාර්ථකාමී ඉල්ලීම් සමූහයකි.

ඔවුන්ගේ ඒ හෙළුවෙහි තරම පෙන්නුම් කෙරුණේ, හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය ලෙස 2026 සිට ක්‍රියාත්මක කරනවා යැයි කියන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඔවුන්ගේ ප්‍රශ්න සඳහාද විසඳුම් තිබිය යුතු යැයි හෝ නොකීමෙනි. ගුරු-විදුහල්පති සංගම් නායකයින්ගේ කතා වලින් නොමඳව ගම්‍ය වූයේ අධ්‍යාපනයේ පිරිහීම හා ළමුන්ගේ අනාගතය ඔවුන්ට අදාල නැති බවය.
එවන් වෘත්තීය සමිති නායකයින්, පසුගිය දසකයක දෙකක කාලයේ කලාප අධ්‍යාපන කාර්යාල මගින් අප්‍රමාණ අමතර ලිපිකාර වැඩ ප්‍රමාණයක් ගුරුවරුන් ලවා නොමිලේ කරවා ගැනීම ගැන කිසිවක් කතා නොකිරීමත් අරුමයකි. ළමුන්ගේ අධ්‍යාපනික වගකීම් වෙනුවෙන් ඒ අමතර වැඩ සියල්ල ප්‍රතික්ෂේප කළ යුතුව තිබිණ. ගුරු සංගම් ඒ බැව් අධ්‍යාපන බලධාරීන්ට දැන්විය යුතුව තිබිණ.
එහෙත් ගුරුවරුන්ගේ මූලික වගකීම් නොතකා පැවරෙන මේ ලිපිකාර වැඩ සම්බන්ධව ගුරු සංගම් කිසිදු කතාවක් නැත. අඩු තරමින් ඒ වෙනුවෙන් විශේෂ දීමනාවක් හෝ ඉල්ලන්නේ නැත. පාසලේ වාර්ෂික කාර්ය සාධනය වෙනුවෙන් තමන්ට ලබා ගත හැකි ඇගයීම් සඳහා ළමුන්ගේ වැඩ අතපසු කරමින් එවැනි ලිපිකාර වැඩ කරවා ගැනීමට විදුහල්පති විසින් කරන බලපෑම් මගින් විශේෂයෙන් ගුරුවරියන් දැඩි ආතතීන්ට හසු වන්නේය.
එවගේම, රාජකාරී කටයුතු ගෙදර ගෙන ගොස් තම පෞද්ගලික කාලයත් ඒ වෙනුවෙන් නොමිලේ වැය කරන එකම රජයේ සේවකයා ගුරුවරයා වූවත් ඉතිහාසයේ කෙදිනකවත් ගුරු සංගම් එවැනි රාජකාරී කටයුතු වෙනුවෙන් හෝ අමතර දීමනාවක් ඉල්ලා නැත. පාසල් කාලයෙන් පසු පාසලේ රැඳෙමින් කරන්නාවූ අපමණ වැඩ වෙනුවෙන් අතිකාල ගෙවීම් හෝ නොලබන එකම සේවකයා ගුරුවරයා ය.

ගුරු සේවයේ නිවටකම කෙතරම්දැයි කිවහොත් ඒ සියල්ල ඔවුන් දරා ගන්නා අතර, විදුහල්පති පාලනය කරන කෙදිනකවත් විගණනය නොකරන “පාසල් සංවර්ධන අරමුදල” මගින් පාසලේ සංවර්ධනයට කෙරෙන්නේ මොනවාදැයි ප්‍රශ්න කරන්නේද නැත. ගුරු සේවයේ ඒ නිවටකම ඇත්තේ වැඩවසම්වාදී ආකල්ප හා වර්ගවාදී ආගම්වාදී මතවාදයෙන් හීනමානය වසා ගැනීමට දරණ උත්සාහ හේතුවෙනි.
හැම අතින්ම අඩාල වූ සීඝ්‍රයෙන් පිරිහෙන අධ්‍යාපනයෙහි දෙලක්ෂ පණස්දාහකට වැඩි ගුරු-විදුහල්පතිවරුන් සමග සමස්ථ බර කර ගැසීමට සිදුව ඇත්තේ වක්‍ර හා සෘජු බදු ගෙවන ජනතාවටය. තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ අධ්‍යාපනයෙන් දියුණු, ශිෂ්ට, සාදාචාර සම්පන්න සමාජයක් නොලැබීම, ඒ ඛේදවාචකයේ ප්‍රධානම කාරණාව ය. දියුණු, ශිෂ්ට, සාදාචාර සම්පන්න සමාජයක් හැදීමට නම්, වැඩසම් ඇවතුම් පැවතුම් හා පසුගාමී ආකල්ප කර තබා ගත්, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් පෙළෙන, ආත්මාර්ථකාමී ගුරු-විදුහල්පතිවරුන්ගෙන් නිදහස් වූ විධිමත් අධ්‍යාපනයක් තහවුරු කරගත යුතුය. ළමුන්ගේ අනාගතයට වග කියන්නාවූ දියුණු, තාර්කානුකූලව සිතිය හැකි නූතනවාදී ගුරුවර ගුරුවරියන් පංති කාමරයට යා යුතු ය.
අනාගතය වෙනුවෙන් එවැනි නව ගුරු-විදුහල්පති පරපුරක් හැදීම භාරධූර සමාජ වගකීමකි. ගුරු-විදුහල්පති සංගම් හවුල් නොවන සහ ඔවුන්ට හවුල් වන්නට තරම් හැකියාවක් නොමැති ඒ වගකීම බාර ගැනීමට සිදුව ඇත්තේ සමාජයට ය. එවැනි වගකීමකට උර දීමට නම්, එහි ඇති ආරවුල මුලින්ම තේරුම් ගත යුතුය. ඒ සඳහා එය මෙලෙසින් සටහන් කරමි.

01. ගුරුවරුනට ඈත අතීතයේ වූ වැදගත් සමාජ පිළිගැනීම ලබා ගැනීමේ සමාජ පැවැත්මක් දැන් නොමැත.
02. ආණ්ඩු විසින් ගුරු පත්වීම් යොදා ගනු ලබන්නේ රැකියා ප්‍රශ්නයට පහසු විසඳුමක් ලෙසින් ය.
03. මෙතෙක් කිසිදු ආණ්ඩුවක් ගුරුවරුන් බඳවා ගැනීම සඳහා නිශ්චිතව තීන්දු කෙරුණු අවම සුදුසු කමක් හා බඳවා ගැනීමේ නිශ්චිත පටිපාටියක් නීතිගත කර නැත.
04. පාසල් වෙත කෙළවරක් නැතිව පවරනු ලබන ව්‍යාපෘතිවල ලිපිකාර වැඩ ගුරුවරුන්ගෙන් නොමිලේ කරවා ගැනීම හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනික කටයුතු ගුරුවරුන්ගෙන් අතපසු වන්නේය.
05. වෙනත් කිසිදු ක්ෂේත්‍රයක නොමැති දේශපාලනීකරණයක් ඒ සියල්ල සමග පාසලට පැමිණ ඇත.
විශේෂඥ වෘත්තීයක් ලෙස ගුරු සේවාවක් පිහිටුවීම එක දවසින්, එක පෑන් පහරින් කළ නොහැකිය. එහෙත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම එක දවසින්, එක පෑන් පහරින් කළ හැක. ඉන් අනතුරුව අවශ්‍ය වන්නේ, “ගුරුවරයා” යනු කවරෙක්ද යන්න සමාජය විසින් පැහැදිලිව අර්ථ ගන්වා ගැනීම ය.
“ඉගෙන ගැනීම හා ඉගැන්වීම අතර වන සම්බන්ධය පිළිබඳව ලංකාවේ එතරම් අවබෝධයක් ඇතැයි අපි නොසිතමු. විභාග සඳහා පුහුණු කිරීම් සිදුවන ආකාරයෙන් එය තේරුම් නොගන්නා බව පැහැදිලිය. පුහුණු කිරීම් යනු අධ්‍යාපනය නිශේධ කිරීමකි...... ශිෂ්‍යයාට සිතන්නට ඉඩක් දෙන්නේ නැත. විභාග පරීක්ෂකවරයාට තමන් සතු අවබෝධයක් ඇතැයි පෙන්වීමට අවශ්‍ය ප්‍රමාණයක් කට පාඩම් කිරීමට බල කෙරෙන්නේය.” (කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තාව/1943 - අංක 309 ඃ පිටු 309/310)

“ගුරුවරයා” තවත් රජයේ සේවකයෙකු සේවිකාවක පමණක්ම නොවේ. “ගුරුවරයා” යනු දෙමාපියන්ගේ අමන කෑදරකම් වාසියට තබා ගනිමින් අමතර ආදායම් ලබන්නට අමතර පංති කරමින් විභාග සහතික ගැනීමට දරුවන් තල්ලු කරන්නෙකුද නොවේ. “ගුරුවරයා” යනු සිසු සිසුවියන්ගේ හැකියාවන් මෙන්ම දුර්වලකම්ද හඳුනා ගනිමින් ඔවුන්ට අත දෙන්නෙකි. දැඩි ආධිපත්‍යයක් සමග විභාග වෙනුවෙන් ළමුන් සූදානම් කරනවා වෙනුවට, අලුත් දැනුම ලබා දෙන සහ තර්කානුකූලව ඉගෙන ගැනීමට ළමුන්ට සහාය වන්නෙකි.
විවෘත මනසක් ඇතිව සමාජ විවිධත්වය පෞරුෂ වර්ධනයට පොහොසත් එකතුවක් ලෙස බාර ගන්නා, ආත්ම විශ්වාසයක් ඇති අලුත් යෞවනයෙකු යෞවනියක සමාජයට එකතු කරන්නෙකි. තේරෙන බසින් කියන්නේ නම්, “ගුරුවරයා” යනු වසර 12 ක පාසල් අධ්‍යාපනයෙහි දරුවන්ට ඔවුන්ගේ අනාගතය යහපත් ලෙස සකසා ගැනීමට හවුල් වන්නා ය. ඊට නිවැරදි මග පෙන්වන්නාය.
එවැනි ගුරුවරුන්ගෙන් යුත් විශේෂඥ වෘත්තීයක් ලෙස ගුරු සේවාවක් පිහිටුවීමට නම්,
1. ගුරු පත්වීමක් සඳහාවන අවම අධ්‍යාපන සුදුසුකම සහ බඳවා ගැනීමේ පටිපාටිය
2. පාසලකට පත් කෙරෙන්නට පෙර ලබා දෙන පුහුණුව
3. ගුරු සේවාවේ ආරම්භක වැටුප හා වැටුප් ක්‍රමය සමග
4. වෘත්තිමය වශයෙන් දියුණු වන්නට ගුරු සේවාවෙහි තබන්නාවූ අවකාශය
සම්බන්ධ වැදගත් කතිකාවක් සමාජයෙහි තිබිය යුතුය.
ගුරු වෘත්තියට බඳවා ගත යුත්තේ වෙනත් රැකියාවන් සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට නොහැකි වන පාසල් හැර යන්නවුන් නොවේ. ගුරු පත්වීම රජයේ රැකියාවක් වන නිසා හෝ දිගු පාසල් නිවාඩු සමග දවසින් වරුවක් නිවාඩු ඇතැයි සහ පදිංචිය ආසන්නයේ සේවය කළ හැකි යැයි සිතා ගුරු සේවය තෝරා ගන්නවුන් නොවිය යුතුය. ගුරු සේවයට බඳවා ගත යුත්තේ අධ්‍යාපනවේදී උපාධියක් ලබා ගත් උපාධිධාරීන් පමණකි.

ඒ සඳහා “අධ්‍යාපනයේ ඓතිහාසික විකාශනය, වර්තමාන විධිමත් අධ්‍යාපනය, ළමා මනෝ විද්‍යාව, අධ්‍යාපන මනෝ විද්‍යාව, පාසල් විෂය මාලා, ළමුන් ඇගයීම, ඉගැන්වීමේ ශික්ෂණ, පාසල් පරිපාලනය” වැනි විෂය ක්ෂේත්‍ර ඇතුළත් පූර්ණකාලීන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හැකි හැම විශ්ව විද්‍යාලයකම එකම උසස් ප්‍රමිතියකින් යුතුව ආරම්භ කරන මෙන් ආණ්ඩුව විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නිර්දේශ කළ යුතුව ඇත.
එවැනි උපාධිධාරියෙකුට ගුරුවරයෙකු වන්නට අවශ්‍ය නම් ඔහු හෝ ඇය, ගුරු සේවා ප්‍රවේශ විභාගයෙන් සමත්ව, ගුරු පුහුණු ආයතනයක වසරක පුහුණුවක් ලැබිය යුතුය. එවැනි ගුරු පුහුණු ආයතන වර්තමානයේ මෙන් දසක ගණන් පරණ තොරතුරු, ඉගැන්වීමේ විධික්‍රම හා යල් පිනූ ගතානුගතික සමාජ වටිනාකම් සමගින්, පුහුණුවන උපාධිධාරීන් පාසල් සිසුන් යැයි සළකන ගුරු පුහුණුකරුවන්ගේ ගුරු පුහුණු ආයතන නොවිය යුතුය. ඒවාද නූතන ලෝකයේ පැවැත්ම සමග ගමන් ගන්නා නිදහස් ආයතන විය යුතුය.
එවැනි දිගු ගමන් පැමිණ ගුරු පත්වීම් ලබන්නෙකුට දැනට ගෙවන උපාධිධාරි වැටුප් ගෙවා සේවය ලබා ගත නොහැකි බැව් කල් තියා කිව යුතුය. ගුරු පුහුණුවෙන් පසු පාසලක ස්ථිර පත්වීම් ලබා දිය යුත්තේ ගෞරවනීය වෘත්තියකට ගැලපෙන, වෙනත් ආදායම් මාර්ග සොයා යෑමට අවශ්‍ය නොවන, නිදහස් කාලයේ වැදගත් සංස්කෘතික ජීවිතයකටද වියදම් කළ හැකි ඉතිරියක් තිබෙන, නම්බුකාර වැටුපකි. එවගේම, ගුරු වෘත්තීය යනු හැම විට විෂයානු බද්ධ දැනුම, ඉගැන්වීමේ ශික්ෂණ, වෙනස්වන අලුත්වන සමාජ තත්ත්ව සමග ගැටෙන වෘත්තියකි.

එනිසා ගුරුවරයාට ඒ සමග අලුත් වන්නට වෘත්තීය අවකාශ තිබිය යුතුය. ගුරු වෘත්තියෙහි වැඩිදුර පුහුණුවීම් හා පශ්චාත් අධ්‍යයන සඳහා තෙවසරකට වරක් අවම සය මසක කාලයකට වැටුප් සහිත නිවාඩු අනුමත විය යුත්තේ එබැවිනි. එවගේම පස් වසරකට වරක් හෝ එවැනි පශ්චාත් අධ්‍යයනයක් අනිවාර්ය කළ යුතු වන්නේත් එබැවිනි.
එවැනි වෘත්තීය ගුරු සේවයක් සඳහා වර්තමානයේ උදේ හවස කෝච්චි පෙට්ටිවල සෙනග පටවන අයුරු පංති කාමරවල ළමුන් 40 - 50 පිරවිය නොහැක. පංතියේ සෑම දරුවෙකුටම පුද්ගලික සැළකිල්ලක් ඇතිව ගුරුවරයෙකුට වරෙකට හැසිර විය හැක්කේ උපරිම ළමුන් 25 කි. එවගේම පාසලක් යනු ළමුන් හාර පන්දහසක් ඉන්නා ග්‍රාමයක් නොවේ. පාසලක් යනු උපරිම ළමුන් දහසකි. එසේ විය යුත්තේ පාසලක දරුවන් සියල්ල ගුරුවරුන් සහ විදුහල්පති විසින් හඳුනාගෙන සිටිය යුතු සහ ඔවුන්ගේ දෙමාපියන් සමගද සමීප සම්බන්ධයක් නිරතුරුව තබාගත යුතු හෙයිනි.
එවන් ගුරු වෘත්තියක් පිහිටුවා ගැනීමේ සැළසුමක් හදන්නට පාසල දක්වාවන දිගු ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍ය වන බැව් දැන් පැහැදිලි විය යුතුය. එවැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත සමාජ කතිකාවක් සමගින් සිදුවිය යුත්තේ මූලික හේතු දෙකක් නිසාවෙනි. ගුරුවරුන් අතර “අධ්‍යාපනය” සම්බන්ධවත් “ගුරුවරයා” සම්බන්ධවත් නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. ඒ අනුව අවශ්‍ය ආකල්පමය වෙනස ඇතිවන්නේ වැදගත් විවෘත සමාජ සංවාද සමගින් වන හෙයිනි. දෙවැන්න, දරුවන්ගේ යහපත වෙනුවෙන් එවැනිම ආකල්පමය වෙනසක් දෙමාපියන්ගේද සිදු විය යුතු හෙයිනි. “ගුරු වෘත්තිය” සඳහා වටිනාකමක් සහිත ඉල්ලුමක් ඇති වන්නේද එවිටය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 පෙබරවාරි 13



