The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත | ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

February 14, 2025 • 6:08 AM

නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත | ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තරමට, එකී මිනිස්සු බලාධිකාරියට අභියෝගයක් වෙති. එකී බල ව්‍යුහයේ පැවැත්මට අභියෝගයක් වන්නේ ඔවුන් පමණක්ද යන ප්‍රශ්නය මෙහිදී මතු වෙයි.
  • තමන් ඝාතනයට ලක්වීමෙන් එදා පාලකයන්ට අස්වැසිල්ලක් ගෙන දුන් දවසේ සිටම අනෙක් කඳවුරට බලයට පත්වීමටත් මේ මිනිසුන් අත්වැලක් වී ඇත.
  • එහෙත්, ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට, නීතිපතිවරයා මේ වන විට තීන්දු කර ඇති බව වාර්තා වීමත් සමග ඒ අපේක්ෂාවත් බොඳ වෙන සේයාවක් පෙන්නුම් කරයි.
  • ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අවුරුදු 6 ක් යනතෙක්, එනම් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වන තෙක්, ඒ ගැන කිසි විමර්ශනයක් සිදු නොවුණේ එබැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. 


ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, එකී මිනිස්සු බලාධිකාරියට අභියෝගයක් වෙති. 

 

කළු ජනවාරිය': ශ්‍රී ලංකාවේදී ඝාතනයට ලක් වූ, අතුරුදහන් කරවූ, පැහැරගෙන ගිය හා  වධ හිංසාවට ලක් වූ ජනමාධ්‍යවේදීන්

එකී බල ව්‍යුහයේ පැවැත්මට අභියෝගයක් වන්නේ ඔවුන් පමණක්ද යන ප්‍රශ්නය මෙහිදී මතු වෙයි. නැත, බලයේ පැවැත්මට අභියෝගයක් වන මුත්, පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් නොකර, නිරුපද්‍රිතව සිටීමට තරම් වාසනාවන්ත වන පිරිස ඊට වඩා අධිකයි. එසේ වන්නේ ඇයි? යුද්ධයකදී හෝ සිවිල් යුද්ධයකදී මිස, බලාධිකාරියක් පවත්වාගැනීම සඳහා සාමූහික සංහාරයක් ප්‍රායෝගික නොවෙනවා සේම, අනවශ්‍යද වන බැවිනි. ඊට වඩා අඩු වියදමකින් සහ අඩු අවදානමකින්, සමාජයක් දමනය කළ හැකි බැවිනි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ, සංකේත ඝාතන කිහිපයක් පමණි.

දුරාතීතයේ පටන්, ගමක්, නගරයක්, පළාතක් ආරක්ෂා කරගැනීම සඳහා බිළි පූජාවට ගොදුරු කෙළේ එක සතෙකි. සමහරවිට, රටක් ආරක්ෂා කරගැනීමට, සතෙකු වෙනුවට මිනිස් බිල්ලකි. විහාර මහා දේවිය ඇගේම පියා විසින් මහ මුහුදට දමන්නේ එකී පරමාර්ථයෙනි. නූතන යුගයේ සිටි ඉහත කී සියලූ අයවළුන්, එදා සමාජයේ භීෂණය නඩත්තු කරමින් බලාධිකාරය ආරක්ෂා කරගනු වස් පාලකයන් විසින් පාවිච්චියට ගැනුණු එවැනි සංකේතීය බිළි වශයෙන් සැලකිය හැකිය.

 

තාජුඩීන් මතක ද? : ශානි අබේසේකර ඊළඟ තාජුඩීන් විය යුතු ද?- (ගාමිණි වියන්ගොඩ)

WhatsApp Image 2025 02 07 at 10.44.19 AMතමන් ඝාතනයට ලක්වීමෙන් එදා පාලකයන්ට අස්වැසිල්ලක් ගෙන දුන් දවසේ සිටම අනෙක් කඳවුරට බලයට පත්වීමටත් මේ මිනිසුන් අත්වැලක් වී ඇත. එම පිරිස නැවත වරක් ඝාතනයට ලක්වන්නේ දෙවැනුව කී පිරිස අතිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විමර්ශන කටයුතු ආරම්භ කළත්, අවසන් කෙළේ නැත. වර්තමාන ආණ්ඩුව යටතේ, අදාළ පරීක්ෂණ ඊට වඩා දුරකට යතැයි අපේක්ෂා තබා සිටියෙමු. එහෙත්, ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට, නීතිපතිවරයා මේ වන විට තීන්දු කර ඇති බව වාර්තා වීමත් සමග ඒ අපේක්ෂාවත් බොඳ වෙන සේයාවක් පෙන්නුම් කරයි.

lasantha car

 

මේ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවන තැනට වගබලාගැනීමත්, අර කී ඝාතක බලාධිකාරී කාසියේම අනිත් පැත්තයි. එහිදී නීතිය නවනු ලැබේ. පොලීසිය හීලෑ කරනු ලැබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අවුරුදු 6 ක් යනතෙක්, එනම් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වන තෙක්, ඒ ගැන කිසි විමර්ශනයක් සිදු නොවුණේ එබැවිනි. ඔහු ඝාතනය වුණේ 'අධි ආරක්ෂිත' කලාපයකදී ය. ඕනෑම 'අධි ආරක්ෂිත' කලාපයක්, රජයට එරෙහි විවේචකයන් සම්බන්ධයෙන් අධි-අනාරක්ෂිත කලාපයක් බවට එක රැයකින් පත්කිරීමේ හැන්ද තිබුණේද ඝාතකයා අතේ ය. 'අධි-ආරක්ෂාව' යන්නෙන් අදහස් වන්නේම, ජනතාවගේ අධි-ආරක්ෂාවක් නොව, පාලකයාගේ අධි-ආරක්ෂාවම වන්නේය යන අරුතින් ගත් විට, ආරක්ෂා සහිතව, සාක්ෂියකින් තොරව, මහ දවාලක ඕනෑම දේශපාලනික ඝාතනයක් කිරීමට පාලකයාට ආරක්ෂාව සලසන හොඳම ස්ථානයත් 'අධි-ආරක්ෂිත' කලාපයයි.

 

lassi c
දැන්, මේ කියන ඝාතකයාව අපේ සාකච්ඡාවෙන් ඉවත් කරමු. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ අපරාධය සිය දේශපාලන වේදිකාවේ ප්‍රයෝජනයට ගත්, අර ඝාතන සංස්කෘතිය අවසන් කිරීමේ සහ එකී අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේ පොරොන්දුව පිට, 'යහපාලන' ආණ්ඩුවක් 2015 දී බලයට පත්විය. එවකට සිටි විශිෂ්ට පොලිස් විමර්ශකයන් වන ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක්, වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයා වන, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යටතේ පරීක්ෂණ යළිත් පටන්ගත්හ. ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරා පැහැරගෙන යාම පිළිබඳ සිද්ධිය අපරාධ පරීක්ෂණ පරාසයට ඇතුල් වුණේ ඒ කාලයේ ය. මේ සමස්ත සිදුවීම, එනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමේ සිද්ධිය සහ ඉන්පසුව ඔහුගේ රියැදුරා පැහැරගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට වර්තමාන නීතිපතිවරයා පියවර ගැනීමත් සමග, ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ හාහෝව මේ මොහොතේ යළිත් මතු වී තිබේ.

 

AG Department Press Release 1

නීතිපති දෙපාර්තමේන්තුව යනු, ආණ්ඩුවේ ආයතනයක් නොව, රාජ්‍යයේ ආයතනයකි. ආණ්ඩුව යන අංගය රාජ්‍යයක් තුළ අන්තර්ගත වෙතත්, ආණ්ඩුවක් කලින් කලට වෙනස් වන අතර, රාජ්‍යයක් එසේ වෙනස් නොවේ. රාජ්‍යය යනු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අණපනත් සහ නීති පද්ධතීන් මගින් පාලනය වන ආයතනික සහ ආධ්‍යාත්මික සමස්තයයි. නීතිපති පෙනී සිටිය යුත්තේ ඒ සමස්තය වෙනුවෙනි. එය තුළ ඉතා වැදගත් අංග දෙකක් ගැබ් වෙයි. එනම්, ජනතාව සහ ස්වෛරීත්වයයි. අවසාන විග්‍රහයේදී නීතිපතිවරයෙකු පෙනී සිටිය යුත්තේ, එම ජනතාවගේ ආරක්ෂාවත්, ස්වෛරීත්වයත් වෙනුවෙන් මිස, ජනතා ස්වෛරීත්වයට එරෙහිව සහ ව්‍යවස්ථාවට පටහැනිව කිසි ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට නොවේ.

එසේ වෙතත්, විශේෂයෙන් භීෂණ සමයේත්, ඉන්පසුවත්, පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ, රජයේ මහජන ආයතන වශයෙන් නොව, ආණ්ඩුවේ දේශපාලනික ආයතන වශයෙනි. එය, රාජපක්ෂලාගේ කාලය නොව ඊටත් එහාට දිව යයි. රිචඩ් ද සොයිසාගේ ඝාතකයන් සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ ය. පොලීසිය සහ නීතිපති, ඒ ආණ්ඩුවේ අතකොළු විය. ඉන්පසු බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවත් ඒ මිනීමරුවන් සොයන්නට ගත් විශේෂ උත්සාහයක් ගැන අසන්නට නැත. 

 


පසුගිය මාසයක කාලය තුළ, නීතිපතිවරයා සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීය. මෙතෙක් යටගසා ඇති ප්‍රධාන අපරාධ සිදුවීම් ඉක්මන් කරන්නැයි පළමු සාකච්ඡාව තුළදී ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවක් වාර්තා විය. ඒ සාකච්ඡාවෙන් පසු නීතිපතිවරයා ආපසු සිය කාර්යාලයට ගොස් එවැනි අපරාධ ලිපිගොනු අවුස්සන්නට ඇති. එහිදී, ලසන්ත වික්‍රමතුංග ඔහුට හමුවන්නට ඇති. එහිදී, ඔහු පැමිණි නිගමනය මෙසේ ය: සාර්ථක නඩුවක් කරගෙන යාමට තරම්, දැනට තිඛෙන සාක්ෂි ප්‍රමාණවත් නැත. එබැවින්, එම නඩුවට අදාළ විත්තිකරුවන් තිදෙනා නිදහස් කළ යුතුය. 

ඊට එරෙහිව විශාල මහජන මතයක් පැනනැඟුනි. සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා දැක්වූහ. එවිට ජනාධිපතිවරයා දෙවැනි වරටත් නීතිපතිවරයාව තමන් වෙත ගෙන්වන ලදි. එහිදී ඔහු නීතිපතිවරයාට කළා යැයි කියන තර්ජන ගර්ජන, ආතක්පාතක් නැති හිතලූ සහ අතිශයෝක්තීන් මිස සැබෑවකියි සිතිය නොහේ.

 

කෙසේ වෙතත්, නීතිපතිවරයා ගත් තීන්දුවක් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ජනාධිපතිවරයා විසින් තමන් ඉදිරියට එසේ නීතිපතිවරයාව ගෙන්වීම, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට සහ නීතියේ අධිකාරියට කරන ලද අනිසි බලපෑමක් බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැරෙන තැපෑලෙන්ම ප්‍රකාශයට පත්කෙළේය. සංකල්පීය වශයෙන් ඒ ප්‍රකාශය නිවැරදි මුත්, අතීත සහ වර්තමාන යන අර්ථ දෙකෙන් යථාවාදීව ගත් විට, එය බොල් ප්‍රකාශයකි.

මුලින්ම, වර්තමාන නීතිපතිවරයාගෙන් නොව, අඩු වශයෙන් 2015 සිට එම ධුරය හෙබැවූ සියලූ නීතිපතිවරුන්ගෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, සාක්ෂි ප්‍රමාණවත් නැති නඩුවක් අවුරුදු දහයක් තිස්සේ පවත්වාගෙන ආවේ මන්ද යන්නයි. සාක්ෂි ප්‍රමාණවත් නැතිව, පුරවැසියන් තිදෙනෙකු විත්තිකරුවන් වශයෙන් නඩුවක් තුළ එපමණ කාලයක් පටලවාගෙන සිටීම තුළින් ඔවුන් තිදෙනා වින්දිතභාවයට පත්කිරීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව වගකිව යුතු නැත්ද?

 

ලසන්ත ඝාතනය ගැන ජාත්‍යන්තර නඩුවක් අද සහ හෙට


එසේ ගත් විට, මේ විත්තිකරුවන් තිදෙනා දැන් නිදහස් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන්, එක්කෝ, වර්තමාන නීතිපතිවරයා වැරදිකරුවෙකි. නැත්නම්, මෙතෙක් කල් ඔවුන් නිදහස් නොකර නඩුවක පටවලා තබාගැනීම ගැන, වර්තමාන නීතිපතිවරයා ඇතුළු කලින් සිටි සියලූ නීතිපතිවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවත් වැරදිකරුවන් වන්නෝය. 

තවත් ටිකක් එහාට යන්න: 2015 ට කලින්, එනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ 2009 සිට 2015 දක්වා අවුරුදු හයක කාලයක් තිස්සේ ඔය කියන නීතිපතිවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුව කෙළේ කුමක්ද?

එනිසා, නීතිපති දෙපාර්තමේන්තුව යනු විවේචනය නොකළ යුතු පූජනීය ස්ථානයක් සේ එක් නිශ්චිත මොහොතක පමණක් සැලකීම නුසුදුසුයි. ඇත්තෙන්ම, අනෙක් සියලූ රාජ්‍ය ආයතන සේම නීතිපති දෙපාර්තමේන්තුවත් ජනතාවට වගවීමෙන් බැඳී සිටියි. 'අප ගන්නා තීරණ ගැන උත්තර බැඳීමට අප බැඳී නැතැ' යි කීමට පුළුවන්කමක් නීතිපතිට නැත. ඇත්ත, ඒ උත්තර බැඳීම සිදු කරන විධිමත් ආයතනික වේදිකාවක් තිබේ. ඒ, අධිකරණයයි. එහෙත්, ඊට කලින්, තමන් ගන්නා තීරණ ගැන සේම නොගන්නා තීරණ පිළිබඳවත් රට තුළ යම් විශ්වසනීයත්වයක් ඇති කෙරෙන සේ කටයුතු කිරීමත්, නීතිපති අංශයේ ස්වාධීනත්වය කියාපාන කවුළුවක් වන බව අමතක නොකළ යුතුය. පහත සඳහන් වන්නේ, එකී 'විශ්වසනීයත්වය' දෙස හැරී බැලීමකි.

පුවත් - Results from #7860

 

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ වෙනත් සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් 2015 සිට විත්තිකරුවන් තිදෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඉන් කෙනෙක්, ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරා පැහැරගෙන යාමක් සම්බන්ධයෙනි. මේ පුද්ගලයාට එරෙහි සාක්ෂි දුර්වල බව හෝ ප්‍රමාණවත් නොවන බව නීතිපතිගේ තර්කයයි. මාධ්‍ය වාර්තාවලට අනුව පෙනෙන්ට ඇත්තේ, 2009 දී සිදු වූ මේ කියන පැහැරගෙන යාම ගැන පොලීසියට පැමිනිලි කිරීමට (2015 වන තෙක්) රියැදුරාට වසර 6 ක්ම ගත වී තිබීමත්, ඔහුගේ පැමිනිල්ල දුර්වල වීමට හේතුවක් බවයි. 

ඒ භීෂණ කාලයේ ස්වභාවය කෙබඳුදැයි අපි දනිමු. රියැදුරාව පැහැරගෙන ගියේම, ලසන්ත ඝාතනය ගැන ඔහු විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් අරඹයා ඔහුව බියගැන්වීමක් වශයෙනි. එකී පැහැරගෙන යාම තුළින් රියැදුරාට දුන් පනිවිඩය වී ඇත්තේ, ''කට වහගෙන නොහිටියොත් ලසන්තට වුණු දෙයම උඹටත් සිදු වන'' බවයි.

 

lasa1

ඉතිං, රාජපක්ෂලා බලයේ සිටි 2015 දක්වා ඔහු විසින් තමන් පැහැරගෙන ගිය බවක් ගැන පොලීසියට පැමිනිලි කරතැයි අපේක්ෂා කළ හැක්කේ කාටද? සිද්ධිය සහ පැමිනිල්ල අතර ගතවන කාලය, සත්‍යය දුර්වල කරන සාධකයක් නම්, ලසන්ත ඝාතනය කෙරුණේ වෙඩි තැබීමකින් යැයි වසර 6 ක් තිස්සේ කියමින් සිටි බොරුව, ඝාතනයෙන් වසර 6 කට පසුව (2015) ගොඩගත් මළසිරුර පරීක්ෂා කළ විශේෂඥයන් විසින් හෙළි කිරීමත් 'දුර්වල' සාක්ෂියක් බවට පත්විය යුත්තේය. (ලසන්ත ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොව, උල් ආයුධයකින් පහරදීමෙන් බව මේ විශේෂඥයන් විසින් සොයාගන්නා ලදි).

ඊළඟට, තමන් පැහැරගෙන ගිය පුද්ගලයාව රියැදුරා විසින් හඳුනාගැනීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතාවක් ගැනත් නීතිපතිවරයා සඳහන් කරයි. සැකකරුගේ රූපයක් කල්තියා ප්‍රසිද්ධ කර තිබීම, මේ කියන අක්‍රමිකතාවයි. මේ තර්කයට අනුව 'වෝන්ටඩ්' යැයි ප්‍රසිද්ධ තැන්වල අලවන දැන්වීම් ඔස්සේ අත්අඩංගුවට පත්වෙන කිසිවෙකු, පෙරෙට්ටුවකදී හඳුනාගැනීම ඉබේම අවලංගු වෙනු ඇත!. 

serමේ කියන රූපය, ඡායාරූපයක් නොව, චිත්‍රයකි. එය අඳින ලද්දේ, රියැදුරාගේ ඇසින් දුටු විස්තර මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චිත්‍ර ශිල්පියෙකු විසිනි. කල්තියා ප්‍රසිද්ධ කළා යැයි කියන්නේ එම රූපයයි. ඇත්තෙන්ම අපරාධකරුවා නීතියට කොටු වෙන්නේද ඒ ප්‍රසිද්ධ කරන ලද රූපය නිසාම ය. ඉතිං, රියැදුරාගේ විස්තර මතම පදනම්ව ඇඳ තිබුණු චිත්‍රයක් කල්තියා ප්‍රසිද්ධියට පත්කර තිබීම, රියැදුරාගේ දෑසින් දුටු අපරාධකරුවාව රියැදුරා විසින් පසුව හඳුනාගනු ලැබීම 'අක්‍රමික හඳුනාගැනීමක්' බවට පත්කරවන්නේ කෙසේද? 

මතක තියාගන්න: මේ හඳුනා ගැනීමේ පෙරට්ටුව තියන්නේ, පැමිනිලිකරුවා විසින් එක ඇසිල්ලකදී දැක ඇති සැකකරුවෙකු හඳුනාගැනීමට නොව, පැහැරගෙන යාම සහ තාඩන පීඩන සහ තර්ජන ගර්ජන කරන ලද දීර්ඝ ක්‍රියාවලියක් තුළදී දුටු පුද්ගලයෙකු හඳුනාගැනීමට ය!. එවැනි සැකකරුවෙකුගේ රූපයක් කලින් පෙන්වා තිබිනි ද නැද්ද යන්න වැදගත් නොවන්නේ එබැවිනි.     

නීතිපතිගේ ඊළඟ තර්කය වන්නේ, මෙම සිද්ධිය සහ අනෙක් විත්තිකරුවන් දෙන්නාට විරුද්ධව ඇති චෝදනා ලසන්ත ඝාතනය පිළිබඳ නඩුවට අදාළ නැති බව ය. ඒ  වනාහී, හතරබීරි කතාවකි. මොවුන් සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේම, ලසන්ත වික්‍රමතුංගගේ නඩුව තුළ ය. ලසන්තගේ ඝාතනය පිළිබඳ නඩුවට ඔවුන්ගේ අදාළත්වයක් නැත්නම් එම නඩුව තුළ මොවුන් සැකකරුවන් බවට පත්කෙළේ ඇයි?

 

lasantha2

ඉන් එක්කෙනෙක් ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත හිතාමතා අස්ථානගත කර තිබේ. තමා පසුපස පන්නා එන මිනිමරුවන්ගේ මෝටර් සයිකල්වල අංක පවා, මැරෙන්නට මොහොතකට කලින් ලසන්ත වික්‍රමතුංග විසින්ම සටහන් කර තිබී ඇත්තේ ඒ පොතේ ය. ඒ සටහන් පොත අස්ථානගත කිරීමට කලින්, ඒ මත පදනම්ව සටහන් කළ පොලිස් පැමිනිලි පවා පැමිනිලි පොතෙන් ඉවත් කිරීම සහ වෙනස් කිරීම ආදී තවත් කරුණු ගණනාවක් එකී දෙන්නාට විරුද්ධව තිබේ. පොලිස් පැමිනිලි පොතේ පිටු ගලවා අලූත් පිටු අමුණා ඇති බව රජයේ රසපරීක්ෂකවරයා විසින් පවා සනාථ කර තිබේ. රාජ්‍ය නිලධාරීන් වශයෙන්, විශේෂයෙන් අපරාධකරුවන් සෙවීමේ වගකීම භාර නිලධාරීන් වශයෙන්, ඝාතනයක් වසං කිරීමට එසේ කටයුතු කිරීම, ඒ ඝාතනයේ සහායකයන් සේ සැලකීමට ප්‍රමාණවත් නැත්ද?

මෙකී පුද්ගලයන් නිදහස් කිරීමට නීතිපතිවරයා තීරණය කිරීම ඉඳුරා සැකකටයුතු වන්නේ එවැනි බොහෝ කාරණා නිසා ය. එබැවින්, විධායකය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට අනිසි බලපෑම් කිරීම විවේචනය කරන අතරේම, නීතිය පසිඳලීමට සහාය වීමේදී නීතිපති විසින් දක්වන, සුපිළිපන්භාවයේ ඕලාරික චර්යාව ගැනත් කෙනෙකුට විවේචනයක් තිබිය යුතුය. 


ලසන්ත ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන් තවත් පරීක්ෂණ වටයක් සිදු වේගෙන යන අතරේ මොවුන් නඩුවෙන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා නියෝග කිරීම කොහෙත්ම කාලෝචිත නොවන බව පෙන්වා දිය යුත්තේ එබැවිනි. එම තීරණය ගැනීමට කලින්, අඩු වශයෙන් දැන් සිදුවෙමින් පවතින එකී අලූත් පරීක්ෂණවල ප්‍රගතියවත්, අදාළ පොලිස් අංශවලින් නීතිපතිවරයා විමසා නැති බව කියනු ලැබේ. 

මෙවැනි අපරාධවල දීර්ඝ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, මොන තරම් කටුක වෙතත්, අමතක කළ නොහැකි තිත්ත යථාර්ථයක් නැවත නැවතත් අපට හමු වෙයි. ඒ මෙසේ ය: පාලකයාගේ අවශ්‍යතාව සහ මෙහෙයුම මත සිදු කෙරෙන කිසි ඝාතනයක් නීතිය ඉදිරියේ 'ඔප්පු' නොවෙනු ඇත.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(සටහන | ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත | ගාමිණී වියන්ගොඩ | The Leader