
බලයට පත් වූ සැණින් ජවිපෙට තම කොමියුනිස්ට් ප්‍රතිපත්ති ඉදිරියට ගැනීමට බැරි විය. එහෙත්, දැන් දැන් ඒ සඳහා අවස්ථාව උදා වෙමින් තිබේ. තව දින කීපයකින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සමග ජවිපෙ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය දැක ගැනීමට හැකි වනු ඇත.
පැවති සංක්‍රාන්ති මාස කීපය තුළ ජවිපෙ ආණ්ඩුව පෙන්නුම් කළේ ප්‍රතිපත්තියක් නොමැතිකමය. මෙම ප්‍රතිපත්තියක් නොමැතිකම තුළ රටේ යළි භාණ්ඩ හිඟයන් නිර්මාණය විය. සහල් මිල පාලනය සඳහා වෙළඳපොළට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර අර්බුදයක් ඇති වීමේ අවදානමක් මතු වී තිබේ.
මේ වන විට රට තිබෙන්නේ බලශක්ති අර්බුදයකය. වැදගත් විදෙස් ආයෝජකයන් කීපදෙනෙකු ගිවිසගත් ආයෝජන ඉවත් කරගනිමින් සිටිනු දක්නට ලැබේ. විදේශ සංචිත ක්ෂය වෙමින් ඇත. රජයේ රුපියල් ආදායම් ශක්තිමත් කරගැනීමේ අරමුණින් වාහන ආනයනය සඳහා අවස්ථාව ලබා දුන්න ද, අධික බදු හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කුඩා වාහනයක්වත් මිලදී ගැනීම දුෂ්කර වී තිබේ.

ඉදිරි අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් සිදුකරන බව රජය පවසා තිබේ. රජයේ සේවකයන්ගේ දීමනා වැටුපට එකතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. මේ අතර අලුතෙන් රාජ්‍ය සේවයට 7,500ක පමණ පිරිසක් බඳවාගැනීමේ සැලසුමක් ද ප්‍රසිද්ධ විය. රැකියා විරහිත උපාධිධාරීහු ද අයවැයෙන් රැකියා බලාපොරොත්තු වෙති.
ඉදිරි අයවැය ජවිපෙ ආණ්ඩුවේ සැබෑ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශයක් වනු ඇත. දැනට කටයුතු සිදු වන ආකාරය අනුව නම්, ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් හා වියදම් ඉලක්ක සපුරා ගනීවිද යන්න සැක සහිතය.
ජවිපෙ විශ්වාස කරන්නේ හැකි තරම් භාණ්ඩ දේශීයව නිපදවා අපනයනය කරන, ආනයන අවම ජාතික ආර්ථිකයකි. ගෝලීය නිෂ්පාදන හා වෙළඳ දාම සමග සම්බන්ධ වීමේදී ඔවුන් කටයුතු කරන්නේ අතිශය සැකමුසුවය.
මේ අතර, ජාත්‍යන්තර ආධාර සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් චීනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට කැමති බව පෙනේ. චීනය සමාජවාදී රාජ්‍යයක් වීම එයට හේතුවයි. එහෙත්, චීනය ලංකාවට සුවිශේෂ වශයෙන් කෙතරම් උපකාර කරනු ඇද්ද යන්න පැහැදිලි නැත. චීනය එසේ කළත්, එමගින් ජවිපෙ ප්‍රවර්ධනය කරන ස්වෛරීත්වය කෙතරම් දුරට රැකගත හැකිද යන්න සැක සහිතය. එසේම, චීන - ඉන්දීය - බටහිර තුලනය අහිමි කරගැනීම විසින් කුමන ප්‍රතිවිපාක ඇති කරනු ඇද්ද යන්නද සලකා බැලිය යුතුය.

වඩා රාජ්‍ය මූලික ආර්ථිකයක් සඳහා නැවත උත්සාහයක් ඉදිරි කාලයේදී දක්නට ලැබෙනු ඇත. ඒ පසුපස ඇත්තේ සරල දැක්මකි. එනම්, දූෂණය ඉවත් කර, කාර්යක්ෂම රාජ්‍ය අංශයක් නිර්මාණය කළ හැකිය යන විශ්වාසයකි. ඒ සඳහා රජය සියල්ලට පෙර මිනිසුන් වෙනස් කළ යුතුය. වෙනස් කළ හැකි යයි ජවිපෙ සිතා සිටියි. කරන්නට පුළුවන් නම් නරක නැත.
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



