The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

February 14, 2025 • 9:55 AM

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ දිනයෙක, වේලාවක මේ සත්වයා සම්බන්ධ ආන්දෝලනාත්මක සමාජ කතිකාවකට මුල පිරෙනුයේ පසුගිය 09 ඉරු දින පෙ.
  • ඒ අද වන විට පාරිභෝගිකයන් හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මගින් විදුලි බලය මේ වන විට සමස්ත ජාතික දේහය පුරාම දිවෙන ලේ නහර මට්ටමට පත්ව ඇති බැවිනි.
  • මුළු රටටම එක්වරම විදුලිය අහිමිවීම සම්බන්ධ තොරතුරු දැන ගැනීමේ ජනතා පිපාසය සන්සිඳුවමින් වත්මන් රජයේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කළ එක්තරා ප්‍රකාශයක් ඉතා කෙටි වේලාවක් තුළ විදුලි සැරයක් මෙන් සමස්ත සමාජයේ අස්සක් මුල්ලක් නොහැර පැතිර යනු දක්නා ලදී.
  • ඒ එලෙස එක්වර මුළු රටටම විදුලිය අහිමි වීමට හේතුව ලංකා විදුලි බල මණ්ඩලය සතු පානදුරේ ග්‍රිඩ් උප පොලට වඳුරකු පැනීම බවට ඔහු කළ ප්‍රකාශයයි. සමස්ත රටේම විදුලිය එක්වරම හදිසියේ බිඳ වැටීම සුළු පටු කරුණක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ දිනයෙක, වේලාවක මේ සත්වයා සම්බන්ධ ආන්දෝලනාත්මක සමාජ කතිකාවකට මුල පිරෙනුයේ පසුගිය 09 ඉරු දින පෙ. ව. 11.00 ට පමණ මුලු රටේම විදුලි පද්ධතිය එක්වරම බිඳ වැටීමත් සමඟ ය. 


නැවත එය යථාවත් කිරීම සඳහා පැය තුනේ සිට හය දක්වා කාලයක් ගත වීමත් සමඟම සමස්ත ශ්‍රී ලාංකික සමාජයම එම විදුලිය බිඳ වැටීම පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කරනු දක්නට ලැබිණ. ඒ අද වන විට පාරිභෝගිකයන් හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මගින් විදුලි බලය මේ වන විට සමස්ත ජාතික දේහය පුරාම දිවෙන ලේ නහර මට්ටමට පත්ව ඇති බැවිනි.

 


මුළු රටටම එක්වරම විදුලිය අහිමිවීම සම්බන්ධ තොරතුරු දැන ගැනීමේ ජනතා පිපාසය සන්සිඳුවමින් වත්මන් රජයේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කළ එක්තරා ප්‍රකාශයක් ඉතා කෙටි වේලාවක් තුළ විදුලි සැරයක් මෙන් සමස්ත සමාජයේ අස්සක් මුල්ලක් නොහැර පැතිර යනු දක්නා ලදී. ඒ එලෙස එක්වර මුළු රටටම විදුලිය අහිමි වීමට හේතුව ලංකා විදුලි බල මණ්ඩලය සතු පානදුරේ ග්‍රිඩ් උප පොලට වඳුරකු පැනීම බවට ඔහු කළ ප්‍රකාශයයි. 

සමස්ත රටේම විදුලිය එක්වරම හදිසියේ බිඳ වැටීම සුළු පටු කරුණක් නොවේ. එමඟින් ගෘහස්ථ විදුලි පාරිභෝගිකයම්ට, විවිධ කර්මාන්ත කරුවන් සහ නිෂ්පාදකයන් විවිධ අසීරුතාවයනට පත් වීම වෙනම කරුණකි. එහෙත්, රෝහල්වල ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක වල රෝගීන් හට ඉන් පැන නඟින ජීවිතාවදානම, ඉන්ධන පිරවුම්හල් සහ දුම්රිය සංඥා පද්ධතීන් අක්‍රිය වීම වැනි එදිනෙදා ජන ජීවිතයට සෘජුවම එල්ලවන බාධාවන් සේම විවිධ රසායනාගාර සහ පර්යේෂනාගාර වල ශීතාගාර තුළ සංරක්ෂණය කෙරෙන ජීව විද්‍යාත්මක සාම්පල් විනාශ වීම ආදී පැතිකඩ කිහිපයකට අනුව බලන විට මෙම “පානදුරේ වඳුරා” ගෙන් සිදුවූ සමාජයීය බලපෑම සුළු පටු එකක් නොවන බව ඕනෑම කෙනකුට පහසුවෙන් වැටහෙන්නට ඇත. 

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? - (මහාචාර්ය රොහාන්  සමරජීව)

 

එනිසාම එම සිදුවීමෙන් මේ වන විට ගත වී ඇති කෙටි කාලය තුළ පානදුරේ වඳුරා මුල් කොට ගත් ප්‍රවාද රාශියක් සමාජ ගත වෙමින් තිබේ. සාමාන්‍ය සමාජයේ අයකුට විහිළු, සරදම් හෝ උපහාසාත්මක ප්‍රකාශ වශයෙන් හැඳින්විය හැකි මෙබඳු සංසිද්ධීන් තුළ සමාජ මානව විද්‍යා විෂය පථයන් තුළ ශාස්ත්‍රීය විමසුමට ලක් කළ හැකි කරුණු තිබේ. 

ලොව නාගරික සමාජයන් මුල් කොට බිහි විය හැකි ජන ශ්‍රැතීන් සත්‍ය හෝ එසේ නොවන සංසිද්ධිමය මූලයන් ගෙන් මතු වන අතර මේවා නාගරික පුරාවෘත්ත (Urban legend) ලෙසින් ද හඳුන්වනු ලැබේ. ඒවායින් බොහෝ විට කිනම් හෝ සමාජමය අරුතක් පළ වීම මත එම ජනශ්‍රැති හා පුරාවෘත්ත විශේෂ වැදගත් කමක් පළ කරයි. ඒ අනුව මුල දී අනුශ්‍රැති ( Hearsay ) හෙවත් විශ්වාසය තහවුරු කළ නොහැකි සාක්ෂි සේ සැලකෙන මේවායින් යම් සමාජමය අරුතක් පළ වීමත් සමඟ ඒවා ජනශ්‍රැති හා පුරාවෘත්ත ලෙස සමාජ සම්මත වේ. එවිට එම ජනශ්‍රැති හා පුරාවෘත්ත වලට අදාල මූලික සිදුවීම් හා සම්බන්ධ සත්‍යාසත්‍යභාවය පිළිබඳ සමාජ අවධානය හීන වේ.

මෙම පානදුරේ වඳුරා හා සබැඳි සිදුවීම මුල් කොට එසේ සමාජගත වූ ප්‍රවාද අතුරින් ශාස්ත්‍රීය පක්ෂයට තරමක් නැඹුරු වූ ප්‍රවාදයක් වූයේ පානදුරේ වඳුරා වාල්මිකී ගේ රාමායනයේ ලංකා ඛාණ්ඩයේ එන රාවණා රජුගේ ආධිපත්‍යයෙන් යුතු ලංකා පුරය ආක්‍රමණය කිරීමට පැමිණි හනුමාන් හෙවත් හනුමන්තා ගේ පුනරාගමනයක් විය නොහැකිද? යන්න ය.

 

AKD බල ව්‍යාපෘතියේ ඉන්දුවේදය | ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ

වත්මන් ජාතික ජන බලවේගයේ මව් පක්ෂය සේ හැඳින්විය හැකි ජනතා විමුක්ති පෙරමුණ තුළ එහි ආරම්භක සමයේ සිට පැවැති මූලික න්‍යායන් අතරේ වූ ඉන්දියානු ව්‍යාප්ත වාදය යන සංකල්පය වත්මන් ජාතික ජනබලවේග රජය යටතේ මුලුමනින් අහෝසි වී ගොසිනි. එවන් තත්ත්වයක් යටතේ වුව අදත් ලංකා පුරයට ප්‍රබල බලපෑමක් කළ හැකි බවට රාම ගේ පක්ෂය තුළ පවතින දැඩි විශ්වාසය පදනම්ව ඔහුගේ වානර සෙන්පති හනුමන්තා ගේ නියෝජිතයකු මෙලෙස පානදුර ග්‍රිඩ් උප පොළට කඩා පැන මුළු රටේම විදුලි පද්ධතිය එක් ක්ෂණයකින් බිඳ දැමූ බව ඉන් මුල්ම ප්‍රවාදයයි.

විදුලි බිඳ වැටීම ගැන එකිනෙකාට චෝදනා කරන අස්සේ කළුතර වඳුරා විදෙස්හි පුවත්  මවයි

 

ඒ අතරේ එම පානදුරේ වඳුරා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා පැතිර ගත් දෙවන ප්‍රවාදය වූයේ වගා හානි වීම මුල් කොට වත්මන් රජයේ ප්‍රබලතමයන් කිහිප දෙනකු රිලවුන් හා වඳුරන් වඳ කළ යුතු බවට කළ ප්‍රකාශ වලට දක්වන ප්‍රතිරෝධයක් වශයෙන් ඔවුන් ගේ නායක වඳුරකු වත්මන් සමාජය වෙත කරන අනතුරු හැඟවීමක් වශයෙන් මෙසේ ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උප පොළේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැනක් මතට පැන තම වර්ගයා වෙනුවෙන් ජීවිතය පූජා කළ බව ය.

image 3eeb99ba44ආචාර්ය එන්.එම් පෙරේරා ඉහත සඳහන් දෙවන ප්‍රවාදයත් සමඟ නිරායාසයෙන් අපගේ මතකයට නැඟෙන එක්තරා සංසිද්ධියක් තිබේ. එනම් 1950 අගෝස්තු 09 වනදා සිදුවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ ගේ ඇත් ගාලේ සිටි තම කණ්ඩායමේ නිදහස වෙනුවෙන් අභීතව සටන් කළ හස්තියා වෙඩි තබා ඝාතනය කිරීම ය. නමුදු මෙම ප්‍රවෘත්තිය ද සමකාලීන දේශපාලනික සංසිද්ධීන් මත පදනම් ව සමාජය පුරා පැතිර ගිය එකක් බව පෙනෙයි.. ඒ සඳහා ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේගේ දේශපාලනික ප්‍රතිවාදියකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම් පෙරේරා ප්‍රමුඛ වාමාංශික දේශපාලන නායකයන් ගේ ක්‍රියාකලාපයන් බල පෑ බව නොරහසකි. නමුත් සත්‍ය සිදුවීමක් පදනම් කර ගත් එම වන අලි ඝාතනය විවිධ ආරෝපණ වලින් ද යුතු වූවකි. 

එලෙස වෙඩි පහරකට ලක්ව ඇති පනාමුරේ ඇත් රාජා ලෙසින් ප්‍රකට වූ සත්වයා සැබැවින්ම ඇතකු නොව අඩි නවයක් පමණ වන සාමාන්‍ය උසකින් යුත් වසර විසි පහක් පමණ වන වන අලියකි. නමුත් ඇත් ගාලට කොටු වූ තම පිරිවර බේරා ගැනීම සම්බන්ධයෙන් නිරතුරුව සටන් වැදීම මත ඒ සතාට ඇත් රජ නාමයක් සේම බෝධිසත්ව ආරෝපණයක් ද හිමි කෙරෙන ලදී.

panamure2

පනාමුරේ හස්තියා වෙඩි පහරට ලක් ව ඇද වැටෙන ඡායාරූපය

 

ඒ ඝාතනය සම්බන්ධයෙන් සමකාලීනව ඇති වූ ජන කම්පනය මුල් කොට සුගතපාල මලලසේකරයන් විසින් ප්‍රබන්ධය කොට තනු නිර්මාණය කොට ගායනා කරන ලද “පනාමුරේ ඇත් රාජා” ගීතය සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් විසින් ලියන ලද “ඇත් ගාලේ දරු පෙම” පැදි පෙළ අදත් අප ගේ සාහිත්‍ය කලා නිර්මාණ අතර අමරණීය සිහිවටනයන් බවට පත්ව තිබේ. 

මේ අතර මෙම සිදුවීම් දෙකට යම් සාමානත්වයක් ආරෝපණය කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු ලෙසින් කටයුතු කොට මේ වන විට සමාජ ආර්ථික විශ්ලේෂකයකු ලෙසින් සමාජයේ කැපී පෙනෙන සුනිල් කන්නන්ගරයන් විසින් “පානදුරේ වඳුරා” මුල් කොට අපූරු ගීත ප්‍රබන්ධයක් සිය මුහුණු පොතට එක් කොට තිබිණ. “පනාමුරේ ඇත් රාජා” ගී තනුව නම් කර ගනිමින් ඔහු විසින් රචනා කරන ලද පානදුරේ වඳුරා ගේය පද නිර්මාණය මෙලෙසිනි.

පානදුරේ, පානදුරේ, පානදුරේ මහ වඳුරා,
පානදුරේ මහ වඳුරා/
චකු බුකු නද පා වඳුරු රජා ඒ//
පැන්නෙ විදුලි කම්බියටා
පානදුරේ මහ වඳුරා//
සොහොයුරු කැල සරණා ගමන් මග
අතරදි දිවි දුන් ආලේනී //
සිය රැළ උදෙසා ජීවය පුදලා
සිහිවේ සිහිවේ සැමදා ඔබගේ
පිම්ම විදුලි කම්බියටා//
පානදුරේ පානදුරේ පානදුරේ මහ වඳුරා//
වානර කුලයේ උපනත් ඔබගේ සැමදා සිහිවේ එඩිතර බාවේ
මියයන බව දැන එඩිතර විලසට පැන්නෙ විදුලි කම්බියටා //
පානදුරේ පානදුරේ පානදුරේ මහ වඳුරා //


 

එහෙත්, මෙම සියලු සිදුවීම මුල් කොට ජනතාවගේ සිත් තුළට ඉන් පසුව පිවිසි කුකුසක් ද විය. එනම් එම සිදුවීම වූ සැනින් විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා කළ පානදුරේ ග්‍රිඩ් උප පොළට වඳුරකු ගේ පැනීම සත්‍යයක් ද යන්න ය. නමුදු ඒ මොහොතේ එහි සේවයේ නියුක්තව සිටි ආරක්ෂක භටයකු ගේ ප්‍රකාශයට අනුව නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළ අන්දමට ඒ මොහොතේ එම ග්‍රීඩ් පොළට වඳුරකු ගේ පැනීමක් සිදුව නැත. 


එම සිදුවීම නිමාවත්ම නියෝජ්‍ය ඇමතිවරයා එලෙස එම සිදුවීමට වඳුරකු සම්බන්ධ කළ ද ඔහුගේ එම ප්‍රකාශය මේ වන විටත් සාමාන්‍ය සමාජය හමුවේ පාර්ශවීය මතයක් අභිබවා ගොස් නැත. ඊට හේතුව මුළු රටේම විදුලි පද්ධතිය එක්වර බිඳ වැටීමට ග්‍රිඩ් උප පොළ වලට සතුන් පැනීමට අමතරව තවත් බොහෝ හේතුන් සෘජුවම ඉවහල් වන බවකි.

විදුලි ඉංජිනේරුවරුන් පෙන්වා දෙන අන්දමට එවැනි ග්‍රිඩ් පොළකට සතකු කඩා පැනීමෙන් හෝ අකුණු සැරයක් වැදීම රටේම විදුලි බල පද්ධතිය බිඳ වැටීමට නිශ්චිත හේතුවක් නොවේ. ඒ සඳහා මුල් වන ප්‍රධාන තාක්ෂණික හේතුවක් වනුයේ කුමන හේතුවක් මත හෝ ජාතික විදුලි බල පද්ධතිය අසමතුලිත වීම ය. 

ඉහත සඳහන් සිදුවීමට අදාල පසුකාලීන ඉංජිනේරුමය විශ්ලේෂණයකට අනුව ඉකුත් 09 ඉරු දින රටේ සමස්ත විදුලිබල පරිභෝජනය අවම මට්ටමක පැවතීම හා ඒ වන විට රට පුරා පැවැති අධික හිරු එළිය මුල් කොට ජාතික විදුලි බල පද්ධතියට එක් වන සූර්ය බල විදුලි උත්පාදනය සැලකිය යුතු ඉහළ නැගීම මෙම අසමතුලිත බවට හේතු වී තිබේ. එවන් අවස්ථාවන්හි විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශය වහා ඉදිරිපත්ව එම තත්ත්වයන් සමතුලනය කළ ද පසුගිය 09 දා ඔවුනට එම අවකාශය ද අහිමි වූ බවට තොරතුරු වාර්තා වී තිබේ.

 

476846729 3336533629832602 4341917136153695509 n
ඒ කෙසේ හෝ එම විදුලි බිඳ වැටීමේ ප්‍රතිපලයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි යන්ත්‍ර තුන එක්වරම අකර්මන්‍ය වී ඇත්තේ ඒවා සම්බන්ධ ආරක්ෂණ ක්‍රියාවලියක් අනුවය. එම විදුලි ජනන යන්ත්‍ර මෙය ලියන අවස්ථා වන විටත් යථා තත්වයනට පත් නොවීම මත මේ වන විටත් විදුලි කප්පාදුවකට යාමට රජයට සිදුව තිබේ. නමුදු ඔබ මෙය කියවන අවස්ථාව වන විට එම විදුලි කප්පාදුව ඉවත්ව තිබීමට ද පුළුවන.

නමුදු මෙවන් හදිසි තත්ත්වයන් තුළ රට පුරා විදුලි පද්ධතිය බිඳ වැටීම වලක්වන ආරක්ෂිත බැටරි පද්ධති සවි නොකිරීම පසුගිය රජයේ වරදක් සේ ද වත්මන් ආණ්ඩුව පෙන්වා දී තිබේ. එය අප රටේ දේශපාලන සංස්කෘතිකාංගයකි. ඒ කෙසේ හෝ අද වන විට විදුලි බලාගාර හා ග්‍රිඩ් උප පොළවල් සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 3400 ක් පමණ වන අධි බලැති විදුලි රැහැන් පද්ධතියට හෝ රට පුරා ඇති අනූවක් පමණ වන ග්‍රිඩ් උප පොලවල් සම්බන්ධයෙන් කිසිදු හදිසි ආපදාවක් සිදු නොවෙතැයි සිතීමට අපට නොපුළුවන. 

එමෙන්ම ඉහත සඳහන් තත්ත්වයන් යටතේ එම වඳුරාගේ පැනීම තහවුරු කෙරෙන සත්ව කොටසක අඟුරු කැබැල්ලක් ලෙසින් වත් හමු වී නොමැති වීම මත පානදුරේ වඳුරා සැබෑ ලෝකයේ සතකු ද නැතහොත් විදුලි බල නියෝජ්‍ය ඇමතිවරයාගේ මනැසේ මැවුණු සතකු ද යන්න සම්බන්ධයෙන් නිශ්චයක් දීමට ද අපට නොපුළුවන.

 

panamure

ප්‍රඥාවන්ත වඳුරන් තිදෙනාගේ මූර්තිය

 

නමුදු එම සිදුවීමේ සත්‍යසත්‍යතාව කෙසේ වෙතත් ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා මුල් කොට මගේ මනැසට පිවිසෙනුයේ සෙන් බෞද්ධ සංකල්පයක් මත පදනම් වන ප්‍රඥාවන්ත වඳුරන් තිදෙනාගේ මූර්තියයි. එය 16 වැනි සියවසේ සිට ජපානයේ දක්නට ලැබෙන අතර ඉන් එක් වඳුරකු දෙසවන ද ද දෙවැන්නා දෙනෙත ද ද තුන් වන වඳුරා මුව ද වසාගෙන හිඳින අයුරු නිරූපණය වේ. 

පසුව ඉන්දීය ජනතාව අතරේ මහත්මා ගාන්ධිගේ වඳුරන් තිදෙනා ගේ මූර්තිය ලෙස අතිශය ප්‍රචලිත විය. නපුරක් නොඅසනු, නොදකිනු, නොකියනු යන්න එම තුන් වඳුරු මූර්තියෙන් පළවන අදහස බව පැවසෙයි. 

ඒ කෙසේ වුව එකී හදිසි අනතුර මුල් කොට ගත් වඳුරා ගේ මරණය සත්‍යයක් වුව හෝ කල්පිතයක් වුව මේ වන විට ජන ප්‍රවාද අතරේ යෙහෙන් වැජඹෙන පානදුරේ වඳුරා ගේ නාමයෙන් හෝ වග කිව යුත්තන් ඉහත සඳහන් වඳුරන් තිදෙනා ලොවට දෙන පණිවිඩය සිත් තුළ දරා ඒ අනුව කටයුතු කිරීමට බලධාරීන් පෙළඹීම මතු සමාජමය යහපැවැත්මට ඉවහල් වනු නියතය.

(සටහන | ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර | The Leader