The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි

T

The Leader Desk

February 15, 2025 • 8:07 AM

කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවන් මව් කුසේ සිටිනා විටදී මව ගන්නා ආහාරත් ඇතුළුව දරුවන්ට දෙනු ලබන ආහාර වර්ගත් විශේෂයෙන් දරුවන්ගේ පිළිකා රෝගවලට බලපාන බව වෛද්‍ය මතයයි.
  • එනිසා ස්වභාවික ආහාර රසකාරකයක් නිපදවීම සඳහා අත්හදාබැලීමක් කීරීමට කොළඹින් ඈත එපිට වන්නි හත්පත්තුවේ දිවි ගෙවන තරුණ කාන්තාවක් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තා ය.
  • ඉන්පසු ඇය යූටියුබ් ඔස්සේ ස්වභාවික ආහාර රසකාරක සකස් කිරීම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අධ්‍යයනය කරන්නට වූයේ ප්‍රදේශයේ ඇති සම්පත් උපයෝගී කරගනිමින් අපට ගැළපෙන පරිදි රසකාරකයක් සකස් කරන්නට ය.
  • කමිටු සාමාජිකයන්ට ප්‍රදේශයේ ඇති ස්වභාවික දේවල් උපයෝගී කර ගනිමින් නව නිෂ්පාදන සකස් කිරීම සඳහා නිරන්තරයෙන් දිරි දෙන ගුණවර්ධන මහතාට තිලිණි තම නව නිෂ්පාදනය ඉදිරිපත් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුවන් මව් කුසේ සිටිනා විටදී මව ගන්නා ආහාරත් ඇතුළුව දරුවන්ට දෙනු ලබන ආහාර වර්ගත් විශේෂයෙන් දරුවන්ගේ පිළිකා රෝගවලට බලපාන බව වෛද්‍ය මතයයි.

පිළිකාකාරක ආහාර අතරට ආහාර සඳහා යොදන කෘත්‍රිම රසකාරක වර්ග ද අයත් ය. එනිසා ස්වභාවික ආහාර රසකාරකයක් නිපදවීම සඳහා අත්හදාබැලීමක් කීරීමට කොළඹින් ඈත එපිට වන්නි හත්පත්තුවේ දිවි ගෙවන තරුණ කාන්තාවක් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තා ය. ඇය ගල්ගමුවේ, පළුකන්දෑවේ තිලිණි උදේශිකා ය.

“ගල්ගමුවේ මගේ මිතුරියකුගේ දරුවෙක් පිළිකා රෝගය වැළඳීම නිසා මහරගම පිළිකා රෝහලේ නතර කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියා. මේ දරුවා බලන්න පිළිකා රෝහලට ගිය වෙලාවේ ඒ වාට්ටුවේ වෛද්‍යවරයා තමයි අපිට පැහැදිලි කළේ කුඩා දරුවන්ගේ පිළිකා සඳහා මේ ආහාර රටාව බොහෝසෙයින් බලපානවා කියලා. ස්වභාවික ආහාර රසකාරකයක් නිෂ්පාදනය කිරීම සඳහා අත්හදා බලන්න මට මූලික අදහස ඇතිවුණේ එතනදී” තිලිණී පැවසුවාය.

ඉන්පසු ඇය යූටියුබ් ඔස්සේ ස්වභාවික ආහාර රසකාරක සකස් කිරීම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අධ්‍යයනය කරන්නට වූයේ ප්‍රදේශයේ ඇති සම්පත් උපයෝගී කරගනිමින් අපට ගැළපෙන පරිදි රසකාරකයක් සකස් කරන්නට ය. මේ අනුව ඇය පහසුවෙන් සොයාගත හැකි සහ වෙළෙඳපොළින් අපහසුවකින් තොරව මිලදී ගත හැකි අතීතයේ සිටම අපේ රටේ ජනතාව ආහාර රස කිරීම සඳහා යොදාගත් ද්‍රව්‍ය කිහිපයක් එක්කර ග්‍රෑම් සියයක සාම්පලයක් සකස් කළාය. එයින් සුළු ප්‍රමාණයක් නිවසේ පිසින පරිප්පු ව්‍යංජනයට මිශ්‍ර කළ විට අපූරු සුවඳක් සේම ප්‍රණීත රසයක් ද දැනිණි.

මේ වන විට තිලිණි ගල්ගමුව ග්‍රාමීය ප්‍රවර්ධන කමිටුවේ සාමාජිකාවකි. ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය මෙන්ම ආකල්ප ද ඉහළ නැංවීමේ සද්කාර්යයෙහි ස්වේච්ඡාවෙන්ම කැපවන, ගල්ගමුවේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු වූ කලණ ගුණවර්ධන මහතා විසින් බිහි කරන ලද ගල්ගමුව ග්‍රාමීය ප්‍රවර්ධන කමිටුව මේ වනවිට සාමාජිකයන් 600 දෙනෙකුගෙන් පමණ සමන්විත ප්‍රදේශයේ දැවැන්ත ස්වේච්ඡා සංවිධානයකි. කමිටු සාමාජිකයන්ට ප්‍රදේශයේ ඇති ස්වභාවික දේවල් උපයෝගී කර ගනිමින් නව නිෂ්පාදන සකස් කිරීම සඳහා නිරන්තරයෙන් දිරි දෙන ගුණවර්ධන මහතාට තිලිණි තම නව නිෂ්පාදනය ඉදිරිපත් කළාය. එය ඉතා සාර්ථක බව අවබෝධ කරගත් ගුණවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ වාරියපොල පිහිටුවා තිබෙන වයඹ පළාත් පශු අස්වනු තාක්ෂණික මධ්‍යස්ථානය වෙත තිලිණි ගේ නිෂ්පාදනය ඉදිරිපත් කළේ එය පරීක්ෂා කර සහතික කරවා ගැනීම පිණිස ය.
 
මෙම ආයතනය මගින් තිලිණි ගේ රසකාරක නිෂ්පාදනය කිසිදු රසායන ද්‍රව්‍යයකින් තොර බවට සහතික කර තිබිණි. එසේම එය මාස හයක් කල් තබාගත හැකි බවටත් එම ආයතනය මගින් සහතික කර තිබේ. ඇය මෙය නිෂ්පාදනය කරන්නේ පශු අස්වනු තාක්ෂණික මධ්‍යස්ථානයෙහි අධීක්ෂණය යටතේ ය. ගල්ගමුව ග්‍රාමීය ප්‍රවර්ධන කමිටුව මෙම පශු අස්වනු තාක්ෂණික මධ්‍යස්ථානය සමග සාකච්ඡා කර තිලිණි ඇතුළු එම කමිටුවේ සාමාජික සාමාජිකාවන් පිරිසකට ආහාර විජලනය පිළිබඳව නොමිලේ ලබා දී තිබූ එක්දින පාඨමාලාවෙන් ලැබුණු දැනුම තමාට මෙවැනි නිෂ්පාදනයක් කිරීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වූ බව තිලිණි ගේ අදහසයි. “ඔරික් කරි පවුඩර්” නමින් තිලිණි තම නිෂ්පාදනය වෙළඳපොලට හඳුන්වාදී දැනට ගතවී ඇත්තේ මාස තුනක කාලයක් පමණි.
  


මෙම කරි පවුඩර් සකස් කිරීම සඳහා ගල්ගමුවෙන් සොයාගත හැකි ස්වභාවික අමුද්‍රව්‍ය හැරුණු විට සුදු ලුණු වැනි දේවල් ඇය වෙළඳ පොළෙන් මිලදී ගනී. ඒවා හොඳින් සෝදා පිරිසිදු කර වෙන වෙනම කපා ඇය ඒවා විජලනය කරගන්නේ තම කමිටුවේම සිටින මිතුරු සාමාජිකාවක සතු විජලන යන්ත්‍රයෙනි. මෙසේ විජලනය කරගත් පසු ඒ සියල්ල සුළං නොවදින සේ එක් එක් බෝතල්වල අසුරා තබාගන්නා අතර, ලැබෙන ඇණවුම්වලට අනුව නියමිත ප්‍රමාණය ගෙන කොටා පැකට් කර ගැනීම සිදුකරයි.

මේවා සියල්ල පිටි බවට පත්වන තුරු කුඩු කරගන්නේ ග්‍රයින්ඩරයක් ආධාරයෙන් ඇය සිය නිවසේදීම ය. කුඩු කරන යන්ත්‍රයක් මිලදී ගැනීමට තවම තිලිණි ට වත්කමක් නැත. මෝලකින් එය කරගන්නට ඇය කැමැත්තක් නොදක්වන්නේ එම යන්ත්‍රවලට සම්බන්ධ කර තිබෙන බෑගයෙහි පිරිසිදුකම ගැන ඇයට සෑහීමකට පත්විය නොහැකි නිසා සහ ඒවායේ රැඳී තිබෙන වෙනත් කුඩු වර්ග ඇගේ නිෂ්පාදනයට මිශ්‍ර විය හැකි නිසාත් ය.

” මම මගේ නිෂ්පාදනයෙහි පිරිසිදුකම ගැන 100% ක් වග කියනව. මම මේ කාර්යය කරන්නෙත් මගේ ගෙදර ඒ වෙනුවෙන්ම වෙනම සකස් කරගත්තු කොටසක”
තිලිණි පවසන අන්දමට ඇය සතියකට දළ වශයෙන් කිලෝග්‍රෑම් පහක පමණ ප්‍රමාණයක කරි පවුඩර් සකස් කරයි. ඇය තවම සකස් කරන්නේ ග්‍රෑම් 100 පැකට් පමණි. එය මිල කර තිබෙන්නේ රුපියල් 220 කට ය.
තිලිණිගේ කරි පවුඩර් ඇයට අලෙවි කිරීම සඳහා විශාල සහායක් ගල්ගමුව ග්‍රාමීය ප්‍රවර්ධනය කමිටුව හරහා හඳුනා ගන්නට ලැබුණු දිරිය වනිතා සංවර්ධන සමූපකාර සමිතිය මගින් ලැබේ. එහි සභාපතිනිය දිස්නා බුලත්සිංහල මහත්මිය ගම්වලටම පැමිණ නිෂ්පාදකයන්ගෙන් එම නිෂ්පාදන මිලදීගෙන කෝප් සිටි වැනි සමූපකාර වෙළඳසැල් වලට බෙදාහැරීම සිදු කරන්නීය. නිෂ්පාදන මිලදී ගත්පසු එවෙලේම මුදල් ලබා දෙන නිසා එය විශාල පහසුවක් බව තිලිණි පවසයි. මේ හැරුණු විට අන්තර්ජාලය හරහා ද ඇය තරමක් දුරට තම නිෂ්පාදන අලෙවි කරයි. නිවස ආසන්නයේ වෙළඳ සැල් කිහිපයක ද ඇය තම නිෂ්පාදනය අලෙවිය පිණිස තබා ඇත. නමුත් ඇයට එය වැඩිදුරටත් ව්‍යාප්ත කරගැනීමට නොහැකි වී ඇත්තේ ප්‍රවාහනයෙහි ඇති අපහසුව නිසා ය. ඇගේ නිවසේ සිට බස් ගමන් කරන ප්‍රධාන පාරට කිලෝමීටර් තුනක් පයින් යා යුතුවේ. එතැන් සිට ගල්ගමුව නගරයට බසයෙන් යාමට තිබෙන දුර කිලෝමීටර් දෙකකි. මේ දුර ගමන් කිරීමට ඇයට පාපැදියක්වත් නැත.
 
 
Hand Sealer 8දිරිය වනිතා සමූපකාර බැංකුවෙන් පළමු අදියරේ ණය ලබාගෙන තිලිණි බ්ලෙන්ඩරයක් සහ සීලර් උපකරණයක් මිලදී ගත්තාය

දිරිය වනිතා සමූපකාර බැංකුවෙන් පළමු අදියරේ ණය ලබාගෙන තිලිණි බ්ලෙන්ඩරයක් සහ සීලර් උපකරණයක් මිලදී ගත්තාය. තවම ව්‍යාපාරය ආරම්භ කර ගත වී ඇත්තේ මාස තුනක් වැනි කෙටි කාලයක් බැවින් ඇය මෙයින් උපයන මුදල වැය කරන්නේද ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ය. ඇය දෙදරු මවකි. සැමියා හැර ගොස් ඇති බැවින් තිලිණි දරුවන්ද සමඟ ජීවත් වන්නේ සිය දෙමාපියන් සහ නංගී, මල්ලී සමඟ දෙමාපියන්ගේ මහගෙදර ය. දරුවන් දෙදෙනා රැක ගත යුතු නිසා ඇය උදය වරුවේ ගල්ගමුවේ සාප්පුවක රැකියාවක් කරයි. සවස් වරුවේ දරුවන්ගේ වැඩත් අනෙකුත් වැඩත් කරන ඇය තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා රාත්‍රිය වෙන්කරගෙන ඇත. ඊට ප්‍රධාන හේතුව තමන් ව්‍යාපාරය කරන ස්ථානයට දරු දෙදෙනා පැමිණියහොත් ඔවුන් කුඩා බැවින් තමන්ගේ අමුද්‍රව්‍ය ආදිය අතපත ගෑමට තිබෙන ඉඩකඩ වළක්වාලන්නට ය.

flavor2“මේක ව්‍යාපාරයක් විතරක් නෙවෙයි. මම සලකන්නේ පුන්‍ය කටයුත්තක් විදිහට. ඒක වඩාත්ම මට දැනුණේ මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවට ගිය දවසේ. මට ඉන්නෙත් කුඩා දරුවෝ දෙන්නෙක්. එදා ඒ වාට්ටුවේ හිටපු ඩොක්ටර් කියපු විදිහට මේ කාලෙ කඩවල්වලින් වැඩිපුරම කන කොත්තු, විවිධ රයිස් වර්ග, ක්ෂණික නූඩ්ල්ස්, සුප් කැට වැනි මෑත කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වී තිබෙන ආහාර වර්ග සහ රසකාරකවල පිළිකාකාරක බහුලව අඩංගුයි. මේක දැනගත්තු දවසේ තමයි කෘත්‍රිම රසකාරක වෙනුවට ආදේශකයක් ලෙසින් ස්වභාවික ද්‍රව්‍ය පමණක්ම යොදාගෙන කරි පව්ඩර් වර්ගයක් සකස් කරන්නට අත්හදා බලන අදහස ඇති වුණේ. ඒ අරමුණ මම සාර්ථකව ජය ගත්තා. මා නිෂ්පාදනය කළ මේ කරි පව්ඩර් ආහාරවලට රසකාරකයක් විදිහට විතරක් නෙවෙයි උණු වතුර මිශ්‍ර කර සුප් එකක් ලෙසිනුත් පානය කරන්න පුළුවන්.”
instant noodles recipes Thumbමේ කාලෙ කඩවල්වලින් වැඩිපුරම කන කොත්තු, විවිධ රයිස් වර්ග, ක්ෂණික නූඩ්ල්ස්, සුප් කැට වැනි මෑත කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වී තිබෙන ආහාර වර්ග සහ රසකාරකවල පිළිකාකාරක බහුලව අඩංගුයි.
තිලිණි ට තම ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ බලවත් ආශාවක් ඇත. නමුත් බාධාවකට තිබෙන්නේ ඇයට බඩු ප්‍රවාහනය කර ගැනීම සඳහා පාපැදියක් හෝ නොතිබීමයි.
ඔබට හැකිනම් ඇයට පාපැදියක් මිලදී ගැනීම සඳහා උපකාර කරන්න. පා පැදියක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් එය වුවත් යෝග්‍ය ය.

මේ සඳහා ඔබට උපකාරයක් කිරීමට හැකියාව තිබේ නම් ගල්ගමුව ග්‍රාමීය ප්‍රවර්ධන කමිටුවේ සභාපති කලණ ගුණවර්ධන මහතා ඇමතිය හැකිය. ඔහුගේ දුරකථන අංකය 077 3352272 යි.

 
(සටහන | ඉන්දු පෙරේරා)

උපුටා ගැනීම : vinivida
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...