The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) | ලයනල් බෝපගේ

T

The Leader Desk

February 16, 2025 • 9:50 AM

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහසින් වසර 77 කට පසු ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිකාව සැලකිය යුතු අන්දමින් පරිනාමණය වී තිබේ.
  • කැරලි දෙකක් කුරිරු ලෙස මර්දනය කරමින්, තිස් අවුරුදු සිවිල් යුද්ධයකට නායකත්වය දෙමින් සහ ආර්ථික ව්‍යසනයන් වැරදි ලෙස කළමනාකරණය කරමින්, රට එසේ එක් අර්බුදයක සිට තවත් අර්බුදයකට ගෙන යමින් 1948 සිට රට පාලනය කල දූෂිත, අත්තනෝමතික සහ අකාර්යක්ෂම පවුල් තුන පසෙකට කර දමා ඇත.
  • පාර්ලිමේන්තුවේ ආසන 225 න් 159 ක් NPP සභාගය සතු වේ.
  • NPP යේ ඡන්ද ප්‍රතිශතය 2019 දී ලබා ගත් 3% සිට 2024 දී 62% දක්වා විස්මය ජනක ලෙස ඉහළ නැංගේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදහසින් වසර 77 කට පසු ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිකාව සැලකිය යුතු අන්දමින් පරිනාමණය වී තිබේ. කැරලි දෙකක් කුරිරු ලෙස මර්දනය කරමින්, තිස් අවුරුදු සිවිල් යුද්ධයකට නායකත්වය දෙමින් සහ ආර්ථික ව්‍යසනයන් වැරදි ලෙස කළමනාකරණය කරමින්, රට එසේ එක් අර්බුදයක සිට තවත් අර්බුදයකට ගෙන යමින් 1948 සිට රට පාලනය කල දූෂිත, අත්තනෝමතික සහ අකාර්යක්ෂම පවුල් තුන පසෙකට කර දමා ඇත. ජනතා විමුක්ති පෙරමුණ (JVP) කේන්ද්‍රය කර ගත් ජාතික ජන බලවේගයේ (NPP) සභාගය, ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් යුක්තව පසුගිය වසරේ බලයට තේරී පත් විය. පාර්ලිමේන්තුවේ ආසන 225 න් 159 ක් NPP සභාගය සතු වේ. NPP යේ ඡන්ද ප්‍රතිශතය 2019 දී ලබා ගත් 3% සිට 2024 දී 62% දක්වා විස්මය ජනක ලෙස ඉහළ නැංගේය.

 

මෙම ප්‍රතිඵල ‘අරගලය’ ව්‍යාපාරයේ අභිලාෂයන් ද, ඒ අනුව ගිය දැවැන්ත දීප ව්‍යාප්ත ප්‍රබෝධය ද සෘජුවම පිළිබිඹු කෙරේ. මැතිවරණ ප්‍රතිඵලය ජනතාව අතර අසාමාන්‍ය අන්දමේ අපූරු බලාපොරොත්තු ජනිත කරවා ඇත. ඡන්දය දෙන ලද බහුතරයකට තමන්ගේ ජීවන වියදම, රැකියා, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස යනාදි එදිනෙදා අත්‍යවශ්‍ය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේ කෙටි කාලීන අපේක්ෂාවන් පැවතිය හැකිය.

කෙසේ වෙතත්, මෙම අපේක්ෂාවන්ට දායක වී ඇති ජනවාර්ගික ගැටුම සහ වගවීම ඇතුළු නිදන්ගත සමාජ-ආර්ථික අසමානතාවය සහ දේශපාලන ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන දිගු කාලීන උපාය මාර්ගවලට මෙම කෙටි කාලීන අභියෝග සඳහා ලබා දෙන විසඳුම් බාධා නොවන ඒවා විය යුතුය.

 

මර්දනය' සහ පුරවැසි වගකීම - (අජිත් පැරකුම් ජයසිංහ)
රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රාජපක්ෂ සගයන් ත්‍රිවිධ හමුදාව සහ අතුරු හමුදා යොදා ගනිමින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මගින් ‘අරගලය’ ව්‍යාපාරය මර්දනය කළද, අවසානයේ ඔවුහු අසාර්ථක බවට පත් වූහ; අන්ත ලෙස අසාර්ථක බවට පත් වූහ. NPP යේ ජනාධිපතිවරයා සහ NPP ආණ්ඩුව සාර්ථක අන්දමින් තේරී පත් වීමෙන් පසුව පවා, පැරණි දේශපාලන රැකවලුන් තම බලය නැවත අත්පත් කර ගැනීම සඳහා යටිකූට්ටු හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇතැයි යන්න කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය.

පාර්ලිමේන්තුවට අළුතෙන් තේරී පත් ව ඇති මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් පමණ නවකයන් වේ. NPP යේ මෙම සාමාජිකයින් බොහෝ දෙනෙක් පක්ෂය වටා රොක් වී ඇත්තේ පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් පසුව, විශේෂයෙන්ම 2022 ‘අරගලය’ හා සම්බන්ධ දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරය විසින් කරන ලද බලපෑමට පසුව යි. මැතිවරණයට ඉදිරිපත් වීමට තරම් නිර්භීත වූ පාලක ප්‍රභූ පැලැන්තියේ පැරණි රැකවල්ලු බොහෝ දුරට ඡන්දයෙන් පරාජයට පත් කරන ලදි.

කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 13 සිට 22 දක්වා ඉහළ නැඟී ඇත; ඔවුන් සමන්විත කරන ජනගහනයෙන් සියයට 52 ට සාපේක්ෂව ගත් විට එය ඔවුන්ගේ නියෝජනයේ සාමාන්‍ය වර්ධනයක් වේ. නව කාන්තා මන්ත්‍රීවරුන්ගෙන් බොහොමයක් ම NPP යෙන් පත් වීම සමඟින් මෙම ප්‍රගතිය අත් කර ගෙන තිබුනද, පාර්ලිමේන්තුව පුරුෂ ආධිපත්‍යයට නතුව පවතී. මලයියහ ප්‍රජාවෙන් තේරී පත් වූ NPP මන්ත්‍රීවරුන් හය දෙනාගෙන් තිදෙනෙක් ම කාන්තාවන් වේ. බැළු බැල්මට මෙය පාර්ලිමේන්තු නියෝජනයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස පෙනේ. NPP ය උතුරු ප්‍රදේශයේ ආසන දොළහෙන් පහක් ද අත් කර ගත් අතර එයින් වඩාත් අන්තර්ගත කර ගන්නා ශ්‍රී ලංකාවක් පිළිබඳව දෙමළ ජනතාව සතු කැමැත්ත පිළිබිඹු වේ.

NPP විය යුතු JVP ය – (අනුර කේ එදිරිසූරිය)

 

මෙම මැතිවරණ නායයෑම සැලකිය යුතු වෙනසක් සඳහා ඡන්දදායකයන් දුන් පැහැදිලි වරමක් හඟවයි. වෘත්තීය සමිති, රාජ්‍ය සේවකයින් සහ ස්වයං රැකියා ලාභීන් ඇතුළු ජවිපෙ න් පත් වී තිබෙන ඇතැම් දේශපාලනික චරිත මෙන්ම ව්‍යාපාර, විද්වත්, වෛද්‍ය සහ නීතිය වැනි විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් ගෙන් සැදෙන මන්ත්‍රීවරුන්ගේ සංයුතිය බෙහෙවින් විවිධාකාර වේ. මෙම විවිධාකාර වූ කණ්ඩායම, වමට බර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පවතින දේශපාලන අදහස් පරාසයක් නියෝජනය කරයි. ඊට අමතරව, නව ආණ්ඩුව දේශපාලන දක්ෂිණාංශය සහ දේශපාලන වාමාංශය යන දෙපාර්ශ්වය ම එල්ල කරන විවිධ චෝදනාවලට මුහුණ දෙයි.

ඉටු කරගත හැක්කේ මොනවාද? කුමන වේගයකින් ද?

 

The Leader | We Lead the Nation - Results from #1331
NPP ආණ්ඩුව මුහුණ දී සිටින්නේ විවිධ ක්ෂේත්‍ර හරහා බෙදුණු රටක් සහ එහි ජනතාව සමගි කිරීමේ දැවැන්ත අභියෝගයට යි. පවතින ගැටළු වල විෂය පථය සහ සංකීර්ණත්වය සැලකිල්ලට ගත් විට, NPP ය වර්තමානයේ පවතින වඩාත්ම දැවෙන අභියෝග සෘජු ලෙසම ආමන්ත්‍රණය කරන්නට පසුබට වීම පුදුමයට කාරණයක් නොවේ.

සිය මැතිවරණ ව්‍යාපාරයේ දී, NPP ය සන්ධීය ව්‍යුහයක් සඳහා කරන ඉල්ලීමට එරෙහි සිය විරෝධතාවය පවත්වා ගෙන ගියේය. එසේ වුවද, NPP ය පරිපාලන හා දේශපාලන කර්තව්‍යයන් බෙදා හරින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ප්‍රතිඥා දී ඇති අතර එය සාධනීය ඉදිරි පියවරක් බව පෙනේ. කෙසේ වෙතත්, පර්යන්තය වෙත බලතල පවරා දෙන විෂය පථය සම්බන්ධයෙන් ඉහත යෝජනාවේ පැහැදිලි බවක් නැත. දෙමළ ජනතාව සියළු ශ්‍රී ලාංකිකයන්ට බලපාන පොදු ප්‍රශ්න හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රශ්නයකට මුහුණ නොදෙන බවට ඇතැම් නායකයින් විශ්වාස කිරීම හේතු කරන කොට ගෙන මෙම තත්ත්වය සංකීර්ණ තත්වයකට පත් කර ඇත.

උතුරේත් දකුණේත් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට එපාවූ OMP කාර්යාලයට UN ප්‍රශංසා

 

NPP ආණ්ඩුව, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදු වුනු සිවිල් වැසියන් සමූහ ලෙස ඝාතනයට ලක් කිරීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කර දැමීම් ද ඇතුලත්ව මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් කෙරෙන ඕනෑම ජාත්‍යන්තර විමර්ශනයකට දිගටම විරෝධය පල කරමින් සිටියි. දෙමළ සටන්කාමිත්වයට එරෙහිව කර ගෙන ගිය රජයේ හමුදා මෙහෙයුමට ජවිපෙ පූර්ණ ලෙසත්, කොන්දේසි විරහිතවත් සහයෝගය ලබා දුන් හෙයින් මෙම විරෝධතාවය වටහා ගත හැකිය.

මීට අමතරව, ඉන්දුනීසියාවේ සහ චිලියේ නිරීක්ෂණය කරන ලද තත්ත්වයන්ට සමාන අන්දමින්, NPP ආණ්ඩුව හිටපු හමුදා නිලධාරීන් මත දැඩි ලෙස රඳා පවතින බව පෙනේ; එසේ රඳා පැවතීම මෙසේ පවතින මානසිකත්වයට දායක වනවා විය හැකිය. රටේ සැබෑ රජයේ වියදම් වලින් සියයට හතක් පරිභෝජනය කරන පුම්බා ඇති මිලිටරි අයවැය ගැන ආණ්ඩුව මුනිවත රකී. කෙසේ වෙතත්, ආණ්ඩුව ට හදිසි වැඩිදියුණු කිරීම් කරන්නට අවශ්‍යව ඇති ක්ෂේත්‍රවලට හමුදාව වැඩි වැඩියෙන් වැඩදායක ලෙස යොදවා ගැනීම ධනාත්මක වර්ධනයක් ලෙස දැකිය හැකිය.

ප්‍රතිපත්ති සහ උපදේශන මෙහෙවර අතින් ගත් විට, ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව සම්බන්ධ කර ගැනීමට NPP ය පසුබට වන බව පොදුවේ පවතින මතයක් වේ. කෙසේ වෙතත්, විවිධ ශ්‍රී ලාංකීය පසුබිමෙන් යුත් පළපුරුදු, යොවුන් හා විශ්‍රාමික නවෝත්පාදකයෝ, ව්‍යවසායකයෝ, පර්යේෂකයෝ, විද්වත්තු සහ රාජ්‍ය බුද්ධිමත්තු රටට දැඩි ලෙසම අවශ්‍ය කර තිබෙන ජනනාත්මක වෙනස ඇති කිරීම සඳහා තම ප්‍රවීණතාවය යොදවා දායක වන්නට කැමැත්තෙන් සිටිති. ආණ්ඩුව මේ කාරණය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

 

කඳුළු සලන දෙමළ මව්වරුන්ට අධිකරණ ඇමැතිගෙන් සිනා සාගරයක්

දශක තුනක යුද්ධයේ සහ පසුකාලීන කාලපරිච්ඡේදය තුළ මුල් ඇද තිබෙන ජාතික ආරක්ෂාව පිළිබඳ මානසිකත්වය හේතුවෙන් ක්ෂණික රැඩිකල් වෙනස්කම් අපේක්ෂා කිරීම යථාර්ථවාදී  නොවේ. එසේම, 1948 ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් දෙමළ ජන ප්‍රජාවට බලපාන ප්‍රශ්න ආර්ථික සංවර්ධනය තුලින් පමණක් ම විසඳා ලිය නොහැකිය යන්න පිළිබඳ අවබෝධයේ මඳ බවක් දකින්නට ඇත. ශ්‍රී ලංකාවේ බහුතරයට අයත් නොවන ජන ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීම අවසන් කර සමානාත්මතාවය කර දීම කෙරෙහි පමණක්ම යෝජිත විසඳුම අවධානය යොමු කරන බව පෙනේ; එහෙත් කලාපීය ස්වයං පාලනය සඳහා ඔවුන් දශක ගණනාවක් තිස්සේ ගෙන යනු ලබන අරගලය පිළිගැනීමට එය අපොහොසත් වේ.

නීති ගරුක කැරැල්ල (2) - වික්ටර් අයිවන්

 

අපට උකහා ගැනීම සඳහා ගෝලීය ඓතිහාසික හා වැදගත් අත්දැකීම් තිබේ. උදාහරණයක් ලෙස, ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට බලා පොරොත්තු වෙමින් විප්ලවීය මාර්ග තුලින් බලයට පැමිණි රුසියානු, චීන, වියට්නාම, කියුබානු සහ වෙනිසියුලානු පාලන තන්ත්‍ර විසින් වැරදි ලෙස කරන ලද ප්‍රචණ්ඩත්වය සහ මර්දනය දෙස බලන්න. ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත් කර ගන්නා ලද නමුත් සිය ප්‍රගතිශීලී දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමේ දී බොහෝ දුරට අසාර්ථක බවට පත් වුනු බොහෝ ප්‍රගතිශීලී ආණ්ඩු පිළිබඳ උදාහරණ ද අප සතුව පවතී. 

මෙම සාර්ථකත්වයේ ඌණතාවය ට ප්‍රධාන වශයෙන් හේතු කාරක වූයේ එක්සත් ජනපදය සහ තම කැමැත්තෙන් "ස්වදේශීය සක්‍රීය කරුවන්" බවට පත් වන චිලියේ පිනොචෙ, කොංගෝවේ මොබුටු සහ ඉන්දුනීසියාවේ සුහර්තෝ වැනි බාහිර බලවේග විසින් සිදු කරන ලද නින්දිත හා මාරාන්තික කටයුතු ය. ප්‍රගතිශීලී නායකයින් සහ ආධාරකරුවන් නීතියට පරිබාහිර ලෙස ඝාතනය කරන ලදි; ඒ අන්දමට ඔවුන්ගේ රටවල් කොල්ලකාරී ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවේ ගොදුරු බවට පත් වූයේය. මේ දේශපාලන ඛේදවාචක සියල්ල සිදු වූයේ මගේ ජීවිත කාලය තුළ දී යි.

 

Chile Country portal shutterstock 1558975160 144
චිලි දේශයේ පුරවැසියෝ වසර ගණනාවක් බලයේ සිටි දේශපාලන ප්‍රභූ පැලැන්තියේ කෑදරකම සහ නොහැකියාව සම්බන්ධයෙන් කලකිරීමට පත් වූහ. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුහු ප්‍රගතිශීලී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් සහිත ආණ්ඩුවක් තෝර පත් කර ගත්හ. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කර ඒවා වඩාත් අන්තර්ගත කර ගන්නා බවට පත් කරන්නටත්, ආර්ථිකයේ ඇතැම් ප්‍රධාන අංශ ජන සතු කරන්නටත් මෙම න්‍යාය පත්‍රය අරමුණු කලේය. 

මෙම සැලසුම් එක්සත් ජනපදයේ අන්තර් ජාතික සංගත හිමි කර ගෙන ඇති ආර්ථික වරප්‍රසාදවලට ඉඳුරාම පටහැණි ඒවා වූයේය. ඇමරිකානු මූල්‍ය ඵල ප්‍රයෝජන වලත්, CIA සංවිධානයේ රහසිගත මැදිහත් වීමත් සමඟ නොසන්සුන් කාරී ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. මෙය ආණ්ඩුව පෙරලා දමන්නට මඟ පෑදූ අතර, ජුන්ටාවට එරෙහි වූ දහස් ගණනක් දෙනා අතුරුදහන් කර දැමීමට භාජනය කරමින් හමුදාව බලය අල්ලා ගත්තේය. මේ ක්‍රියාවලියේදී යුධ හමුදාව රටට සහ එහි වැසියන්ට අහිතකර බලපෑම් ඇති කරන ලද, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවේ නියෝග අනුගමනය කලේය.

මතු සම්බන්ධයි.

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකි)
මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

lionel.bopage@gmail.com

2025 පෙබරවාරි 15 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...