The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

අපේ රටේ සමහර සංවර්ධන වැඩත් 'කාසි වාසි' මිනී පෙට්ටි බිස්නස් එක වගේ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

February 16, 2025 • 11:01 AM

අපේ රටේ සමහර සංවර්ධන වැඩත් 'කාසි වාසි' මිනී පෙට්ටි බිස්නස් එක වගේ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ආයතනය හෙවත් අමරබන්දු මල් ශාලාවේ හිමිකරු (ගිරිරාජ් කෞශල්‍ය) තම ආයතනයෙන් වැඩි ලාභයක් ලබා ගනු පිණිස එහි පාලනය සිය බිරිඳගේ (ලක්ෂ්මී දමයන්ති ) ඥාති පුත්‍රයකුට (සම්පත් ජයවීර) භාර දෙයි.
  • එම ඥාති පුත්‍රයා පවසනුයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් සහිත තමන් සතුව එම මල් ශාලාව ව්‍යාපාරික ප්‍රවර්ධනයට ලක් කළ හැකි නවීනතම උපාය මාර්ග කිහිපයක් ඇති බව ය.
  • මෙහිදී එම ඥාති පුත්‍රයා අමරබන්දු මල් ශාලාව උදෙසා ද එවැනි වෙළඳ උපාය මාර්ගයක් අනුගමනය කරන අතර ඒ සඳහා මෘත ශරීර නිරූපණය කිරීම පිණිස ඔහු යොදා ගත්තේ එලෙස වෙස් ගන්වන ලද එම ආයතනයේම සේවකයන් දෙදෙනෙකි.
  • එනම් මිනී පෙට්ටි තුළ තැන්පත් කොට ඇති මෘත ශරීර දෙකක් තමන්ට අත වනනු දකින මහ මඟ යන ජනතාව මර බියට පත්ව හිස ලූ ලූ අත දිව යාම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම ආයතනය හෙවත් අමරබන්දු මල් ශාලාවේ හිමිකරු (ගිරිරාජ් කෞශල්‍ය) තම ආයතනයෙන් වැඩි ලාභයක් ලබා ගනු පිණිස එහි පාලනය සිය බිරිඳගේ (ලක්ෂ්මී දමයන්ති ) ඥාති පුත්‍රයකුට (සම්පත් ජයවීර) භාර දෙයි. එම ඥාති පුත්‍රයා පවසනුයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් සහිත තමන් සතුව එම මල් ශාලාව ව්‍යාපාරික ප්‍රවර්ධනයට ලක් කළ හැකි නවීනතම උපාය මාර්ග කිහිපයක් ඇති බව ය. ඒ අනුව ඔහු එම මල්ශාලාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අමුතුම වැඩ පිළිවෙලකට මුල පුරනුයේ ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ නවීනතම වෙළෙඳ මාර්ගයක් වන නිරූපණය (Demonstration) ද ආදේශ කර ගනිමිනි.

 

අවමංගල්‍ය සේවා ආයතනයකින් සිදු වන ප්‍රධාන මෙහෙවර මෘත දේහයක් නිසි පරිදි බෙහෙත් ගල්වා මනාව හැඩ ගන්වා දැකුම්කළු පසුබිමක් තුළ තබන ලද විසිතුරු මිනී දෙනක් තුළ තැන්පත් කොට ඒ සම්බන්ධ අවසන් කටයුතු සිදු කිරීම ය. මෙහිදී එම ඥාති පුත්‍රයා අමරබන්දු මල් ශාලාව උදෙසා ද එවැනි වෙළඳ උපාය මාර්ගයක් අනුගමනය කරන අතර ඒ සඳහා මෘත ශරීර නිරූපණය කිරීම පිණිස ඔහු යොදා ගත්තේ එලෙස වෙස් ගන්වන ලද එම ආයතනයේම සේවකයන් දෙදෙනෙකි. (රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනෙවිරත්න) ඒ අනුව මෘත දේහ ලෙස වෙස් ගැන්වුණු ඔවුන් එම මල් ශාලාව ආලින්දයේ තැබුණු මිනී දෙකක් තුළට වී ඉදිරිපස මාර්ගයේ යනෙන ජනතාවට අත් වනමින් ආමන්ත්‍රණය කරනුයේ තම මල් ශාලාවේ සේවය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට ය. 

kaasi waasi

 

එහෙත්, එහි දී සිදුවනුයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. එනම් මිනී පෙට්ටි තුළ තැන්පත් කොට ඇති මෘත ශරීර දෙකක් තමන්ට අත වනනු දකින මහ මඟ යන ජනතාව මර බියට පත්ව හිස ලූ ලූ අත දිව යාම ය. කාසි වාසි සිනමා කෘතියට අනුව හුදෙක් ප්‍රහසනයක් වන ඉහත සඳහන් සංසිද්ධිය අප රටේ වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාකාරීත්වයනට අනුව කිසියම් යථාර්ථයක් පිළිබිඹු කරන්නක් ද වේ.

එදා මෙදා තුර බලයට පැමිණි සියලුම ආණ්ඩු විසින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් ගෙන් සමහරක් උපන් ගෙයිම මිය යාම සහ තවත් කොටසක් අංග විකල අයුරින් සමාජ ගත වීම අප නිරතුරුව අත් දැක ඇති සංසිද්ධියකි. ඇතැම් විට විදේශ ආධාර මගින් මෙරට ක්‍රියාත්මක කරන මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතියන් වෙතින් ද මෙම තත්වය නොඅඩුවම දක්නට පුළුවන. ඒ සඳහා වන ප්‍රධාන හේතුව ද එම සංවර්ධන උපාය මාර්ග ඉහත සඳහන් මල් ශාලාවේ අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ග මෙන් ශ්‍රී ලාංකේය ජන සමාජය හා නිසි පරිදි බද්ධ නොවීම ය.

සංවර්ධන සංදර්ශන - උදන් ප්‍රනාන්දු

 

කිසියම් සමාජ ඒකකයක් මුල් කොට සිදුකරනු ලබන කවර හෝ සංවර්ධන ක්‍රියාදාමයක් ඊට බද්ධ කළ හැකි වඩාත් සංවිධිත ක්‍රමවේදයක් තිබේ. එනම් එය එම සමාජයීය ජන විඥානය හා බද්ධ වන අයුරින් බිම් මට්ටමින් ( Grassroots level ) ස්ථාපිත කිරීම ය. නමුදු එදා මෙදා තුර අප රට තුළ ක්‍රියාත්මක වූ බොහෝ අසාර්ථක සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් විමසා බලන විට වැටහී යන ප්‍රධාන දෙයක් තිබේ. එනම් ඒවා ක්‍රියාවට නංවන ආණ්ඩු ඒ සඳහා ඉවහල් කර ගත යුතු බිම් මට්ටම නොතකා හැරීම ය.වරක් ඒ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ බිම් මට්ටමේ ගොවි නායකයකු අප හා පවසා සිටියේ අප රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන් "එලොව පොල් මෙලොව සිටුවීමක්" කියා ය.

ලොව සෑම රටකම, සෑම සමාජයකම මෙවන් බිම් මට්ටමේ මානව හා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන් ජාති, ආගම්, කුල ආදී වාර්ගික භේද රැසකින් යුතු වූ ඉන්දීය සමාජය ඒකීය ජාතිකත්ව සංකල්පය වෙත නැඹුරු වීම පිණිස හේතු පාදක වූ කරුණු අතර මෙවන් බිම් මට්ටමේ සංවර්ධන ක්‍රියාවලියන් මූලික වූ බව පෙනේ. ඒ සඳහා මහත්මා ගාන්ධි ප්‍රමුඛ ජන නායකයන් විසින් හඳුන්වා දුන් ග්‍රාම් ස්වරාජ් සංකල්පය ආසන්නතම නිදසුනකි.

 

gandhi satyagraha

බිම් මට්ටමේ ප්‍රජා සංවර්ධනය සඳහා භෞතික දේශගුණික ආදී පොදු සමානත්වයකින් යුතු භෞමික කලාපයක් තුළ සමානුරූපී වෘත්තීය පසුබිමක් සහ ජීවන පසුබිමක් සහිත පුද්ගලයන් ගේ පොදු චින්තන හෙවත් විඥාන ධාරාව ඉවහල් කරගත යුතු වේ. එවිට ඔව්හු තමන් සතු ඒ ආවේණිකතා මුල් කොට විවිධ ලාභ ප්‍රයෝජන සහ වරප්‍රසාද අත් විඳිති. එමෙන්ම පසුව ඒ සම්බන්ධ ශක්‍යතා පදනම් කොට එම තිරසාර සංවර්ධනයක් උදා කෙරෙන අන්දමින් ඒවා ප්‍රවර්ධනය කරවීම ආණ්ඩුවේ බලධාරීන් සතු යුතුකමක් හා වගකීමකි. ඒ සඳහා එම ප්‍රජාව නියෝජනය කරන විවිධ කොටස් වල සහාය ලබා ගත යුතු අතර ඉන් බැහැරව එවන් ප්‍රජාවන් වෙතට යොමු කෙරෙන නොවිධිමත් සංවර්ධන උපාය මාර්ග ඔවුන් විසින් උපහාසයෙන් බැහැර කිරීම මේ වන විට සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ. 

"අගනුවර සීත කළ කාමරවල සිට ගන්නා තීරණ" ලෙස අද අප සමාජයේ බොහෝ දෙනකු උපහාසාත්මකව හඳුන්වනුයේ එලෙස ජන විඥානය හා බද්ධ නොවන නොවිධිමත් සංවර්ධන උපාය මාර්ග බව නොරහසකි. 1962 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා වන ඇමරිකානු සිසුන් විසින් එළි දක්වන ලද පෝට් හියුරෝන් ප්‍රකාශය ( Port huron statement) මගින් සිවිල් සමාජමය අයිතිවාසිකම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා ඇමරිකානු සමාජය තුළ බිම් මට්ටම පාදක කර ගැනීමේ වැදගත්කම මනාව අවධාරණය කොට තිබේ. බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය ( Grassroots democracy) ලෙසින් ද සැලකිය හැකි මෙය හුදු දේශපාලනික නොවූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකි. දේශපාලනය යනු ඉන් එක් කොටසක් පමණි.

රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් වෙමු -  (රංජිත් හේනායකආරච්චි)
මේ අතර අප රටේ පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ද බිම් මට්ටමක් පිළිබඳ නිතර සාකච්ඡා කෙරේ. එහෙත්,දේශපාලනික බල ව්‍යුහයක් ස්ථාපිත කර ගැනීම අරමුණු කර ගත් එකක් බැවින් අප එය මීට ගාවා ගත යුතු නැත.

මේ අතර සමාජවාදී දේශපාලන පක්ෂ ව්‍යුහයේ ඇති කේඩරය (Cadre ) නම් වන ප්‍රජා ඒකකය පිළිබඳව ද මෙහි දී සලකා බැලිය යුතුව තිබේ. හුදෙක් දේශපාලනික මුහුණුවරකින් යුතු කේඩරය නම් වන ප්‍රජා ඒකකය නායකත්ව කුශලතා සහිත පුද්ගලයන් ගෙන් සැදුම් ලත් සංවිධාන ව්‍යුහයකි. පක්ෂ හා රාජ්‍යය අතර ඒකාබද්ධතාව ගොඩ නැංවීම පිණිස සැකසුණු ආණ්ඩුව හා පුරවැසියන් සම්බන්ධ කෙරෙන අන්තර් ක්‍රියාකාරී ව්‍යුහයක් වන කේඩරය හුදු බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නොවනුයේ එය හුදෙක් ලිබරල්වාදී සමාජ ඒකකයකට වඩා පක්ෂයේ නියාමනයන් හා අධීක්ෂණයන් යටතේ පවතින්නක් බැවිනි. ඒ අනුව ඒවා තුළ ස්වාධීන ප්‍රජා ව්‍යුහයක් නොමැති බව පෙනේ. 

 

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)

අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ මේ වන විටත් පවතින දේශපාලන ශාඛා සමිති ආදියට මෙම කේඩර ව්‍යුහයක් ආදේශ කිරීම පිණිස 1970 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුවේ ජනතා කමිටු නම් ක්‍රියාකාරී සංවිධාන වශයෙන් එළිදැක්වූ බව අපට මතක ය. එහෙත් පසු කාලීන ඊට එරෙහිව නැගී තිබූ ජන හඬ මගින් එහි ක්‍රියාකාරී බලය අවප්‍රමාණ වී අවසානයේ නිශේධ විය. ඒ අනුව සැබෑ මානව සංවර්ධනයට ඉවහල්වන බිම් මට්ටමේ ප්‍රජා බලය වෙනුවට ඒ වෙනුවට දේශපාලනික ව්‍යුහයන් ආරෝපණය කිරීම අප දකිනුයේ ජනතාව විසින් ඉඳුරාම බැහැර කරන කාසි වාසි චිත්‍රපටයේ මිනී පෙට්ටි බිස්නස් එක වැනි හුදු විකට ක්‍රියාවක් ලෙසිනි.


(සටහන | ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි ලිපියක් :
අමරබන්දු මිනී පෙට්ටි සාප්පුවෙන් හමු වූ හිස නැති කඳ


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...