පළමුවෙන් ප්‍රවෘත්ති අංශයට කඩා වැදුණු මැර පිරිස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතාට පහර දී ඔහු සභාපතිවරයාගේ කාමරයට ඇදගෙන ගිය බව සංස්ථා ප්‍රකාශකයකු සඳහන් කළා. අනතුරුව මේ මැර පිරිසගේ ග්‍රහණයෙන් මිදුණු චන්ද්‍රසේකර මහතා සභාපතිවරයාගේ කාමරයෙන් පිටතට දිව ගොස්තිබෙනවා. ”
ලංකාවේ රූපවාහිනී නාලිකා සියල්ල පාහේ 2007 දෙසැම්බර් 27 වැනිදා මධ්‍යහ්නයේ හදිසි පුවතක් ලෙසින් වාර්තා කළේ මේ පුවතයි. යාන්තමින් දෙවසරක් සපිරූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ මර්වින් සිල්වා ප්‍රමුඛ මැර පිරිසක් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩාවැදීම හා ඉන් පසු එහි හටගත් උණුසුම්කාරී පරිසරය පෞද්ගලික රූපවාහිනී නාළිකා සියල්ල පාහේ සජීවීව විකාශය කළේ ළඟ ළඟ එන මහා මාධ්‍ය මර්දනයක් ගැන ඉව වැටී තිබූ අයුරකිනි.
සිද්ධියේ මුල මහානාම සමරවීර පාලම

රාජපක්ෂ පළමු පාලන සමයේ සිදු වූ මාධ්‍ය මර්දන අතර ප්‍රධාන සිදුවීමක් වන්නේ 2007 දෙසැම්බර් 27වන දින රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු එවක නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා ප්‍රමුඛ මැර කණ්ඩායමක් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාව සිටි ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතාට පහර දීම ය. රාජපක්ෂ පාලන කාලයේ පළමු ධුර කාලයේ දී විශාල වශයෙන් කතාබහට ලක් වුව ද මෙම සිදුවීම එහි දෙවැනි පාලන කාලය ආරම්භ වනවිට ඒ තරම් සාකච්ඡාවට ලක්වුණේ නැත. පහරදීම්වලින් බිය ගැන්වුණු ජනමාධ්‍ය සමාජය පැහැරගැනීම් හා මරාදැමීම් සිදුවන බිහිසුණු තැනකට රාජපක්ෂ දෙවැනි පාලන කාලයේ දී තල්ලු වීම ඊට ප්‍රධාන හේතු දෙකකි.
ඒ අතරේම ඊට බලපෑ තවත් හේතුවක් වූයේ තෙන්නකෝන් මුදියන්සේලාගේ ගුණවර්ධන චන්ද්‍රසේකර හෙවත් ටී.එම්.ජී චන්ද්‍රසේකර නමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා තමාට වූ අසාධාරණයට අධිකරණය මගින් ම යුක්තිය අපේක්ෂාවෙන් සිටීම ය. එහෙත් වීඩියෝ දර්ශන මෙන්ම ඇසින් දුටු සාක්ෂි ද ඇතුළුව අවශ්‍ය තරම් සාක්ෂි තිබියදී මේ අපරාධයේ විමර්ශන ඉබි ගමනකට වැටී නීතිපති දෙපාර්තමේන්තුව ද නිශ්ශබ්ද විලියම්ගේ භූමිකාවට අඳින්නේ උත්ප්‍රාසජනක ලෙසිනි.
ඒ ගැන මහා සමාජයේ යළි සාකච්ඡාවක් හටගත්තේ වසර 16ක් තරම් දිගු ඉතිහාසයකට පසුව 2023 නොවැම්බර් 7වන දා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සිදුවීමේ අපරාධ විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයක් නිසා ය. සිදුවීම වී වසර 17ක් ගතවී ඇති නිසාත් ලසන්ත වික්‍රමතුංග සහ පෝද්දල ජයන්ත යනාදි සිදුවීම් ගැන මෙන් වැඩිපුර මාධ්‍යයෙන් කතාබහට ලක්ව නැති නිසාත් මේ සිදුවීම ගැන මෙහි යළි සඳහන් කිරීම වටී.

මේ සිදුවීම වූ 2007 වසර වන විට මහින්ද රාජපක්ෂ පාලනයේ බල තුලනය පැවැතියේ අභියෝගයට ලක් වෙමිනි. ඊට එක් හේතුවක් වූයේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ මංගල සමරවීර මහතා විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව දේශපාලන ප්‍රහාරකයෙක් වී ක්‍රියා කිරී මය. මේ නිසා මංගල සමරවීර මහතා ඉලක්ක කරගත් ආණ්ඩුවේ දේශපාලන ප්‍රහාර ද නිමක් නොවීය. කලක් බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතාගේ පියා වන මහානාම සමරවීර මහතා නමින් මාතර දී පාලමක් විවෘත කිරීමේ උත්සවය ද එවැනි ප්‍රහාරක ස්ථානයක් විය. මෙම උත්සවය පැවැතියේ චන්ද්‍රසේකර මහතාට ප්‍රහාරය එල්ල කළ දිනට පෙර දිනය. එනම් 2007 දෙසැම්බර් 26වන දා ය.
ලංකාදීප සාක්ෂිය
මේ සිදුවීම 2016 මැයි මාසයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ මුහුණට මුහුණ දේශපාලන සාකච්ඡාවේ දී මර්වින් සිල්වා මහතා ම විස්තර කර තිබුණේ මෙලෙසිනි.
මාධ්‍යවේදියා :
කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච වැඩේ වගේ දේශපාලන නායකයන්ගේ කොන්ත්‍රාත් කරපු මර්වින් සිල්වා ජාතික රූපවාහිනියේ දී නම් අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා නේද?
පිලිතුර:
ඕක පරණ සිද්ධියක් නේ. ඇත්තටම ඒක මට හොඳ පාඩමක්. ඕකත් මහින්ද රාජපක්ෂ දීපු කොන්ත්‍රාත් එකක්නේ. මම නායකයා එක්ක ඉන්නකොට නායකයා කියන ඕනෑ වැඩක් කරනවා. මාතර මහානාම පාලම විවෘත කරන්න ගිහින් එනකොට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කිව්වේ ජාතික රූපවාහිනියට මංගල සමරවීර දාපු අය වැඩ කරන්නේ නෑ ඒක පොඩ්ඩක් බලන්න කියලා. ඒ පාලම විවෘත කරන්න යනකොටත් එතුමා මට කොන්ත්‍රාත් එකක් බාර දුන්නා. මගේ කතාවෙදි මංගල සමරවීරට පලු යන්න බනින්න කියලා මට කිව්වේ. මම ඉතිං ඒක කිව්වටත් වඩා හොඳින් කළා. අද මම ඒ ගැන කණගාටු වෙනවා. ඒ කතාවට මංගලගේ අම්මගේ හිත රිදෙන්න ඇති. මොකද මම සමරවීර පරම්පරාවට පතුරු යන්න දුන්නා. ඒ ගැන මංගලට කියන්න වෙන්නේ මම ඔබට ද්‍රෝහී වූවා නොව මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ඉටු කළා පමණි කියලා. ඒ ගිහින් එනකොට තමයි රූපවාහිනියේ කතාව කිව්වේ. මම රණ්ඩුවකට නොවෙයි රූපවාහිනියට ගියේ. මම රූපවාහිනියට යවලා මහින්ද රාජපක්ෂ මැතිතුමා රූපවාහිනියට කතා කරලා “ඔන්න මර්වින් එනවා ගහන්න” කියලා එයාලට ඕඩර් එක දුන්නා. ඒක තමයි රාජපක්ෂ ස්ටයිල් එක. මම අනවශ්‍ය පරිප්පුවක් කෑවේ. මම එහෙමයි රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් ඉටු කළේ. ඒත් අන්තිමට මටත් දුන්නා ෂොට් එක.
ඉහත දැක්වූයේ මර්වින් සිල්වා මාධ්‍යට සිදුවීමෙන් පසු කාලයේ කළ පාපොච්චාරණයකි. එනිසා ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා මේ ගැන කරන ප්‍රකාශය ද අවධාරණය කළ යුතුය.
“මහානාම සමරවීර පාලම විවෘත කිරීමේ උත්සවය තිබුණේ 2007 දෙසැම්බර් 26වන දා. උත්සවේදි ජනාධිපතිවරයා කළ කතාව රෑ දහයේ ප්‍රවෘත්තිවලට විකාශය කළා. මර්වින් සිල්වාගේ කතාව දැම්මේ නෑ. ඒක තනිකරම සමරවීර පවුල ඉලක්ක කරගත් පෞද්ගලික මඩ ප්‍රහාරයක්. පහුවැනිදා උදේ නවයට නවයයි තිහට විතර ඔහු පිරිසක් සමග රූපවාහිනියට ආවා. ඔහු ආවේ රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හොයාගෙන. ඔහු එද්දී මම හිටියේ දුරකථන ඇමතුමක. කෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියාගෙන ආපු මර්වින්ට ‘ඔව් ඇමැතිතුමා. මොකක්ද කෙරෙන්න ඕනේ’ කියලා මම ඇහුවා. ‘ආ උඹද අධ්‍යක්ෂ... උඹ තමයි මට හම්බෙන්න ඕනේ. මූව අල්ලලා එළියට දාපන්. මම අද මේක කුඩු කරලා වහල යතුර අරන් යනවා’ කිව්වා. එතකොට කුඩු නුවන් නමැත්තා ඇවිත් මගේ කමීසයෙන් ඇදල ගත්තා. එඩිටෝරියල් එක ඉන්න තැන මේක සිදුවුණේ. දවසේ ඩියුටි එඩිටර්ගෙ මේසෙ ආපු කෝල් එකකට මම උත්තර දෙද්දි තමයි ඔහු ආවේ. මම කිව්වා සභාපතිවරයා ළඟට යමු කියලා. නෑ නෑ මට සභාපති හම්බෙන්න ඕනෑ නෑ කිව්ව මර්වින් සිල්වා අපට ඕන මහින්ද චින්තනේ. මුන් එක්ක ඒක ක්‍රියාත්මක කරන්න බෑ කියලත් කිව්වා. ඊටපස්සෙ මම ඒ අය අතරෙන්ම එළියට ආවා. කොරිඩෝව දිගේ ගිහින් සභාපතිගෙ කාමරේට දුවද්දි මේ පිරිසත් මගේ පස්සෙන්ම ආවා. මම ගිහින් සභාපති ආරියරත්න ඇතුගලට සිද්ධිය කිව්වා. එතකොට මර්වින් සිල්වාත් ‘ඔයා මහාචාර්ය මම ආචාර්ය’ කියාගෙන ඒ කාමරේටත් ආවා. සභාපතිවරයා මර්වින් සිල්වා ඇමැතිවරයාට වාඩිවෙන්න කියද්දී මම කාමරෙන් එළියට ගියා. ඒ එද්දි තමයි කුඩු නුවන් මගෙ කමිසෙන් අල්ලලා ගැහුවේ. එතකොට අපේ සහෝදර සේවක පිරිස රැස්වෙද්දී නුවනුත් සභාපතිවරයාගේ කාමරේට ගියා. පස්සේ සේවක පිරිස නුවන්ව අල්ලගෙන මගෙන් වැඳලා සමාව ගන්න කිව්වාට ඔහු සමාවගත්තේ නෑ. මම ඒ අතරෙ කුරුඳවත්ත පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. පොලිසියේ තිබුණු රූපවාහිනියෙන් තමයි මම සිද්ධියේ ඉතුරු ටික දැක්කේ. මේ සිදුවීම අනෙක් සහෝදර නාළිකාවලිනුත් සජීවීව විකාශය කළා. මුළු රටක් ලෝකයක් සජීවීව දැක්ක සිදුවීමක් තමයි මේ තවම ඇදෙන්නේ.”චන්ද්‍රසේකර මහතා නොදුටු දසුන්වල සඳහන් වූයේ නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා ඇතුළු මැර පිරිස සහෝදර මාධ්‍ය වෘත්තිකයන්ගේ ග්‍රහණයට ලක්වීම සහ ප්‍රසිද්ධියේ සමාව ගැනීමට බල කිරී මය. නියෝජ්‍ය ඇමැතිවරයා ඊට පසුබාද්දී තත්ත්වය වඩා උණුසුම් වූ අතර ප්‍රතිඵලය වූයේ ඔහු හා සහචරයන් නිවාස අඩස්සියට පත්වීම ය. අවසානයේ දී ඔවුන් එතැනින් මුදාගැනීමට මැති ඇමැතිවරුන්ට පවා පැමිණීමට සිදුවිය. ඒ පොලිසියේ ලොක්කන්ගේ හා හමුදාවේ ද සහාය ලබාගෙන ය.

එතැනින් ගැලවුණු නියෝජ්‍ය ඇමැති හා සහචරයන් ඉන්පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබිණි. චන්ද්‍රසේකර මහතා ද ප්‍රතිකාර ලැබුවේ එහි දී ම ය. අධිකරණයට කරුණු වාර්තා කර තිබූ ආකාරයට නුවන් ගුණතිලක නමැත්තා මහ රෝහලේ වාට්ටු අංක 17 සිටිද්දී පොලිසිය ඔහුගෙන් කට උත්තර ලබාගෙන තිබිණි.
“මම කිසි දේකට සිටියේ නැහැ. ඇමතිතුමා හම්බවෙන්න ගියා. යනකොට ඇමතිතුමා ඇතුළට ගියා. පිටිපස්සෙ හිටි අය මට ගහන්න ආවා. මට කීමට ඇත්තේ එපමණයි.”

අපරාධ විමර්ශනයේ අරුම පුදුම චෝදනා පත්‍රය
පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති කරුණු විමසා බැලීමෙන් පමණක් සිදුවීමට අදාළ අපරාධ විමර්ශනයේ අඳ ගොළු බිහිරි බව තේරුම්ගත හැකිය. නඩු අංක බී9413/2007 සඳහන් පරිදි රූපවාහිනී සංස්ථාවට ඇමැති මර්වින් සිල්වා කඩාවැදීමේ සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කළ යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙන්නේ සිදුවීම වූ දිනයේ ම ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක 2023 දෙසැම්බරයේ කොළඹ අංක 08 දරණ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ වැඩිදුර කරුණු වාර්තා කිරීමේ මේ බව දැක්වේ. එහි සඳහන් ආකාරයට සිදුවීමේ පළමු සැකකරු ලෙස නම් කර ඇති මස්තියගේ දොන් නුවන් උදය ගුණතිලක හෙවත් කුඩු නුවන් නමැත්තා ඒ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇත.

සැකකරු සම්බන්ධ විමර්ශන අවසන් කර 2012.06.19 විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමුකර උපදෙස් පතා ඇති අතර උපදෙස් ලද පසුව නඩුව කැඳවීමට නියෝග කර 2020.02.18 වැනි දින නඩුව බහා තබා ඇත. මේ අතර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා වෙත යොමු කරන ලද උපදෙස් ලිපියකින් උපදෙස් දී ඇත්තේ දෙවැනි සැකකරු වන කොප්පරා හේවගේ මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. ඒ 2020.08.09 වැනිදා ය. ඒ අනුව මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබී තිබෙන්නේ සිදුවීමෙන් වසර දොළහමාරකට පසු ය. හරියට බැලුවොත් ජනාධිපතිවරු දෙදෙනකුගේ ධූර කාලවලින් පසු ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කණ්ඩායමක් ගොස් මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නේ ඊට දින නවයකට පසු 2020 අගෝස්තු 18 වැනිදාය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 140, 486 හා 314 ඔහුට එරෙහිව එල්ල වන චෝදනා ය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 140 මගින් කියන්නේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයකු වීම ගැන ය. 486න් කියන්නේ සාපරාධී බියගැන්වීම ය. තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් 314 න් කියයි. මෙම අපරාධ විමර්ශන ක්‍රියාවලිය ප්‍රශ්න කෙරෙන තවත් තැනක් නම් මෙතැන යි.

දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තියෙන් පවසන්නේ රජයේ සේවකයකුට හෝ ඔහුගේ නීත්‍යනුකූල නියම අනුව ක්‍රියා කරන වෙනත් තැනැත්තෙකුට බාධා කිරීම වරදක් බවය. ව්‍යවස්ථාදායකය හෙවත් නීති සම්පාදනය කරන තැන මහජන නියෝජිතයකු විසින්ම එවැනි සිදුවීමකට මුල පුරනු ලබද්දී තත්ත්වය තවත් බරපතළ ය. රජයේ සේවකයකුගේ නිල කටයුතු ඉටුකිරීම හා සම්බන්ධ වූ යම් ක්‍රියාවක් කිරීමට හෝ නොකර සිටීමට හෝ එකී ක්‍රියාව කිරීම ප්‍රමාද කිරීමට තර්ජනය කිරීම ගැන දණ්ඩ නීති සංග්‍රහයේ 186 වගන්තියෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරයි. මර්වින් සිල්වා නමැති හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා රජයේ රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ බෙල්ලෙන් අල්ලා ඇද දැමීමට උපදෙස් දී ඇත්තේ ප්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් ඔහු ගත් තීන්දුව ප්‍රශ්න කරමිනි. එමතු නොවේ. ආයතනය කුඩු කරන බවටත් දොරගුළු දමන බවටත් කර ඇති ප්‍රකාශයේ ඇත්තේ රාජ්‍ය දේපළට හානි කිරීමේ චේතනාවක් බවට චෝදනා කළ හැකි ය. එහෙත් මේ කිසිවක් සිදුවීමේ අපරාධ විමර්ශකයන්ට විෂය නොවීම පුදුමසහගත ය. තව ද පොදු දේපළ පනත යටතේ කරුණු වාර්තා කිරීමක් වුවහොත් සැකකරුවන්ට ඇප ලබාගැනීම පහසු නොවේ. ඇතැම්විට පොලිසියට ඇමැති මර්වින් සිල්වා සම්බන්ධයෙන් විෂය වූයේ එයදැයි අපට සිතේ.
“ මේක තනිකරලා හුදෙකලා කරල ගහපු එකක් නෙවෙයිනේ. මගේ ස්ටාෆ් එක ඉස්සරහ වුණේ. පොලිසිය විටින් විට ඇවිත් ඒ අයගෙන් සාක්ෂි ගත්තා. ඉන්පස්සේ අපට කාලයක් යනකන් උසාවියෙන් හෝ පොලිසියෙන් කැඳවීමක්වත් වුණේ නෑ. ”
චන්ද්‍රසේකර මහතා පවසන ආකාරයටම මේ විමර්ශනයේ තවත් වැදගත් පැතිකඩක් වන්නේ සිදුවීමේ ඇසින් දුටු සාක්ෂි ය. රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සිසිර කුමාර කොතලාවල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අධ්‍යක්ෂ (ආරක්ෂක) චන්ද්‍රසිරි වන්නි ආරච්චි, යතුරු ලේඛිකා ඉලේපෙරුමගේ නන්දනී රත්නායක පෙරේරා, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ පරිපාලන නිලධාරි නන්දනී ඉලේ පෙරුම හා යතුරු ලේඛිකාරූපසිංහ සිරිවර්ධන සුරේශනී රුක්ෂිකා යනු ඉන් කීප දෙනෙකු පමණි. එසේ බලද්දී මෙය වසර දාහතක් නොව මාස හතක්වත් ඇදී නොයා යුක්තිය ලබාදීමට මැදිහත් විය හැකිව තිබූ විමර්ශනයකි.

“හැබැයි ඉතින් මේකට ලංකාවේ තිබෙන සියලු සංවිධාන මාධ්‍ය ආයතන, වෘත්තිය ආයතන, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විවිධ අයුරින් උද්ඝෝෂණ කළා. ලියුම් ලිව්වා. හෙළා දුටුවා. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය දක්වා මේක ගියා. නමුත් මගේ පැත්තෙන් මේ සිදුවීම පුද්ගලික දියුණුව වෙනුවෙන් පාවිච්චි කරන්න හිතුවේ නෑ. මට තානාපති කාර්යාල දෙකකින් කතා කළා. මට රැකවරණය දෙන්න ඔවුන් සූදානමින් සිටියේ. ඒත් මට බොරු කියන්න ඕනෑ වුණේ නෑ. මේ සිදුවීමෙන් පසුව මම පොලිස් ආරක්ෂාව ඉල්ලුවත් ඉන්පසුව මට තර්ජන පැමිණියේ නෑ. කොස්වත්ත පොලිසියේ නිලධාරින් දෙදෙනෙක් පැය විසි හතර පුරාම මාසයක් පමණ කාලයක් අපේ නිවෙසට ආරක්ෂාව සඳහා යොදා සිටියා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවෙක් මේ ප්‍රශ්නය අතරමැද සමාදානයක් සඳහා උත්සාහ කළා. ඔහු මාව මහින්ද රාජපක්ෂ මුණගැසීමට ආරාධනා කළත් මම එය ප්‍රතික්ෂේප කළා. මට එයත් එක්ක සෙට්ල්මන්ට් එකක් ඕනෑ වුණේ නෑ. මට ඕනෑ වුණේ සාධාරණය විතරයි”
(මාධ්‍ය වාර්තාකරණය හේතුවෙන් ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉටුකරන ලෙස අදාළ පාර්ශවයන්ට බලකරන "කළු ජනවාරිය" නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය විසින් සංවිධානය කරන ලද වැඩසටහන 2025 ජනවාරි 31 වන දා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහනට සමගාමීව මෙරට ජනමාධ්‍යට එරෙහිව සිදු වූ තෝරාගත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් දැනට මාධ්‍යකරණයේ නියුතුව සිටින මාධ්‍යවේදීන් විසින් ලියන ලද ලිපි පෙළක ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ විසින් තම සේවා ස්ථානය වූ ජාතික රූපවාහිනිය ඇතුල් වූ මැරයන්ගේ පහරකෑමට ලක්වූ ජනමාධ්‍යවේදී ටී. එම්. ජී. චන්ද්‍රසේකර පිළිබඳ ලියන ලද පර්යේෂණාත්මක ලිපියකි.)

(සටහන | බිඟුන් මේනක ගමගේ)



