The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

රන්මුතුගල පවුල වෙත දක්වන උපහාරයක් | ලයනල් බෝපගේ විසිනි

T

The Leader Desk

February 17, 2025 • 2:44 PM

රන්මුතුගල පවුල වෙත දක්වන උපහාරයක් | ලයනල් බෝපගේ විසිනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතක දී සිදු වූ එක්තරා සිදුවීමක් විසින් මගේ මතකය ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ 1970 දශකයේ අග භාගය වෙත රැගෙන ගියේය.
  • කිසිදු ගැටළුවක් නොමැති බවට අපේක්ෂා කල අපි, බොරැල්ල සහකාර පොලිස් අධිකාරී (ASP) වරයාගෙන් අවසර ඉල්ලීමේ සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කළෙමු.
  • අපට අපේම වූ දුරකථනයක් නොතිබුනද, පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා උභය වීරසිංහ සහෝදරයා ඔහුගේ දුරකථනය යොදා ගැනීමට අපට නොමසුරු ලෙස ඉඩ කඩ ලබා දී තිබුනේය.
  • ඒ ගැන සොයා බලන බවට සහතික වූ ඔහු මට පසුව නැවත කතා කරන ලෙස දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෑතක දී සිදු වූ එක්තරා සිදුවීමක් විසින් මගේ මතකය ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ 1970 දශකයේ අග භාගය වෙත රැගෙන ගියේය. රැස්වීම් සඳහා අවසර ලබා ගැනීම්, මහජන රැස්වීම් සංවිධානය කිරීම් හෝ අත්අඩංගුවට ගත් සහෝදර සහෝදරියන් නිදහස් කර ගැනීම් යනාදී කාරණා සම්බන්ධයෙන් මුහුණට මුහුණ ලා පොලිසිය සමඟ කල බොහෝ හමුවීම් අතර, එක්තරා සිදුවීමක් විශේෂයෙන් කැපී පෙනෙයි.


බොරැල්ල හන්දියේ තීරණාත්මක මොහොතක්

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නිතර ප්‍රචාරක කටයුතූ සදහා යොදා ගන්නා ලද බොරැල්ල හන්දියේ ජවිපෙ ‍ප්‍රචාරක රැළියක් පැවැත්වීමට අපි සැලසුම් කලෙමු. කිසිදු ගැටළුවක් නොමැති බවට අපේක්ෂා කල අපි, බොරැල්ල සහකාර පොලිස් අධිකාරී (ASP) වරයාගෙන් අවසර ඉල්ලීමේ සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කළෙමු. අපව පුදුමයට පත් කරවමින්, අපගේ අයදුම්පත මුළුමණින්ම ප්‍රතික්ෂේප කරන ලදි.

එකල අපගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබුණේ ආමර් වීදියේ වීරසිංහ ලී මෝලේ ය. අපට අපේම වූ දුරකථනයක් නොතිබුනද, පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා උභය වීරසිංහ සහෝදරයා ඔහුගේ දුරකථනය යොදා ගැනීමට අපට නොමසුරු ලෙස ඉඩ කඩ ලබා දී තිබුනේය. ඉහත සදහන් කාරණය ගැන සාකච්ඡා කිරීම සඳහා මම කොළඹ පොලිස් කොමසාරිස්වරයා අමතන්නට තීරණය කළෙමි. මා ඔහුව පෞද්ගලිකව දැන නොසිටිය නමුත් ඔහුගේ ප්‍රතිචාරය අනපේක්ෂිත අන්දමට සාධාරණ එකක් විය. ඒ ගැන සොයා බලන බවට සහතික වූ ඔහු මට පසුව නැවත කතා කරන ලෙස දැන්වීය. පසුව මා එසේ කතා කල විට අපේ රැලිය පැවැත්වීමට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ඔහු මට දැනුම් දුන්නේය. ඩග්ලස් රන්මුතුගල යන නම මට පළමු වරට අසන්නට ලැබුනේ එසේයි.

අවසර ලබාගෙන තිබියදීත්, රැළිය පවත්වා ගෙන යැමේ දී බාධකවලට මුහුණ දෙන්නට සිදු විය. සවස් යාමයේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරවමින් රථවාහන හසුරුවා ලන්නට බොරැල්ල පොලිසිය අසමත් ව තිබිණි. අත්අඩංගුවට ගත් සහෝදර සහෝදරියන් නිදහස් කර ගැනීමේදී මීට පෙර මට හමු ව තිබුණු ඒ සී ඒ ගෆූර් මහතා සෙනඟ අතර සිටිනවා දුටුවෙමි. තත්ත්වය උග්‍ර අතට හැරෙන විට ඔහු නිෂ්ක්‍රීය ලෙස සිටින බව දුටු මම මයික්‍රෆෝනය රැගෙන ඔහුව නමින් ආමන්ත්‍රණය කොට ගමනාගමනය සුමටව හසුරුවා ලීමට කටයුතුව කරන මෙන් ඉල්ලා සිටියෙමි. මා සහනයට පත් කරවමින් ඔහු ප්‍රතිචාර දක්වා ලීය; රැලිය සාමකාමී ලෙස පැවැත්වීමට අපට හැකි විය.


කැන්බරා නුවර දී යලි එකතු වීම

දශක දෙකකට පසු, මෙවර ඕස්ට්‍රේලියාවේ දී, කැන්බරා නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ පැවති ගැටුමක් සමථයකට පත් කරන්නට මා ගත් උත්සාහය අතරතුර දී යලිත් වරක් මට ඩග්ලස් රන්මුතුගල මහතා මුණ ගැසුණේය.

1983 කළු ජූලි සංහාරය ජනවාර්ගික හා ආගමික වශයෙන් ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව බෙදා වෙන්කොට එය බරපතල ලෙස කඩා බිද දමා තිබුණි. සංහාරයේ දී දෙමළ ජනයාට සිදු වූ දුක් වේදනා පිළිගැනීමට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා සංගමය (ASLA) අපොහොසත් වීමෙන් පසු, දෙමළ ජන ප්‍රජාව කැන්බරා දෙමළ සංගමය නමින් වෙනම සංගමයක් පිහිටුවීමට ASLA සංගමයෙන් වෙන් ව ගොස් තිබිණි.

ශ්‍රී ලාංකික බෞද්ධ ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි ඕස්ට්‍රේලියානුවන්ට එරෙහි කරවා ලමින් ASLA තුළම තවත් ගැටුමක් හට ගෙන තිබුනේය. ASLA සංගමයේ බැංකු ගිණුම අත් හිටවා ලීමට මඟ පාදමින් ඒ එක් එක් කණ්ඩායම ASLA සංගමයේ එකම නීත්‍යානුකූල නියෝජිතයා තමන් පමණක් යයි කියා සිටියහ. 1990 ගනන්වල මැද භාගයේ දී, ඕස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශයේ (ACT) විවිධ ජන ප්‍රජාවන් සමඟ සම්බන්ධ ව සිටි ස්වේච්ඡා සේවකයෙකු ලෙස මම මෙම බෙදීම අවමානයක් ලෙස දැක මවිසින්ම එය සමතයකට පත් කරන්නට මැදිහත් වන්නට තීරණය කලෙමි.

පදනමේ පැවති ආතතීන් යටින් තිබුනත්, සති හයක් පුරා කරන ලද සාකච්ඡා තුලින් මම ගැටුම සංහිඳුවා ලන්නට පහසුකම් සැලසුවෙමි. අඩු පාඩු පැවතිය ද, ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානුවන් පොදු සෙවනක් යටතට ගෙන එන්නට ASLA සංගමය නැවත වරක් සමත් විය.


දිගුකල් පවත්නා මිත්‍රත්වයක්

රන්මුතුගල පවුලට මා නැවත සම්බන්ධ වූයේ එසේ කරන ලද මැදිහත් වීමේදී යි. මිල කළ නොහැකි සහයක් ලබා දෙමින් ඩග්ලස් මෙම ක්‍රියාවලිය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා කටයුතු කලේය. අභාවප්‍රාප්ත ආචාර්ය තිස්ස රාජපතිරණ (සභාපති), මම (ලේකම්), සිවා නේදන් (භාණ්ඩාගාරික), සහ දිවංගත බ්‍රයන් ප්‍රනාන්දු (මහජන නිලධාරි) සමඟ ඩග්ලස් බහු සංස්කෘතික ආයතනයක් ලෙස ASLA සංගමයේ අඩිතාලම යලි ගොඩ නගන්නට කටයුතු කලේය.

එවකට මා පේටන්ට් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර ඩග්ලස් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ බුද්ධි විශ්ලේෂකයෙකු ලෙස සේවය කළේය. නීතිය ක්‍රියාත්මක කිරීම අතින් ඔහුගේ සම්බන්ධයක් පැවතුනත්, පළමුව ඔහු මහත්මා ගුණයෙන් පිරි, පිලි ගැනීමක් නො සොයා මනුෂ්‍යත්වය ගැන ගැඹුරින් සැලකිලිමත් වූ කෙනෙක් වූයේය. ඔහුගේ බිරිඳ ජානකී ද ඔහු මෙන්ම උණුසුම හා කරුණාව බෙදා හදා ගත් කෙනෙක් විය. 1971 අප්‍රේල් නැඟිටීම සමයේ ඩග්ලස් හලාවත ගත කල කාලය, පැපුවා නිව් ගිනියාවේ දී ඔහු ලද අත්දැකීම් සහ ඉන් පසුව ඔස්ට්‍රේලියාවේ ඔහු ගත කල කාලය ගැන සමාජ හමුවීම්වල දී අපි දැන ගත්තෙමු. ඔස්ට්‍රේලියාවේ දී ඔහු Tales of the Blue Elephant ඇතුළු තවත් කෘති රචනා කලේය. ඉහත කී කෘතිය සඳහා දායක වීමේ ගෞරවය ද මට හිමි විය.

2004 අප කැන්බරා නුවර හැර යන තුරු, මිතුරුදම් සහ  සමාජ සම්බන්ධතා බෙදා හදා ගනිමින් අපගේ පවුල් සමීප බවට පත් විය. ඕස්ට්‍රේලියානු අගනුවර (ACT), Downer තදාසන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ පැවති එක් අමතක නොවන රැස්වීමක දී, හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) වී වාමදේවන් මහතාට අපව හඳුන්වා දෙන ලදි. 1983 සංහාරයේ දී තම නිවසට පහර දුන් බවට ඔහු මීට පෙර ජවිපෙට චෝදනා කර තිබුනේය. පක්ෂය තහනම් කිරීමට තුඩු දුන් බුද්ධි වාර්තා ඉදිරිපත් කිරීමේ භූමිකාවක් ද ඔහු ඉටුකර තිබුනේය. මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ විට, සෘජු පිළිතුරක් දෙනු වෙනුවට ඔහු සිනාසෙමින් එය මග හැරියේය. දේශපාලන තීරණ බොහෝ විට පුළුල් සත්‍යය මත පදනම් වනවාට වඩා බලයේ සිටින අය වෙත සේවය කරන්නට ඒවා යොදා ගන්නේ කෙසේද යන්න එයින් සිහිපත් කෙරුණි.


හොඳින් ගත කරන ලද ජීවිතයක්

රන්මුතුගල පවුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආමිඩේල් ප්‍රදේශයටත් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ ෂෙපර්ටන් ප්‍රදේශයටත් පදිංචියට ගිය බව පසුව අපට දැන ගන්නට ලැබුණි. අවාසනාවකට, කාලය ගතව යෑමත් සමඟ අපගේ සම්බන්ධකම් ගිලිහී ගියේය. මෑත දී කරන ලද කථා බහ තුලින් පමණකි, 2023 ඔක්තෝබර් මාසයේ දී ඩග්ලස් අභාවප්‍රාප්ත වූ බව අපට දැන ගන්නට ලැබුනේ. මුහුණ දෙන නොයෙක් අභියෝග තිබුනේ වුවද, කලින් දැන සිටියේ නම්, ඔහු වෙත අපේ අවසන් ගෞරව දැක්වීමට අපට හැකියාව තිබිණි.

අප පුදුමයට පත් කරවමින්, ජානකී දැන් පදිංචිව සිටින්නේ අප වාසය කරන තදාසන්න ප්‍රදේශයට ආසන්නව බවද අපට දැන ගන්නට ලැබුණි. දුබල බවින් හා අමතක වන සුළු බවින් පෙලෙන නමුත්, ඇයව බලන්නට ගිය විට ඇය අපව උණුසුම් ලෙස පිළි ගත්තාය. අපගේ හමු වීම මිශ්‍රාස්වාදයක් ගෙන ආවේ කාලයාගේ ඇවෑම සහ ජීවන චක්‍රයේ අනිවාර්ය බව අපට මෙනෙහි කරවමිනි.

ඩග්ලස් රන්මුතුගල මහතා පොලිස් නිලධාරියෙකු හෝ බුද්ධි විශ්ලේෂකයෙකු පමණක් නොවීය; ඔහු අවංකත්වය, ප්‍රඥාව සහ කරුණාවෙන් සමන්විත මිනිසෙක් ද වූයේය. ඔහු ස්පර්ශ කළ ජීවිත, ඔහු පෝෂණය කළ මිතුරුදම් සහ ඔහු ආරක්ෂා කළ සාරධර්ම හරහා ඔහුගේ උරුමය ජීවත් වන්නේ ය.

මිනිසුන් වශයෙන්, ජීවිතයේ පවතින බිඳෙන සුළු බව සහ අපගේ බෙදා හදා ගන්නා ගමනේ දී එකිනෙකා කෙරෙහි සහයෝගය දැක්වීමෙන් සෑම මොහොතක් ම ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව අප හැම විටම අවධානයෙන් සිටිය යුතුය.

ඩග්ලස් රන්මුතුගල පිළිබඳ ආදර සැමරුම් මතක
උපන් දිනය: 1936 පෙබරවාරි 18
අභාවයට පත් දිනය: 2023 ඔක්තෝබර් 15

lIONAL bOPAGE(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

lionel.bopage@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...