The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

හැඳල ලාදුරු රෝහල් බිමේ අසු පිටින් සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

T

The Leader Desk

February 18, 2025 • 9:31 AM

හැඳල ලාදුරු රෝහල් බිමේ අසු පිටින් සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැඳල ලාදුරු රෝහලට සියවස් කිහිපයක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ.
  • අතීතයේ එම රෝහලේ විසූ ලාදුරු රෝගීන්ට ඊට ඇතුළු වූ පසු මරණය තෙක්ම ඉන් පිටව යාමේ කිසිදු අවකාශයක් නොවිණි.
  • එබැවින් තමන් මියගිය පසු සුසානයට ගෙන යාමට සකසා ගත් මිනී කරත්ත කෞතුක වස්තූන් වශයෙන් එම රෝහල් පරිශ්‍රයේ සංරක්ෂණය වෙමින් පවතී.මීට වසර කිහිපයකට පෙර ඒ බව මට මුල් වරට කීවේ එවක එහි කාර්යය භාර වෛද්‍ය නිලධාරීයාව සිටි වෛද්‍ය දර්ශන මොහොට්ටි ය.
  • ඒ හින්දා 1708 වගේ කාලෙ මේ රෝහල හදලා තියෙන්නේ ලාදුරු රෝගීන් සාමාන්‍ය ජන සමාජයෙන් අයින් කරලා තියන්න විතරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හැඳල ලාදුරු රෝහලට සියවස් කිහිපයක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ. අතීතයේ එම රෝහලේ විසූ ලාදුරු රෝගීන්ට ඊට ඇතුළු වූ පසු මරණය තෙක්ම ඉන් පිටව යාමේ කිසිදු අවකාශයක් නොවිණි.


ඒ අනුව ඔවුන් එහිම මිය ගිය අතර ඔවුන් ගේ අවසන් කටයුතු ද එහි දීම සිදු කරන ලදී. එබැවින් තමන් මියගිය පසු සුසානයට ගෙන යාමට සකසා ගත් මිනී කරත්ත කෞතුක වස්තූන් වශයෙන් එම රෝහල් පරිශ්‍රයේ සංරක්ෂණය වෙමින් පවතී.මීට වසර කිහිපයකට පෙර ඒ බව මට මුල් වරට කීවේ එවක එහි කාර්යය භාර වෛද්‍ය නිලධාරීයාව සිටි වෛද්‍ය දර්ශන මොහොට්ටි ය.

 

ll a

‘‘ඒ කාලේ අද වගේ ලාදුරු සුවපත් කරන ප්‍රත්‍යක්ෂ ඖෂධ තිබුණේ නෑ. ඒ හින්දා 1708 වගේ කාලෙ මේ රෝහල හදලා තියෙන්නේ ලාදුරු රෝගීන් සාමාන්‍ය ජන සමාජයෙන් අයින් කරලා තියන්න විතරයි. ඒ රෝගීන් අතරේ නොයෙක් රැකියාවන් කරපු ඒ වගේම හැකියාවන් සහ දක්ෂතා තිබුණු අය ඉඳලා තියෙනවා. ඒ අය අතරේ හිටපු වඩු කර්මාන්තය, කැටයම් ශිල්පය දන්න අය තමයි පාළුව කාන්සිය යන්නත් එක්ක තමයි ඔය මිනී කරත්ත නිර්මාණය කරන්න ඇත්තේ.’’ මගේ කුතුහලය පුබුදුවමින් වෛද්‍ය මොහොට්ටි කීය.

ඒ අනුව එම මිනී කරත්තවල ඉතිහාසය ඇතැම් විට ඕලන්ද, ඉංග්‍රීසි යන යටත් විජිත යුග තෙක් විහිද යන බව ද අනුමාන කළ හැකි ය.

‘‘ඒ විතරක් නෙවෙයි, ඕලන්ද පාලන කාලේ ලාදුරු වැළඳිලා මේ ඉස්පිරිතාලේ හිටපු ඕලන්ද රජ කුමාරයෙකුගේ අවතාරයක් තාමත් දකින්න ලැබෙනවාය කියලා මිනිස්සු කියනවා. පුළුවන් නම් ඒකත් හොයාගෙන ලියන්න. ඇත්ත නැත්ත මොනවා වුණත් ඒක වැඩි දෙනෙක් උනන්දුවෙන් කියවන කතාවක් වේවි.’’

වෛද්‍ය මොහොට්ටි කී එම කතාවෙන් පසුව එම පුරාවෘත්තය පිළිබඳව විමසුම් කිර්‍රමට මා තීරණය කළේ එය තරමක් වෙනස් ආකෘතියක අද්භූත කතාවක් බැවිනි.

hadala laduru
එම පුරාවෘත්තයට අනුව ලාදුරු රෝහල අවට සැරිසරනුයේ අශ්වයෙකු පිට නැඟගත් පැරණි ඕලන්ද රජ කුමරුවෙකුගේ අවතාරයකි. රෝහල අවට ඇති බලගල, නායකකන්ද ආදී ස්ථානවලදී දර්ශනය වන බව පැවසෙන මෙම අශ්වාරෝහක කුමාරයාගේ අවතාරය ගැන වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ස්ටැන්ලි නෝබට් සහ නායකකන්ද පිරිමි විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්ය බ්‍රිජට් විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් රසවත් කරුණු රැසක් දැනගත හැකි විය.

එම කතාන්දරයට අනුව අප රට ඕලන්ද යටත් විජිතයක්ව පැවති සමයේ ඕලන්ද රජ පෙළපතට අයත් කුමරුවෙකු දේශ දේශාටනවල සංචාරය කරන අතරේ අප රටට ද පැමිණ ඇත. එහෙත්, මෙහි පැමිණ මඳ කලෙකින් ඔහු කෙරෙන් ලාදුරු රෝග ලක්ෂණ පහල වී තිබේ. එවකට පැවති නීතිය අනුව ද ලාදුරු රෝගය වැළඳුණු කිසිවෙකුටත් රටින් පිටවීමට අවසර නැත. ඒ අනුව එවක පහතරට පාලනය කළ ඕලන්ද ආණ්ඩුකාරවරයා ඒ බව ඕලන්ද රජ පවුල වෙත දන්වා යවා ඇත. ඉන්පසු රජ පවුලෙන් උපදෙස් ලැබී තිබුණේ එම කුමරා හැඳල ලාදුරු රෝහලේ රඳවා තබන ලෙසයි.

එමෙන්ම යම් ආශ්චර්යකින් කුමරා සුවපත් වුවහොත් ඔහුට යළි මව්රටට පැමිණීමට හෝ වෙනයම් ප්‍රයෝජනයක් ගැනීම පිණිස සුවිසාල වටිනාකමකින් යුතු රන්, රිදී, මුතු, මැණික් සහිත පෙට්ටගමක් කුමරාට පමණක් දැනගත හැකි රහසිගත ස්ථානයක නිදන් කරන ලෙසටත්, කුමරාට ලාදුරු රෝහල තුළදී තම රාජකීය ඇඳුම් කට්ටලය ඇඳීමට අවසර දෙන ලෙසටත්, රෝහල් භූමිය තුළ පමණක් සැරිසැරීම පිණිස කුමරාට අශ්වයෙකු ලබාදෙන ලෙසටත් ඕලන්ද රජතුමා එවක ශ්‍රී ලංකාවේ ඕලන්ද පාලකයා වෙත දැනුම් දී තිබේ.පසුව තම රාජකීය ඇඳුම් කට්ටලය හැඳ අශ්වයා පිටින් රෝහල් භූමිය පුරා සැරිසරමින් සිටි ඕලන්ද කුමරා පසු කලෙක මියගිය අතර, අශ්වයා ද මිය ගොස් තිබේ. එහෙත්, එම කුමරා වෙනුවෙන් බලගල, නායකකන්ද යන ප්‍රදේශයක හෝ කැලණි ගංඉවුරේ තැන්පත් කොට ඇතැයි පැවසෙන ඒ මහා ධන නිධානය පිළිබඳ කතාව පසුකලෙක ඒ ප්‍රදේශය පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

එනිසාම අසීමිත ධන තණ්හාවෙන් යුතු ඇතැම් පිරිස් එම මහා ධන නිධානය සඟවා ඇතැයි සැළකෙන ස්ථානවල රහසිගත කැණීම්ද සිදුකොට ඇත.ඔවුන්ගෙන් සමහරක් අකල් මරණවලට ලක්ව තවත් පිරිසක් උන්මත්තකයන් වූ බව කියනු ලැබේ.

 

hadala laduru1

මිනී කරත්තයක්

 

ඔය අතරේ හැඳල ලාදුරු රෝහල කේන්ද්‍රගත කරගත් බලගල, නායකකන්ද සහ කැලණි නදිය අසබඩ දී සඳ පෑයූ රෑ යාමයන් තුළ තම සුපුරුදු රාජකීය ඇඳුමින් සැරසී අසු පිට යන ඕලන්ද කුමාරයාගේ රූපය ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බවට ද කතා පැතිර යන්නට පටන්ගෙන තිබේ. සමහරෙකු පවසනුයේ සමහරුන්ට රජ කුමරා දර්ශනය නොවන මුත් ඔහු අසු පිට ගමන් කරන කුර හඬ ඇසෙන බවකි.

මේ අතර තමන්ට රාත්‍රී කාලයේ පැරණි ඕලන්ද රජ කුමරුන් හමු වූ බවත් ඔහු තමන් ද අසු පිට නංවා ගෙන කැලණි නදී තීරයේ සංචාරය කළ බවත් පවසමින් ගම් වාසීන් විස්මයට පත් කළ ගම්මුන් “රාමයියා” නමින් හැඳින් වූ වූ පුද්ගලයෙකු ඊට පසු කලෙක අභිරහස් ලෙස අතුරුදන් වූ බවත් ඊට දින කිහිපයකට පසු ඔහු ගේ මළ සිරුර කැලණි ගං මෝයෙන් මතු වූ බවත් ප්‍රදේශවාසීහු කියති.කේරලයේ කොච්චින් දේශයෙන් රා මැදීම පිණිස මෙහි පැමිණ සිංහල බස හා මෙරට ජන ජීවිතය පිළිබඳව මනාව දැන හැඳින සිටි ඔවුනට රාමයියලා යන නම පට බැඳුණු බව වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ස්ටැන්ලි නෝබට් මහතා මා හා කීය.

ඉහත සඳහන් වෘතාන්තයට අනුව ඉන් යම් අද්භූත රසයක් ජනනය වන බව සැබෑවකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් යථාර්ථවාදී විමසුමක් කළහොත් මෙම කරුණු සම්බන්ධයෙන් ද සැළකිලිමත් වීමට අපට සිදුවෙයි.

 

image 2aa8dc1817

එම කතා ප්‍රවෘත්තියට අනුව එකී ඕලන්ද කුමරුවා තම රාජකීය ඇඳුම් කට්ටලයෙන් සැරසී අසු පිටින් බලගල, නායකකන්ද සහ කැලණි නදී කෙරෙහි ගමන් කරනුයේ මරණයෙන් පසුව ද තමන් සතු මහා ධනස්කන්ධය කෙරෙහි ඇති ආශාව නිසා බව ජන විශ්වාසය අනුව පෙනෙයි. ඒ අනුව එම ධනස්කන්ධයට ඉව අල්ලන්නවුන් අකල් මරණවලට සහ මානසික රෝගවලට නතුවනුයේ එම කුමරාගේ ශාපය වැදීම නිසා බවද ජන මනැස තුළ පවතින බවක් හැඟී යයි.නමුදු සාමාන්‍ය ජන විඥානය තුළ තෘෂ්ණාව දැඩි ලෙස පුබුදුවන මෙවන් පුරාවෘත්ත සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ස්වභාවිකවම උනන්දු වෙති.

එහි එක් පැතිකඩක් ලෙස මෙම ඕලන්ද කුමාරයාගේ අවතාරය පිළිබඳ සංකල්පය පැතිර ගොස් ඇත. එම පුරාවෘත්තය අසා පාරම්පරික වශයෙන් එය සත්‍යයක් වශයෙන් විශ්වාස කරන්නවුන් තුළ ඒ මහා ධන සම්භාරයේ හිමිකරුගේ රූපකාය දැකගැනීමට ඇති ගුප්ත ආශාව දෘශ්‍ය භ්‍රාන්තියක් ලෙස මෙම අවතාරය මගින් සංසිඳුවා ගන්නා බව පෙනෙයි.

 

Hadala 2023

මේ සම්බන්ධයෙන් විඥානවාදී පාර්ශවයෙන් අදහස් දක්වන ඇතැමුන් පවසනුයේ එලෙස ධන තෘෂ්ණාවෙන් මියගිය ඕලන්ද කුමාරුවාගේ ආත්මය ඒ ආශ්‍රිත පරිසරයේ සැරිසරමින් රූපමය වශයෙන් පෙනී සිටීමේ යම් අවකාශයක් පවත්නා බවකි. එහෙත්, එය එලෙසම යැයි පිළිගත්තත් ඔහු සමඟම ඔහුගේ අශ්වයා ද අවතාරයක් බවට පත්වීම අර්ථ දක්වනුයේ කෙසේද? එමෙන්ම එම කුමරුවන් අසු පිට සැරිසරනුයේ තමන්ට හිමි රාජකීය ඇඳුම් වලින් නම් කුමරුවාගේ ආත්මය යළි මෙලොවට පැමිණ ඇත්තේ තම ලෞකික දිවිය හා සබැඳි ‘සංස්කෘතික පදනම’ ද සමඟිනි. ඒ අනුව ජන මනැසේ රැඳී පවත්නා මෙවන් අද්භූත සංකල්පවලට යථාර්ථවාදී මුහුණුවරක් දීමට වඩා තමන් සිහිනයෙන් දුටු ඉඩමක හිමිකම් ඔප්පු ලබා ගැනීමට ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යෑම නුවණට හුරුයැයි මට සිතෙයි.


WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...