The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ජල රළ කුඩු කළ ජීවිත දුහුවිලි ගසා හුස්ම දුන් මිනිසුන් | මෙලනි මානෙල් පෙරේරා

T

The Leader Desk

February 18, 2025 • 10:31 AM

ජල රළ කුඩු කළ ජීවිත දුහුවිලි ගසා හුස්ම දුන් මිනිසුන් | මෙලනි මානෙල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 20ක් ආපස්සට දෙසැම්බරයේ, නත්තල් උණුසුම සමස්ත රටම ප්‍රමෝදයට පත්කරගෙන සිටී හෝරාවක, 26 වෙනිදා, හිමිදිරි උදෑසන ම මහා සයුරේ එක් කොණක හටගත් ඝට්ඨනය, ලක් දිවයිනට නැගෙනහිරින් ඇතුළු වී, බටහිර තෙක් මුහුදු තීරයේ ප්‍රදේශ කිහිපයකට ම අමිහිරි අත්දැකීමක් ලබාදුණී.
  • සිංහල උච්චාරණයට අලුත් වචනයක් “සුනාමි” වචනය ශ්‍රී ලාංකීකයින්ගේ ශබ්දකෝෂයට එක්වූයේ ද ඇසි පිය ගසන නිමේෂයකින් 2004 දෙසැම්බර් 26 වනදා හිමිදිරි උදෑසනය.
  • උතුරු සුමාත්‍රාවේ බටහිර මුහුදේ බලපෑ රික්ටර් මාපක 9-1 ක දැවැන්ත භූ චලනය, ඉන්දුනීසියාවේ සිට සෝමාලියාව දක්වා රටවල් 14කට දැක්වූ විනාශකාරී විනාශයේ සෙනෙහස මිළකළ නොහැකි තරම්ය.
  • “මුහුද මොකද මෙච්චර ආපස්සට ගියේ කියලා අපි බැලුවා.”සුනාමියට මුහුණ දුන් නමුත් අනතුරකට ලක්නොවු ඇතැම් දෙනා කී පොදු කථාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වසර 20ක් ආපස්සට දෙසැම්බරයේ, නත්තල් උණුසුම සමස්ත රටම ප්‍රමෝදයට පත්කරගෙන සිටී හෝරාවක, 26 වෙනිදා, හිමිදිරි උදෑසන ම මහා සයුරේ එක් කොණක හටගත් ඝට්ඨනය, ලක් දිවයිනට නැගෙනහිරින් ඇතුළු වී, බටහිර තෙක් මුහුදු තීරයේ ප්‍රදේශ කිහිපයකට ම අමිහිරි අත්දැකීමක් ලබාදුණී.

 

දෑසක්, සවනක් දැකිය ඇසිය නොයුතුම බියකරු දර්ශන, විලාපයේ හඬවල්, මිනිස් මනසට දැරිය නොහැකි තරමේ විපත් අලාභ හානි සහ පාඩු මහා පරිමානයෙන් දායාද කරන්නට ඒ උදම්රළ ගත්තේ විනාඩි කිහිපයකි.

ඒවා පිළිසකර කරන්නට, නැවත ජීවය දෙන්නට සති මාස වසර ගණනක් වැයකරන්නට සිදුවුණි. දූවිල්ලට පත් අසරණයා වෙත යළි ජීවය දීමේ සද්කාර්යය, රජයේ සිට දෙස් විදෙස් ,සමාජ සහ ආගමීක සංවිධාන සිය දෙවුරට ගත්හ. තරාතිරම නොබලා අසරණ වූ ජීවිත ගොඩනැංවීමෙහිලා කරිටාස් - සෙඩෙක් ශ්‍රී ලංකා ආයතනය ද සිය මානව දයාවේ දෑත් උපරිමව දිගු කළේය.

සිංහල උච්චාරණයට අලුත් වචනයක්

 

WhatsApp Image 2025 02 18 at 3.25.08 PM
“සුනාමි” වචනය ශ්‍රී ලාංකීකයින්ගේ ශබ්දකෝෂයට එක්වූයේ ද ඇසි පිය ගසන නිමේෂයකින් 2004 දෙසැම්බර් 26 වනදා හිමිදිරි උදෑසනය. උතුරු සුමාත්‍රාවේ බටහිර මුහුදේ බලපෑ රික්ටර් මාපක 9-1 ක දැවැන්ත භූ චලනය, ඉන්දුනීසියාවේ සිට සෝමාලියාව දක්වා රටවල් 14කට දැක්වූ විනාශකාරී විනාශයේ සෙනෙහස මිළකළ නොහැකි තරම්ය. රුදුරුය. “මුහුද මොකද මෙච්චර ආපස්සට ගියේ කියලා අපි බැලුවා.”සුනාමියට මුහුණ දුන් නමුත් අනතුරකට ලක්නොවු ඇතැම් දෙනා කී පොදු කථාවකි.  

පළමුව මිටර් 1කින් හා දෙවනුව මීටර් 10 තෙක් උස්ව ආ උදම් රළ, දිවයිනේ නැගෙනහිර, දකුණ මෙන් ම නිරිතදිග වෙරළ තීරය අකාරුණීක ලෙස විනාශ කළේය. දහස් ගණනක් අහිංසක මිනිස් මෙන්ම සත්ව ජීවිතවල හුස්ම අවසන් කළේය.

යාපනය, මුලතිව්, ත්‍රීකුණාමලය, මඩකළපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර හා කොළඹ යන වෙරළබඩ දිස්ත්‍රික්කවල බහුතරය ධීවර පවුල් සුනාමිය විසින් විනාශකර දැමුයේ සිය ජීවනෝපායන් වූ ඔරු බෝට්ටු උපකරණ සියල්ල ද සුණුවිසනු කර දමමිණි. වෙරළබඩ ධීවරයාගේ සමස්ත ජීවිතය බිඳවැටුණා සේ ම එකී පළාත්වල සංචාරක කර්මාන්තයට ද එනිසාම දේශීය ආර්ථීකයට ද මරු පහරක් එල්ලවිය.

සත්කාරයේ ඉහළ ම වාසිය

WhatsApp Image 2025 02 18 at 3.25.08 PM 1
චණ්ඩ උදම්රළ දිව ගොස් වගාකරනලද ඉඩම් අක්කර 23,449ක්, වී අක්කර 9,000ක්, අනෙකුත් ක්‍ෂේත්‍ර බෝග අක්කර 645ක්, ගෙවතු වගා 12,928ක්, එළවළු ගොවිපල අක්කර 559ක්, පළතුරු ගස් අක්කර 317ක් ද අපට අහිමි කළ බව, OCHA-මානූෂීය කටයුතු සම්භන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය උපුටා දක්වමින් ලෝක ආහාර සංවිධානය හා කෘෂිකර්ම අමාත්‍යංශය reliefweb හී දක්වා ඇත.

දිස්ත්‍රික්ක 25න් 12කට අති දැවැන්ත අලාබ හානියක් හිමිකරදුන් සුනාමි තෑග්ග පිළිබඳව  සිද්ධියට ආසන්නම දත්ත ලෙස, 2004 දෙසැම්බර් 31වෙනි දා රජය වාර්තා කළේ, 27,589ක් ජීවිත අහිමිකළ බවත්, 889,175ක් ජීවිත අවතැන්කළ බවත් 79,100කට වැඩි නිවාස ප්‍රමාණයක් විනාශකර ඇති බවත් ය-

යුනෙස්කෝ දත්තවලට අනුව ඉන්දුනීසියාවේ 167,000ක් ද ශ්‍රී ලාංකාවේ 35,322ක් ද අසල්වැසි ඉන්දියාවේ 16,269 දෙනෙකුගේ ද ජීවිත සූනාමිය අහිමි කළෝය.

ආසියානු ආපදා අවම කිරීමේ මධ්‍යශ්ථානය විසින් පලකර ඇති අවසන් (2005-06-16) දත්ත විග්‍රහයට අනුව පුද්ගලයින් 31,229ක් ජීවිතක්‍ෂයට පත්ව, පුද්ගලයින් 4,100ක් අතුරුදහන්ව, 516,150 පුද්ගලයින් අවතැන්වී සුබසාධන මධ්‍යශ්ථානවල හෝ මිතුරන් හා ඥාතීන් සමඟ නවාතැන්ගෙන සිටින බව ලියාපදිංචි වී ඇති බව දක්වයි. 

හදවතේ සාක්‍ෂිය  

WhatsApp Image 2025 02 18 at 3.25.04 PMතාජුඩීන් ජෙන්සියා
මඩකලපුව කාත්තන්කුඩි-06, ඩීන් පාරේ ජීවත්වන 42 වියැති තාජුඩීන් ජෙන්සියා අද උස් මහත් වූ පිරිමි දරුවන් දෙදෙනෙකුගේ සහ ගැහැණු දරුවෙකුගේ මවෙකි.

ඇගේ සැමියා නූර්හාන් සලීල්ඩීන්ය. වෙරළේ සිට මීටර් 800ක් පමණ දුරින් නිවස පිහිටා තිබුණද, අපේක්‍ෂා නොකළ ආකාරයෙන් සුනාමියේ ජල රළට යටවී නිවසත් බඩු භාණ්ඩත් සියල්ල වෙරළේ සිට ගසාගෙන පැමිණි ඔරු බෝට්ටු සුන්බුන් කුණු මඩ යනාදියෙන් විනාශ වී ගොස් තිබුණේ ඔවුන් ගේ දෑස් අදහාගත නොහැකි අයුරිණි. ජෙන්සියාගේ නිවස පමණක් නොව ඒ ප්‍රදේශයේ ජීවත් වූ බහුතරය මුස්ලිම් වූ සමස්ත මිනිසුන්ගේ උන් හිටි තැන් එසේ විය.

“එදා 26 වෙනි දා උදේම ගෙදරින් ටිකක් ඈත තැනක ඇඳම් මහන තැනකට ගියා, නමුත් කරන්ට් එක නැති නිසා හැරිලා ගෙදර ආවා. ඒත් අපේ ගෙවල් පැත්තේ ඉඳලා “මුහුද ගොඩ ගලනවා” කියලා කෑ ගහමින් මිනිස්සු ඒ මේ අත දුවනවා. කිළිටි වතුරපාර සැරට ම ගලාගෙන එනවා. ඒත් මම ජල කඳ අස්සෙන් අමාරුවෙන් අපේ ගෙදරට යාගත්තා, වතුර බැසයාවි යන සිතුවිල්ලෙන් තාත්තාත් නංගීත් වතුර පිරුණු නිවසෙහි ඉන්නැද්දි මමත් අම්මාත් අක්කාත් අනෙක් මිනිස්සු එක්ක ආරක්‍ෂිත ස්ථානයක් හොයාගෙන ගියා. නමුත් අපේ පල්ලි කෝවිල් අනාථ වෙච්ච මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා තිබුණා. ඒ නිසා අපි අක්කාගේ නැන්දම්මාගේ නිවසෙහි සරණ පැතුවා.”  

“පසුවදා අපි කැඩුණු බිඳූණු නිවස පවිත්‍රකර ගෙන කොහොම හරි අපේම ගෙදර නැවතුණා හැබැයි කොහොමද මේ ගේ හදාගන්නේ කියන දැඩි කම්පනයෙන්! සෑමදේම අහිමිව සිටි අසරණ මිනිස්සුන්ට කෑම වතුර සනීපාරක්‍ෂක සැපයීම් ඇඳුම් යනාදිය විවිධ ආයතන පුද්ගලයෝ ගෙනවිත් දුන්නා. දින තුනකට පස්සේ මඩකලපු කරිටාස් EHED ආයතනය කක්‍ෂණික සහන රැසක් අරගෙන අපේ ගමට ආවා. ග්‍රාම සේවා වසම් කිහිපයකම ව්‍යසනයට මුහුණදුන්න අයගේ දත්ත රැස්කරන්න පටන් ගත්තා.

මාවත් කරිටාස් සමාජ සජීවිකරණ සාමාජීකයෙකු වශයෙන් බඳවාගෙන කඩිනම් පුහුණුවක් ලබාදුන්නා. එවැනි සජීවීකරණ සාමාජීකයින් 15දෙනෙකු සුනාමියෙන් පීඩාවටපත් කාත්තන්කුඩි ප්‍රජාව ගොඩනැංවීමෙහිලා විශාල වැඩකොටසක් ඉටුකළා.  

ජාති භේද නොබලා නැගෙනහිර පළාතේ සුනාමි වින්දිතයින් වෙත කරිටාස් EHED ආයාතනය දැක්වූ මහගු දයාවේ හිමිකරුවෙකු වන්නට ජෙන්සියාගේ පවුලේ උදවිය වාසනාවන්ත වූ අතර, ලද අනෙක් සහනවලට අමතරව, අද ඉතා සතුටින් ජීවත්වන්නේ කරිටාස් වෙතින් පිරිනැමූ ඒ නිවසෙහිය.  

වඩාත් යහපත් වූ පෙරළිය

සුනාමි ව්‍යසනයෙන් ලද පීඩාව තුළින් කරිටාස් සෙඩෙක් ආයතනයෙන් ලද සියලු දීමනා සහයයන් මගපෙන්වීම් හරහා සුභදායී ජීවිත පෙරළි ඇතිකරගත් පවුල් ගණනාවක් ද සුනාමිය ගලාගිය සියලු දිස්ත්‍රික්ක පුරා වත්මන් කරිටාස් සමග අත්වැල් බැඳගෙන සිටිති.

 

WhatsApp Image 2025 02 18 at 3.25.07 PM 1දීපානි

“අද මගේ එක පුතෙක් කොරියාවේ හොඳ රැකියාවක් කරනවා. කිසිමදාක අපි නිකමටවත් හිතලා තිබුණේ නැහැ පිටරට රස්සාවකට යනවා කියලා. සුනාමි ඇවිත් අපි ගමෙන් මෙහාට නාවා නම් අපේ පුතාගේ රැකියාව වෙන්නේ මූදූ යෑම තමයි. ඉතිං අපිට සතුටුයි මහා විපතක් තුළින් වුනත් මුල සිටම කරිටාස් සෙඩ්ගෝල් ආයාතනයෙන් දැක්වූ නොමසුරු උදව් නිසා අද අපේ පවුල්වල ජීවිත ගොඩාක් වෙනස්වෙලා. එදා වෙරළයි මුහුදයි අතර ජීවිත ගතකරපු අපි අද ජීවිත ජයගෙන සමාජ මෙහෙවරවලත් යෙදෙනවා.” සෝ සුසුම් මැද සිය ජීවීත දෙස නිහතමානීව බලා කරිටාස් සෙඩෙක් අත්වැල අල්ලාගෙන ජීවත්වන දකුණේ තංගල්ල රුවින් ගමෙහි ජීවත්වන ශක්තිමත් කාන්තාවක් වූ ඩී. වී. දීපානි කීවේය.

සුනාමිය පැමිණෙන විට ජීවත් වූ මාතර නිල්වැල්ලේ සිට රුවින් ගමින් ලද නිවසට පැමිණ කරිටාස් සෙඩ්ගෝල් ආයාතනය හා දිගින් දිගටම සම්බන්ධ වෙමින් ජීවිත ජයගත් පවුල් අතරින්, කාන්තාවන් 11දෙනෙකු විසින් පවත්වාගෙන යන කාන්තා කණ්ඩායමක් වන “මිණිමුතු” සුළු ව්‍යාපාර සමිතියේ වත්මන් ලේකම් ධූරය දරන්නේ දීපානි ය.

යටවුණු ජීවිත ගොඩගත්තා

ඥාණශීලන් දේවිදන්, උතුරේ මරුතන්කර්නි කොට්ඨාශයේ කුඩත්තනෛයි, මනල්කාඩූ දකුණේ ජීවත්වන සුනාමියෙන් විපතට පත්ව යළි ජීවිතය ගොඩනගා ගත් තවත් එක් ධෛර්යවන්ත පියෙකි. යාපනය පදවියට අයත් කරිටාස් HUDEC ආයතනය විසින් උතුරේ සුනාමි වින්දිතයින් වෙනුවෙන් දිගුකළ සෙනෙහසේ දෑත්වල සවිය ලබාගනිමින් ඥාණශීලන් ඇතුලු පවුලේ සාමාජීකයින් යළි හුස්ම ගන්නට විය.

“2009-2010 කාලේදී මගේ පවුලේ අයට වගේම තවත් සුනාමියෙන් පීඩාවට පත්වෙච්ච පවුල් ගණනාවකට කරිටාස් HUDEC ආයතනයෙන් නිවාස ලැබුණා. තවත් අයට ඔරු බෝට්ටු වගේ රැකියා උපකරණ භාණ්ඩ ලැබුණා. සුනාමියෙන් යටවුණු අපේ ජීවිත යළි ගොඩගන්න පල්ලියේ ආයතනයක් විධියට කරිටාස් ආයතනය අපිට ලොකු ශක්තියක් වුණා.”යැයි ඥාණශීලන් පැවසීය.

කරිටාස් සෙඩෙක් ආයතනයෙන් දුන් මූල්‍ය ශක්තියෙන් කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන යන ඥාණශීලන් සිය පාසැල් යන දරු දෙදෙනාගේ අධ්‍යාපන අවශ්‍යතා මෙන් ම පවුලේ සමස්ත ආර්ථීකය ද පවත්වාගෙන යන්නේ මෙම සිල්ලර කඩයෙන් උපයාගන්නා රුපියල් ශතවලිනි.  

 

WhatsApp Image 2025 02 18 at 3.25.07 PMඥාණශීලන්
ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර මෙන් ම, තරුණ බලගැන්වීමේ වැඩසටහන්, මනෝ සමාජීය සහයෝග, සුවය ලැබීමේ ක්‍රියාකාරකම්, උපදේශන වැනි වැඩසටහන්, ක්‍රියාකාරකම් මගින් කරිටාස් සෙඩෙක් ආයතන සුනාමි වින්දිතයින්ගේ ජීවිත ගොඩනැංවීමෙහි උතුම් සද්කාර්යයක් සිදුකළ බව ඥාණශීලන් දේවිදන්ගේ පැසසුමේ අදහසයි.

සුනාමිය අභියෝගයක්

කතෝලික සභාව යටතේ පවතින කරිටාස් සෙඩෙක් ආයතනය ක්‍රිස්තියානි ඉගැන්වීමට අනුව ජාති ආගම් භාෂා ලොකු පොඩි කිසිඳු භේදයකින් තොරව එකී වෙනස්කම් නිර්ධය ලෙස නොව මානූෂීයව සැළකිල්ලට ගෙන, කරිටාස් ජාත්‍යන්තර හවුල්කරුවන්, දෙස් විදෙස් පරිත්‍යාගශීලින්, විවිධ සංවිධාන සමග එක්ව සුනාමි ව්‍යසනයේ සමස්ත වින්දිතයින් හට සත්කාර කරනු ලැබුවේ එකම දයාවේ හදවතිනි යැයි එවකට කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවු ගරු ඩේමියන් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

WhatsApp Image 2025 02 18 at 3.25.06 PM 1 ඩේමියන් ප්‍රනාන්දු පියතුමා

කරිටාස් ජාතික අධ්‍යක්‍ෂක වශයෙන් සුනාමි සහන සේවා මෙහෙයුමට නායකත්වය ලබාදුන් පුද්ගලයා වශයෙන් ඩේමියන් පියතුමා වෙත පැවරුණු වගකීම කිසිසේත්ම සුලුපටු නොවූ බව පැහැදිළි නිරීක්‍ෂණයයි.  

“මේ අතී දැවැන්ත ක්‍රියාවලිය තුළ මාහට හොඳ නරක මෙන්ම කනස්සලට පත්වුණු  අවස්ථා තිබුණා. නමුත් මා සමග උරෙන් උරගැටි වැඩකරන්න කාර්යාලයෙත් පදවි කරිටාස් මධ්‍යස්ථානවලත් ඉතාම හොඳ කණ්ඩායමක්, කාර්යාල නිළධාරීන් පිරිසක් හිටියා. පදවි රදගුරුවරු සමග අධ්‍යක්‍ෂ පියතුමන්ලා ඉතාම හොඳ සහයක් අපට ලබාදුන්නා.”යැයි පියතුමා සිහිපත් කළේය.

“විදේශීය කරිටාස් හවුල්කාර සංවිධාන, පරිත්‍යාගශීලින් අප කෙරෙහි විශ්වාසය තබමින්  විවිධ අයුරින් මහා පරිමාණයෙන් අපවෙත සහන ලබානොදුන්නා නම් සුනාමි අභියෝගය ජයගන්නට කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් ආයතනයට අතිශයෙන් ම අසීරුවනවා. වසර 20ක් ගතවුවත් ඒ සියලුම දෙනාව අපි ගෞරවනීයව සිහිපත් කරනවා” යැයි කී ඩේමියන් පියතුමා, කරිටාස් සෙඩෙක් ආයාතනය සිදුකළ ඒ දැවැන්ත මෙහෙය ගැන සතුටින් ආපසු හැරී බලා අපගේ ජයග්‍රහණ ගැන පුදුමයට පත්විය හැකි යැයි” ප්‍රකාශ කළේ මහත්වූ ප්‍රීතියෙණි.

ව්‍යසනයෙන් පැසසුම දක්වා

 

WhatsApp Image 2025 02 18 at 3.25.06 PMලූක් නෙල්සන් පියතුමා

“දෙසැම්බර් 26වෙනිදා අපේ රට තුළ මොනවගේ තත්ත්වයක් ක්‍ෂණීකව ඇතිවුණා ද කියලා හැමදෙනාම දැනගත්තේ ටිකෙන් ටික. ඇතැම් අය හිතුවේ මුහුද ගොඩ ගලලා විතරයි කියලා. දවල් වෙද්දි දැනගත්තා සුනාමියක් ය. ලංකාවට බරපතල විදියේ අලාබ හානී ජීවිත හානී සිදුවෙලාය කියලා. ඒ අති දැවැන්ත ව්‍යසනය හමුවේ මුනිවත රකින්නට නොහැකි වූ කතෝලික සභාව කරිටාස් ආයතනය ඉදිරිපත්වෙලා අන්තර්ජාතික කරිටාස් සංවිධාන සහ රටවල් සමග එකතුවෙලා සුනාමියේ විනාශයට පිළිතුරු දෙන්න මහා මෙහෙයක් දියත් කළා. මානසීකවත් ශාරරිකවත් තුවාල වූ මිනිස් ජීවිත, අලාභ හානී වූ නිවාස, ජීවනෝපායන් නැවත නගා සිටුවන්නට කරිටාස් සෙඩෙක් ආයතනය අප්‍රමාණ දායකත්වයක් ලබාදුන්නා”යැයි වත්මන් කරිටාස් සෙඩෙක් අධ්‍යක්‍ෂක ගරු ලූක් නෙල්සන් පියතුමා ප්‍රකාශ කළේය.

අනපේක්‍ෂිත ලෙස ලංකාවට පහරදුන් දැවැන්ත සුනාමි ව්‍යසනයේදී, සියලු ජනවාර්ගීක හා ආගමීක පසුබිම්වල ජනතාව වැළඳගනිමින් බිලියන ගණනාවක් වටිනා තාවකාලික නිවාස, ස්ථීර නිවාස, ධීවර, කෘෂීකාර්මික ජීවනෝපාය ආධාර, පෙර පාසැල් සිට විශ්වවිද්‍යාල දක්වා ගොඩනැගිලි සහ අධ්‍යාපනීක ආධාර වැනි සහනාධාර මෙන්ම මානසීක හා ශාරරීක සුවය ලබාදීමේ පුනරුත්ථාපන වැඩසටහන් රාශීයක් නිර්ලෝභීව වින්දිතයින් ගේ ජීවිත ශක්තිමත් කළ බව ලූක් නෙල්සන් පියතුමා පෙන්වා දුණි.

එකී මෙහෙයුම් ඔස්සේ ගොඩනැගුණු ඔවුන් වර්ථමානයේදී කරිටාස් සෙඩෙක් ආයතනය දියත් කරන සියලු වැඩසටහන් තුළ සාමාජීකයින් බවට පත්වී විවිධ අංශ නියෝජනය කරමින් සමාජ ආර්ථීක ප්‍රතිලාභ ලබමින් සිය ජීවිත බාහිරවත් අධ්‍යාත්මිකවත් ගොඩනගාගෙන සිටින බව පියතුමා පැවසීය.

එසේ ගෙවූණූ වසර 20දෙස ආපසු හැරී බැලීමේදී දෘෂ්‍යමාන ජයග්‍රහණ පිළිබඳව දෙවිඳුන් පැසසීමක් සියලුම පාර්ශවකරුවන් හවුල්කරුවන් ආධාර ලබාදුන් අය සමගින්  පෙබරවාරි 19වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී , "Memories of an Empowering Journey of  Resilience" තේමාව ඔස්සේ සමරුනු ලබන බව ද නෙල්සන් පියතුමා ප්‍රකාශ කළේය.

කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් යනු

 

IMG 0002 1
ශ්‍රී ලංකා කතෝලික සභාවේ සමාජ සංවර්ධන අංශයයි. කතෝලික සභා සමාජ ඉගැන්වීම් පිළිබඳව සහ ශ්‍රී ලාංකීය සමාජය තුළ ජීවත්වන දිළිඳු හා ආන්තීක ප්‍රජාවට සේවය කිරීමේ මහත් පෙළඹීමකින්, ගැඹුරු දර්ශනයකින් යුතුව ගරු ජෝ ප්‍රනාන්දු පියතුමා විසින් 1968 වසරේදී සමාජ, ආර්ථීක සංවර්ධන සහ අධ්‍යාපන මධ්‍යශ්ථානය වශයෙන් ජාතික සෙඩෙක් ආයතනය ආරම්භ කළේය. (2017-02-23 සග සැපත)

එකී දැක්ම ඔස්සේ වසර ගණනාවක් පුරා විවිධ දූත කාර්යයන් හරහා සමාජය සුවපත් කිරීමෙහි සහ ප්‍රජාව ගොඩනැංවීමෙහිලා ගමන්ගත් ජාතික සෙඩෙක් ආයතනය, වත්මනේ දී යුක්තිය, සාමය හා මානව සංවර්ධනය සඳහා වූ කොමිසමේ ජාතික මධ්‍යශ්ථානය වශයෙන් ක්‍රියාත්මක වේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදී, යාපනය, මන්නාරම, ත්‍රීකුණාමලය, මඩකළපුව, බදුල්ල,අනුරාධපුර,හලාවත, කුරුණෑගල, නුවර, ගාල්ල  රත්නපුර සහ කොළඹ යන කතෝලික රදගුරු පදවි 12 කේන්ද්‍රකර ගනිමින්, ජාති ආගම් වර්ග භේදයකින් තොරව, කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් මානූෂීය මෙහෙවර දියත් කිරීමෙහිලා සිය දෑත් දිගුකර ඇත.

ආපදා අවදානම් අවම කිරීම, සමෝධානික මානව සංවර්ධනය , සුරක්‍ෂිත ශ්‍රම සංක්‍රමණය සහ සමාජ සාධාරණත්වය සහ තිරසර සාමය ගොඩනැඟීම යන අංශ හරහා,පදවි රදගුරුතුමන්ලාගේ උපදෙස් සමගින් ජාතික අධ්‍යක්‍ෂක පියතුමන් හා පදවි අධ්‍යක්‍ෂක පියතුමන්ලාගේ අධීක්‍ෂණ සහ මෙහෙයවීම් ආශ්‍රයේ සමාජයත් ප්‍රජාවත් අධ්‍යාත්මීකවත්, සමාජ ආර්ථීක වශයෙනුත් සවිබල ගැන්වීමෙහිලා සංහිඳියාවේ සහෝදරත්වයේ ගමනක යෙදෙන කතෝලික සභාවේ සමාජ හස්තය වන කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් ආයතනය, 2025 - මේ වසරේදී සිය දූත කාර්යයෙහි 57වන ඉම කරා ලඟාවනු ඇත.    


(සටහන | මෙලනි මානෙල් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
melani.journalist@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජල රළ කුඩු කළ ජීවිත දුහුවිලි ගසා හුස්ම දුන් මිනිසුන් | මෙලනි මානෙල් පෙරේරා | The Leader