The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

අනුන්ගේ කළිසම් තමන්ගෙ වගේ හැඳ 'අයවැය කියවීම' | කුසල් පෙරේරා

T

The Leader Desk

February 18, 2025 • 10:57 AM

අනුන්ගේ කළිසම් තමන්ගෙ වගේ හැඳ 'අයවැය කියවීම' | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයවැයේ එහෙම වචනයක්වත් නැහැනේ?
  • ජ.වි.පෙ සහ ජා.ජ.බයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (පෙබ.17) දින ඔහුගේ මාලිමා ආණ්ඩුවේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
  • ඉන් අනතුරුව මාලිමා ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක, මාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට “කෝචොක්” දැම්මේ, අයවැය ඉදිරිපත් කළ පසු මාධ්‍යයට “වොයිස් කට්” දෙන්නට කිසිත් නැතිව විපක්ෂ මන්ත්‍රීවරුන් බිරන්තට්ටුවී ඉන්නවා යැයි කියමින් ය.
  • එයට හේතුව බොහෝවිට, අයවැයෙන් ඉදිරිපත් කළ මෙවැනි ආර්ථික ප්‍රකාශ විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

“මොනවා? එහෙම කියල තිබුණද? අයවැයේ එහෙම වචනයක්වත් නැහැනේ?

 


 
ජ.වි.පෙ සහ ජා.ජ.බයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (පෙබ.17) දින ඔහුගේ මාලිමා ආණ්ඩුවේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව මාලිමා ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක, මාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට “කෝචොක්” දැම්මේ, අයවැය ඉදිරිපත් කළ පසු මාධ්‍යයට “වොයිස් කට්” දෙන්නට කිසිත් නැතිව විපක්ෂ මන්ත්‍රීවරුන් බිරන්තට්ටුවී ඉන්නවා යැයි කියමින් ය. එහි සත්‍යයක් තිබිය හැකිය. එයට හේතුව බොහෝවිට, අයවැයෙන් ඉදිරිපත් කළ මෙවැනි ආර්ථික ප්‍රකාශ විය යුතුය.

 


 
“මෑත අතීතයේ දී ආර්ථිකයේ සිදුවූ තවත් ප්‍රධාන කරුණක් වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2024 වසරේ දෙසැම්බර මාසයේ අවසන් කිරීමයි. ඇත්තෙන්ම අප බලයට පත්වන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටි අතර එයට සැළකිය යුතු වෙනසක් සිදුවුවහොත් එමඟින් ආර්ථිකය අස්ථාවර වීමට ඇති විය හැකි බලපෑම හමුවේ ඊට බාධා කිරීමට අපට අවශය වූයේ නැහැ.

මෙම තීරණය ගැනීමේදී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය සහ එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීම විසින් ඇති විය හැකි අමතර වියදම් පිලිබඳව ද අප සලකා බැලුවා. මේ තුලින් සැලකිය යුතු මට්ටමින් ණය සහනයක් ලැබී ඇති අතර, මෙය ණය සේවාකරණයට අදාළ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරයි. විදේශ හා රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක ශක්තිමත් කිරීමට, අපනයන වර්ධනය සහ විදේශ ආයෝජන වැනි ණය වර්ධනය නොවන ලැබීම් වැඩි දියුණු කිරීමට සහ දිගු කාලීන මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා වන ලෙස අනාගතයේ දී ණය ආපසු ගෙවීම ක්‍රමවත්ව නැවත ආරම්භ කිරීමට මෙම රාජ්‍ය මූල්‍ය අවකාශය ප්‍රයෝජනයට ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.” (අය වැය කතාවේ පිටු - 03)

 

එවගේම, “වෙළඳපොළ බලවේග ඔස්සේ සැපයුම, ඉල්ලුම සහ මිල තීරණය කරනු ලබන තරඟකාරී පවළඳපොළ” සඳහා ඉඩ ලබා දීම, “ශ්‍රී ලංකාවේ නිදහස් වෙළද ගිවිසුම් (FTA) ජාලය පුළුල් කිරීම”, “ආයෝජන සඳහා පහසුකම් සැලසීමේ සහ ආරක්ෂාව සැපයීමේ අරමුණින් ආයෝජන ආරක්ෂණ පනතක් සම්මත කිරීම” වැනි තවත් කතා විය.

 

NNP 1
මේ සියලු කතා එකතු කළ විට, මෙදා අයවැය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන්නට ලියූවක සිංහල පරිවර්තනයක්දැයි ඇති වූ සැකය, විපක්ෂයේ තුශ්ණිම්භූතයට හේතු වන්නට ඇත. ඒ කතා බොහෝ දෙනෙකුට එවැනි විස්මයක් ඇතිකර තිබිණ. එයට ප්‍රධාන හා මූලික හේතුව, ඔවුන්ගේ “පොහොසත් රටක් - ලස්සණ ජීවිතයක්” නමින් මාලිමා මැතිවරණ ප්‍රකාශනය ලියූ පැලවත්තේ සංස්කරණ මණ්ඩලය එවැනි ආර්ථික පියවර ගැන නොදැන සිටීමය. ඒවා දැන සිටියේ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ 2025 වසරේ අයවැය කතාව ලියන්නට හවුල් වූ මහ භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ය.
 
දෙපිරිසක් මේ ලේඛන දෙක ලියූ හෙයින්, අර කාගෙදෝ දිනය යැයි කියන “අප්‍රේල් පළමුවන දින” සිට ක්‍රියාත්මක වන මෙවර අයවැයෙන් පසු තව දුරටත් වලංගු නොවන 2024 මැතිවරණ සඳහා අනුර කුමාර ඉදිරිපත් කළ මාලිමා පොරොන්දු ප්‍රකාශනයෙහි සඳහන් “වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම”, සහ “අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතු වලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙළ කිරීම (DSA)” - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන (පිටුව - 105) යන ප්‍රතිපත්තිමය ස්ථාවර සහමුලින් අතහැර, ජනාධිපති අනුර කුමාරට පාර්ලිමේන්තුව අමතා කියන්නට මහ භාණ්ඩාගාරයේ ලේකම් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ලියාදී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම හා කොන්දේසි බාර ගැනීම පිණිස, “.... ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය සහ එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීම විසින් ඇති විය හැකි අමතර වියදම් පිලිබඳවද අප සලකා බැලුවා. මේ තුලින් සැලකිය යුතු මට්ටමින් ණය සහනයක් ලැබී ඇති අතර, මෙය ණය සේවාකරණයට අදාළ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරයි” යනුවෙනි. එසේ සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීමට තරම් ශක්තිමත් වලංගු විකල්ප යෝජනා මාලිමා නායකයින් සතුව නොමැති හෙයින් ය.

 

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කළ හැකි වූයේ ජා.මූ.අරමුදලේ කොන්දේසි නැවත සාකච්ඡා කිරීමේ ප්‍රතිපලයක් මත නොවේ. ඒ සඳහා ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟතාවට යටත් වූ හෙයින් පමණි. ජනාධිපති වික්‍රමසිංහගේ එකඟතාව වූයේ රුපියල් 25,000 ක වැටුප් වැඩි කිරීමකි. එයට අවසර තිබූයේ 2027 වසර දක්වා කොටස් 03 කින් ගෙවීමට ය. එහෙත් ජනාධිපති අනුර කුමාරට වික්‍රමසිංහ ලබා ගත් රුපියල් 25,000 වැඩි කිරීමට අවසර නැත. ඔහුට අවසර ඇත්තේ රුපියල් 15,750 ක වැටුප් වැඩි කිරීමකි. එයද 2027 වසර දක්වා කොටස් 03 කින් ගෙවීමට ය.

 


 
එයට හේතුවක්ව ඇත්තේ අප්‍රේල් මාසයෙහි පවත්වනවා යැයි කියන පළාත් පාලන ආයතන මැතිවරණ ඉලක්ක කෙරෙමින් අයවැයට ගොනුකර ඇති සුභසාධනය වෙනුවෙන් වැඩි වියදමක් ආණ්ඩුවට දැරීමට සිදුවන නමුත් ඒ සඳහා අවශ්‍ය ආදායම් ලබා ගැනීමට නිශ්චිත පියවර සටහන් නොවීම ය. එවගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති සතු පරස්පර හා ප්‍රතිවිරෝධතාවන්ය. මේ එවැනි නිරුවත් ප්‍රතිවිරෝධයකි. “රාජ්‍ය අංශය, දේශපාලඥයින්ගේ ආධාරකරුවන්ගෙන් පුරවා ගැනීමේ අතීත පුරුද්ද අප නතර කර තිබෙනවා.” යැයි ආරම්භයේදී කියා ඒ පරිච්ඡෙදය අවසන් කරමින් “රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව, 2025 වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා” යැයි කියන්නේය. (38. රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීම - පිටුව/43)
 
අයවැය අන්තර්ගතයෙහි ඇත්තේ, ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා අනුව ඔහුට ගැලපෙන අයුරු මසා ගත් කළිසම පැත්තකට දමා, තමන්ට ඔබින ඇඳුමක් මසා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාර්ථකව කේවල් කරන්නට මාලිමා ආණ්ඩුවට ඇති නොහැකියාව ය.

එනිසා අයවැය කතාව යනු හිටපු ජනාධිපති තබා ගිය කළිසම හඳින්නට සිදුව ඇති හෙයියම්මාරුව වසා ගැනීමට ජනාධිපති අනුර කුමාර නිරත වූ වාග් සංග්‍රාමයකි. ඔහු වෙනුවෙන් අවසන් වශයෙන් එහෙත් එකක් කිව යුතුය. ඒ හෙයියම්මාරුවට වික්‍රමසිංහ හසු වූවා නම්, ඔහුට අනුර කුමාර ආසන්නයට හෝ එන්නට නොහැකි යැයි මම සිතමි. අයවැය අනුන්ගේ වූවත් කතාව තමන්ගේ කර ගැනීමට අනුර කුමාර සතු දක්ෂතාව වික්‍රමසිංහ සතු නොවේ යැයි මගේ මැනීම ය.


(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 පෙබරවාරි 18


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...