The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

විදුලිය බිඳ වැට්ටවීමේ වරදින් පානදුරේ වඳුරා ‘නිදොස් කොට නිදහස්!' | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

February 19, 2025 • 6:51 AM

විදුලිය බිඳ වැට්ටවීමේ වරදින් පානදුරේ වඳුරා ‘නිදොස් කොට නිදහස්!' | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් එහි රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළ “වඳුරා” ගැන ගැන සඳහනක් නැතිවීම විශේෂත්වයකි.
  • එම වාර්තාවේ සඳහන් කරුණු වලට අනුව පසුගිය පෙබරවාරි 9 වන දින පෙරවරු 11:13ට සිදු වූ දීප ව්‍යාප්ත විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය අවධානය යොමු කර ඇත.
  • එමෙන්ම මෙවැනි තත්ත්වයන් අනාගතයේ දී ඇති නොවීම සඳහා කඩිනම් හා දිගු කාලීන පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාව වෙත සහතික කර සිටී.
  • පානදුර 33KV ග්‍රිඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික බිඳ වැටීමක් හේතුවෙන් ජාල පද්ධතිය පුරා හදිසි වෝල්ටීයතා පහත වැටීමක් සිදුවී ඇතැයි මණ්ඩලය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් එහි රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළ “වඳුරා” ගැන ගැන සඳහනක් නැතිවීම විශේෂත්වයකි.

එම වාර්තාවේ සඳහන් කරුණු වලට අනුව පසුගිය පෙබරවාරි 9 වන දින පෙරවරු 11:13ට සිදු වූ දීප ව්‍යාප්ත විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය අවධානය යොමු කර ඇත. එමෙන්ම මෙවැනි තත්ත්වයන් අනාගතයේ දී ඇති නොවීම සඳහා කඩිනම් හා දිගු කාලීන පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාව වෙත සහතික කර සිටී.

 

පානදුර 33KV ග්‍රිඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික බිඳ වැටීමක් හේතුවෙන් ජාල පද්ධතිය පුරා හදිසි වෝල්ටීයතා පහත වැටීමක් සිදුවී ඇතැයි මණ්ඩලය කියයි. ඔවුන් පවසන අන්දමට සිද්ධිය වන අවස්ථාවේදී ජාතික විදුලි ඉල්ලුමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සපයා ඇත්තේ මෙගාවොට් 800ක සූර්ය විදුලි (පීවී) ජනනය මගිනි. ඊට අමතරව නොරොච්චෝලේ ලක් විජය බලාගාරයෙන් මෙගාවොට් 470ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 130ක විදුලි ධාරිතාවක් ලබා දී තිබේ.

අසමමිතික සූර්ය විදුලි ජනනයේ අධික භාවිතය හේතුවෙන් ජාලයේ පද්ධති හැකියාව අඩු මට්ටමක පැවතීම නිසා බිඳ වැටීම් වලට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි අතර මෙවර එවැනි තත්වයක් උද්ගත වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන අන්දමට මෙම තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් විදුලි ජනනය හා ඉල්ලුම අතර අසමතුලිතතාවයක් ඇති වී, එය අනුක්‍රමිකව විදුලි විසන්ධි වීම් දක්වා වර්ධනය වී සම්පූර්ණ විදුලි බිඳවැටීමකට තුඩු දී තිබේ. සූර්ය විදුලි ජනනයේ අධික භාවිතය සමමිතික ජනන ප්‍රමාණය අඩු වීම හේතුවෙන් වෝල්ටීයතා හා සංඛ්‍යාත විචලනයන්ට ජාලය වඩාත් සංවේදී වී තිබිණි.


හදිසි වෝල්ටීයතා පහත වැටීම හේතුවෙන් සූර්ය විදුලි පද්ධති විසන්ධි වීම, ජනන-පරිභෝජන අසමතුලිතතාව තවදුරටත් වැඩි කර ජාලය අස්ථාවර කිරීමට හේතු වී තිබේ.ඒ සමඟම නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිත වීම ද සිදු ව තිබේ. මෙය පද්ධති අස්ථාවරත්වයට ප්‍රතිචාර වශයෙන් බලාගාරයේ ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් මිස බලාගාරයේ අභ්‍යන්තර දෝෂයක් නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කොට ඇත. මෙම ආරක්ෂණ ක්‍රියාවලිය මඟින් බලාගාරයට විනාශකාරී හානි සිදුවීම වළක්වා ඇති වූ අතර, දිගුකාලීන විදුලි බිඳවැටීම් ඇති වීම ද වැළැක්විණි.

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

 

මීට අමතරව, “ඉරිදා බලපෑම” ලෙස හැඳින්වෙන තත්වයක් ද ඉකුත් පෙබරවාරි 9 වන දින බිඳවැටීමට බලපා තිබේ. “ඉරිදා බලපෑම”යනු සති අන්ත දිනවල අඩු විදුලි ඉල්ලුම සූර්ය විදුලි ජනනයේ ඉහළ නිෂ්පාදනය සමඟ එක්වීමෙන් ජාල අස්ථාවරත්වයක් ඇති වීමයි. සතියේ වැඩ කරන දිනවලට සාපේක්ෂව කාර්මික හා වාණිජ පාරිභෝගිකයන්ගේ විදුලි පරිභෝජනය ද අඩු මට්ටමක පැවතීම නිසා ජාලය අඩු ඉල්ලුමක් සහිතව ක්‍රියාත්මක වෙමින් තිබිණ. එමගින් එවැනි හදිසි බිඳවැටීම්වලට ගොදුරු වීමේ හැකියාව ඉහළ ගොස් තිබේ.

ඉතා සරල උපමාවකින් කිව හොත් මෙය විදුලි බලය “පිටාර ගැලීමක්” වැනි තත්වයකැයි කියනු ලැබේ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසා සිටියේ දිවයින පුරා වාර්තා වූ එම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යංශය විමර්ශන දෙකක් සිදු කරමින් සිටින බවකි.

නමුත් මෙම විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ලංකා විදුලි බල මණ්ඩලයට අයත් උප පොළේ සම්ප්‍රේෂණ රැහැනක වඳුරෙකු ගැටීම බවට නියෝජ්‍ය ඇමති කුමාර ජයකොඩි කළ ප්‍රකාශය තුළ පැවැති ප්‍රවෘත්තිමය නැවුම් බව හා ඒ සම්බන්ධයෙන් ජනතාව දැක්වූ උණුසුම් ප්‍රතිචාර මත වඳුරෙකු ගැටීමේ කතාව වලිගයට ගිනි තබා ගත් හනුමන්තාටත් වඩා වේගයෙන් සමාජය පුරා පැතිර යනු දක්නා ලදී.

 

විදුලි බිඳ වැටීම ගැන එකිනෙකාට චෝදනා කරන අස්සේ කළුතර වඳුරා විදෙස්හි පුවත්  මවයි

නියෝජ්‍ය ඇමති වරයා ගේ එම කතාවට අලගු තබමින් ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, වඳුරෙකු ගැටුණු කතාව සත්‍යයක් බව ය. එහි දී ඔහු කළ “වඳුරෙක් වැදුණා කියන කතාව සීයට දාහක් විශ්වාසයි. මමත් ඒ උප පොළ ආසන්නයේ ඉන්නේ. මම දැක්කා ඒක. පානදුර උපපොළේ විදුලිය බිඳ වැටුණේ වඳුරෙක් ගැටීම නිසා තමයි”. යන ප්‍රකාශයට අනුව ඔහු ඒ සිදුවීම සියැසින් දැක තිබේ. එහෙත්, ඒ කලබැගෑනි කිසිවක් නොදත් එම උපපොළේ සිද්ධිය වූ අවස්ථාවේ සේවයේ නියුතුව සිටි ආරක්ෂක නියාමකවරයා තම නිල ඇඳුම පිටින්ම මාධ්‍ය වෙත පවසා තිබුණේ කිසි සේත්ම එහි වඳුරෙකු ගැටීමක් සිදු නොවූ බව ය. එහෙත් ඔහුට ඒ වන විට පසුබිමින් නැඟෙමින් තිබූ දේශපාලන උනුසුම නොදැනී තිබූ බව පැහැදිලි ය.

 

පසුගිය කාලයේ කුමාර ජයකොඩි නාමය ජනතා කරළියේ විශේෂ කතා බහකට තුඩු දුන්නේ ඔහු ගේ ඉංජිනේරු උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් මතු කළ සැකයක් හේතුවෙනි. එහෙත් තම උපාධි සුදුසුකම සමාජ ගත කළ ඔහු තම නම ඉදිරියට ඉංජිනේරු යන කොටස ද ආදේශ කර ගන්නා ලදී. සාමාන්‍යයෙන් වෛද්‍ය වරුන් මෙන් ඉංජිනේරුවෝ තම නමට ඉදිරියෙන් තම වෘත්තිය ප්‍රකාශයට පත් නොකරති. නමුත් කුමාර ජයකොඩි නියෝජ්‍ය අමාත්‍ය වරයාට එමඟින් හෝ තම විද්වත් වෘත්තික භාවය ප්‍රකාශ කිරීමට අප ඉඩ දිය යුතු ය.

නමුත් පසුගිය දිනවල ඔහු අද හෙටම කළ නොහැකි යැයි කියූ විදුලි බිල පහළ දැමීම ආණ්ඩුව මඟින් ක්ෂණිකව සිදු කිරීම මත ඔහු ගේ වෘත්තීය ගුණාත්මක භාවයට තරමක හානියක් සිදු විය.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ ද එම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් රැහැන්වල ගැටුණේ කුමන සතෙකු ද යන්න පිළිබඳව තර්ක කිරීම අදාළ නොවන බව ය. එය ඉතා නිවැරදි ප්‍රකාශයකි. එමෙන්ම සූර්ය විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලි නිෂ්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇතිවීමෙන් පද්ධතිය අක්‍රීය වූ බව ද විදුලි බල මණ්ඩලය පවසයි.

 

නමුත් මෙය මනා සිහි නුවණකින් ධාරණය කර ගත යුතු ප්‍රකාශයකි, මක් නිසා ද යත් සූර්ය විදුලි උත්පාදනය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් රට තුළ පවත්නා ආර්ථික උද්දමනය නම් රෝගයට තිරසාර විසඳුමක් ගෙනෙන අතරේ සූර්ය විදුලි උත්පාදනය සම්බන්ධ වැරදි අදහසක් සමාජ ගත විය හැකි බැවිනි.

ඒ කෙසේ හෝ නියෝජ්‍ය ඇමති කුමාර ජයකොඩි කළ ප්‍රකාශයට කොහේවත් නැති වඳුරකු ගාවා ගැනීම මාලිමා ආණ්ඩුව රිලව් වඳුරන් සමඟ පසුගිය දිනවල ඇති කර ගත් “ඇරියස් කවර් කිරීමක්” සේ වැරදියට වටහා ගත් බවක් පෙනේ. එමෙන්ම මෙම 1988-89 භීෂණ සමයේ ද රිලා වඳුරු කණ්ඩායම් එක් වී රුපියල් කෝටි ගණනක් වටිනා විදුලි ට්‍රාන්ස්ෆෝමර් ගිනි බත් කොට වනසා දැමූ බවක් ද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයෝ මෙම පානදුරේ වඳුරා පිළිබඳ සිද්ධියට සමගාමීව ලියන්නට පටන් ගත්හ. අප දන්නා තරමින් නම් අද වන විට එවැන්නවුන් වඳ වී ගොසිනි.

මේ සියළු කලබැගෑනි නිමා කරමින් මේ වන විට එම විදුලිය බිඳ වැට්ටවීමේ වරදින් පානදුරේ වඳුරා ‘නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට තුති පුදන අපි ඉදිරියේ මෙවන් වඳුරු කතා නෑසෙන තැනට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ආණ්ඩුව රාජ්‍ය සේවයට කරන්න හදන්නේ ඔපරේෂන් එකක් ද? එම්බාම් එකක් ද? | රේණුකා  දමයන්ති(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...