The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ ආර්ථිකය 'ගොඩ දැමීම' සහ 'යෝධ ආර්ථික' ගැන කතා වන බේගල් | කුසල් පෙරේරා

T

The Leader Desk

February 21, 2025 • 6:11 AM

මේ ආර්ථිකය 'ගොඩ දැමීම' සහ 'යෝධ ආර්ථික' ගැන කතා වන බේගල් | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමා නායක ජනාධිපති අනුර කුමාර කියන මේ “ආර්ථිකය නගා සිටුවීමේ මාර්ගය” කුමක්ද?
  • ඔහු ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන මාලිමා ආණ්ඩුවේ අය වැය කතාවෙහි නම් එවැනි අලුත් ආර්ථික මාර්ගයක් නැත.
  • එහි ඇත්තේ අවුරුදු 40 ට වැඩි කලක් අසාර්ථක වූ, එකම අවුරුද්දකවත් ආනයන වියදම පියවා ගැනීමට අපනයන ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ, ජයවර්ධන ජනාධිපති හඳුන්වා දුන් විවෘත වෙළඳපල ආර්ථිකයෙහිම තව දුරටත් ගමන් කිරීමකි.
  • එහි ඇත්තේ “වෙළඳපල බලවේග ඔස්සේ සැපයුම, ඉල්ලුම සහ මිල තීරණය කරනු ලබන තරගකාරී වෙළඳපල” තහවුරු කිරීමත් ආයෝජන සඳහා පහසුකම් සැළසීම හා ආරක්ෂාව සැපයීමත් මූලිකවන විවෘත කළ වෙළඳපල ආර්ථිකය කතාවෙන් හැඩ ගැන්වීමක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලිමා නායක ජනාධිපති අනුර කුමාර කියන මේ “ආර්ථිකය නගා සිටුවීමේ මාර්ගය” කුමක්ද?
 
ඔහු ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන මාලිමා ආණ්ඩුවේ අය වැය කතාවෙහි නම් එවැනි අලුත් ආර්ථික මාර්ගයක් නැත. එහි ඇත්තේ අවුරුදු 40 ට වැඩි කලක් අසාර්ථක වූ, එකම අවුරුද්දකවත් ආනයන වියදම පියවා ගැනීමට අපනයන ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ, ජයවර්ධන ජනාධිපති හඳුන්වා දුන් විවෘත වෙළඳපල ආර්ථිකයෙහිම තව දුරටත් ගමන් කිරීමකි.

 


 

එහි ඇත්තේ “වෙළඳපල බලවේග ඔස්සේ සැපයුම, ඉල්ලුම සහ මිල තීරණය කරනු ලබන තරගකාරී වෙළඳපල” තහවුරු කිරීමත් ආයෝජන සඳහා පහසුකම් සැළසීම හා ආරක්ෂාව සැපයීමත් මූලිකවන විවෘත කළ වෙළඳපල ආර්ථිකය කතාවෙන් හැඩ ගැන්වීමක් පමණි.

මේ අසාර්ථක ආර්ථිකයෙහි ගමන් යෑමට හැම දේශපාලන නායකයෙකුම, හැම ආර්ථික විද්‍යාඥයෙකුම කතා කරන්නේ චීනය යෝධ ආර්ථික බලවතෙකු වූ හැටි, ඉන්දියාව ඊළඟ බලවතා වන හැටි සහ ඒ පසුපසින් වියට්නාමය ගමන් අරඹා ඇති සැටි ය.

 
වෙළඳපල ආර්ථිකය යනු......

 


ඒවායේ ආර්ථික බලය ගැන කතා කිරීමට කලින්, ඒ රටවලද ආර්ථික මූලෝපායවන ජනාධිපති ජයවර්ධන අපට හඳුන්වා දුන් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි මූලික ලක්ෂණ ඉතා කෙටියෙන් මෙසේ දක්වමි.

01. විවෘත වෙළඳපල ආර්ථික උපතින්ම දූෂිත ය.

02. විවෘත වෙළඳපල ආර්ථික යනු සමාජ-ආර්ථික “සංවර්ධන” ආකෘතියක් නොවේ. එය මහ නගර කේන්ද්‍රීය තරගකාරී වෙළඳපලකි. ගම ඉතිරි වන්නේ ලාභ ශ්‍රමිකයින් සපයා ගැනීමටය.

03. විවෘත වෙළඳපල ආර්ථික පවත්වා ගෙන යාමේ “දේශපාලනය” විසින් නාගරික වෙළඳපලින් අතහැරෙන ග්‍රාමීය සමාජය බහුතර වර්ගවාදී ආගම්වාදී දේශප්‍රේමයකින් හසුරුවනු ලබයි.


අපේ අත්දැකීම් ඒ අනුව සැකෙවින් ගොනු කළහොත්,

 


1. ග්‍රාමීය ආර්ථිකය හැම අතින්ම දුප්පත් ය. බහුතරය ඇඟළුම් හා නිදහස් වෙළඳ කලාප කම්හල්වලත්, කොළඹ හා අවට නගරයේත් රැකියා සොයන්නට සංක්‍රමණය වන්නාහ. තව තරුණ පිරිසක් මැද පෙරදිග හා දකුණු කොරියාවේ රැකියා සොයා යති.

2. ගම හා නගරය අතර පරතරය පමණක් නොව, දුප්පත් පොහොසත් යනුවෙන්ද සමාජ ආර්ථික විෂමතා පුළුල් වන්නේය. මෙවර සිය අයවැය කතාවෙහි ජනාධිපති අනුර කුමාර කියූ පරිදි මේ සමාජයේ සමස්ථ ගෘහස්ථ වියදම් වලින් සියයට 47 ක පංගුවක් වියදම් කරන්නේ ඉහළම ආදායම්ලාභී ගෘහස්ථ සියයට 20 ය. එවගේම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 44 ක් බස්නාහිර පළාතෙනි. (අයවැය කතාවේ 04 වන පිටුව)

3. එතෙක් ව්‍යවස්ථාමය වරප්‍රසාද ලෙස එසවුනු බහුතර සිංහල-බෞද්ධ බලය, විවෘත වෙළඳපල සමග ප්‍රචණ්ඩ ලෙස පාරට ගෙනෙනු ලැබිණ. 1979, 1981, 1983 ඊට සාක්ෂි ය. හැම මැතිවරණයකදීම සිංහල දකුණේ ඡන්ද ගොනු කෙරෙන්නේ බහුතර “සිංහල-බෞද්ධ” අනන්‍යතාව සමගින් ය.

trump vote 324

මෙවැනි හැඩ ගැසීම් දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේද විවෘතව දැකිය හැකි ය. ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන ජනතාවාදි ජාතිකත්වයෙහි “පිරිසිදු සුදු ඇමෙරිකානුවාදය” සමග ක්‍රිස්තියානි සමාජ වටිනාකම්, පදනම වන්නේය. 
 
දැන් අපි, යෝධ ආර්ථික සමග බලවත් රාජ්‍ය ලෙස හුවා දැක්වෙන චීනය හා ඉන්දියාවේ සමාජ ආර්ථික පැවැත්ම මඳක් විමසා බලමු.
 
පළමුව චීනය

 

anura 250118
චීන ජනගහනය 2023 දී බිලියන 01.4 (මිලියන 1,417) කි. පරිපාලනය වෙනුවෙන් චීනය, ප්‍රාන්ත ඒකක 31 ට බෙදා ඇත. ජනාධිපති අනුර කුමාර අපේ ලංකාව ගැන කියූ සමාජ ආර්ථික විෂමතා සියල්ල “මහජන චීන සමූහාණ්ඩුවේ” ප්‍රාන්ත අතර ඊටත් වැඩි ප්‍රමාණයකින් ඇත.
 
චීන නිල සංඛ්‍යාලේඛන සම්බන්ධ ප්‍රශ්න කිරීම් ඇත. එහෙත් ලබා ගත හැකි අලුත්ම දත්ත අනුව 2023 අවුරුද්ද වන විට එරට ජනතාවගේ පැවැත්ම මෙවැනි ය.
 
චීන ප්‍රාන්ත 31 න් බෙයිජිං, ෂැංහායි, ජියැංසූ ප්‍රාන්ත 03 හි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය (ද.දේ.නි) ඇ.ඩොලර 21,000 සිට 28,400 දක්වා වන්නේය. ඉතිරි ප්‍රාන්ත 28 න් දුප්පත්ම ප්‍රාන්ත 07 හි ඒක පුද්ගල ද.දේ.නිය ඇ.ඩොලර 6,000 සිට 8,500 අතර වන්නේ ය. අනෙක් ප්‍රාන්ත 21 න් 12 ම ඇ.ඩො. 12,000 ට වඩා අඩු ය.

චීනයේ මානව සම්පත් සංවර්ධන නිර්ණායක ගණන් හැදීම පහසු නැත. 2021 දී සාක්ෂරතාව සියයට 94 ක් බැව්ද වසරක ඒක පුද්ගල සෞඛ්‍ය වියදම (2020 දී) ඩොලර 671 ක් යැයිද වාර්තා ඇත. එහෙත් චීන ප්‍රජා සෞඛ්‍ය සේවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් බවත් දුප්පත් ප්‍රාන්තවල තත්ත්වය අතිශය දුප්පත් බවත් 2022 බී.බී.සි සමාජ ආර්ථික වාර්තාවක ඇත. නැගෙනහිර වෙරළබඩ පොහොසත් ප්‍රාන්ත කිහිපයට 2021 දී සිය ගම් බිම් අතහැර රැකියා සොයා පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයින් මිලියන 291 ක් වූ බැව් එම බී.බී.සි වාර්තාවෙහිම දක්වා ඇත.  

China Poverty

 

මේ අසාධාරණ සමාජ-ආර්ථික විෂමතා සියල්ලට අමතරව, චීන පාලනය අතිශය දරදඬු, මර්දනීය පාලනයකි. මාඕ සෙඩොං ගෙන් පසු ඩෙං සියාඕපිං කොමියුනිස්ට් පක්ෂය සියතට ගත් පසු, සංවෘත දුප්පත් චීන ආර්ථිකය පියවරෙන් පියවර ගෝලීය ආර්ථිකයට විවෘත කෙරුණේ, මිහායිල් ගොර්බචොෆ් සෝවියට් ආර්ථිකය විවෘත කිරීම සඳහා සෝවියට් රුසියාව ප්‍රජාතන්ත්‍රීය කිරීමට මුල පිරූ අයුරින් නොවේ. ඩෙං සියාඕපිං චීන ආර්ථිකය ගෝලීය ආර්ථිකයට විවෘත කෙරුවේ, සමස්ථ චීන ආර්ථිකය හැසිරවීම, කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලයේ තනි අයිතියට තියා ගනිමින් ය.

විශේෂයෙන් විදේශ කොන්තරාත් හා ඉදි කිරීම් වෙනුවෙන් දියත් කළ පෞද්ගලික සමාගම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානීන්ගේ විධාන යටතේ තබා ගැනීම, අපේ රටේ කොන්තරාත් බාර ගෙන තිබෙන චීන සමාගම් වලින් තේරුම්ගත හැකිය. ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලනය චීනය යැයි සැළකෙන්නෙකි.

detention centers

චීන රාජ්‍ය සියයට 91 ට වැඩි බහුතර “හන්” වාර්ගිකයින්ගේ රාජ්‍යයකි. නිල වශයෙන් සඳහන් සුළුතර වාර්ගික ජන කොටස් 51 න් වඩාත්ම දරුණු මර්දනයට හසුව ඇත්තේ ටිබෙට් ජාතිකයින් හා උයිගු මුස්ලිම්වරුන් ය. මධ්‍යම ආසියාව මායිම් වන චීනයේ වයඹ කෙළවරෙහි ඇති සිංජියැං ප්‍රාන්තයේ තුර්කි සම්භවයක් ඇති උයිගු ජාතිකයින් මිලියන 12 ක් පමණ වෙසෙති.

පසුගිය අවුරුදු 07 ක පමණ කාලයේ ඔවුන්ගෙන් මිලියනකට වැඩි ජන කොටසක් චීන රාජ්‍ය විසින් පුනරුත්ථාපනය සඳහා සිරගතකොට ඇත. ඒවායේ ශාරීරික හා මානසික වධ බන්ධන වලට සිරකරුවන් බඳුන් කෙරෙන්නේ යැයි 2022 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි අධ්‍යයන වාර්තාවකින් හෙළි කෙරුණි.   

එහෙමනං ඉන්දියාව?

1491771770 rural women 926
චීනය වැනි ඒකාධිපති පාලනයකට යටත්ව නොමැති හෙයින් ඉන්දියාව පිළිබඳ බොහෝ තොරතුරු විවෘතව ඇත. ජවහර්ලාල් නේහ්රු විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය හිමන්ෂුට අනුව, “ඉන්දියාව සම්බන්ධයෙන් වඩාත්ම බරපතල කණස්සල්ල වන්නේ කුල, ආගම්, කලාපීය හා ස්ත්‍රී-පුරුෂ ලිංගිකත්වය මත බෙදුණු සමාජයකට ආර්ථික විෂමතාවන්ද එකතු වීමය.” වර්ධනය වන එම විෂමතා හේතුවෙන් වැඩියෙන්ම අගතියට පත් වන්නේ කාන්තාවන් හා ළමුන් යැයිද සඳහන් වන්නේය.
 
ඉන්දියාව, නිදහසට බොහෝ කලකට පෙර සිට ධනේශ්වර ආර්ථික වර්ධනයක් අත්දකිමින් සිටි රටකි. ඔවුන්ගේ අවුරුදු 150 ට වැඩි ආයු කාලයක් ඇති ටාටලා, බිර්ලලා ව්‍යාපාරිකයින් වූයේ බ්රිතාන්‍යයින්  පැමිණීමටත් පෙර ය. ඉන්දියානු වාහන නිෂ්පාදන කර්මාන්තය ආරම්භකර ඇත්තේ 1942 දී ය. 1954 වන විට වාහන එකලස් කිරීම මුළුමනින් නතර කරනු ලැබුණේ, සම්පූර්ණ වාහන නිෂ්පාදනය සඳහා ආණ්ඩුවේ සහන ලැබීමත් සමග ය.

ඒ ඉතිහාසයෙහි ඔවුන්ගේ සංවෘත ආර්ථිකය සඳහා අපගේ මෙන් නොව, විශාල දේශීය වෙළඳපලක් තිබිණ. අපගේ ජනගහනය මිලියන 09.7 ක් වූ 1960 වන විට, සියයට 02.3 ක ජනගහන වර්ධනයක් සහිත මිලියන 445 ක ජනගහනයක් විසින් පවත්වා ගත් වෙළඳපලක් ඔවුන්ට තිබිණ. ඒ වෙළඳපල හැසිරවූ ආණ්ඩුව අපගේ වාගේම සහ චීනයට හාත්පසින් වෙනස් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවාදී ආණ්ඩු පාලනයක් විය. අපගේ පළමු දසක 03 ක කාලයේ මෙන් ඔවුන්ගේද නිදහසින් පසු සමාජය, කුල, ජාති, ආගම් සමගින් දුප්පත් සමාජයක් වූවත් යම් විනයක් සහිත සදාචාර සම්පන්න ශිෂ්ට සමාජයක් වූවකි.

ඒ ඉන්දීය සමාජයෙහි විපරියාසය ඔවුන්ගේ ආර්ථිකය ලොවට විවෘත කළ 1991 න් පසු ඉකුත් අවුරුදු 34 පුරා ගිය ගමන සමගින් විපරම් කළ යුත්තකි.

ogb 115156 india public health center
1. ඉන්දියානු ජාතික වත්කමෙන් සියයට 77 ක් 2024 වන විට අයත් වූයේ ඉන්දීය ජනගහනයෙන් පොහොසත්ම සියයට 10 ටය.

2. ඉන්දියානු ජනගහනයෙන් දුප්පත්ම සංඛ්‍යාව වන මිලියන 670 කගේ වත්කම් වර්ධනය වූයේ සියයට 01 කින් පමණි.

3. ඉන්දියානු ඩොලර බිලියනාධිපතිවරුන් සංඛ්‍යාව 2024 වන විට 185 ක් වූ අතර, ඔවුන්ගේ ඒකාබද්ධ ස්ථාවර වත්කම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික ආදායම වූ ඉන්දියානු රුපියල් බිලියන  24,422 ට වඩා වැඩි වූවකි.

4. ලොව මව්වරුන්ගේ දරු උපත් මරණ වලින් සියයට 17 ක් ඉන්දියාවේ සිදුවන මරණය. වයස අවුරුදු 05 ට අඩු ළමුන්ගේ මරණ වලින්ද සියයට 21 ක් ඉන්දියාවේ ය. (තොරතුරු)  

indftyy5. 2021 වන විට ඉන්දියාවේ බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය සියයට 14.96 ක් විය. බිහාර් ප්‍රාන්තයේ - සියයට 33.8 යි. ජාර්කාන්ඩ් හි සියයට 28.8 යි. මෙගලයා හි සියයට 27.8 යි. උත්තර් ප්‍රදේශ් සියයට 22.9 යි. මධ්‍ය ප්‍රදේශ් හි සියයට 20.6 යි.

 

ඉන්දියාවේ මෝඩිගේ සංක්‍රාන්තිය සමග “හින්දුත්වා” කණ්ඩායම් විසින් කෙරෙන පුද්ගල ඝාතන සංඛ්‍යා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තා අනුව එවැනි සිදුවීම් 40 කින් පුද්ගල ඝාතන 45 ක් 2014 සිට අවුරුදු 04 ක් ඇතුළත සිදුව ඇත. තවත් වාර්තාවකට අනුව එවැනි කණ්ඩායම් ඝාතන 109 කි.

0418 OHINDUTVA LEDE masks

 

එවගේම වැදගත් වන්නේ විවෘත වෙළඳපල ආර්ථිකයට සේන්දු වූ පසු ඉන්දියාව පාලනය කරන ජනතා නියෝජිතයින්ගේ කැරැට්ටුව ය.

ඉන්දියාවේ මැතිවරණ තොරතුරු විශ්ලේෂණය කරන වෘත්තිමය ආයතනයක් වන “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහාවන සංගමය” (Association of Democratic Reforms) පසුගිය 2024 වසරේ ඉන්දීය ලොක් සභා මැතිවරණයෙන් පසු නිකුත් කළ වාර්තාවට අනුව, අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 93 ක් කෝටිපතීන් වන අතර සියයට 46 ට එනම් 251 ට එරෙහිව අධිකරණයෙහි නඩු පවරා ඇත. ඉන් 27 කු වරදකරුවන් යැයි තීන්දුවී ඇත. නඩු පවරා ඇති මන්ත්‍රීවරුන්ගෙන් 170 ට එරෙහිව ඇත්තේ ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අතවර, කප්පම් ගැනීම්, මිනී මැරීම්, මිනී මැරීමට තැත් කිරීම්, පැහැරගෙන යාම් වැනි බරපතල චෝදනා ය. 

මේ සංඛ්‍යා 2009 සිට පසුගිය හැම මැතිවරණයකදීම වැඩිවීමක් පෙන්නුම් කරන්නේ යැයිද එම සංගමය පෙන්වා දෙයි. ඔවුන්ගේ වාර්තා වලට අනුව, 2009 සිට මේ වන විට ඒ වැඩිවීම සියයට 124 කි.
 
දැන් අපි  


විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අපගේ සමාජ පිරිහීමද එවැනිම ය. ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අතවර, ළමා අපචාර, ළමා හිංසන, කප්පම් ගැනීම්, මිනී මැරීම්, මිනී මැරීමට තැත් කිරීම්, පැහැරගෙන යාම් දෛනික ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබෙන්නකි. ජනාධිපති අනුර කුමාර අයවැය කතාවෙහි කියූ ආර්ථික වත්කම් බෙදී යාමේ විෂමතාවද මේ විවෘත ආර්ථිකයෙහි කැපී පෙනෙන්නකි.

අප බංකොලොත් වූවා යැයි කියන්නේ සමාජයක් ලෙස අප මුහුණ දෙන එවැනි සියලු සමාජ ව්‍යසන නොසළකා, මේ ආර්ථිකයෙහි මෙතෙක් ලබා ගත් ඩොලර හා රුපියල් ණය ගෙවන්නට නොහැකි වීම ය. වික්‍රමසිංහ අපව “ගොඩ දැම්මා” යැයි කියන්නේ, ණය ගෙවීම සඳහා මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අපගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කළේ යැයි කියන්නක් නොවේ. ඒ “ගොඩ දැමීම” යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව, නැවත ණය ගැනීම සඳහා ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමෙන් මැද පංතිකයින්ට නාගරික වෙළඳපල එකලස්කර දීම පමණ ය.

දැන් අප එකක් බේරුම් කර ගත යුතුව ඇත. අප “චීනය” යැයි කිව යුත්තේ නැගෙනහිර වෙරළෙහි ප්‍රාන්ත කිහිපයකට සීමා වූ ජාවාරම්කාර දූෂිත ආර්ථිකයේ අයිතිකරුවන් වන කොමියුනිස්ට් පක්ෂයේ මර්දනකාරී රාජ්‍යයටද, නැතිනම් ආර්ථික ක්‍රියාවලියෙන් අත හැර දැමුණු චීන ජනගහනයෙන් සියයට 90 ට වැඩි දුප්පත් අසරණයින්ට ද? “ඉන්දියාව” කිව යුත්තේ ඩොලර් බිලියනාධිපතියන් 185 දෙනා සමග ආර්ථිකය හසුරුවන දූෂිත, වර්ගවාදී අපරාධකරුවන්ගේ ඉන්දියාවටද නැතිනම්, මිලියන 670 ට වැඩි දුප්පතුන්ටද?
 
මාලිමා ආණ්ඩුව සමග ජනාධිපති අනුර කුමාර උත්තර දිය යුත්තේ එවැනි චීනයක් හෝ ඉන්දියාවක් හදා ගන්නා “දියුණුවටද” නැතිනම් කුමකටද යන පැනයට ය.
 
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 පෙබරවාරි 20

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...