The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාතාලය නැති කරනවා නොකියා සංවිධාන්මක අපරාධ අවම කරනවා කිව්වොත් නේද හරි? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

February 22, 2025 • 7:46 AM

පාතාලය නැති කරනවා නොකියා සංවිධාන්මක අපරාධ අවම කරනවා කිව්වොත් නේද හරි? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීගමුවේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසලක හිමි කරුවෙකු මෙම වෙඩි පහරේ ඉලක්කය බව පොලිසිය පවසයි.
  • යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් මොහොතේ ඔවුන් ගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම මත එම උත්සාහය ව්‍යර්ථව ඔවුන් පළා ගොස් ඇත.
  • ගනේමුල්ල සංජීව නම් සංවිධාත්මක අපරාධ කරුගෙන් වෙන්ව වෙනම සංවිධානාත්මක අපරාධ ජාලයකට සම්බන්ධ පුද්ගලයකු මෙම වෙළෙඳ සලෙන් කප්පම් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ.
  • මීගමුව පොලිසිය පිහිටා ඇත්තේ සිදුවීම වූ ස්ථානයට මිටර් 200 ක පමණ දුරකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මීගමුවේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසලක හිමි කරුවෙකු මෙම වෙඩි පහරේ ඉලක්කය බව පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් මොහොතේ ඔවුන් ගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම මත එම උත්සාහය ව්‍යර්ථව ඔවුන් පළා ගොස් ඇත.

ගනේමුල්ල සංජීව නම් සංවිධාත්මක අපරාධ කරුගෙන් වෙන්ව වෙනම සංවිධානාත්මක අපරාධ ජාලයකට සම්බන්ධ පුද්ගලයකු මෙම වෙළෙඳ සලෙන් කප්පම් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ. මීගමුව පොලිසිය පිහිටා ඇත්තේ සිදුවීම වූ ස්ථානයට මිටර් 200 ක පමණ දුරකිනි.
 
negombo

මේ අතර මෙම සිදුවීමට පෙර ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ. ඒ 10 වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඉකුත් 20 දා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.




මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති බවකි.

ජනාධිපතිවරයා ගේ මෙම ප්‍රකාශයට පදනම් වී ඇත්තේ ඉකුත් 20 වන දා අප රටේ අධි ආරක්ෂිත කලාපයක් වන කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අධිකරණ ශාලාවක් තුළ නඩුවකට සාක්ෂි දෙමින් සිටි ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ය.

 පුද්ගලයාගේ තරාතිරම කුමක් වුව මෙලෙස අධිකරණයක් හමුවේ සාක්ෂි දෙමින් සිටින පුද්ගලයකු ගේ පපුවට වෙඩි උණ්ඩයක් එල්ල වන තරමට මෙරට ජාතික, සමාජ හා පුද්ගල ආරක්ෂාව බිඳ වැටී ඇත්නම් එය සුළු පටු කරුණක් නොවන බව කුඩා දරුවකුට වුව ද වැටහී යා යුතු ය.

 
G sanjeewa 250219කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අධිකරණ ශාලාවක් තුළ නඩුවකට සාක්ෂි දෙමින් සිටි ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම
මේ මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පෙන්වා දී ඇත්තේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කර ඇති බවයි. ඉදිරියේ දී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතා කොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බව ද ඔහු පවසා තිබේ.

ඒ අනුව අපට හැඟී යනුයේ ආණ්ඩුව අධිකරණ වල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමු කරන අතරේ මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය ඉන් බැහැරව ක්‍රියාත්මක වන බවකි.

පසුගිය දා කොළඹ මහේස්තාත් අධිකරණයේ වෙඩි තැබීම පසෙක තැබුව ද පාතාල වෙඩි තැබිම් රැසක් රටපුරාම මේ දිනවල සිදුවෙමින් තිබීම රට තුළ මහත් ආන්දෝලනයකට ලක් ව ඇත. පාතාල ක්‍රියා­කා­ර­කම්, කුඩු ජාවා­රම සහ අප­රාධ ආදිය මර්ද­නය සඳහා අවශ්‍ය උප­රිම ක්‍රියා­මාර්ග ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස පාර්ලි­මේ­න්තු­වේ දී ඉකුත් 19 වන දා අව­ධා­ර­ණය කොට තිබේ. ඔහු පවසා ඇත්තේ පාතා­ලය, කුඩු ජාවාරම මෙන්ම කළු සල්ලි ආදි ක්ෂේත්‍ර අංශ ගණ­නා­වක් සමඟ දැඩිව බද්ධ වී ඇති බවත් මෙම සියලු අප­රාධ මර්ද­නය වෙනු­වෙන් ආණ්ඩුව මේ මොහොත වන විටත් ක්‍රියා­මාර්ග ගණ­නා­වක් අනු­ග­ම­නය කර­මින් සිටින බවත් ය..
 


එමෙන්ම ඇතැම් පිරිස් මෙරට සිට මෙන්ම විදෙස් රට­වල සිටි­මින් විවිධ අප­රාධ මෙහෙ­ය­වන බවත් විශේෂ කාර්ය බල­කාය, පොලී­සිය මෙන්ම බුද්ධි අංශ ද යොද­ව­මින් අප­රාධ මර්ද­නය සඳහා උප­රිම මැදි­හ­ත්වීම සිදු­ක­රන බවත් ඇමැ­ති­ව­රයා කියා තිබේ. ඔහු මේ බව සඳ­හන් කළේ ද අලු­ත්කඩේ උසාවි සංකී­ර්ණය තුළ සිදු වූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර පාර්ලි­මේ­න්තු­වේදී මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

නමුත් ඉහත සඳහන් ජනාධිපති වරයාගේ සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වරයාගේ කතා සම්බන්ධයෙන් අපට ද කීමට යමක් තිබේ.එනම් ‘ඕවා අද කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් මිස අමුතු සොයා ගැනීම් නොවන” බව ය.
 
 
criminal assault in miami florida
කිසියම් රටක නීතිය, යුක්තිය, සදාචාරය ඉක්මවා ගිනි අවි ක්‍රියාත්මක වීම එම ජන සමාජය වෙත සිදු විය හැකි බිහිසුණුම අනර්ථයකි. චිකාගෝ හි විශාලතම අපරාධ රැල්ල නමින් හැඳින්වෙන මෙමල විධ අපරාධ වලට එරෙහි අපරාධ නිවාරණය නම් වන ක්‍රමවේදයක් ලොව පුරා ක්‍රියාත්මක වේ. අපරාධ ආකෘතිය සහිත මෙම මනුෂ්‍ය ඝාතන, සන්නද්ධ මංකොල්ලකෑම්, කල්ලි ප්‍රචණ්ඩත්වය “චිකාගෝ” නමින් හැඳින්වීම ලොව පුරා සිදු වෙයි. එකී නොකී සක

අපරාධ වැලැක්වීම යනුවෙන් ද සැලකෙන මෙම ක්‍රියාවලිය සාපරාධී ක්‍රියාවන් හි ව්‍යුහය සම්බන්ධ වල මුලික හේතු හඳුනා ගැනීමෙන් පසු සාපරාධී ක්‍රියාකාරකම් අධෛර්යමත් කරන පරිසරයන් නිර්මාණය කිරීම ය. හුදු විද්‍යාත්මක ක්‍රමවේදයක් වන එය ඕනෑම ක්‍රියාකාරී සමාජයක අත්‍යවශ්‍ය අංගයකි. මන්ද එය මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීමට අමතරව සමාජ යහපැවැත්ම සහ ආර්ථික සමෘද්ධිය සඳහා ද නියත වශයෙන්ම දායක වන බැවිනි.

අපරාධ තේරුම් ගැනීම එහි සමාරම්භක පියවර ය. අපරාධ ඵලදායි ලෙස වැළැක්වීම සඳහා අපරාධ කෙරෙහි බලපාන අභ්‍යන්තරික හේතු සාධක තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. අපරාධය යනු පුද්ගල, සමාජීය සහ පාරිසරික සාධකවල එකතුවකින් බලපෑමට ලක්වන සංකීර්ණ සංසිද්ධියකි. මෙම සාධකවලට දරිද්‍රතාවය, විරැකියාව සහ සදාචාර අධ්‍යාපනයක් නොමැති කම, මත් ද්‍රව්‍ය අනිසි භාවිතය සේම මානසික සෞඛ්‍ය ගැටලු සහ සමාජ අසමානතාවය ඇතුළත් විය හැක. ඒවා ඒ එක් එක සමාජයන් අනුව වෙනස් වේ.

chicago 240711
වර්තමානයේ අප රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව පෙනෙන අපරාධ රැල්ල මුල් කොට බලයට පත් දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නැත. ඒ සඳහා අපරාධ සම්බන්ධයෙන් ජන මනැස හැසිරවීමේ තීරණාත්මක කාර්ය භාරයක් සිදු කරන අවිචාරවත් ජන මාධ්‍යකරුවෝ ද එම වග උත්තර කරුවෝ වෙති. වර්තමානයේ පවත්නා විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය අතර තියුණු තරඟය මුල් කොට ජනතාව “ඇවිස්සවීම” මුල් කොට ගත් මාධ්‍ය කලාව වත්මන් සමාජය තුළ කිරුළු දරන බවක් පෙනේ. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලබන ප්‍රධානතම යෙදවුමක් වනුයේ අපරාධ වාර්තාකරණ ස්වභාවයයි. එහි දී ලොව බොහෝ රටවල දක්නට නොලැබෙන අයුරින් ජනතාව තුළ ප්‍රචණ්ඩත්වය කෙරෙහි නැඹුරුවක් පළ වන අන්දමින් එළිපිටම අපරාධ වාර්තාකරණයට යොමු වීම වත්මන් ජන මාධ්‍යයේ “ජනප්‍රිය විලාසිතාවක්” බවට පත්ව තිබේ.

අපරාධ වාර්තාකරණයේ දී අපරාධකරු කෙරෙහි වීරත්වයක් ආරෝපණය කෙරෙන අයුරින් ඔවුන් ගේ තොරතුරු අනාවරණය කිරීම, අපරාධමය සිදුවීම් වාර්තා කිරීම් පිණිස විවිධ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගැනීම සේම අපරාධ සම්බන්ධ තොරතුරු විශ්ලෙෂනය කිරීමේදී නීතියට හසුවන අපරාධ කරුවන් පිළිබඳව විස්තර කිරීමේදී ඔවුන්ට ඉන් අත් මිදී සිටිය හැකි උපාය මාර්ග පවා ජනතාව හමුවට ඉදිරිපත් කිරීම අතිශය භයානක ප්‍රවණතාවයකි.

එමෙන්ම විවිධ පුද්ගලයන් ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරවන ඇතැම් මාධ්‍ය කරුවෝ තමනට මුහුණ පෑමට සිදුව ඇති ජීවිත තර්ජන සහ ඒවාට වගකිය යුතු පුද්ගලයන් පිළිබඳව පවා ඔවුන් වෙතින් වමාරවති. එවිට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා තුන් වන පාර්ශවයන් එසේ අදහස් පළ කළ පුද්ගලයන් අබිරහස් ලෙසින් ඝාතනය කළ සැනින් ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව වටහා ගන්නා ආකාරයක් තිබේ. එනම් ඔවුන් මරණීය තර්ජන ඇති බව පැවසූ පාර්ශවයන් විසින්ම ඔවුනට එම අපරාධය කළ බවකි. මෙම සමාජමය නොමඟ යැවීම ගැටළු අර්බුද රාශියකට මුල් පුරන්නකි.

 
Police 4
එමෙන්ම මේ දිනවල ජනප්‍රියතම දේශපාලනික මාතෘකාවක් බවට පත් ප්‍රභූ ආරක්ෂාව විධිමත් අධ්‍යනයකින් තොරව ලිහිල් කිරීම ද ඉතා අවදානම් සහගත කාර්යයකි. ඊට හේතුව එමගින් ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය තෙවන පාර්ශවයක ගිනි අවි එම ප්‍රභූන් වෙත එල්ල වීමට ඇති හැකියාව ය. හුදෙක් ප්‍රවාද හා ප්‍රලාප පදනම් කොට බලයට පත් වන ආණ්ඩුවක් වුවද ඊට වඩා ගැඹුරින් විමසිය යුතු මෙම සමාජ දේශපාලන යථාර්ථය මනාව තේරුම් ගැනීමට මඳකුදු පවා නොවිය යුතු බව අපගේ වැටහීම ය.

ඒ අනුව හුදෙක් ගැලරිය පිනවීම ඉලක්ක කොට ආණ්ඩුව පුන පුනාම කියන පාතාලය නැති කරනවා වෙනුවට සංවිධාන්මක අපරාධ අවම කරනවා යන විද්‍යාත්මක ප්‍රවේශය ඊට ආදේශ කර ගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවකි. එසේ නොවුණ හොත් කට නිසා මාලුවාට අත් වන ඉරණම පිළිබඳ ජන පිරුළ ආණ්ඩුව සම්බන්ධයෙන් ද යථාර්ථයක් වීමේ පහසු ඉඩක් පවතී.

Screenshot 2024 12 25 at 10.13.44 copy
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...