2022 වර්ෂයේ පැන නැගුණු අරගලය මෙරට මෑත ඉතිහාසයේ සක්‍රීයම ජන-සම්බන්ධිත අරගලයයි. දෑ කුල ගොත් පක්ෂ පාට හැරපියා ජනයා එකාවන්ව නැගී සටනට ආ අතර, ඒ අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් කියවීම් ඇතද ජනසහභාගිත්වය ගැන විවාදයක් ඇත්තේ නැත.
අරගලය හා ගැටී අනියමින් මරණ කිහිපයක් සිදුවුවද රාජ්‍ය මර්දන උණ්ඩයට ළය දී මියැදුණේ කෑගල්ලේ රඹුක්කන දෙදරු පියෙක් පමණකි. හේ නමින් කේ.බී චමින්ද ලක්ෂාන් ය.
ඉන්ධන ඉල්ලා කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන නගරයේ පැවති විරෝධතාවයකදී 2021 අප්‍රේල් 19 වැනි දින සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවතක්ෂයට පත්විය.

දරු දෙදෙනෙකුගේ පියෙකු වන ඔහුගේ මරණය ගර්හිත ජනපති ගෝඨාභය එළවන අරගලය වෙත කෙතෙක් ජීවප්‍රාණය සැපයුවේද යන්න එකල සමහර මාධ්‍ය ඔහුගේ මරණය තොරොම්බල් කළ අයුරු අද පවා අන්තර්ජාලය විමසීමෙන් දත හැකි ය.
දරු දෙදෙනෙක්, බිරිඳක් සහ නැන්දණිය සිටින චමින්දගේ නිවසේ වර්තමාන තත්වය කෙබඳු ද?
ඒ විමසීමට අපි රඹුක්කන, හිරිවඩුන්න වෙත ගියෙමු.
චමින්දගේ මරණය හරි ජයට ගැනීමට දේශපාලකයෝ ක්‍රියා කළහ. ජනපති පදවි පූර්වයේ කඩිමුඩියේ මළගෙදර බඩ ගෑ රනිල් වික්‍රමසිංහ එම නිවසට රුපියල් ලක්ෂයක් ප්‍රදානය කර තිබුණි. එපමණක් නොවේ, භ්‍රෂ්ටයෙකු වන විමල් වීරවංශයාගේ අරගලය ගැන ලියූ පොත පිරිනමන්නටත් ඇය රඹුක්කන සිට කොළඹ ගෙන්වා ගෙන තිබේ. ලැජ්ජය.
චමින්දගේ මරණය ජන අරගලයට - වඩා ජීවයක් දුන් බව රහසක් නොවේ. ප්‍රභූ පන්තිය පෙරළා දැමීමේ දේශපාලනයට හුස්මක් එයින් එක් කළ බවටද විවාදයක් තිබිය නොහැකි ය. සරලව කියන්නේ නම්, වර්තමානයේ සිදුව තිබෙන බල පෙරළියට ඒ මරණයෙනුත් ලැබුණේ උදව්වකි.
එහෙත් ඉතා ඉක්මනින් අමතක කැර දැමුණු මේ පවුල, තම පියා වෙනුවෙන් අනවරතව තවමත් සටන් කරති. වෙඩි තැබූයේ පොලිසියයි. අණ දුන් සහ වෙඩි තැබූවන් යළි සුවසේ රාජකාරියේ පිහිටුවා තිබේ. නඩුව ඇත්තේ දිගින් දිගටම කල් යමිනි. පොලිසියේ වෙඩි තැබිල්ල ගැන පරීක්ෂණ කරන්නේද පොලිසියයි. රටක් ඇස් පනාපිට තැබූ වෙඩිල්ල ගැන වසර තුනක් ගතවීත් හරි හමං විමර්ශනයක් සිදුව නැති ය.
චමින්ද ලක්ශාන්
චමින්ද ලක්ශාන් මිය යන විට පින්නවල අලි අනාථාගාරයට කොළ කැපීමේ ව්‍යාපාරයක් කරමින් සිට ඇති අතර කරදරයකින් තොරව පවුල රක්ෂා කළ අයෙකි. තෙල් නැතිව රැකියාව කළ නොහැකි නිසා තෙල් ඉල්ලා කළ උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියදී කෘෘර පොලිස් වෙඩි පහරින් මළේ ය.
දැන් ඔහුගේ බිරිඳ වෙළෙඳසැලක රැකියාවකට යයි. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත.
හානි පූරණය පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලූ වන්දිය වසර 3කට පසුව අදටත් නැත. (පැය කිහිපයක වෙහෙසකින් පසුව එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇමතූ විට ඒ ගැන හෙට තොරතුරක් දෙන බව පැවසුවා ය.) වෙඩි තැබීම වන විට පාසල් සිසුවකුව සිටි චමින්දගේ පුත්‍රයා වෙත සුරක්ෂා රක්ෂාවරණය පවා ලැබී නැත. (ඒ ගැනද හෙට විමසිය යුතු ය.)
එපමණක් නොවේ, මෙකල යමක් කමක් තිබෙන පිරිස් පවා ලබා ගන්නා අස්වැසුමටත් මේ අය ගැන ඇස් වැසිලා ය. අභියාචනා පවා දුන්නද එයද ලබා දී නැත.
චමින්දගේ බිරිඳ පවසන්නේ චමින්ද මිය යන විට ගෙදර තිබූ යතුරුපැදිය තවමත් ඇති බවත් එය නිසා සමහර විට අස්වැසුම නොදෙනවා වන්නට ඇති බවත් ය. තරුණයෙකු බවට පත්වෙමින් යන දරුවාට පියාගේ යතුරුපැදිය අහිමි කරන්නට ඇය අකමැතිය.

මෙහි පැනෙන වැදගත්ම කරුණ, කීවේ මිය ගිය චමින්දගේ නැන්දණියයි. "මහත්තයො පුතාට වෙඩි තිබ්බෙ රජයෙන්. ඒත් රජයෙන් අපිට බලන්නෑ." ඇය කී කතාව සෑහෙන යුක්තියුක්ත එකකි. මේ මිනිසා මරන්නට උණ්ඩ ගෙන ඇත්තේ ජනතා මුදලින් බැවින් ඒ මරණයේ ලේ අපේ අත්වලත් ගෑවී තිබේ. අනෙක් කරුණ නම් නඩුව සමතයකට පත් කරගන්නට අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 60ක් දෙන්නට විත්ති පාර්ශ්වය කතා කර ඇතත් මේ පීඩිත පන්තියේ මිනිසුන් එය ප්‍රතික්ෂේප කර චමින්දට යුක්තිය ඉල්ලා සටන් කිරීමට තීරණය කිරීමයි.
චමින්ද ලක්ෂාන්ගේ පවුලට යුක්තිය ඉටු කිරීමට ජාතික ජනබලවේග රජයට වඩා වැඩි වගකීමක් තිබේ. මේ වෙනුවෙන් පෙනී සිටීමට එදා පීඩාවට පත්ව සිටි රටේම ජනයාටත් වගකීමක් තිබේ. මාධ්‍ය සංදර්ශනවලට කඳුළු පෙන්වීම වංචක ධර්මයකි. වංචක ධර්මයෙන් පසුව සැබෑ මාධ්‍ය වගකීම එළැඹෙයි.
චමින්දගේ නිවසට ගිය මොහොතේ හදිසියේ අප වීඩියෝ ගත කළ දර්ශන ඇසුරින් සැකසූ වීඩියෝවක් මතු පළවේ.
(සටහන | සඳුන් ප්‍රියංකර විතානගේ)
Sandun Priyankara Vithanage ගේ ෆේස්බුක් පිටුවෙන්...
2025 පෙබ. 20
චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ කියන්නේ කුමක්ද?
''උණ්ඩ තිබුණා කියලා එහෙම මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන් ද?''
( 8 ජූලි 2023 දින BBC සිංහල සේවයේ පළවූ වීඩියෝවකි)
සබැඳි පුවත් :
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර - නීතිපති
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය :ඉන්ධන ඉල්ලා රඹුක්කන දී පොලිස් වෙඩිකෑමෙන් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ කියන්නේ කුමක්ද?
රඹුක්කන විරෝධතාවට වෙඩි තැබීම අණදුන් SSP ඇතුලු නිලධාරීන් 04ක් අත්අඩංගුවට
රඹුක්කන ඝාතනයට එරෙහිව හිටපු මැකෝ තනියම විරෝධයක



