The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : උසාවියේ 'රඟපෑම'

T

The Leader Desk

February 23, 2025 • 7:56 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : උසාවියේ 'රඟපෑම'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සිදුවීම කනගාටුදායක මෙන්ම භයානක තත්වයක් බව, අධිකරණ ඇමැතිවරයා පවා පිළිගත්තේය.
  • එක් පුවත්පත් කාටූනයක දැක්වුණු අන්දමට බල්ලකුගේ වලිගයේ “ජාතික ආරක්ෂාව” යනුවෙන් සඳහන් පුවරුවක් එල්ලා ඇත.
  • සමාජ මාධ්‍යකරුවකු සඳහන් කර තිබූ අන්දමට උසාවිය තුළ සිදුවූ ඝාතනයේ නරකම පැත්ත වනුයේ විනිසුරුවරයාද සාක්ෂිකරුවකු බවට පත්වීමය.
  • ඔහු එක් වරක් මට දුන් උපදේශයක් වූයේ, ලේඛකයකු වීමට අදහස් කරන්නේ නම් උසාවියට ගොස් නඩුවලට සවන් දෙන ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සිදුවීම කනගාටුදායක මෙන්ම භයානක තත්වයක් බව, අධිකරණ ඇමැතිවරයා පවා පිළිගත්තේය. විපක්ෂයට මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ “දේශපාලනික ප්‍රශ්නයකි”. එක් පුවත්පත් කාටූනයක දැක්වුණු අන්දමට බල්ලකුගේ වලිගයේ “ජාතික ආරක්ෂාව” යනුවෙන් සඳහන් පුවරුවක් එල්ලා ඇත. “පුරවැසියා” එදෙස බලා සිටී.

481295176 1044631717701800 1640979556484228480 n

සමාජ මාධ්‍යකරුවකු සඳහන් කර තිබූ අන්දමට උසාවිය තුළ සිදුවූ ඝාතනයේ නරකම පැත්ත වනුයේ විනිසුරුවරයාද සාක්ෂිකරුවකු බවට පත්වීමය.

උසාවිය යනු සමාජයේ පැතිකඩක් ප්‍රදර්ශනය කෙරෙන ස්ථානයකි. රජයේ සේවකයකු වූ මගේ පියා, ජූරි සභිකයකු වශයෙන් කටයුතු කර අත්දැකීම් ලබා සිටියෙකි. ඔහු එක් වරක් මට දුන් උපදේශයක් වූයේ, ලේඛකයකු වීමට අදහස් කරන්නේ නම් උසාවියට ගොස් නඩුවලට සවන් දෙන ලෙසය. එවකට මා පාසල් ශිෂ්‍යයෙකි.

ඊට කලකට පසු ආධුනික පුවත්පත් කලාවේදියකු වශයෙන් පුවත්පතකට සම්බන්ධ වූ කාලයේ ප්‍රධාන කර්තෘවරයා, අධිකරණ වාර්තාකරුවකු ලෙස පුහුණු වන ලෙස මට යෝජනා කළේය.

 


එහෙත් මගේ පියාත්, ප්‍රධාන කතුවරයාත් යන දෙදෙනාගේම ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට මම මැළි වීමි. කෙසේ වෙතත් පුවත්පතට ලැබෙන උසාවි පුවත් තුළින් මට ඒ පිළිබඳ කිසියම් අවබෝධයක් ලැබුණි.

ඇමෙරිකානු ජාතික ලේඛක, ඕ. හෙන්රි කිසියම් වංචාවකට (ඔහු බැංකු සේවකයෙකි) වැරදිකරුව සිරදඬුවම් ලැබීය. ඒ කාලය තුළ ඔහුට අසන්නට, දකින්නට ලැබුණු දෙයින් ඔහු අගනා කෙටිකතා රැසක් රචනා කළේය. සිරදඬුවමක්ද ලේඛකයකුට ප්‍රයෝජනවත් වන බව සැබෑය. සිරගත වූ දේශපාලනඥයන්ද එහි සිට පොත් ලියා ඇත.

දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ජනපති, අගමැති මැදිහත්වීමක් ඉල්ලයි

 

එසේ වූ පලියට ලේඛකයකු වීම සඳහා “හිරේ යා යුතුමයැ”යි මින් අදහස් නොකෙරේ. එහෙත් ලේඛන කලාවේ යෙදීමම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බඳුය. ඔබට ඉන් කිසි දිනෙක නිදහසක් නොලැබෙනු ඇත. (ඇත්තෙන්ම එය “බරපතළ වැඩ” සහිත සිරදඬුවමකි!)

අධිකරණ නිල ධූරාවලියේ එන ප්‍රධාන භූමිකාවකි, නීතිඥ තනතුර. අපේ ජනවහරේදී එය “පෙරකදෝරුවා” නමින්ද හැඳින්වුණි. ඉංග්‍රීසියෙන් “ප්‍රොක්ටර්” යන්න, එසේ “පෙරකදෝරු” බවට හැරවුණු අතර, “ඇඩ්වකේට්”, “අද්වකාත්” ලෙස කටවහරට එක්වුණි.

1955 දී තිරගත වූ ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කළ “පෙරකදෝරු බෑණා”, එකල ඉතා ජනප්‍රිය සිංහල චිත්‍රපටයක් විය. රුක්මණී දේවි හා එඩී ජයමාන්න රඟපෑ එහි, පෙරකදෝරුවා වූයේ පී. සූරාතිස්සය. මාමාගේ චරිතය රඟපෑවේ එඩී ජයමාන්නය. එකල පමණක් නොව, මෙකලද පෙරකදෝරුවකු බෑණා කරගැනීමට මාමලා අකැමැති නොවෙති.

 

480526445 1167499028719598 8091763523705120676 n

නීතිඥයකු ලෙස රඟපෑමත් සැබෑ ලෙසම නීතිය හදාරා, නිත්‍යානුකුල ලෙස විභාගයකින් සමත් වී අධිකරණයට යාමත් කාරණා දෙකකි. එහෙත් පැයකට දෙකකට නීතිඥවරියක විය හැකි බවත් පසුගිය “උසාවි වෙඩි තැබීමේ” සිද්ධියේදී පෙනී ගියේය. එයද එක්තරා විදිහක රඟපෑමකි. ඒ බොරු පෙරකදෝරුවරියගේ රඟපෑම අවසන් වනු ඇත්තේ කූඩුවෙහි වීමටද ඉඩ ඇත.

pam

නීතිඥයන් පිළිබඳව සමාජයෙහි පවතින උපහාස කතා මෙන්ම, නීතිඥ සමාජයෙහිම ඔවුන් පිළිබඳව කෙරෙන උපහාසාත්මක හෝ සිනා කතාද බොහෝය. විනිසුරුවරු පවා, විටෙක හාස්‍ය මතුවන කතා කියති. පැමෙලා හොබ්ස් විසින් 2007 දී Journal of Pragmatics සඟරාවට ලියූ ලිපියකින් (Judges use Humor as a Social corrcetive) කියැවුණේ, සමාජය නිවැරදි මගට ගැනීමේ අරමුණෙන් විනිසුරුවන් හාස්‍ය භාවිත කරන අන්දමය.

එහෙත් උසාවිය සමඟ මෙන්ම නීතිඥයන් සමඟ ද විහිළුවට යාම පරිස්සමින් කළ යුත්තකි.

 

mano4

ආචාර්ය ජයලත් මනෝරත්න, ඔහු රඟපෑ නාට්‍ය අතුරතුර විනෝදයට මෙන් අමතර දෙබසක් දෙකක් කීම සිරිතකි. එක්තරා නාට්‍යයකදී නීතිඥයකුගේ නමක් කීමට තිබෙන අතර, ඔහු එහිදී ප්‍රේක්ෂකාගාරයේ සිටින මිතුරකුගේ නමක් ඊට යොදා ගන්නේ විනෝදයටය. ඈත ප්‍රදේශයක තිබූ නාට්‍ය දර්ශනයකදී ඔහු පැවසුවේ නාට්‍ය නිෂ්පාදකයාගේ නමය. පුදුමයකට මෙන්, ඒ නමම ඇති ප්‍රසිද්ධ නීතිඥයෙක්ද ඉදිරි පෙළම හිඳ සිටියේය. සභාවෙන් මහා සිනා හඬක් නැගුණි. මෙය තමාට එල්ල කළ උපහාසයකැයි වරදවා වටහාගත් නීතිඥවරයා, නීතිමය පියවර ගැනීමට සැරසුණි. පසුව එය සමථයකට පත් කෙරුණි. මනෝරත්න ද ඉන් පසු ඒ විහිළුවෙන් වැලකුණි.


(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...