The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මනෝරාණි : මාරි-හෙලේන් ඩි'අල්මේදා විසින් ලියන ලද ලිපියෙහි සිංහල පරිවර්තනය

T

The Leader Desk

February 23, 2025 • 10:01 AM

මනෝරාණි : මාරි-හෙලේන් ඩි'අල්මේදා විසින් ලියන ලද ලිපියෙහි සිංහල පරිවර්තනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම කෙස් කළඹෙහි පිච්ච මල් පළඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
  • ඇය පමණක් නොව, රිචඩ්වත් එසේ නොකළ බව මම දනිමි.
  • අඩුම තරමේ, උපතේ සිටම මගේ ජීවිතයේ කොටසක් වූ ඇයව මා දැන සිටියේ එලෙසිනි.
  • ඇයගේ ස්වරය බලසම්පන්න බව සැබෑය.
අකුරු ප්‍රමාණය (Font Size):

තම කෙස් කළඹෙහි පිච්ච මල් පළඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.  කිසිදිනෙක ඉන්දියානු සාරි නොඇඳි මනෝරාණිගේ උස් ශරීරයට, ඒ මල් මෝස්තර සහිත නයිලෙක්ස් සාරි අතිශය සුන්දරව ගැළපුණි.

ඕ සෑමවිටම පවුඩර් පොට්ටුවක් පැළඳ සිටියාය. පවුඩර් පොට්ටුවක් සඳහා වැය කිරීමට තරම් කාලය නොමැති වූ දිනයකදී, තොල් ආලේපන ස්වල්පයක් නළලතෙහි රඳවා, ඒ මත පොට්ටු බිඳක් අලවාගන්නට හුරුව සිටියාය. මනෝරාණි කිසිදිනෙක වෛද්‍ය බෑගයක් රැගෙන ගමන් නොකළ නමුත්, ඇයගේ උරහිස මත නොවැරදීම එල්ලී තිබූ වෙද නලාවකි.

 

image b5ad7b99c4
ඇය සිය නිවහනෙහි මත්පැන් තබා නොගත්තාය. ඇය පමණක් නොව, රිචඩ්වත් එසේ නොකළ බව මම දනිමි. ඔවුන්ගේ නිවහන එවන් ස්ථානයක් නොවුණි. එය  තම තමන්ගේ රාජකාරි අවසානයේ, එසේත් නැතිනම් සමාජීය වැඩකටයුතු අවසානයේ හෝ ඉදහිටෙක  සිදුවන මත්පැන් බිඳක් තොළගා අවසානයේත් ඔවුන් පෙරලා පැමිණෙන ස්ථානය විය. එය කියවීමට, ලිවීමට සහ විවේක සුවය විඳීමට වෙන් කෙරුණු නිවහනකි.

image ff5d70a579මනෝරාණී කිසි විටෙකත් රිචඩ්ට ‘රිචඩ්’ කියා ඇමතුවේ නැත—ඇය ඔහුව කතා කළේ ‘සොයිසා’යනුවෙනි. ඔහු ද සිය මෑණියන් ඇමතුවේ- ‘සොයිසා’ නාමයෙනි! ඒ ඔවුන් දෙදෙනාම  ‘තනි පුද්ගලයෙකු’ සේ හැඟවෙන අදහසින්, එකිනෙකා වෙනුවෙන් යොදාගත් අනෝන්‍ය ආදර ආමණ්ත්‍රණයකි- සොයිසා සහ සොයිසා!

 

ඔවුන් කිසි විටෙකත් එකිනෙකා වැළඳ ගත්තේ නැත. සත්තකින්ම මනෝරාණි කිසිදිනෙක අප කිසිවෙකුත් වැළඳ ගත්තේ නැත. මනෝරාණී යන උණුසුම් ගැහැනියගේ විෂයෙහිලා, එය සෑමවිටම ඇයගේ සිනහව විය.  අප සියල්ලන් කෙරෙහි  ඇය තුළ වූ ආදරය, සෙනෙහස ආදී සියල්ල කියා පෑ භාෂාව ඒ සිනහව විය.

මනෝරාණි ආන්ටා- අප ඇය දැනසිටියේ එනමිනි. අඩුම තරමේ, උපතේ සිටම මගේ ජීවිතයේ කොටසක් වූ ඇයව මා දැන සිටියේ එලෙසිනි. එතෙක් මෙතෙක් කාලයක් පුරාවට මා දැන සිටි උදාරතම, ධෛර්යවන්තම ගැහැනිය ඇය වූවාය. ඇයගේ ස්වරය බලසම්පන්න බව සැබෑය. නමුත් ඒවා කිසිවිටෙකත් රළු, නොහික්මුණු වදන් නොවීය.

 

manorani8

සිය වෛද්‍ය වෘත්තීමය කටයුතු වලදී මනෝරාණි හුදෙක් අපගේ ආදරණීය පවුලේ වෛද්‍යවරිය පමණක් නොවූවාය. ප්‍රායෝගික, සන්සුන් සහ අවබොධාත්මක ගුණයෙන් පොහොසත් ඇය- අනිසි වැල්වටාරම්, විකාර නොරිසි වූ නියම පරමාදර්ශී පවුලේ වෛද්‍යවරිය වූවාය. මගේ දියණියන් දෙදෙනාම මෙළොව එලිය දුටුවේ ඇයගේ  සහායෙනි. මගේ පමණක් නොව, ඇය තරුණ පරම්පරාවකම ස්ත්‍රීන්ගේ දරුවන් බිහි කළාය. මනෝරාණි බොහෝ ආකාරවලින්,එක්තරා තරුණ පරම්පරාවක ස්ත්‍රීන් සඳහා ‘අයිකනය’ක් වූවේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ඇයව සමීපව දැනසිටි අප වැනි අයට මෙන්ම, ඇයව යන්තමින්, දුරස්ථව දැකගැනීමට ලැබුණු බොහෝ  අයටත්, ඇය තම සයිකලයෙහි නැඟී විශ්වවිද්‍යාලයට යන එන අයුරු බලා දකිනා වෛද්‍ය ශිෂ්‍යාවන්ටත්, පසුකාලීනව ඇය නියෝජනය කළ ශ්‍රී ලංකාව පුරා විසිරුණු මවුවරුන් සිය ගණනකටත් මනෝරාණි යනු අඳුරෙහි පෑයූ ආලෝකයක්ම වූවාය.

නමුත් මම ඉන් තරමක් ඉදිරියට පැමිණෙමි.

image 216b7de1d0
මනෝරාණි යන ගැහැනිය, අපට කෙතරම් වැදගත්ද, එසේ වන්නේ කුමක් නිසාද, ඇය පිළිබඳ මතකය මෙතරම් පිරිසකට වටින්නේ ඇයිද යන්න පිළිබඳ පැවසීමට පළමුව- මනෝරාණිට වඩාත්ම වැදගත් වූවේ කුමක්දැයි පිළිබඳ පවසන්නට මට ඉඩදෙන්න.

නිසැකවම ඒ සොයිසා ය. ඇයගේ ජීවිතය කේන්ද්‍රගතවී තිබුණේ සිය රාජකාරී ජීවිතය සහ තම පුත්‍රයා හෙවත් ‘සොයිසා’ වටාය. මනෝරාණි සහ රිචඩ් අතර වූ සබඳතාවය, ඇය සතු හොඳම ගතිගුණ මතු කර දක්වන්නට හේතුවූ අන්දමේ බැඳීමකි. අතිශය ගැඹුරු බුද්ධිමය සබඳතාවයක් වූ එය, මනස තුළ ගොඩනඟා හදවතෙහි රඳවා තබන ලද සෙනෙහසකි. 

 
ඔවුන් අතර වූ බැඳීම එතරම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ යමක් නොවේ. එය ඉතා පෞද්ගලික බැඳීමක් වුවද, ඔවුන්ගේ චරිතවල ස්වාභාවය හේතුවෙන්ම එය ඔවුන් දෙසටත්, ඔවුන් වටාත් මිනිසුන් ආකර්ෂණය කරගැනීමටද හේතු වූවේය. එසේ බ  බැලූ කළ, මනෝරාණි කිසිවිටෙක හුදෙකලා නොවූවාය. සෑම විටම- එනම් රිචඩ්ගේ මරණයෙන් පසු පවා, ඇයට ආදරය කළ, ඇයව ආදර්ශයට ගත් මිනිසුන් ඇය වටා රැඳී සිටියේය.
 
image e817292518
රිචඩ්ගේ මරණයෙන්, ඇයගේ ලෝකය සහමුලින් බිඳ වැටුණි. අපගේ ඇස් පනාපිට එය සිදුවන අයුරු අපි බලා සිටියෙමු. එසේවුවද, මනෝරාණි නම් ගැහැනියගේ ‘හරය’ එම මරණයෙන් පවා වෙනස් වූවේ නැත. ඇය කිසිදිනෙක බීමට ඇබ්බැහි වූවේ නැත. කිසිදිනෙක පරුෂ, නොසරුප් වචනයෙන් කතා කළේද නැත. කෝපයෙන් වියරු වූවේද නැත. කොටින්ම තම පුත්‍රයාගේ මිනීමරුවන් හමුවේදී පවා, ඕ ඇදහිය නොහැකි තරම් උදාර, ගෞරවාන්විත බවකින් යුතුව ඔවුන්ට මුහුණ දුන්නාය.
 image af5b1f4d63
 
manora4රිචඩ්ගේ මරණයෙන් පසු උදාවූ කාලය, වචනයෙන් විස්‍තර කළ නොහැකි තරම් වූ භීතින්ගෙන් පිරුණු කාලයකි. සෑම මිනිත්තුවකට වරක්ම බියවීමට අලුත් කාරණාවක් මතුව ආ යුගයකි. අප සියල්ලෝම දිවි ගෙවූවේ, මහත් වූ භීතියකින් ආතුරවය. අපි අපගේ ජීවිත පිළිබඳ බියපත්ව උන්නෙමු. අපගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ බිය වූවෙමු. කොටින්ම ඔවුන්ව දුරබැහැර ඥාතින් වෙතට යවන්නට පවා පෙළඹුණෙමු. අපි, අපගේ නිවෙස් තුළ නිදන්නට බිය වීමු.

අප කිසිවෙකුත් අපේක්ෂා නොකල අන්දමේ වෙනසක්, අකීකරු විරෝධාකල්පයක් මනෝරාණි තුළ ගොඩනැඟෙන්නේ මේ අවදියේය. සියල්ල ආරම්භ වූවේ, සොයිසාගේ අවමංගල්‍යය උත්සවය සමඟිනි.

පවුලේ කෙනෙකු මියගිය පසු, එම තැනැත්තාගේ සිරුර ආදාහනය කිරීම හෝ භූමදාන කිරීම අපගේ පවුල්වල එතෙක් පැවති සාමාන්‍ය සම්ප්‍රදාය විය. නමුත් සිය පුත්‍රයාගේ මළඟම වෙනුවෙන් පොදු මහජනයාට හොඳින් ප්‍රදර්ශනය වන ‘චිතකය’ක් තැනීමට තීරණය කරමින් මනෝරාණි ඒ සම්ප්‍රදාය බිඳ හෙළුවාය.  
 
එය බියදනවන ආකාරයේ, හිතුවක්කාර තීරණයකි. අති දැවැන්ත ප්‍රකාශනයකි. එම චිතකය කෙතරම් සිනමානුරූපී වීද යත්, ඕනෑම චිත්‍රපට නිර්මාණකරුවෙකු එවන් දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට එකඟ වන තරම් විය.
 
අනතුරුව උදා වූවේ, උච්චතම ජවනිකාවෙන් පසු උදාවන ජවනිකා සහිත යුගයයි. භීතියට සහ ශෝකයට පසු, මාධ්‍ය සංදර්ශන සහ මහජන හඬ නැංවීම්වලින් පසු- ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ආරම්භ වූවේය. මනෝරාණි එය දේශපාලන ගමනක් ලෙස නොදුටුවාය. එය හුදෙක්ම මවක ලෙස ‘සොයිසා’ සමඟ ඇය පැවැත්වූ සබඳතාවය මෙන්ම අතිශය පුද්ගලික හැඟීමකින් පෝෂණය වූ, පෞද්ගලික චාරිකාවකැයි කිව හැකි ආකාරයේ ගමනකි.
Dr. Manorani Saravanamuttu 2025.02.18 1
 
සෑම මසකදීම මනෝරාණි සමඟ මහව අසළ පිහිටි කුඩා ගම්මානයකට යන්නට මම පුරුදු වී සිටියෙමි. ඇය එහි ගියේ, භීෂණ අවධියේදී සැමියන් අහිමිවූ ගැහැනුන් හමුවනු පිණිසය. මෙකී ගම්මානයේ සිටි සෑම මිනිසෙක්ම පාහේ පොලිසිය විසින් රැගෙන ගොස් තිබූ අතර, ඔවුන් කිසිවෙකුත් පෙරළා ගම්මානයට පැමිණියේ නැත. 
 
එහි අතුරුදන්ව සිටියේ පිරිමින් වුවද, මනෝරාණි එම ගම්මානය හැඳින්වූවේ “අතරමං වූ ගැහැනුන්ගේ ගම්මානය’ යනුවෙනි. ඒ මක් නිසාද යත්, මේ සමය වන විට පවුලේ මුදල් හරිහම්බ කළ පිරිමින් නොමැතිව, ඔවුන්ගෙන් යැපුණු ගැහැනුන් මුළුමනින්ම තම අවශ්‍යතා සපුරාගත නොහැකිව අන්ත අසරණව සිටි බැවිනි.
 
මෙම ගැහැනුන් ගමේ විහාරස්ථාන භූමියට එක්රැස් වූ අතර, මනෝරාණි ඔවුන්ට අලුතෙන් ජීවිතය ගැටගසා ගන්නා ආකාරය පිළිබඳ ඉගැන්වීමටත්, ඔවුන් දිරිමත් කිරීමටත් කටයුතු කළාය. ඒ අතරතුර මගේ රාජකාරිය වූවේ, මෙම අසරණ බිරින්දෑවරුන් සමඟ පැමිණි කුඩාවුන් සමඟ කෙලි සෙල්ලම් කිරීමය. මනෝරාණිගේ උත්සාහය, උඩුගම් බලා යෑමට දත කෑමක් මිස කිසිසේත්ම පහසු වූවක් නොවේ. නමුත් ඇය කෙසේ හෝ එය සාර්ථක කරගැනීමට සමත් වූවාය. ගම්මානයේ ගැහැනු තම තමන්ගේ කුඩා ව්‍යාපාර ආරම්භ කරමින්, දෙපයින් නැඟී සිටීමට පටන් ගත්හ. “ඇය අපිට දේවතාවියක් වගේ” ඔවුන් ඇය පිළිබඳ කියන්නට හුරුව සිටියේ එලෙසිනි.
image e55a027f01 
අද වනතුරුම, මෙම ගම්මානයේ උන්නතිය උදෙසා ඇය විසින් කළ මෙහෙවර ලියැවී තිබෙන්නේ, එකම එක කුඩා පුවත්පත් ලිපියක පමණි. එය කිසිඳු ආකාරයකින් දේශපාලනික අරමුණු වෙනුවෙන් සිදුකල දෙයක් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් කළ සංදර්ශනාත්මක කාර්‍යයක් නොවීම, ඊට හේතුවයි.

එය ‘මවුවරුන්ගේ පෙරමුණ’ යන බැනරය පසුපස සිටගැනීම වෙනුවෙන් සිදු කළ දෙයකට වඩා, ඇයට සැබෑම සහෝදරත්වයක්, බැඳීමක් දැනුණු- එම රජය යටතේ ඇය මෙන්ම ප්‍රිය විප්පයෝගයට මුහුණදුන් ගැහැනුන් නඟා සිටුවීමෙහිලා ඇය තුළ වූ අධිෂ්ඨානය හේතුවෙන් සිදුකළ යමක් විය.

මට දෑස් වසාගත් විට, මනෝරාණිලා දෙදෙනාම මවාගත හැකිය- රිචඩ්ගේ මරණයට පෙර සිටි මනෝරාණි සහ ඔහුගේ මරණයෙන් පසු ජීවත් වූ මනෝරාණි. 
 
ම්ලේච්ඡත්වයට හා අවනීතියට එරෙහි ව මාතෘත්වයේ කඳුළු පෙළගැස්වූ රාණී -The Queen  Without Her Princeරාණි චිත්‍රපටිය 
ඔහුගේ මරණයෙන් පසු ඇය කිසිදිනෙක පෙර මෙන් සිනාසුණේ නැත. නමුත්  තමා තුළ වූ සියලු ශක්තිය, අරමුණු සහ ගෞරවාන්විත බව එලෙසින්ම රැකගැනීමට ඇය සමත් වූවාය. මෙම චිත්‍රපටය තුළ ඉන් කිසිවක්- ඇය පිළිබඳ අංශුමාත්‍රයකුදු දක්නට නොලැබීම අවාසනාවකි. අවාසනාවකටත් වඩා, එවන් උත්තරීතර ගැහැනියක, මෙතරම් වැරදි, නිග්‍රහශීලී අන්දමකින් මවාපෙන්වීමට තැත් කිරීම සිත වේදනාවට පත් කරවයි. නමුත් දෛවයේ සරදම වන්නේ, මනෝරාණි නිසැකවම ජීවිතයට වඩා විශාල, එවන් පුළුල් තිරයක් වෙනුවෙන්ම ඉපදුණේ යැයි කිවහැකි තරම් වූ ශ්‍රේෂ්ටතම  ගැහැනියක වීමය.
ම්ලේච්ඡත්වයට හා අවනීතියට එරෙහි ව මාතෘත්වයේ කඳුළු පෙළගැස්වූ රාණී -The Queen  Without Her Princeරාණි චිත්‍රපටිය 
 
අප වැනි ඇයව හොඳින් දැන සිටියවුන්ට එම චිත්‍රපටිය පුරාවට රැඟෙන එන්නේ වේදනාවක් බව සත්‍යයකි. එනමුත් අවම වශයෙන් ඇයගේ මතකයන් තුළ හෝ සැනසීමක් ලැබීමට තරම්වත් අපි වාසනාවන්තයන් වෙමු. ඒවා කිසිදිනෙක, කිසිදු ආකාරයකින් විකෘති කල නොහැකි අමරණීය මතකයන් වේ.

සැබෑම ශෝකාන්තය නම්, මෙම චිත්‍රපටය, නව පරම්පරාව වෙනුවෙන් සිදු කර ඇති දේය. මනෝරාණි සරවනමුත්තු නම් ගැහැනියකගේ  චරිතාංග ලක්ෂණ, අනන්‍ය වටිනාකම් ආදි කිසිවක් ග්‍රහණය කරගැනීමට අසමත් වූ නමුත්, කලාකෘතියක්, සංස්කෘතික ඉතිහාසයක කොටසක් ලෙස සමාජය තුළ ස්ථානගතවීමට මෙම චිත්‍රපටය උත්සහ දරමින් සිටියි. එමඟින් ‘රාණි’ ඇයගේ මතකයට සිදු කරන්නේ දැවැන්ත අපරාධයකි. ඇය එයට වඩා ගෞරවාන්විත මතකයක් වීමට බෙහෙවින් උරුමකම් කියන දැවැන්ත පෞරුෂයකි.

(මාරි-හෙලේන් ඩි'අල්මේදා)

( මනෝරාණී සරවනමුත්තුගේ ඥාති දියණියයි. ඇය කලා, නාට්‍ය සහ ඉංග්‍රීසි ගුරුවරියක් වශයෙන් සේවය කොට, විශ්‍රාම ලබා සිටින්නීය.)

මාරි හෙලේන් ඩි අල්මේදා විසින් රචිත ඉංග්‍රීසි සටහන කියවූ මොහොතේ පටන්, එය බහුතරයකගේ කියැවීම උදෙසා අතිශය වැදගත් බව හැඟීමෙන් කරන ලද මෙම දල පරිවර්තනයේ කිසියම් අඩුපාඩුවක් වේ නම්, සමාව අයදිමි.


nileka dhananjiniපරිවර්තනය | නිලේකා ධනංජනී ගුණවර්ධන

(උපුටා ගැනීම - නිලේකා ධනංජනී ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...