අනුරලා, ජ.වි.පෙ., ජාතික ජන බලවේගය කතා කළේ විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ගැන; පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැන.
ඒත් දැන්? අනුර කුමාර ජනාධිපතිතුමාත් චන්ද්‍රිකා වගේ, මහින්ද වගේ, රනිල් වගේ මුදල් ඇමැතිකම පාර්ලිමේන්තුවෙන් ගලෝගෙන! විධායක සාක්කුවේ දාගෙන!!
තුන්මුල්ල පැත්තට ගියේ රාජපක්ෂලා රට බංකොලොත් කළා ය යි අධිකරණයට ගිය, මේ ජාතික ජන බලවේග ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රාස්ත්‍රීය විග්‍රහ ඉදිරිපත් කළ ආචාර්ය මහාචාර්ය තුමන්ලා ගේ අදහස් දැනගැනීමේ රිසියෙනි.
..............
"කොහොම ද ගැම්ම!"
'සෑම අසරණයෙක් ගැන ම හොයාබැලූ අය-වැයක්."
"හැබෑට ම?"
"ඇයි, අහන්හිටියේ නැද්ද . . එකදිගට ම කිවුවේ ආධාර, සහනාධාර වැඩි කිරීම ගැන නේ..."
"ගැබිනි මවුවරුන්ට පෝෂණාධාර දීමට මිලියන 7,500ක් වෙන් කළා."
"පෙර පාසල් ගුරුවරියන් ගේ දීමනාව රු දාහකින් වැඩි කළා."
"මහපොළ ශිෂ්‍යාධාරය රු. 7,500 වෙනකන් වැඩි කළා."
"ඇයි, පහ ශ්‍රේණිය අඩු ආදායම්ලාභී සිසුන් ගේ ශිෂ්‍යාධාර මුදල 1,500 කළේ."
"වකුගඩු රෝගී දිමනාව රු. 10,000 කළේ. වැඩිහිටි දීමනාව රු. 5,000 කළේ."
"දැන් ඔය කාරණයට බිලියන කීයක් විතර යනවා ඇති ද?"
"ම්... මේ එකක වැඩි කිරීමකටවත් වෙන් කරන මුදල කියන්නේ නෑ නේ!"

"ඒක නේ... ඇයි ඒ?"
"හැබෑට ම ඇයි ඒ?"
"ගණන්-හිලවු කියන්නේ කොහොම ද...ලැජ්ජාවේ පණ යනවා නේ!"
"පැයක් විතර ම කිවුවේ මේ අසරණාධාර වැඩි කිරීම ගැන නේ?"
"හරි, හරි, පැයක් පුරා කිවුවා තමයි... වැඩිහිටි දීමනා, වකුගඩු රෝගී දීමනා, ගැබිනි මවුවරුන් ගේ දීමනා.... තව මොනවා ද... ශිෂ්‍යත්වය සමත් වූ දුප්පත් ම දුප්පත් කොල්ලන්ට දෙන දීමනා, මහපොළ දීමනා... තව පෙර පාසල් ගුරුවරුන් ගේ දීමනා... ඔය දීමනා වැඩි කරපු ඔක්කෝටම බිලියනයක් වත් ඕනේ ද?"
"ඒ කියන්නේ පැයක් තිස්සේ රස කළේ... මුළු වැයෙන් සීයට එකක්වත් නැති ශීර්ෂ ටිකක් ද?"
"එතකොට වැටුප්?"
"රාජ්‍ය සේවයේ මූලික අවම වැටුප රුපියල් 24,250 ඉදන් 40,000 කළා නේ!"
"ඒක නේ.. රුපියල් 15,750 ක වැඩිවීමක්!'

"එතකොට රාජ්‍ය සේවක වැටුප් අවම රුපියල් 8,750 ක ශුද්ධ වැඩිවීමක් වුණා කියන්නේ?"
"හා හා... ඒක තමයි.. මෙ තෙක් ලැබුණු දීමනා ඔක්කොම ඇතුළු කරලා නේ, පහොළොස්දාහේ කතාව ගොතලා තියෙන්නේ!"
"රනිලා වගේ ම යි!"
"ඒ විතර ය යි? ඔය අටදාහ දැන් ලැබෙන්නෙත් නෑ නේ... ඒ අවුරුදු තුනක ම ගාණ!"
"ඈ... ?"
"ඔව්, හර්ෂ පැහාදිලි කරලා තිබුණේ... මේ අවුරුද්දට වැඩි වෙන්නේ.. පන්දාස් ගාණ ලු!"
"ආයේ එන අවුරුද්දේ දාහයි, ඊ ළඟ අවුරුද්දේ දාහයි"
"යකෝ... මේවනේ මොළ!"
"එතකොට ලැබෙන්නේ හර්ෂලා යෝජනා කරපු ගාණ ම ලු!"
"හර්ෂටත් කලබලේ මඟ හැරුණා... ඔය පන්දාහ අතට ලැබෙන්නෙත් නෑ!"
"ඒ මොකෝ?"
""ඇයි.. මූලික වැටපට එකතු කරනවා කියලා උජාරුවට කිවුවාට, එතකොට වින්නඹු අතදරු සීයට අට කැපෙනවා නේ!"
"කිවුවත් වගේ.. එතකොට වැඩිවීම පන්දාහක්වත් නැද්ද?"
"නෑ... නේ!"
"යන්තම් විශ්වවිද්‍යාලවල අපි බේරුණා!"
"මොන බේරීමක් ද? දැන් අපේ දීමනා ටික මූලික වැටපට එකතු කළා ම... එ තැනත් සේවක අර්ථසාධකේ සීයට අට කැපනෙවා නේ!"
"මොකෝ මේ මූණ නරක් කරගෙන?'
"ශික්! මේ ආචාර්ය සංගම් කෙරුවාවෙන් වෙලාවට අයින් වෙන්න බැරි වුණා නේ!"
"ඒ මොකෝ?"
"නෑ, විද්‍යා පීඨයේ එවුන් අඩු-වැඩිවීම් හදාගෙන... අතට ආපු ගාණත් අඩුවෙනවා ලු!"
"හරිණිට, නිර්මාල්ට තමයි කියන්න තියෙන්නේ!"
"හං... හා.. එයාල ගේම දීලා වෙලාවට මාරු!"

"දැන් අධ්‍යාපනයට සීයට හය ලැබිලා ද?"
"සීයට හය! හීනෙන් ද?"
"එතකොට අර ජයසිංහ අය-වැය අගය කරකර හිටියේ!"
"ලජ්ඡාවක් නැතිව?"
"දැන් මන්ත්‍රී කෙනෙක් වෙලා නේ... ඉතින් ලැජ්ඡා-භය කොහේ ද,'
"ස්ටැලින් නම්, සුබෝධනී සුබෝධනී කියකිය ඇඬුවා!"
"ඔව්, වැඩි කළේ තුනෙන් එක ලු! ඉතුරු දෙක දෙන්නේ නැද්ද අහනවා!"
"කාරක සභා අවස්ථාවේ නිවැරැදි කරන්න ලු!"

"කරයි, කරයි... හරිණි, ජනාධිපතිතුමා ළඟ ම ඉදගෙන සිනාසෙමින් අහන් හිටියේ!"
"නිර්මාල්?"
"එයා චරිත ගේ හයිබ්රීඩ් කතාවේ එල්ලිලා ලොකු පන්තියක් කරනවා!"
"යන්තන් අය-වැය ගැන කට අරින්න නිර්මාල්ට වචනයක් හම්බවෙලා!"
"එල්ලෙන්න වැලක්!"
"අනේ මන්දා... මෙහෙම ගියොත් රෙද්දක් ඇදන් පාරේ යනවා බොරු!"
"මොකෝ මේ කලබල වෙලා... අර අලුත් ඔස්තාර්... චතුරංග ආඩම්බරෙන් කිවුවේ අධ්‍යාපනයට අපේ ආණ්ඩුව දල ජාතික නිෂ්පාදිතයෙන් සීයට එකයි දශම නමයක් වෙන් කරා කියලා!"
"මොකක්?"
'ඔව්!"
"සීයට තුනක් වෙන්වෙද්දී නේ ද කොල්ලෝ ටික පාරවල් ගාණේ ඇවිද්දෙවුවේ... සීයට හයක් ඉල්ලලා?"
"හරිණිලා නිර්මාල්ලා නියමට ගේම දුන්නා... USAID ඇති පස්සෙන්!"
"ෂ්....! හයට වඩා එකයි දශම නවය ලොකු යි වගේ ආඩම්බරෙන් කියලා, 'හා නැද්ද?' කියලා ඇහුවා ම හරි! ඕවා අහන්න ගියොත් අපෙත් රෙදි ඉල්ලෙ!"
"දැන් අයට වඩා වැය තවත් වැඩිවෙලා නේ... අඩු ගාණේ රනිල්ට ඒ විනය තිබුණා."
"ඇත්තට ම කෝ, ආදයම් යෝජනා?"

"ඇයි අර සුඛෝපභෝගී වාහන විකුණනවා ලු නේ!"
"මරු නේ..."
"ඇයි ඔය මුද්දර ගාස්තුත් දෙගුණ කරලා තියෙන්නේ!"
"දැන් මෘදුකාංග අපනයනවලටත් බදු ගහලා නේ ද?"
"ඒ කොම්පැණි ටිතක් වහලා ගියොත්, බදු නෙවේ... බඩු තමා!"
"දැන් අමතර ආදායම්වලට වාහන ආනයනය මත නේ ද බර තියලා තියෙන්නේ?"
"ඔය කියන ගණන්වලට මිනිසුන්ට වාහන ගන්න පුළුවන් ද?"
"නොගත්තොත්, අපේක්ෂිත ආදායම...?"
"අනේ මන්දා... රට අනුරට, අපි... ?"
"අපි පාරට!'

"ඒක නෙවේ, කවුද කියලා තිබුණේ රනිල් ඡන්දෙට පෙර දෙන්නම් කාසිවලට වැටුප් වැඩි කළෙත් ඔය ගාණ ම යි කියලා!"
"මේක මාර වැඩක් නේ... නයි මුගටි ඔක්කොම එක ම ගාණ?"
"මොකෝ ඔය යෝජනා හදන්නේ කියවන නයි මුගටි යැ යි?"
"ඉස්සර නම්, අඩු ම ගාණේ බලයට පත්වන පක්ෂය අනුව හදන අය... අධිපතියෝ... ලේකම්ලා... හරි වෙනස් වුණා! දැන් එහෙම වෙනසක් වත් නෑ නේ!"
"ඔව්, ගෝඨාභය ගේ අන්තිම කාලේ දාපු කණ්ඩායම නේ රනිල් ගේ කාලෙත් මහබැංකුව, මුදල් අමාත්‍යාංශය කළේ!"
"ඉතින්, දැනුත් ඒ අය ම නේ..."
"එතකොට කවුද හදන්නේ?"
"ඇයි... ජනාධිපතිතුමා අය-වැය කතාව කරලා, අන්තිමට ස්තූති කළේ!"
"ස්තුති කළේ නම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට, මහින්ද සිරිවර්ධනට!"
"කොලේ ලියලා දුන් කෙනාට ද?"
"නන්දලාලුත් අගය කරලා තිබුණේ!"
"ඒ ඉතින්, ලියලා දුන් කොලේ කියැව්වාට වෙන්නැති"
"කොලේ නම් රසට කියැවුවා!"
| ගජබා



